2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

රටේ ජනාධිපති මම එනකම් මිනිත්තු5 ක් ෆෝන් එකේ හිටියා

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1789

හෘද රෝග විෙශ්ෂඥ වෛද්‍ය උපුල් විජයවර්ධන

වෛද්‍ය උපුල් විජයවර්ධන යනු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විසල් දායකත්වයක් ලබාදුන් ජීවකයකු පමණක් නොව ලාංකේය දේශපාලන වංශ කතාව හා බද්ධ වූ නමකි. මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූ ජූනියස් රිචඩ් ජයවර්ධන මහතාගේ වෛද්‍යවරයා මෙන්ම ජයවර්ධන පවුලේ ළඟම හිතවතකු වූ වෛද්‍ය විජයවර්ධන දැනට දශක කිහිපයක් තිස්සේ ජීවත් වන්නේ එංගලන්තයේය. පසුගියදා සති කිහිපයක නිවාඩුවකට ලංකාව ඔහු පැමිණි අවස්ථාවේදී අපි ඔහු මුණගැසුණේ රසවත් සංවාදයකට එළැඹීමේ අදහසිනි. එය සිතු පරිදිම ඉටුවිය.

ඔබ ලංකාවෙන් පිටත්ව ගොස් එංගලන්තයේ ජීවත්වන්න පටන් අරන් දැන් දශක තුනක් පමණ වෙනවා. ඇයි ඇත්තටම රට හැරදාලා ගියේ?

අපි රට යන කාලෙ රටේ තිබුණු ලොකුම ප්‍රශ්නෙ තමයි ජේවීපී කලබලය. මගේ පුතා ගියේ රාජකීය විද්‍යාලයට. දුව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට. ඉතින් සමහරදාට ඉස්කෝලෙ ගියාම ඉස්කෝලෙ වහලා නිසා ආපහු හැරිලා එන්න සිද්ධ වෙනවා. නෝනාගෙන් හැමදාම පැමිණිලි. ළමයින්ගෙ අධ්‍යාපනය ගැන හිතලම තමයි අපි එංගලන්තයේ පදිංචියට ගියේ.

 මුලින් ජේ.ආර්. කතාකරද්දී මාව ඉබේටම නැගිටවෙනවා 

ඔබ රට හැර යන්නෙ හෘද රෝග ඒකකයේ තිබුණු පුටු ප්‍රශ්නයක් නිසා කියලත් ආරංචි පැතිරුණා...

ලකුණු ක්‍රමවේදය අනුව මට තමයි හෘද රෝග ඒකකයේ ප්‍රධානත්වය ලැබෙන්න තිබුණෙ. මට ඒක ලැබෙද්දිත් යම් යම් ප්‍රශ්න ගණනාවක් මතුවුණා. අන්තිමට මට ඒකෙ ප්‍රධානත්වය හිමිවුණාට පස්සෙත් අපේ ඒකකය තුනකට කැඩුවා. ඒක හරිම අනවශ්‍ය දෙයක්. බෙදන්න තිබුණෙ ඇඳන් ගාණ නෙමේ, විශේෂඥතාවයයි. අන්තිමේදී ඒකට කැමැති නැත්නම් මෙතැනින් අයින් වෙන්න කියලා මට ආණ්ඩුව කිව්වා. ඒකයි සිද්ධ වුණේ. 

ඔබට තවත් ටිකක් මේ රටට සේවය කරන්න තිබුණා කියලා හිතෙන්නෙ නැද්ද?

මම අවුරුදු 23ක් මේ රටට සේවය කළා. එංගලන්තයේත් අවුරුදු 23ක් සේවය කළා. එදා රටේ තිබුණු වාතාවරණය එක්ක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ තීරණය අපි ගත යුතුව තිබුණා. අපි එංගලන්තෙ ගිහිල්ලත් ගොඩක් දුක් වින්දා. රස්සාවක් නැතිවනේ එහේ ගියේ. අපි කොච්චර අමාරුවෙන් ද හිටියෙ කියනවා නම් දවසක් හීතලේ ගැහි ගැහී බස් හෝල්ට් එකේ හිටියා ටැක්සියක් ගන්න සල්ලි නැති හින්දා. අන්තිමේදී පුතා කිව්වා ‘හීතලේ බස් එක එනකල් ඉන්නෙ නැතිව අපි පයින් යමු. එතකොට ටිකක් හරි උණුසුම් වෙයිනෙ’ කියලා. අන්තිමේ හැතැප්ම දෙකක් විතර අපි පයින්ම ගෙදරට ඇවිද්දා. පස්සෙ අපි දෙන්නටම හොඳ රස්සාවල් හමුවුණා.

