2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

බැඳුම්කරකාරයෝ රකින්න නීතිඥයා බෑ කියයි!

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 275

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජා‍ෙමට යැයි කතාවක් ඇත. එම කියමන සනාථ කරමින් මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම තුළදීද මේ වනවිට හොඳ හොඳ සෙල්ලම් හෙළිවෙන්නට පටන් ගෙන ඇත. උපාසක බලල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නා සේ මේ මහා වංචාවට සම්බන්ධ උපාසක බලලුන්ගේ දඩයම් දැන් දැන් කරළියට එමින් ඇත. 

පර්පචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන නීතිඥයා පවා පසුගිය සතියේ පර්පචුවල් සමාගම වෙනුවෙන් තමන්ට තවදුරටත් පෙනී සිටිය නොහැකි බව පවසමින් ඉවත්ව ගියේ මහ දවල් සිදුකළ ඉතිහාසයේ දැවැන්තම කොල්ලයේ නඩුව සම්බන්ධව පෙනී සිටි නීතිඥයකු වන තමාටද අදාළ සමාගම වංචනික තොරතුරැ ලබා දී ඇති බවත් මෙවැනි පාර්ශ්වයක් වෙනුවෙන් කතා කර රටට හා ජනතාවට බොරු කීමට හා අපකීර්තියට පත්විමට තමන්ට නොහැකි බවත් පවසමිනි.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාගේ සෘජු ප්‍රකාශයෙන් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම කොතරම් වංචනික ලෙස කටයුතු කළාද යන්න මනාව පැහැදිලි විය. නීතිඥ නිහාල් ප්‍රනාන්දු පවසන ආකාරයට අදාළ සමාගම ඔහුවද රවටා ඇත. ඇතැම් බරපතළ කරුණු නීතිඥවරයාට පවා වසංකර සිදුකර ඇති වංචාෙව් තරම හෙළිවෙද්දී වෘත්තීය ගරුත්වය තබාගෙන එම නඩුවට පෙනී සිටිය නොහැකි බව ඔහු කීවේ රටටම ඇසෙන්නටය. මේ නිසාම ඇතැම් කරුණු හෙළිවන විට තමන්ට ලැජ්ජා සිතෙන බවත් නිහාල් ප්‍රනාන්දු කොමිසම හමුවේ නිර්භයවම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නිහාල් ප්‍රනාන්දු මහතාගේ ඉවත් වීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ පර්පචුවල් සමාගමේ ප්‍රධාන මිලදී ගැණුම් හා අලෙවි නිලධාරී නුවන් සල්ගාදු යන අය විසින් හෙළිකරන ලද ආන්දෝලනාත්මක සාක්ෂියක්ය. ඔහු කී පරිදි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනගේ උවමනාව මත දුරකතන අංක දත්ත 100කට වඩා විනාශ කොට ඇත. ඒ කසුන් පලිසේනගේත් අර්ජුන් ඇලෝසියස්ගේත් උ‍වමනාවට බව ඔහු විසින් හෙළිකරන ලදී. 

කෙසේ වෙතත් මෙම සාක්ෂි එකින් එක දිග හැරෙන විට නිහාල් ප්‍රනාන්දු මහතා මීට සති දෙකකට පෙර කියා සිටියේ තමන් එම සමාගමේ ලේඛන සම්බන්ධයෙන් පෙනී සිටින බවත් විෂමාචාර සම්බන්ධයෙන් පෙනී නොසිටින බවත්ය. කැත වැඩ කර ඇත්නම් මා අනුමත කරන්නේ නෑ යනුවෙන්ද ඔහු කොමිසමේදි ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු හෘද සාක්ෂියට එකඟව මෙම සාක්ෂි විභාගයෙන් ඉවත් වූයේ පර්පචුවල් සමාගමේ සැබෑ නිරුවත එළිකරමින්ය. 

