2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ආදායම් බදු කන්තෝරුවටම ගිහින් මට බදු ගෙවන්න ඕනෑ කියූ ජිප්සීස් සුනිල්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 529

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේ ආදායම පෙන්වා බදු ගෙවීමට එකඟ වන පිරිස් ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඒ අතින් රටටම ආදර්ශයක් දුන් කලාකරුවෙකි. ජිප්සීස් සංගීත කණ්ඩායම වෙනුවෙන් තමන්ට ලැබුණු ආදායම වෙනුවෙන් පමණක් ඔහු බදු ගෙවමින් සිටියේය. නමුත් මේ වෙද්දී ජිප්සීස් සංගීත කණ්ඩායමට අමතරව මාර්ග කීපයකින් ඔහුට ආදායම් ලැබෙමින් තිබිණි. ඒ කිසිවක් පිළිබඳව ආදායම් බදු දෙපාර්තමේන්තුව දැන සිටියේ නැත. ඇතැම් විට දැන සිටියාට ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන්නට ඇත.

නමුත්, මේ පිළිබඳව ජිප්සීස් සුනිල්ගේ සිතට වද දුන්නේය. ඔහුගේ හිත විසින් ඔහු හොරෙක් ලෙස හංවඩු ගසනු ලැබීය. ඔහුට තම අමතර ආදායම් මුදල් වෙනුවෙන් රටට බදු ගෙවීමට ඕනෑ විය. දේශපාලන වේදිකාවල, රටේ ජනතාව ඉදිරියේ රට වෙනුවෙන් යයි උගුරේ ලේ රහවනතුරු කෑමොර දීමට පෙර තම හෘද සාක්ෂිය කෑමොර දෙන හොරා යන ලේබලයෙන් අයින් වෙන්නට සුනිල්ට ඕනෑවිය. මේ රට ඉදිරියට යන්නට නොහැක්කේ මෙම බදු ක්‍රමවේදය හේතුවෙන් බව සුනිල් ඇදහුවේය.

බදු පිළිබඳව රටේ ජනතාව තුළ නිසි අවබෝධයක් නැත. සුනිල්ගේ පියාගේ කාලයේ සිටම ඔවුන් ආදායම් බදු ගෙවා තිබේ. ජිප්සීස් සංගීත කණ්ඩායම ඇරඹීමත් සමඟද සුනිල් ආදායම් බදු ගෙව්වේය. නමුත් සුනිල් පෙරේරා තමන්ට ලැබුණු පෞද්ගලික ආදායම ඊට වඩා වැඩි බව දැන සිටියේය. ඔහු වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් විශාල මුදලක් අය කළේය. එපමණක් නොව වෙනත් ක්‍රම කිහිපයකින් සුනිල්ට ආදායම් ලැබුණි.

එමනිසා මෙම දඬුවම් ලැබිය හැකි වරද නිවැරදි කරගන්නට ඔහුට ඕනෑ විය. බදු පැහැර හරින්නෙක් ලෙස ජීවිතේ ගෙවීම සුනිල් ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා ඔහු මේ හිතේ බුර බුරා නැගෙන ගැටලුව පිළිබඳව තම සහෝදර පියල් හා කතාබහ කළේය. අඩුම තරමේ මේ හිතේ නළියන ගැටලුව ජීවිතේ හැම දුකක් සතුටක් විඳ දරාගත් තම ආදරණීය බිරිඳ, ගංඟා සමඟ හෝ කතා නොකළේය. තමන් උපයන මුදල රජයට පෙන්වීමත්, රජයට දිය යුතු මුදල දීමත් ඔහුගේ අභිලාෂය විය. සමහර ව්‍යාපාරිකයන් පවා බදු ගෙවීම මඟහරිති. සුනිල්ද ඒ අතරේ සිටි කෙනෙකි. ඒ නිසාවෙන්ම ඔහු තම ආදායම් මාර්ග ලිපි ලේඛනද රැගෙන මීට මාස ගණනාවකට උඩදී ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොඩ වැදුණේය. මෙපමණ කාලයක් රටටම හොරකමකට සම්බන්ධ වූ සුනිල්ට එයින් මිදෙන්නට ඕනෑ විය.

