2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සුද්දියක් රවටාගෙන සල්ලි ගැරූ “රුවන්”

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ඔස්ට්‍රියානු ජාතික ඇන්ඩ්‍රියා පළමුවරට ශ්‍රී ලංකාවට එන්නේ නිවාඩුවක් ගත කිරීම පිණිසය. ඒ 2013 වසරේ පෙබරවාරි මාසයේදීය. මෙරට සංචාරක ව්‍යාපාරයේ හදවත බඳු වූ දකුණු පළාතේ ප්‍රසිද්ධ වෙරළ නගරයක නවාතැන් ගන්නා ඇයට මෙරට ළමුන් වෙනුවෙන් අධ්‍යාපනික සත්කාරයක් සිදුකරන තවත් විදේශීය කාන්තාවක් මුණගැසෙයි. ඇය හා ඇන්ඩ්‍රියා අතර මිත්‍රත්වයක් ඇතිවන්නේ එම කාන්තාවද ඔස්ට්‍රියානු ජාතික කාන්තාවක් වීම නිසා ය. 

කුඩා කාලයේ පටන්ම ළමුන්ට ආදරය කළ ඇන්ඩ්‍රියා ද ශ්‍රී ලංකාවේ ළමුන් වෙනුවෙන් යම් දෙයක් කළ යුතු යැයි ඉටා ගත්තේ මේ අවස්ථාවේදීය. එහිදී ඇයට සහාය ලබාදීමට එම ප්‍රදේශයේම අයෙක් ඉදිරිපත් විය. රුවන් නම් ඔහු කලකට ඉහත ජීවිතාරක්ෂක පිහිනුම්කරුවෙකි. ඔහුගේ පෙනුමට හා කතාබහට වසඟ වූ ඇන්ඩ්‍රියාද ඔහුට සමීප වූවාය. 

තම කෙටි නිවාඩුව ඉවර කර ඇන්ඩ්‍රියා නැවත ඔස්ට්‍රියාව බලා ගියාය. ඉන්පසු ද ඇයට රුවන්ගෙන් නිතර නිතර දුරකථන ඇමතුම් ගලා එන්නට විය. “ආපහු ලංකාවට එන්න. අපි එකතුවෙලා හොඳ වැඩක් කරමු” රුවන් නිතර නිතර කීය. අවසානයේදී එම වසරේම මැයි මාසයේ ඇය නැවත ලංකාවට එන්නේ රුවන්ගේ පෙරැත්ත කිරීම නිසාම ය. 

එසේ ඇය පැමිණි පසු ඔවුන් දෙදෙනා ‘හෙට දවස’ නමින් ළමා සත්කාරක සේවාවක් නොඑසේනම් අරමුදලක් පිහිටුවීමට කටයුතු කළහ. එම වසරේම ඔක්තෝබර් මාසය වනවිට අසල ගම්මානයක පෙර පාසලක් ආරම්භ කරමින් එහි සිසුන්ට නොමිලේ අධ්‍යාපනය මෙන්ම මාස් පතා ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කළහ. එහිදී වියදම් කරන ලද සියලු මුදල් සැපයුණේ ඔස්ට්‍රියාවේ හුන් ඇන්ඩ්‍රියාගේ හිතවතුන්ගේ මාර්ගයෙනි. වෘත්තියෙන් කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වූ ඇය තම මව් රටේ සිටින අවස්ථාවන්හිදී මේ අලුත් ව්‍යාපෘතිය ගැන කියූ විට ඇයට නොමසුරුව මුදල් ප්‍රදාන හිමිවිය. 

අනතුරුව තවත් මාස කිහිපයක් යනවිට රුවන්ටත් ඇන්ඩ්‍රියාටත් හොඳින් යුරෝ ගලා එන්නට වීමත් සමඟ තවත් ගම්මාන දෙකකම පෙර පාසල් ආරම්භ කිරීමට ඔවුහු කටයුතු කළහ. ඉන් එක ස්ථානයක පෙර පාසල වෙනුවෙන්ම ඉඩමක් මිලදී ගෙන ගොඩනැගිල්ලක් තැනීමට පවා ඔවුහු ක්‍රියාකළහ. ඒ සඳහා යුරෝ 45,000ක් එනම් ශ්‍රී ලංකා රැපියල් ලක්ෂ අසූවක් පමණ වැය විණ. 