පසුගිය සතියේ පමණක් නොව මේ කොමිසමේ ඉතිහාසය තුළ වඩාත් වැදගත්ම මෙන්ම බඩුත් එක්කට හොරු කොටුවන සාක්ෂිය ලබාදුන්නේද ඉහත කී නුවන් සල්ගාදුය. නුවන්ගේ හෙළිදරව මත ඇලෝසියස්ගේත්, මහේන්ද්‍රන්ගේත්, පලිසේනගේත් රෙදි එළිපිට ගැලවෙන්නට විය.

කෙසේ වෙතත් නුවන් සල්ගාදුගේ දිව නැවෙන්නේද දේවතන්ත්‍රිගේ සාක්ෂිය නිසාය. දේවතන්ත්‍රි යනු පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ තොරතුරු තාක්ෂණ නිලධාරියාය. ඔහු විසින් කොමිසම හමුවේ ඉදිරිපත් කරන සාක්ෂිමත නුවන් සල්ගාදුටද වැරැද්ද පිළිගැනීමට සිදුවේ. 

දේවතන්ත්‍රි ප්‍රකාශ කරන ආකාරයට 2016 මාර්තු 29 හා 30 යන දෙදින තුළ ලබාදුන් දුරකතන හඬපට විකෘති කරන ලද ඒවාය. එම විකෘති කරන ලද හඬපට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් නොව කොමිසම වෙතද ලබාදී ඇත්තේ නුවන් සල්ගාදුගේ නියෝග මතය. එලෙස හඬ පටවල ඇති හඬ පට කීපයක් නුවන් සල්ගාදුගේ කීමට විනාශ කර ඇත. පසුව එය තැටියකට දමා ගොස් නුවන් සල්ගාදුත්, කසුන් පළිසේනත් ඉදිරියේ ලබාදී ඇත. එවිට පලිසේන විමසා ඇත්තේ වැඩේ හරියට කළේ දැයි යන්නය.

කෙසේ වෙතත් එම වංචාවෙන් පමණක් නොනැවතුණු මොවුන් අදාළ පද්ධතියට සම්බන්ධ දෘඩ තැටියද විනාශ කර ඇත. ඒ බව දේවතන්ත්‍රි සාක්ෂි ලබාදෙමින් පවසන්නේ තමන් අන්තර්ජාලය හරහා අධ්‍යයනය කරමින් එය සම්පූර්ණයෙන් විනාශ කළ බවය. එසේ විනාශ කිරීමෙන් අනතුරුව අලුත් හඬ පට පද්ධතියක් මොවුන් විසින් ඇතුළත් කර ඇත්තේ පළිසේනගේ, සල්ගාදුගේත් උපදෙස් මත බව දේවතන්ත්‍රි කොමිසමට කීය.

මෙහිදී දේවතත්න්‍රි මීට පෙර ලබාදුන් සාක්ෂි මත අදහස් පරස්පර වන බව හෙළිවිය. මේ නිසාම කොමිසම ඔහුට අවවාද කළ අතර එහිදි ඔහු සඳහන් කර සිටියේ තමන් මීට පෙර බොරු සාක්ෂි ලබාදුන් බවය. කෙසේ වෙතත් මේ සියලු දෑ කළේ සල්ගාදුගේ උපදෙස් මත බව ඔහු කීය. 

මේ සාක්ෂියත් සමඟ මේ කියන්නේ ඇත්තදැයි ඇසීමට සාක්ෂි කූඩුවට කැෙඳව්වේ නුවන් සල්ගාදුය.