ජේ.ආර්. ජනාධිපති කාලෙ එයාගෙ පුතා මාව හම්බවෙන්න ආවෙ පයින්

එංගලන්තෙ ඉන්දැද්දි දුඹුරු හම ප්‍රශ්නයක් වුණේ නැද්ද?

අනේ නැහැ. ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම මුලදි හිටියෙ ග්‍රැන්තම් රෝහලේ. එතැන මාත් එක්ක තව ලංකාවේ වෛද්‍යවරු 10ක් විතර හිටියා. එකපාරක් මම රෝහලේ හිටපු එංගලන්ත වෛද්‍යවරයෙක්ට කිව්වා ලංකාවෙ වෛද්‍යවරුන්ගෙන්ම අපි රෝහල පුරවන්නයි යන්නෙ කියලා. අයියෝ එක කොච්චර හොඳද? ඔයාලා ගොඩක් හොඳට වැඩ කරනවා කියල සුදු ජාතික වෛද්‍යවරයා උත්තර දුන්නා. හැබැයි දැන් නම් බ්‍රික්සිට් එකත් එක්ක යම් යම් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. 

එදා දේශපාලනයයි අද දේශපාලනයයි එක්ක රට කොහොමද දකින්නෙ?

යුද්ධය අවසන් වුණාට පස්සේ රටේ ලොකු ප්‍රබෝධයක් ඇතිවුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කරපු දේට අපි එතුමාට සදා ණයගැතියි. හැබැයි අපේ අවාසනාවකට හොඳට ඉස්සරහට යන්න තිබුණු රට ආපහු පහළ බහින්න ගත්තා. මහින්ද රාජපක්ෂ පවුල බලයත් එක්ක උද්දාමයට පත්වෙලා එයාලා සදාකල්ම මේ රට පාලනය කරයි කියලා හිතුවා. ඕක මේ ජනාධිපති පුටුවට ආපු හැම කෙනෙක්ටම වෙච්ච දෙයක්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් බොහොම හොඳට පටන් ගත්තා. පස්සෙ ඔළුව ඉදිමුණා. ප්‍රේමදාස මහත්තයත් එච්චරයි. විජේතුංග වැඩිකාලයක් හිටියෙ නෑ. චන්ද්‍රිකාත් එහෙමනෙ. අන්තිමට මහින්ද රාජපක්ෂත් එහෙමයි. මෛත්‍රීපාල මහත්තයත් දිවුරුම්දුන්න අවස්ථාවෙ ලස්සන කතාවක් කළා. හැබැයි ව්‍යවස්ථාව අමතක කරල අගමැති ලත් කිරීම, අගවිනිසුරු මාරුකිරීම හින්දා එයාත් කලින් අයගෙන් වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. 

 අපි බෞද්ධ රටක් වුණාට හැසිරීම හින්දු 

මහින්ද රාජපක්ෂ මහතාට ලංකාවේ දේශපාලනය ඇතුළේ ආයෙත් බලයට එන්න ඉඩක් තියේවි කියලා හිතනවද?

මෙහෙමයි, මම මහින්ද රාජපක්ෂ නම් ආපහු ඡන්දෙට එන්නෙ නෑ. ඒ ගෞරවය තියාගෙන මම ඉන්නවා. ෆොන්සේකා මහත්තයට වෙච්ච දේ බලන්න. යුද්ධෙ ඉවර වෙද්දි මුළු ලංකාවෙම ගෞරවය එයාට තිබුණනෙ. අන්තිමට ගිය පාර ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන්න තරම්වත් එයාට ඡන්ද ලැබුණෙ නැහැනෙ. අනික් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ පැරදුණේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්ගෙ කීම අනුව වැඩ කරලයි කියලා හැමතැනම පැතිරිලා ලංකාවම හාස්‍යයට ලක්වුණා. අපි බෞද්ධ රටක් කියලා කිව්වට අපේ හැසිරීම බොහෝදුරට හින්දු. අපේ බුද්ධාගම වුණත් හින්දු බුද්ධාගමක් හැටියටයි මම දකින්නෙ. නැකැත් බැලීම් වගේ දේවල් බෞද්ධ දේවල් නෙමේනෙ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැරදාලා යද්දි නැකතක් බැලුවෙ නෑනෙ. පිටරට ජනාධිපතිලා අගමැතිලාත් පාර්ලිමේන්තු විසුරුවන්නෙ මැතිවරණ පවත්වන්නෙ වෙලාවල් බලලා, නක්ෂත්‍රයට අනුවද? 

 භාවනා කරන්න එන වැඩිදෙනා කතෝලික සුදු ජාතිකයෝ 

ඒ දේවල් අපේ සංස්කෘතිකාංග කියලා කිව්වොත්? 

සංස්කෘතික ලක්ෂණ ලොකු කරගෙන ධර්මය පැත්තකට දාලා තියෙන එක කීයටවත් අනුමත කරන්න බැහැ. හැබැයි තවත් දෙයක් තියෙනවා. අපේ පරම්පරාව මේ චාරිත්‍ර වාරිත්‍ර එක්ක බැඳිලා හිටියට අලුත් පරම්පරාව එහෙම නැහැ. එයාලට පන්සල, පල්ලිය හැමදේම ජංගම දුරකථනය තමයි. එතැන තමයි එයාලගෙ ජීවිතේ තියෙන්නෙ. අපිත් ඒ අනුව වෙනස් වෙන්න ඕනෙ. විද්‍යාවත් එක්ක බුදුදහම සමීප වෙන ආකාරය ගැන කියන්නෙ නැතිව අපි බුද්ධ චරිතය උගන්නලා වැඩක් වෙන්නෙ නෑ. සූවිසි බුදුවරු ගැන කියලා වැඩක් නැහැ. අනික බුදුන් වහන්සේගේ ධාතු වන්දනා දිහා බලන්න. ඔය තරම් ධාතු තියෙන්න නම් බුදු හාමුදුරුවෝ ටී රෙක්ස් (ඩයිනෝසර් විශේෂයක්) කෙනෙක් සයිස් වෙන්න ඕන. අපි කරන්න ඕනෙ ඕව පස්සෙ යන එක නෙමේ. චිත්ත චෛතසික ගැන අවබෝධ කරගන්න එකයි. 

බුද්ධාගම කියන්නෙ ඇත්තටම ආගමක් නෙමෙයිද? 

මම මීට කලිනුත් මේ කාරණේ පැහැදිලි කරලා තියෙනවා. බුදුදහම කියන්නෙ ආගමක් නෙමෙයි. ඒක දර්ශනයක්, විද්‍යාවක්. බුදුහාමුදුරුවෝ තමා විද්‍යාත්මක සිතිවිලි මුලින්ම ඉදිරිපත් කළ පුද්ගලයා කියලා ඕන හැටිය ඔප්පු කරන්න පුළුවන්. හේතුඵල වාදය කියන්නේත් විද්‍යාත්මක ඉගැන්වීමක්. එහෙම තියෙද්දී අපිට ඕනෙ ඒවා නෙමෙයිනෙ. අපිට ඕනෙ බෝධි පූජා කරන්නයි, පන්සලේ දේවාලෙ කපුවට කියලා මොකක් හරි කරගන්නයි නෙ. එහෙම බෞද්ධයින්ගෙන් ඇත්තටම වැඩක් නෑ. හැබැයි දැන් පිටරට අය බොහෝ දෙනෙක් බෞද්ධ දර්ශනය පිළිපදිනවා. 

එංගලන්තෙ ඉද්දි බෞද්ධාගමික වැඩවල නිරත වෙන්න අවස්ථාවක් ලැබෙනවාද?

