2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ශිෂ්‍යත්වෙ පාස්වෙන හැටි හිටපු විභාග කොමසාරිස් කියයි

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 424

වර්ෂ 8ක් විභාග කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ අනුර එදිරිසිංහ මහතා අප රටේ ප්‍රමුඛ අධ්‍යාපනඥයෙකි. අධ්‍යාපනය ගැන දැඩි විමසිල්ලකින් සිටින ඔහු අගෝස්තු 20 දින පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට යන දූ දරුවන් පිළිබඳව අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

දරුවකුගේ 3,4,5 කියන වසරවල අත්දැකීම්, විෂය නිර්දේශය, පෙළ පොත ආශ්‍රයෙන් තමයි පිළිතුරු ලිවීමට බලාපොරොත්තු වන 5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව ළමයාගේ හැකියාව හෙවත් විභව්‍යතාවත් මෙහිදී මැන බලනවා.

1 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් ළමයගේ සුවිශේෂී මානසික ශක්තීන් 15ක් මනිනවා. මේක ශිෂ්‍යයෙක් තෝරාගැනීමේ විභාගයක් ලෙස මුහුණ දිය යුතු අවස්ථාවක්. පළමුවැනි ප්‍රශ්න පත්‍රයෙන් මනින්නේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමේ මානසික ශක්තියයි. දෙවැනි ප්‍රශ්න පත්‍රයෙන් දරුවා 3,4,5 වසරවල ඉගෙනගත් දැනුම හා ඔහුගේ ආකල්ප මැනීම කරනවා. එය පැයයි විනාඩි 15ක ප්‍රශ්න පත්‍රයක්.

පන්ති කාමරය තුළ දරුවා ඉගෙනගත් විෂය නිර්දේශය, පෙළපොත, ගුරු මාර්ගෝපදේශක සංග්‍රහය ආශ්‍රිතව තමයි දෙවැනි ප්‍රශ්න පත්‍රය සකස් වන්නේ. මින් දරුවාගේ ස්මරණය හා විශේෂ කුසලතා, දරුවා සමාජයෙන් ලබාගත් යහපත් ආකල්ප ආදිය මින් බලනවා. ඒවාට පරිබාහිරව කරුණු මේ ප්‍රශ්න පත්‍රයෙන් විමසන්නෙ නැහැ. හොඳින් ඉගෙනගත් ළමයින්ට කිසිම බියක් ගැටලුවක් නැතිව මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න පුළුවන්.

මම දරුවන්ට කියන්නේ පන්ති කාමරය ගැනම විශ්වාසය තියන්න කියලයි. හොඳටම උගන්වන්න පුළුවන් ගුරුවරයා ඉන්නේ දරුවගේ පාසලේ පන්ති කාමරයේ බව කවුරුත් මතක තබාගත යුතුයි. අපි කියන්නේ තමාගේ ගුරුවරයා ගැන විශ්වාසවන්ත බව තබාගන්න කියලයි. හුඟක් අතිරේක පන්තිවල ගුරුවරයා තම දක්ෂතාවය පෙන්වීමට යනවා. මාපියොත් අතිරේක ටියුෂන් පන්තිය ආභරණයක් කියලා හිතනවා. අතිරේක පන්තිවල කරුණු කාරණා පාසලේ උගන්වන ඒවාට වඩා වැඩිනම් මාපියො හිතනවා මේක තමයි හොඳම වැඩපිළිවෙළ කියලා. ඒක සහමුලින්ම වැරදියි. අතිරේක බරක් දරුවාට ලබාදීමක්. 5 පන්තියේ විභාගයකට පෙනී සිටින දරුවකුට දියයුතු අත්‍යවශ්‍යම කරුණු කාරණා තියෙනවා. පාසලේදී උගන්වන්නේ දරුවාට දිය යුතු අත්‍යවශ්‍යම කරුණු පමණයි. මානසිකව ශාරීරිකව හා මනෝවිද්‍යාත්මකව පිළිගත් කරුණු මත තමයි විද්වතුන් විෂය නිර්දේශය පිළියෙළ කරන්නේ.

දරුවා තුළ විභාගය දුෂ්කරයි කියලා භීතියක් පතුරවනවා. ඒක අපි ඉවත්කර ගන්න ඕනෑ. පන්ති කාමරයේ උගන්වපු කවිය, ඡේදය, කතාව පමණයි විභාගයට මනින්නේ. ඒ පාඩම් හොඳට කළා නම් කිසිම බයක් හිතේ තබාගත යුතු නැහැ. අනිත් එක මේ විභාගය සමත් අසමත් මනින විභාගයක් නොවන බවත් තරයේ මතක තබාගත යුතුයි. ජීවිතයේ අනාගතය තීන්දු කරන හෝ කඩයිම් විභාගයක් හෝ නොවෙයි. දරුවන්ට කඩයිම් විභාග නැහැ. 