ඔහු ප්‍රකාශ කරන ආකාරයට මේ දුරකථන සංවාදවලට සවන් දෙන ලෙස ප්‍රකාශ කර ඇත්තේ පලිසේනය. සාමාගමට අවාසියක් වන සියලුම සංවාද ඔහුට දැනුම් දෙන ලෙස සල්ගාදුට පවසා ඇත. ඒ අනුව ඔහු හඳුනාගත් සංවාද කිහිපයක් පළිසේනට ඉදිරිපත් කර ඇත. එහිදී සමාගමට හානිදායක තොරතුරු පනස් හයක් සොයාගැනීමට හැකි වී ඇත. එම සංවාද ඇතුළත් හඬපට මකා දමන ලෙස පලිසේන සල්ගාදුට පවසා ඇත. ඒ අනුව සල්ගාදු විසින් දේවතන්ත්‍රිට දැනුම් දී සංවාද සියයකට අධික ප්‍රමාණයක් මකා දැමූ බව ඔහු මෙහිදී පිළිගත්තේය. එම සංවාද අතර පලිසේනත් අර්ජුන් ආලෝසියස් අතරත් පැවති සංවාද තිබූ බව ඔහු පිළිගත්තේය. එසේම 2015 බැඳුම්කර ගනුදෙනුව සිදුකළේ තමාගේ උපදෙස් මතද යන්න විමසා සිටින විට සල්ගාදු ප්‍රකාශ කර සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් සහ කසුන් පලිසේනගේ උපදෙස් මත එය සිදුකළ බවය.

කොමිසමට ලැබුණු සාක්ෂිය කෙතරම් වැදගත්ද යන්න කොමිසමේ නිලධාරින් සිතූ නිසා නිලධාරින් පවසා සිටියේ සල්ගාදුට කිසිඳු බලපෑමක් කිසිම අයකුට කරන්නට නොහැකි වනසේ ඔහුට ආරක්ෂාව ලබාදෙන ලෙසයි. වින්දිතයන් හා සාක්ෂිකරැවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහුට ආරක්ෂාව ලබාදීමට කොමිසම කටයුතු කළේ ඒ අනුවය.

ඒ අනුව එදින සාක්ෂි කැඳවීම නිමවූ අතර ඊට පසුදින නැවත නුවන් සල්ගාදුව කොමිසම වෙත කැඳවීය. එදිනද ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර එහිදීද විශේෂ රහසක් දිග හැරියේය. ඒ පර්පචුවල් සමාගම 2016 වසර තුළ රුපියල් බිලියන 11ක ලාබය ලබාගත් ආකාරය ගැනය. ඔහු සඳහන් කරන ආකාරයට මහබැංකුවේ වෙන්දේසියකට කලින් බරපතළ රහස්‍ය තොරතුරු රැසක් අර්ජුන් ඇලෝසියස්ට ලැබී ඇත. ඒ බව එක්තරා දුරකතන සංවාදයක් ඔස්සේ හෙළි වූ අතර එය ඇසීමෙන් අනතුරුව සල්ගාදු එය පිළිගත්තේය. කෙසේ වෙතත් මහබැංකුවෙන් පමණක් නොව සේවක අර්ථ සාධකයේ සමන්කුමාර නැමැත්තාගෙනුත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන තැනැත්තාගෙනුත් තොරතුරු ලැබුණ බව සල්ගාදු හෙළි කළේය. මේ නිසා වෙන්දේසිය සිදුවන විට ඇලෝසියස් සියලු තොරතුරු දැන සිටි බව ඔහු කීය. එය දැඩි නීතිවිරෝධි කටයුත්තක් මෙන්ම දැන දැන සිදුකර ඇති බරපතළ වංචාවක් බවද මේ කරුණු ඔස්සේ තහවුරු විය.

ඒ අනුව එදින සාක්ෂි කැඳවීම අවසන් විය. නැවත ඊට පසුදින සාක්ෂි දීම සඳහා සල්ගාදු නැවතත් කැඳවීය. එදින ඔහුට කැඳවා දුරකතන සංවාද කිහිපයක් ඇසීමට සැලැස්විය. එහිද අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන අතර සිදුවන දුරකතන සංවාදයන්ද තිබුණේය. කෙසේ වෙතත් එම ඇමතුම සල්ගාදුට අයත් දුරකතනයට ලැබී තිබූ අතර පසුව සල්ගාදු එය පලිසේනට ලබාදී ඇත. ඒ වනවිටත් ඇලෝසියස් සිට ඇත්තේ සිංගප්පූරුවේය.

කොමිසම විසින් හෙළිකරන ලද තොරතුරු අනුව සල්ගාදු පවසා සිටියේ ඔවුන් දෙදෙනා අතර සිදුවන දුරකතන සංවාදයේ තොරතුරු වැරදි බවය. ඔවුන් කතා කරන තොරතුරුත් ලැබූ තොරතුරුත් එකිනෙකට වෙනස් බව ඔහු මෙහිදී පිළිගත්තේය. 

එසේම වෙන්දේසිය සඳහා පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලන්සු එකොළහක් ඉදිරිපත් කර ඇති අතර ඉන් දහයක්ම ඔවුනට ලැබී ඇත. එසේ ලැබීමට නම් අභ්‍යන්තර තොරතුරු පිටතට පැමිණිය යුතු නේදැයි කොමිසම විමසන විට සල්ගාදු පවසා ඇත්තේ එය එසේ විය යුතු බවය. ඒ අනුව එදින කොමිසමේ සාක්ෂි කැඳවීම නිමවිය.

කෙසේ වෙතත් එදින කොමිසම විසින් තවත් නියෝගයක්ද දුන්නේය. ඒ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක නිලධාරි සචින් දේවතන්ත්‍රි හට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසය. වැදගත් තොරතුරු රාශියක් ඔහු විසින් හෙළිකළ නිසා ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව කොමිසම දැන්වීය. ඒ අනුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහුට ආරක්ෂාව ලබාදෙන සෙ කොමිසම පොලීසියට නියෝග කළේය. 

ෙමම වංචාෙව් ප්‍රධානම ෙචා්දනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝසියස් පසුගිය බ්‍රහස්පතින්දා කොමිසමට පැමිණියේය. ඒ කොමිසමෙන් ලබාදුන් නොතීසියක් නිසාය.එම නොතීසිය ඇලෝසියස්ට ලබාදීමට නොහැකිව තිබූ අතර එහෙත් ඔහු බ්‍රහස්පතින්දා පැමිණ කොමිසමේ නිලධාරින් හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නේ ඔහුගෙන් පැය හතරක කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුවය.

මේ අනුව දේවතන්ත්‍රිත්, සල්ගාදු යන අයත් ලබාදුන් සාක්ෂි හමුවේ මේ ගනුදෙනුවේ සැබෑ මුහුණුවරත්, ඇලෝසියස්ගේ මූණත්තහඩුවේ සැබෑ නිරුවතත් එළියට ආහ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහදවල් කෝටි ප්‍රකෝටි ගණන් මහ බැංකුවේ මුදල් කොල්ලකා අනතුරුව ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයට එක්වූ දැවැන්තම මූල්‍ය වංචාව යට ගැසීමට තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ට පවා අමු අමුවේ බේගල් ඇද බාමින් හා දත්ත විකෘති කරමින් බැඳුම්කර වංචා චෝදනාවලින් ගැලවී යාමට දැරිය හැකි සියලු ප්‍රයත්න දැරුවේය. සිදුවුණේ කුමක්ද වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ චිත්‍රයේ මිනිස් රූප හඳුනාගැනීම දැන් අමාරැ නැත. එහෙත් එහි වගකීම් සහගත තීන්දුව ලබාදිය යුත්තේ කොමිසමය. කොමිසම කෙරෙහි එහි සෘජු බව හා අපක්ෂපාතිත්වය කෙරෙහි විපක්ෂයේ අය පමණක් නොව රටම විශ්වාසය තබාගෙන සිටින්නේය. ඒ විශ්වාසය එලෙසම රැකගනිමින් මේ මහා බැඳුම්කර වංචා මගඩියේ ඇත්ත ඇති සැටියෙන් රට ඉදිරියේ දිගහැරීම කොමිසම සතු ඉතිහාසගත වගකීමක් බව අපි අවධාරණය කරමු.

 ගයාන් ගාල්ලගේ