අපොයි ඔව්. අපි ඉන්නෙ ලන්ඩන්වල ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින් ග්‍රැන්තම් කියන ප්‍රදේශයේයි. අපිට ආසන්නයේම පන්සලක් පිහිටලා තියෙන්නෙ නොටිංහැම්වල. එහෙ පන්සලේ තෙල්දෙණියේ අමිත නමින් හොඳ හාමුදුරු නමක් ඉන්නවා. අපි පන්සලේ නිතරම විපස්සනා භාවනා වැඩසටහන් සංවිධානය කරනවා. ඒවාට සිංහල බෞද්ධ ජනතාව එන්නෙ බොහොම සුළු පිරිසයි. බහුතරයක් දෙනා කතෝලික සුදු ජාතිකයන්. ඒකයි මම කිව්වේ බෞද්ධ දර්ශනය කියන්නෙ තවත් එක ආගමක් නෙමෙයි කියලා.

 සයිටම් ප්‍රශ්නය ආණ්ඩුව අච්චාරුවක් කරගෙන 

භාවනා ක්‍රම පැත්තට යොමුවෙන්න හේතුවුණේ?

මට සෑහෙන කාලයක් තිස්සේ බුද්ධාගමත් විද්‍යාවත් අතර තියෙන සම්බන්ධය ගැන හොයා බලන්න වුවමනා වුණා. වෙනත් ආගම් හා සංසන්දනය කරද්දී බුද්ධාගමත් විද්‍යාවත් අතර ගැටුමක් නැති බව මට තේරුම් ගිහින් තිබුණා. එතැනදි අභිධර්මය පැත්තට මම වැඩි අවධානයක් යොමු කළා. එතකොට තමයි මම තවත් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා භාවනා පන්ති පටන් ගත්තෙ. එතැන ඉඳන් භාවනා ගැන පර්යේෂණ කරන්න මට හිතුණා. භාවනා කරන අයගේ මොළයේ ආකෘතියේ යම් ධනාත්මක වෙනසක් ඇතිවෙන බව MRI ස්කෑන්වලින් පවා හෙළිවෙලා තියෙනවා. 
එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදි ජපානය ගැන ජේ.ආර්. ජයවර්ධන මහතා බුදුදහමත් අදාළ කරගෙන කරපු ප්‍රකාශය ගත්තම ඔහු ඒ වාගෙ දේවල් හරි හැදෑරීමක් ඇතුව කිව්වද නැත්නම් ඔහේ පාඨ ඇද බෑමක් ද කළේ? 
එතුමා බුද්ධාගම හොඳින් අවබෝධ කරගත් මනුෂ්‍යයෙක්. ඒ වගේම නරියෙක් වගේ දේශපාලනඥයෙක්. ඔය දෙකේ ගැටීම නිසා තමයි ඔහුට අවසානයේදී සමහරවිට ලැබෙන්න තිබුණු තත්ත්වය නොලැබෙන්නෙ. මම විශ්වාස කරන විදිට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තරම් හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මේ රටේ බිහිවෙලා නෑ. 1952දි තමා ඔහු අපේ මුදල් ඇමැති ලෙස අමෙරිකාවට ගිහින් මේ පුංචි රටේ මුදල් ඇමැති ලෙස ජපානයෙන් වන්දි අවශ්‍ය නැති බව කිව්වෙ. එහෙම කියන්න හැකියාවක් සාමාන්‍ය කෙනෙක්ට නැහැ. ජපන්කාරයෝ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගැන කිව්වම අදටත් සලකන්නෙ ඒකනේ.

ඔබට ජේ.ආර්. ජයවර්ධන මුණගැහෙන්නෙ කොහොමද? 

මුලින්ම මට මුණගැහෙන්නෙ ජේ.ආර්. ජයවර්ධනගෙ ලොකු නංගි කෙනෙක්. එයා බැඳලා හිටියේ අපේ ගමේ මාතර වීරතුංග පවුලේ අයෙක්. ඒ දෙන්නා අසනීප වුණු වෙලාවෙ ආවේ මා ගාවටයි. මම හිටියේ මහ ඉස්පිරිතාලෙ හෘද රෝග ඒකකයේයි. ඉන්පස්සෙ ධම්මරුචි හාමුදුරුවෝ, ඒ කියන්නෙ කෝබට් ජයවර්ධන ජේ.ආර්ගෙ මල්ලි මා හමුවෙන්න ආවා. එයාලා මාව බලන්න ආවම ඒ අයගේ තොරතුරු මගෙන් කෝල් කරලා අහන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මය ඔය හැත්තෑව දශකයේ අග  භාගෙ. 

