2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ඉර්මා කුණාටුවෙන් එළියට පැන්න අවලස්සන අමෙරිකානුවා

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 338

කැරිබියානු දූපත් වෙතට ශතවර්ෂයකට පසු කඩාවැදුණු ප්‍රචණ්ඩතම හරිකේන් චණ්ඩ මාරුතය ඉර්මා සුන්බුන් රැසක් පමණක් ඉතිරි කරමින් ෆ්ලෝරිඩා අර්ධද්වීපයට ඇතුළු විය. එතැන සිදුවූයේ මහා විනාශයකි. ඉර්මාට කලින් ආ හාවේ කුණාටුවත් සමඟ එකතු වී අමෙරිකානු භූමියට සිදුකළ විනාශය වාර්තාගත කැටරිනා චණ්ඩමාරුතයේ හානියද පරදවන සුළුය. දකුණු දිග ෆ්ලෝරිඩාව ඔස්සේ වෙරළතීරය කළඹමින් මහා විනාශයක් කළ ඉර්මා ගොඩනැගිලි සුන්බුන්කොට ගස් උදුරා දමා මහාමාර්ග ගංඟා ප්‍රවාහයන් බවට පත්කර දියේ ගිල්වා දැමුවේ අර්ධද්වීපය පුරා විදුලිය ඇණහිටීමක්ද ඇති කරමිනි. තම නිවාසවලින් ඉවත්කරගන්නා ලද දස දහස් ගණනක් තාවකාලික කූඩාරම්වලට කොටුවූහ. ප්‍රාන්තයේ ජල විදුලි සැපැයුම, තැපෑල, ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාවද අඩාල විය. ඒ අතර අවලස්සන අමෙරිකානුවා එළියට පැන්නේය.

මෙතෙක් ටයිකෝට් තුළ සැඟව සිටි නියම අමෙරිකානුවා එළියට ආවේ කුණාටුවෙන් අනාථ වූවන් සනාථ කරන්නට නොවේ. බොරදියේ මාළුබාන්නට සැරැසුණු ඔවුහු අත්හැර දැමූ නිවාස, වෙළඳසල් හිතූ හිතූ හැටියට කොල්ලයට ලක්කළහ.  සිය සුරතල් බලු පැටවාද තුරුලු කරගෙන අන්දමන්දව අසරණව සිටි දැරියක් නිවසක් තුළට බලෙන් ඇදගෙන ගොස් දූෂණයට ලක්කරන CCTV දර්ශනය සිහිපත් කළේ අපේ රටේ සුනාමි ව්‍යවසනය සිදුවූදා සිදුවූ මහ පොළොව නුහුලන අපරධයන්ය. ප්‍රාන්තය පුරා ලක්ෂ 300කට අධික පිරිසක් විදුලිය නැතිව අඳුරේ ගිලී සිටියදී විදුලි රැහැන් කණුවක් කපා ජීප්රියක බැඳ‍ෙගන පලාගිය දෙදෙනෙක් ජැක්සන්විලී පොලීසියට කොටුවූහ. ඔවුන් මේ යකඩ කඳෙන් මොන කෙංගෙඩියක් කරන්නට සැලසුම් කර සිටියාද යන්න කාටත් ගැටලුවකි. ඉර්මා ප්‍රචණ්ඩ කුණාටුව තම වියරු ප්‍රහාරය මගින් එලෙස මෙතෙක් සෙසු ලෝකයාගෙන් වසංව සිටි අවලස්සන අමෙරිකානුවා ලොවට හෙළිදරව් කළේය.

කැරිබියානු දූපත් ඔස්සේ ප්‍රබලතාව 5ක ප්‍රචණ්ඩත්වයක් සමග ෆ්ලෝරිඩාවට ඇතුළු වූ ඉර්මා චණ්ඩ මාරුතය සිදුකළ හානිය සුළුපටු නොවේ. එය මෙතෙක් අමෙරිකාව වෙත කඩාවැදුණු චණඩමාරුත අතරින් හානිදායකත්වය අතරින් හතරවැනි තැනට පැමිණ තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා වනවිට දකුණු ෆ්ලොරිඩාවේ ජනජීවිතය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට හැරෙමින් තිබුණි. නමුත් ඒ වනවිට සිදුව තිබූ හානිය පිළිබඳ වාර්තාගතව තිබූ දත්ත ඇඟ කිලිපොළා යන සුළුය.

මේ වනවිට මරණ සංඛ්‍යාව 61ක් ලෙස වාර්තා වී තිබේ. 38ක් කැරිබියානු දූපත්වලිනි. අමෙරිකාව තුළ 23කි. ලක්ෂ 70ක් උන්හිටි තැන්වලින් ඉවත්කර තිබේ. ෆ්ලෝරිඩාවේ පමණක් ලක්ෂ 130කට විදුලිය අහිමිය. ඉර්මා සමඟ සටනට සැරැසීමට සහ නැවත යථා තත්ත්වයට ෆ්ලොරිඩාව ගෙන එන්නට මේ වනවිට ඩොලර් මිලියන 273ක් වැයකර හමාරය. හොලිවුඩ් හිල් ප්‍රදේශයේ තිබූ සාත්තු නිවසක විදුලිය අහිමි වීමත් සමග අට දෙනකු මියගොස් තිබුණි. සිය දෙනකු පමණ එතැනින් ඉවත් කරගන තිබුණි. ෆ්ලොරිඩාවේ හානියට පත් ප්‍රදේශවල සෞඛ්‍ය අංශ නැවත පණ ගසා ආවේ පසුගිය  බ්‍රහස්පතින්දාය. රටපුරා ගොඩනැගිලි, නිවාස, මංමාවත්, උද්‍යාන, ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද ඇතුළු ප්‍රකෝටිපතියන්ගේ සුඛෝපභෝගී මාලිගාවන්ට, නිවාඩු නිකේතනයන්ට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 303ක් බව ගණනය කර තිබේ.

බ්‍රහස්පතින්දා වනවිට සහනාධාර බෙදීම අරඹා තිබුණි. ලස්සෙට කොඩි දමා ජීවත් වූ පිරිසද දැන් සහන පෝලිම්වලට එක්ව සිටිති. එක් අයකුට ආහාර පෙට්ටි 4ක් නිකුත් කරයි. මින් එක පෙට්ටියක ආහාර වේල් 4ක් අඩංගු වේ. පවුලකට වතුර බෝතල 24ක් ලැබෙනු ඇත. තවමත් පාම් බීච් ඇතුළු ප්‍රාදේශික කිහිපයක මධ්‍යම රාත්‍රියේ සිට උදාසන 6 වනතුරු ඇඳිරි නීතිය බල පවත්වයි. චණ්ඩ මාරුතයත් සමඟ එළියට පැනගත් අවලස්සන ඇමෙරිකානුවන්ගේ ප්‍රචණ්ඩ කොල්ලකෑම් වැළැක්වීමටය. ඇඳිරි නීතිය කැඩූ 4ක් තාමත් පාම්බීච් ෂෙරිෆ්වරයාගේ අත්අඩංගුවේය. 34ක් කොල්ල කෑමේ චෝදනා මත කූඩුකර හමාරය. දිගට හරහට කොල්ලයේ යෙදුණු තනි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වෙනම මෙහෙයුමකි. ෆ්ලොරිඩාව පුරා සියයට 90කට තාමත් විදුලිබලය අහිමිය. ලක්ෂ 16ක් වන මේ සංඛ්‍යාවෙන් බදාදා වනවිට විදුලිය ලබා දී තිබුණේ හත්දහසකට පමණි.

පාම්බීච්වල පාසල් වයස 18 සහ ඊට අඩු දරුවන්ටත් ඔවුන් සමඟ එන එක් වැඩිහිටියකු උදෙසාත් උදාසන හා දවල් ආහාරය සැපැයීමේ සහන සේවාව අරඹා තිබේ. මේ සඳහා පාසල් 27ක් දායක වී තිබේ. පසුගිය සතිය පුරා මේවාද ඇතුළුව ප්‍රාන්තයේ සියලුම පාසල් වසා දමා තිබුණි. ෆ්ලොරිඩා ප්‍රාන්තයට අයත් ප්‍රාදේශික 21 පුරාම අන්තර්ජාලය සහ මොබයිල් දුරකතන පහසුකම්ද තවමත් අඩාල වී තිබේ. විදුලිය සඳහා ජෙනරේටර් භාවිතයේදී සිදුවූ අකරතැබ්බයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් විෂවීමෙන් පිරිසක් රෝහල් ගතකර ඇත. තවත් පිරිසක් ජලභීතිකාවට ගොදුරුව ප්‍රතිකාර ගෙන ඇත්තේ වවුලන් නිවෙස් තුළට ඇතුළුවීම හේතුවෙනි. මේ වනවිටත් තාවකාලික සහන කඳවුරු තුළ සිය දහස් ගණනක් සිරවී සිටිති. විසිදහසක හමුදා භටයන් සහ නැව් 5ක් ෆ්ලොරිඩා සහන මෙහෙයුමට එක්ව තිබේ. ඔවුහු ආහාර ජලය සහ ඉන්ධන බෙදාහරින අතර අතුරුදන්වූවන්, අවතැන් වූවන්, සෙවීමටද එක්ව තිබේ. විපතට පත්වූවන් අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කිරීමට USS ඒබ්‍රහම් ලින්කන් නැව යොදාගත් අතර දියගොඩ දෙකේම සැරීමට සමත් USS අයිවෝ ජිමා සහ USS නිව්යෝර්ක් උභයචාරී යාත්‍රාද වැඩට බැස තිබුණි. ඒ අතරට තවත් නැව් දෙකක්ද එක්විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා විපතට පත් ජනතාව ගැන සොයාබැලීමට පැමිණ තිබුණි. ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් 20700ක් සහන වැඩට එක්ව තිබේ. හමුදා ඉංජිනේරු සෙබළු 17600ක් ප්‍රතිසංස්කරණ වැඩට එක්ව සිටිති. ගුවන් යානා 36ක් ට්‍රක් රථ 740ක් ආධාර බෙදීමට යවා ඇත.

සඳුදා වනවිට ෆ්ලොරිඩාවෙන් පිටතට චණ්ඩමාරුතයේ වියරු ඇස යොමුවී තිබුණද එය රැගෙන ආ ප්‍රචණ්ඩ වර්ෂාව බදාදා වනවිටත් ප්‍රදේශ ගණනාවකට නොකඩවා ඇදහැලෙමින් තිබුණි. ජෝර්ජියා, දකුණු සහ උතුරැ කැරොලිනා, අලබාමා සහ ටෙනසි මේ වර්ෂාවට ගොදුරැව තිබුණි. ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන ඩිස්නිලන්තය ඇතුළු ෆ්ලොරිඩාවේ සතුටු උද්‍යාන අඟහරැවාදා නැවත විවෘත කිරීමට ලහි ලහියේ කටයුතු යොදා තිබේ.

ෆ්ලොරිඩාවේ ප්‍රධාන ගුවන්තොටු‍ෙපාළ කිහිපයක්ම තාමත් වසා දමා ඇත. පසුගිය සඳුදා නියමිතව තිබූ ගුවන් ගමන් 4200කට වැඩි සංඛ්‍යාවක් අත්හිටුවා දැමූ අතර ඉර්මා කඩාවැදුණු සෙනසුරාදා සිට ඒ වනවිට 9000කට අධික ගුවන් ගමන් වාර අත්හිටුවා තිබුණි. මියාමි ගුවන් තොටු‍ෙපාළ පර්යන්තය ජල ගැල්මෙන් යටව ගොස් තිබුණි. ප්‍රවේශ පරිශ්‍රයේ සිවිලිම් කඩා වැටී තිබුණි. මේ සියලු හානි ප්‍රති සැකැසුම සඳහා මූලික කටයුතු ඇරඹී තිබුණේ බ්‍රහස්පතින්දා වනවිටය. සත්‍ය වශයෙන්ම සිදුව ඇති පූර්ණ හානිය මේ වනවිටත් ගණන් බලා නැත.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00