ඔහු ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාව මුණගැසී තම ලිපි ලේඛන ඉදිරිපත් කළේය. ඔහුගේ කතාව ගැන ඒ නිලධාරීහු පුදුමවූහ. අදාළ තොරතුරුවලට අනුව සුනිල්ට ආදායම් බුද මුදල පමණක් නොව දඩ මුදලක්ද නියම විය. ඒ 2014 සහ 2015 වසර වෙනුවෙන් ලක්ෂ හැටක මුදලකි.

ඔහුගේ ආදායම ඔහුම ඉදිරිපත් කර තම වැරැද්ද නිවැරදි කිරීම වෙනුවෙන් දඩ මුදලත් සමඟ ඔහුගේ තක්සේරු වටිනාකම වසර දෙකකට ලක්ෂ 60ක් විය. එය එකවර ගෙවීමට සුනිල් අපොහොසත් විය. ඒ සඳහා ඔහු කල් ඉල්ලුවේ නමුත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යාමට පෙර සිටම සුනිල් මේ ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බව දැන සිටියේය. 

සුනිල් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සහනදායී වාරික ලෙස බදු සහ දඩ ගෙවන්න අවසර පැතීය. අවසානයේදී ඔහුට මෙම ලක්ෂ හැට මාස දොළහක් ඇතුළත ගෙවා හමාර කිරීම සඳහා සහන කාල සීමාවක් ලැබිණි.

එතැන් සිට මේ දක්වා ජිප්සීස් සුනිල් පෙරේරා මසකට රුපියල් ලක්ෂ පහ බැගින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට දඩ මුදල සහිත හිඟ මුදල් පියවමින් සිටී. මේ වනවිට මාස නවයක් ගෙවා හමාර කර ඇති අතර තවත් මාස තුනකින් එම හිඟ මුදල අවසන් වන අතර 2016 වසර සඳහා පෙරට වඩා අඩු මුදලක් නැවත ගෙවීමට සුනිල්ට සිදුවේ. නමුත් ඒ පිළිබඳව අදටත් සුනිල්ට කම්පාවක් නැත. තම හෘද සාක්ෂියට එකඟව කළ ක්‍රියාකලාපය ගැන අදටත් සුනිල්ට ඇත්තේ හිතේ සැනසීමකි. මසකට ලක්ෂ පහක් ගෙවීමට යාමේදී ඔහුට ඒ වෙනුවෙන් තම අමතර ආදායම්වලින් මුදල් ලැබුණේය. ඒ නිසාවෙන් මෙම මුදල සොයාගන්නට සුනිල් බැංකු ණය ගත්තේ නැත. යහළුවන්ගෙන් අතමාරුවට, පොලියට මුදල් නොගත්තේය. තම බිරිඳගේ දරුවන්ගේ කනකර ආභරණ උගස් කිරීමක් සිදු නොවුණේය. ඒ වෙනුවට ඕනෑතරම් වැඩ ඔහු ළඟට පැමිණියේය. හිතට එකඟව හොඳ යමක් කරද්දී යහපත් දේවල්ම සිදුවන බව සුනිල් විශ්වාස කළේය. මෙපමණ කාලයක් බොරුවෙන් ජීවත්ව ගෙවීමට තිබුණ දෙයක් කෙසේ හෝ ගෙවිය යුතු බවද ඔහු විශ්වාස කළේය.

සුනිල් තම ආදායම් බදු ගෙවීම හේතුවෙන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ටද ආදායම් බදු ගෙවීමට සිදුවිය. තමන්ට හිමිවන ආදායම බෙදී යන ආකාරයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරද්දී ජිප්සීස් සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ ආදායම පිළිබඳවද ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු දැනගන්නට ලැබිණි. එබැවින් ඔවුන්ටද ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවිය යුතු බවට නියෝග ලැබිණි.

රටේ ඇති නීති ක්‍රමවේදයන්ට ගරුකළ යුතු බව සුනිල් විශ්වාස කළේය. සුනිල්ගේ හිත හොරකම ලෙස හඬ ගා කිවූ ලක්ෂ හැට තවත් මාස තුනකින් ගෙවා හමාර වේ. සුනිල් වැනි ආදායම් බදු ගෙවා නොමැති අය තව කොතෙකුත් නම් මේ රටේ සිටීද..? රටේ හෙට දවසේ දියුණුවට අද සුනිල් ඔවුන්ට ආදර්ශයකි.

 දිශානි ජයමාලි කරුණාරත්න