අධ්‍යාපනය දිගටම කරගෙන යාමට පුළුවන්. මේ නිසා මව්පියන් හිතන්න ඕනෑ මේක දරුවන්ගේ ජීවිතය තීන්දු කරන විභාගයක් නොවන බව. මම වසර 8ක් විභාග කොමසාරිස් ජනරාල් විදිහට දස ලක්ෂ ගණනකට විභාග පැවැත්වුවත් මට කිසිදාක ශිෂ්‍යත්ව විභාගයක් සමත්වෙන්න බැරිවුණා. ඒ වුණත් මගේ අනාගත ගමනට ඒක කිසිම විදිහකින් බලපෑවේ නැහැ. ශිෂ්‍යත්ව විභාගෙට මට යාමට බැරිවුණා. ඒ නිසා කිසිවිටක දරුවාට ප්‍රකාශ කරන්න එපා මේක ජීවිතයේ ඉරණම තීන්දු කරන විභාගයක් කියලා.

විභාගයට 340,000ක් ළමයි පෙනී සිටිනවා. අපි විභාගයෙන් තෝරාගත්තෙ 25,000යි. පාසලක් ලබාදීමට හෝ ශිෂ්‍යත්ව ලබාදීමට හෝ ඒ දෙකටම හෝ තෝරාගන්නෙ එම සංඛ්‍යාව පමණයි. ඉතිරි පිරිස අනාගතය විනාශවන පිරිසක් නොවේ. ශිෂ්‍යත්වය සමත් අයට වඩා අසමත් වන අය ඉහළ අධ්‍යාපනය ලබා ඉහළට යන බව හෙළිවී තිබෙනවා. ඒ තර්කය හා මතවාදය සහමුලින්ම වෙනස්.

ශිෂ්‍යත්වය සමත් වුණත් අසමත් වුණත් ළමයින්ගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා. ශිෂ්‍යත්වය කියන්නේ තෝරාගැනීමේ විභාගයක් පමණයි. සමාජය තුළ පවතින මතවාදය තමයි, නාගරික ජනප්‍රිය පාසල පමණයි හොඳ කියලා. ඒ සංකල්පය අපි බැහැර කළ යුතුයි. මේ ලිපිය කියවූ විට විභාගය ගැන තිබෙන බය සම්පූර්ණයෙන් නැතිවේවි. නිදහසේ විභාගයට ලිවීමට තමයි තිබෙන්නේ.

විවිධ ළමයින්ගේ හැකියාවන් වෙනස්. ආවේගී බුද්ධිය, වම් මොළය, දකුණු මොළය, බහුවිධ බුද්ධිය ආදී වශයෙන් අද දරුවන් මනිනවා. හැම ළමයෙකුටම බුද්ධිමය සංකල්ප 8ක් හඳුන්වා දී තිබෙනවා. සෑම ළමයෙකුටම එම සංකල්ප 8ම පිහිටන්නේ නැහැ. අල්ලපු ගෙදර ළමයා හොඳට ගණන් හැදුවාට තමන්ගේ ළමයාට ඒක බැරිවන්න පුළුවන්. ඒ දරුවාට වෙන හැකියාවක් තිබෙනවා. හොඳ සංගීතඥයෙක්, ලේඛකයෙක් වගේ වෙන්න දක්ෂ විය හැකියි. ඒවා අපි ඉස්මතු කරගත යුතුයි.

අල්ලපු ගෙදර දරුවා සමඟ හෝ රටේ ලෝකේ වෙනත් දරුවන් සමඟ තමන්ගේ දරුවා සැසඳීම සම්පූර්ණයෙන් වැරදියි. කිසිම මාපියෙක් සිතිය යුතු නැහැ වෙනත් දක්ෂ දරුවකු හා තම දරුවා සමාන විය යුතු බවට. එක් එක් දරුවාගේ මොළය වැඩකරන වේගය වෙනස්. හැකියාවන්වල ශක්තීන් වෙනස්.

පහේ ශිෂ්‍යත්ව රචනාවට ළමයි ගොඩක් දුර්වල බව හෙළිවී තිබෙනවා. මේක කිසියම් ප්‍රස්තුතයක් ගැන වාක්‍ය 3ක් හෝ 4ක් ලිවීමක්. සමහර ළමයි පන්ති කාමරයේදී ඇසීම, කතාව, කියවීම දුර්වලයි. එවිට තමන් අසාධාරණය කරගත් දේ ලිවීම දුර්වල වෙනවා. ළමයි පොත්පත් කියවීම ගොඩක් අඩුයි. ඒ නිසා අලුත් වචන දැනගැනීමත් අඩුයි. 10%ක් ළමයින්ට අකුරු නිවැරදිව ලිවීමත් දුෂ්කරයි. හුඟක් ළමයි විභාග අසමත් වන්නේ අකුරු ලිවීමට නොහැකි නිසායි.

 කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00