මේ සියල්ල සිද්ධ වන අතරතුර ඇන්ඩ්‍රියා සහ රැවන් හොඳ පෙම්වතුන් බවට පත්ව සිටියහ. ඇන්ඩ්‍රියා ඇතැම්විට රාත්‍රියට නවාතැන් ගත්තේ රැවන්ගේ ගෙදරය. රුවන්ගේ මව්පියන්ට පවා දෙදෙනාගේ පෙම් සබඳතාව රහසක් නොවීය. 

2016 වර්ෂය උදාවිය. තමන්ගේ හිතට නැඟුණු අලුත් අදහසක් අනුව, රැකියාවක් කරන වයසට පැමිණි දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදිය හැකි මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ඇන්ඩ්‍රියාගේ හිත ගොස් තිබුණි. ඒ වෙනුවෙන් අදාළ කටයුතු කරන්නට, ‘හෙට දවස’ නම් වූ ඔවුන් දෙදෙනාගේ අරමුදලේ ලියාපදිංචි තොරතුරු ලබාදෙන ලෙස ඇය රුවන් ට කීවා ය. ගෙවුණු කාලය පුරාවටම රුවන් තමන්ට බරපතළ වංචාවක් සිදුකර ඇති බව ඇය දැනගන්නේ එවිට ය. 

‘හෙට දවස’ අරමුදල ආරම්භ වන්නේ 2013 අගෝස්තු මාසයේදී ඇන්ඩ්‍රියා එය ඔස්ට්‍රියාවේ ලියාපදිංචි කිරීමෙනි. අනතුරුව ඇය ශ්‍රී ලංකාව තුළත් ‘හෙට දවස’ අරමුදල ලියාපදිංචි කිරීමට අවශ්‍ය සියලු ලියකියවිලි සැපයූව ද වංචනික නීතීඥයෙකුගේ සහාය ලබාගත් රුවන් කරන්නේ, ලියාපදිංචිය දිනෙන් දින කල් දැමීමයි. අවසානයේදී ‘හෙට දවස’ වෙනුවෙන් පෙර පාසලක් ඉදිකිරීමට මිලට ගත් ඉඩම මිලදී ගෙන ඇත්තේ ද රුවන්ගේ නමට ය. 

මීට අමතරව පෙර පාසල් ළමුන්ගේ පවුල් වෙනුවෙන් ලබාදුන් ආහාර මල්ලෙන් ද එක් මාසයකදී ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් රුවන් සොරකම් කර ඇති බව ද ඇය සොයාගන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයකට පසුය. ඒ අනුව ගත් කල ගතවුණු අවුරුදු තුනක කාලය පුරාවට තවත් ලක්ෂ 36ක පමණ මුළු මුදලක් සූක්ෂමව ඇන්ඩ්‍රියා රවටා ලබාගන්නට ඔහු සමත්වී ඇති බව පැහැදිලිය. 

“මට දැන් රුවන් එක්ක මේ ගැන කතාකරලා ඇති වෙලා තියෙන්නෙ. හැමදේම තියෙන්නෙ එයාගෙ නමට නිසා පොලිසියෙනුත් මට උදව්වක් නැහැ. අනික එයාට උදව් කරන්න මෙහේ ගොඩක් අය ඉන්නවා. මම දිගින් දිගටම සල්ලි ගැන ඇහුව නිසා රුවන් මට එකපාරක් හොඳටම පහර දුන්නා. මම ඉස්පිරිතාලෙත් නැවතිලා හිටියා. මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔස්ට්‍රියාවෙ ඉඳලා එවපු සල්ලිවලින් කරපු දේවල් ඒ මිනිස්සුන්ට පෙන්නන්න බැරි එකයි. මෙතැන සිද්ධ වෙච්ච දේවල් ඒ අයට කියලා ලංකාව ගැන නරක අදහසක් එයාලට දෙන්න මට ඕන නෑ. මම තාමත් ලංකාවේ ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න ආසයි” තම දුක්ඛදායක කතාව අප හමුවේ තබමින් ඇය කියා සිටියාය.

(මෙය දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් නිසා සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විමර්ශනයට බඳුන්වන නිසා මෙහි පළ වන නම් ව්‍යාජ ඒවා බව සලකන්න)

I රෙහාන් රාසික්