2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ලංකාවේ ලොකුම බබා

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 366

අගෝස්තු මස 08 වැනිදා දහවලේදී බලපිටිය මූලික රෝහලේදී තවත් සාර්ථක සීසර් සැත්කමක් සිදුවිය. ඒ මොලොවට බිහිවූ බිළිඳා මෙරට මෙතෙක් බිහිවූ උපත් බරින් වැඩිම බිළිඳා ලෙසින් වර්තා පොතට එක්විය. ගොරවල, හඹුරුගල පදිංචි විසිඅට හැවිරිදි නදීශා නිල්මිණීට කුළුදුලේම උපන් මෙම බිළිඳා පිරිමි දරුවෙකි.

විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතාගේ අධීක්ෂණය යටතේ බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය දමිත නලින් මහතා විසින් කළ මෙම සීසර් සැත්කම සඳහා රෝහලේ කාර්යය මණ්ඩලයේ විශාල සහයෝගයක් ලැබුණි.

මේ වනවිටත් ඒ අම්මාගේම කිසිම ගැටලුවක් නැහැ. අම්මගේ ටිකට් කපලයි තියෙන්නේ. නමුත් බිළිඳාව මේ වනවිට කුඩා බිළින්දන්ගේ වාට්ටුවට මාරු කරලයි තිබෙන්නේ. බිළින්ඳා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හොයා බැලීමක් කරනවා. නමුත් මවත් බිළිඳාත් මේ වනවිට ඉතා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව කිව හැකියි.

වෛද්‍ය නලින් දේශයට මෙලෙස අදහස් දැන්වීය.

සාමාන්‍යයෙන් නිරෝගී දරු උපතක උපන් බර රාත්තල් 3.2ත් 5.5ත් අතර වේ. බොහෝ වෙලාවට රාත්තල් 5ට වැඩි දරු උපත් ද සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. නමුත් බලපිටිය මූලික රෝහලේ සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටු මෙම බිළිඳාගේ උපත් බර රාත්තල් 13.1කි. විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතාගේ අදහසට අනුව මෙය උපත් බරින් වැඩි ලෝකයේ සිව්වැනි දරුවා ද වේ. මෙය කිලෝග්‍රෑම් වලින් ගත්තොත් එය කිලෝග්‍රෑම් 5යි, ග්‍රෑම් 980කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාත්තල් 13කට වඩා වැඩි දරු උපතක් මේ වනවිට වාර්තා වී නොමැත.

මේ සම්බන්ධව වෛද්‍ය දමිත නලින් මෙසේද අදහස් දැක්වීය.

මේ අම්මා අප රෝහලේ සෑම වෛද්‍ය සායනයකට පැමිණියා. මාස හයේදී විතර අපි කළ පරීක්ෂණවලින් අපිට පෙනී ගිය දෙයක් තමයි මේ බබා සාමාන්‍ය දරුවකුට වඩා බරෙන් ලොකුවෙමින් පවතින බව. ඒ සම්බන්ධව අපි සියලුම පරීක්ෂණ කළා. නමුත් කිසිම අතුරු ආබාධයක් ඒ වෙද්දී අපිට දැනගන්න ලැබුණේ නෑ. සමහර අම්මලාට සීනි තිබීම නිසාත් දරුවාගේ බර වැඩිවීමක් වෙනවා. නමුත් මේ අම්මට එහෙම තත්ත්වයක් උදාවුණේ නෑ. ඇය බොහෝ නිරෝගී අම්මා කෙනෙක්. කිසිම අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා වුණේ නෑ. නමුත් අපි දැනගෙන හිටියා බබාගේ බර වෙන දරුවන්ට වඩා වැඩිවීමක් වෙනවා කියලා. ඒ නිසා අපි සති තිස්අටෙන් සිසේරියන් සැත්කම කරන්න තීරණය කළා.

වෛද්‍ය දමිත මහතා බලපිටිය රෝහලේ මේ සඳහා ඇති පහසුකම් පිළිබඳව කළ විමසුමකදී මෙසේද අදහස් දැක්වීය.

බලපිටිය මූලික රෝහලේදී ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අපිට තිබුණා. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතා සැමවිටම මේ සෑම දෙයක් පිළිබඳව අධීක්ෂණය කළා. ඊට අමතරව හොඳ වෛද්‍ය කණ්ඩායමක් ක්‍රියාශීලී සේවක මඩුල්ලක් බලපිටිය මූලික රෝහලේ ඉන්නවා. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු හයදෙනෙක් ඉන්නවා. මීට අමතරව ළඳරු ඒකකයත්, අපේ රෝහලට තිබෙනවා. මේ අනුව බොහෝ පහසුකම් මේ රෝහලේ තියෙනවා. නමුත් අම්බලන්ගොඩ අවට සමහර අය තමන් පුරුද්දට ගාල්ලට, කරාපිටියට, කොළඹට රෝගී අවස්ථාවේදී යන්න උත්සහා කරනවා. නමුත් මේ රෝහලේ ඉතා හොඳ සේවයක් අපි මේ වනවිට ලබලා දෙනවා. අපිට බාරගන්නට නොහැකි රෝගීන් විතරයි ගාල්ල, මහමෝදරට යවන්නේ... හැබැයි එහෙම අවස්ථා බොහෝම අඩුයි. හැමදාම අපේ රෝහලේ ඉන්න කාර්යය මණ්ඩලය මේ සඳහා උපරිමයෙන් සහයෝගය ලබලා දුන්නා. ඇත්තටම මේක කණ්ඩායම් වැඩක සාර්ථක ප්‍රතිඵලයක් වුණා...

මේ පිළිබඳ අපි මව වන නිල්මිණිගෙන්ද අදහස් විමසීමු. තම ආදරණීය කුළුදුල් දරුවා නිරෝගී දරුවකු මෙන්ම ලංකාවේම කතාබහ කරන දරුවකු වීම ගැනත් සතුටින් ඉන්න මෙම මව මෙසේ අදහස් පැවසුවාය.

මේ මගේ කුළුදුල් දරුවා. අපි ආසාවෙන් හිටියෙත් පුතෙකුට. හැබැයි මේ තරම් බර දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලනම් මම දැනගෙන හිටියේ නෑ. මම හොරවල ඉඳන් බලපිටිය මූලික රෝහලට දරුවා ලැබෙන්න ආවේ ලොකු විශ්වාසයෙකින්. හැම වෛද්‍ය සායනයකටම මම සහභාගී වුණා. ඒ හැම වෙලාවකදීම වෛද්‍ය, කාර්යය මණ්ඩලය සෑම පරීක්ෂණයක්ම කළා. ඉතින් මට දැනගන්නට ලැබුණා පුතා ලංකාවේ වැඩිම බරකින් ඉපදුණු දරුවා කියලා. මේ වනවිටද නදීශානී සහ ඇගේ බිළිඳා බලපිටිය මූලික රෝහලේ නේවාසිකව සිටිති.

ළඟදීම දවසක ඔවුන්ට තම නිවස බලා යාමට හැකියාව උදාවේ. දෙදෙනාම මේ වනවිට වෛද්‍යවරුන්ගේ වැඩිදුර අධීක්ෂණය යටතේ සිටිති. 

 දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප හා පසුබිම් වාර්තා
කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත