2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ජයග්‍රාහකයාගෙන් වැඳුම් ලැබූ (අ)පරාජිතයා

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 317

ලෝකයේ වේගවත්ම ධාවකයා පසුගියදා පමා වුණේය. ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටිය හොල්ලා සිටි හුසේන් බෝල්ට් පසුගිය වසර ගණනාවක් පුරා සිටියේ අංක එක ලෙසටය. ඔහුගේ වේගවත් බව නිසාම ක්‍රීඩා ලොවේ ඔහු හැඳින්වූයේ අකුණුසැර බෝල්ට් හැටියටය. නමුත් ඔහුටද පසුබාන්නට සිදුවිය. 2017 ලෝක මළල ක්‍රීඩා සූරතාවයේ අවසන් වටයේ තුන්වැනියා ලෙස තේරුණු බෝල්ට් සිය මහත්මා ගතිය පෙන්නුම් කළේ සූරතාව දිනාගත් පැරැණි මළල ක්‍රීඩකයකු වන ජස්ටින් ගැට්ලින්ට ප්‍රණාමය පල කරමිනි.

හුසේන් බෝල්ට් මුලින්ම සුපිරි වාර්තාවක් තැබුවේ කැරිබියානු කලාපීය තරගයකදීය. 2001 වසරේ ඔහු මීටර 400 නිමකළේ මිනිත්තු 48.28ක සුපිරි වාර්තාවක් තබමිනි. 2001 වසර ඔහුට ප්‍රසිද්ධිය ගෙනා වසරකි. IAAF ලෝක තරුණ සූරතාවට යන්නට සිටි බෝල්ට් විහිළුවක් කරන්නට සිතා වෑන් රථයක් තුළ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය. මෙහි චෝදනාව එල්ලවූයේ ඔහුගේ පුහුණුකරු වෙතටය. පසුව එම වසරේ පැවති CARIFTA තරග සඳහා ඉදිරිපත් වූ ඔහු මීටර 200 සහ 400 සූරතා දිනාගත්තේ 21.12 සහ 47.33 ලෙස වාර්තා තබමිනි. පසුව එම වසරේදීම මධ්‍යම ඇමරිකානු සහ කැරිබියානු තරගාවලියේදී ඔහු තමන්ගේම වේග සීමා බිඳ දැම්මේය. එසේ සිය ධාවනය ඇරැඹූ හුසේන්, ලෝක ශූරතා තරගාවලියේ සෑම වයස් මට්ටමකම සූරතාවයට හිමිකම් කී ක්‍රීඩකයන් නවදෙනා අතරටද එක්වූයේය.

හුසේන් තරග පිටිය කළඹවා ලූ තැනැත්තෙකි. අවුරුදු 15දී අඩි 6යි අඟල් 5ක් උස කැපී පෙනෙන හාදයෙකු වූ ඔහු තරග පිටියේ සිටි උසම තැනැත්තා බවට පත්ව තිබුණි. පමාවී ආරම්භය ගන්නෙකු හැටියට තමන්වම හඳුන්වා දෙන ඔහු විදුලි අකුණක් සේ තරගය අවසන් කරන්නෙකි. හොඳ කතෝලිකයකු ලෙස තරගයට පෙර කුරුසය ලකුණු කරන ඔහු වාසනාව ලබාදෙන පදක්කමක් තරගවාරය තුළදී පැළඳ සිටියි. ඔහුගේ මැද නම සෙන්ට්ලියෝය. 2009 හා 2015 අතර කාලය තුළදී ඔහු 11 වතාවක් ලෝක සූරයා බවට පත්විය. අට වතාවක් ඔලිම්පික් රන් දිනා ගත්තේය.

ජැමෙයිකාවේ ෂර්වුඩ් ප්‍රදේශයේ ඈත දුර ගමක උපන් බෝල්ට්ට සදිකි නම් වූ සහෝදරයෙක්ද ෂෙරින් නම් වූ සහෝදරියක්ද වෙයි. ඔහුගේ මව්පියන් කුඩා ග්‍රොසරියක් පවත්වාගෙන ගියහ. තමන්ගේ කුඩා කාලය මුළුමනින්ම කෙළි සෙල්ලම් අතර ගෙවී ගිය බව කියන බෝල්ට් තමන්ගේ සහෝදරයා සමඟ මහපාරේ ක්‍රිකට් ගැසීම හොඳම විනෝදය බව කියා තිබේ. ඊළඟට ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ පාපන්දුය. හුසේන් බෝල්ට් ඔහුගේ අකුණු සර වේගය ගැන ප්‍රසිද්ධ වූයේ කුඩා කාලයේදීමය. වයස අවුරුදු 12 දී ඔහු වේගවත්ම මීටර 100 ධාවකයා ලෙස පාසලේ ප්‍රසිද්ධිය ලබාගෙන තිබුණි. එසේ වුවද හුසේන්ගේ ආදරය බැඳී තිබුණේ ක්‍රිකට් වෙතටය. උසස් පාසලේ ක්‍රිකට් ගුරුවරයා හුසේන්ගේ කඩුළු අතර දිවීමේ යක්ෂ වේගය දැක ඔහු වඩාත් දක්ෂ මළල ක්‍රීඩාවන්ට බව පෙන්වා දුන්නේය. හිටපු ඔලිම්පික් සූර පැබ්ලෝ මැක් නෙයිල් සහ ඩ්වයින් ජැරට් ඔහුට ලෝක සූරයා වන්නට මඟ පෙන්වූයේය.

බෝල්ට් මේ තරම් වේගයක් ලබාගන ඇත්තේ උපතින්මය. ඔහු සිය පුහුණුව ගැන ඒ තරම් හිත යොමුකළ කෙනෙක් නොවේ. විහිළුවෙන් තහළුවෙන් විනෝදයෙන් කාලය ගත කරන, ක්ලබ් යන, බාස්කට් බෝල් ක්‍රීඩාවට ඇබ්බැහියක් දක්වන, කඩචෝරු කන්නට රුචිකත්වයක් වගා කරගත් තැනැත්තෙකි. මේ තරම් අපිළිවෙළ සෙල්ලක්කාර ජීවිත රටාවක් ගතකළද මේ ඊයේ පෙරේදා පසුබසින තුරු හුසේන් බෝල්ට් මළල පිටියේදී කිසිවකුටවත් දෙවැනි වූයේ නැත. ඔහු සිය ජීවිත කතාව ලියා ඇති තර තමන්ගේ කොඳු ඇටපෙළ මඳක් දකුණට වාංගු වී ඇති නිසා  දකුණු කකුල කෙටි වී ඇති බව කියා තිබේ.

යම් හෙයකින් මළල ක්‍රීඩා පිටියට පැමිණීමට නොහැකි වූවා නම් අපට ඔහු දකින්නට ලැබෙන්නේ ක්‍රිකට් පිටියේදීය. කුඩා කල සිටම ක්‍රිකට් පිස්සෙකු ලෙස සිටි ඔහුගේ වීරයන් වූයේ පාකිස්තානු පිලයි. වකාර් යුනුස් ඔහුගේ හොඳ ක්‍රීඩා තරුවයි. සචින් තෙන්ඩුල්කාර්, ක්‍රිස් ගේල්, මැතිව් හෙයිඩන් අනෙකුත් වීරයන්ය. එක් වතාවක් පැවති අනුග්‍රාහක ක්‍රිකට් තරගයකදී බෝල්ට් සිය අකුණු සර වේගය උපයෝගී කරගෙන ක්‍රිස් ගේල්ගේ විකට්ටුව මුල් පන්දුවෙන්ම බිඳ දැම්මේ ඔහුට සිතා ගන්නටවත් ඉඩක් නොදෙමිනි. ඒ මදිවාට ගේල්හට හයේ පහරක් ගහන්නටද ඔහු සමත් විය. ඕස්ට්‍රේලියානු නායක ෂේන් වෝන් සමඟ වරක් ඔහු සාකච්ඡා කළේ අවස්ථාවක් ලදොත් ක්‍රිකට් ගසන්නටය. ක්‍රිකට් ක්‍රීඩාවට තමන් කෙතරම් දක්ෂදැයි නොදන්නා නමුත් හොඳ පුහුණුවකින් පසු හොඳ වැඩක් දෙන්නට පුළුවන් වනු ඇතැයි ඔහු විශ්වාසය පළකර තිබුණි. තමන් වඩාත් කැමැති 20/20 තරගවලට බවද කියා ඇති හුසේන් යම් හෙයකින් ක්‍රිකට් පිටියට බැස්සා නම් අපට ලෝකයේ විශිෂ්ටතම වේගපන්දු යවන්නා දැකගන්නට අවස්ථාව ලැබෙන්නට තිබුණි. බෝල්ට් මළල පිටියෙන් සමුගත්තද ඔහු ඉතිහාසගත චරිතයක් වී හමාරය. ඔහුට සමකළ හැකි අන් කිසිවෙක් බිහිනොවනු ඇත. පසුගිය වසරේ නොවැම්බරයේදී බෝල්ට් ගේ ජීවිත කතාව ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක්ද බිහිවිය. I am Bolt නම් වූ එය බෙන්ජමින් ටර්නර්ගේ අධ්‍යක්ෂණයකි.

 සුගත් පී. කුලතුංගආරච්චි