ඒ කාලෙ ජේ.ආර්. ජයවර්ධන විපක්ෂ නායක. රටේ විපක්ෂ නායකයා එහෙම දුරකතන ඇමතුම් දෙද්දි මොකද හිතුණෙ?

මුල්කාලෙදි ජේ.ආර්. කතාකරද්දි මාව ඉබේටම පුටුවෙන් නැගිටවෙනවා. හැබැයි ජේ.ආර්ගෙ බොහොම හොඳ පුරුද්දක් තිබුණා. ඒ තමයි මට කතා කරද්දි කිසිම වෙලාවක සේවකයෙක් ලවා ඇමතුම ගත්තෙ නෑ. එයාම තමයි කෝල් කරන්නෙ. දවසක් මම වත්තෙ වැඩ කර කර ඉද්දි මගේ නෝනා මට කිව්වා ඇමතුමක් ඇවිත් තියෙනවා කියලා. නෝනා කියපු විදිහට මම හිතුවෙ ජේ.ආර්.ගෙ මල්ලි එච්.ඩබ්ලිව්. ජයවර්ධන කියලයි. මමත් මේ මොන කරදරයක්ද කියල හිතලා මගේ වැඩේ ඉවර කරලා මිනිත්තු පහකින් විතර ෆෝන් එක ළඟට ගියා. බැලින්නම් එහා පැත්තෙ හිටියෙ ජේ.ආර්. එයා එතකොට ජනාධිපති. රටේ ජනාධිපති මම එනකන් මිනිත්තු පහක් ෆෝන් එක අල්ලන් හිටියා බලනකොට. 

ජයවර්ධන පවුල සමඟ කිට්ටු ඇසුරකට ඔබ යොමුවෙනවා?

ඇත්තටම අපි පවුලේ මිතුරන් බවට පත්වුණා. ජේ.ආර්. ජයවර්ධන පවුල තරම් මනුස්සකමින් පිරැණු පවුලක් මම දැකලා නැහැ. කවදාවත් මට සේවකයකු අතේ තේකක් පිළිගන්වලා නැහැ. මිසිස් ජයවර්ධන තමයි හැමදාම තේ ගෙනත් දෙන්නෙ. මම හිතන විදිහට මිසිස් ජයවර්ධන තමයි ලංකාවේ හිටපු ධනවත්ම ජනපති ආර්යාව. ගාම්භීරත්වය වෙනුවට එයාලා නිහතමානීකමයි තෝරගෙන තිබුණෙ. 

රවී ජයවර්ධනත් ඔබ මුණගැහෙන්න නිතර දෙවේලෙ ආවා නේද? 

එයාට පයිලට් ලයිසන් එක ගන්න ව්‍යායාම ටිකක් ඉගෙන ගන්න ආවා ගියා. දවසක් මම බ්‍රීමර් හවුස් එකට (ජයවර්ධන නිවස්නය) ගියාම මිසිස් ජයවර්ධනට කිව්වා ‘ඊයේ රවී මාව මුණගැහෙන්න ආවා’ කියලා. ‘ඇත්තද? කාර් එක ඉල්ලුවෙත් නෑනෙ. පයින්ම එන්නැති එහෙනම්’ කියලා මිසිස් ජයවර්ධන හිනාවුණා. පස්සෙ දවසක මම රවීගෙන් ඇහුවම එදා පයින් ද ආවෙ කියලා, ඇයි ඒකෙ වැරැද්ද මොකක්ද කියල රවී මගෙන් අහනවා. ඉතින් බලන්න රටේ ජනාධිපතිගෙ පුතා වෝඩ් ප්ලේස් එකේ ඉඳන් කින්සි පාරට පයින්ම ඇවිත් මාව මුණගැහෙනවා

ලංකාවෙ ඉද්දී ඔබ හෘද රෝග ක්ෂේත්‍රයෙන් කරපු දේවල් ගැනත් මතක් කළොත්?

මම කරපු විශේෂම දෙයක් තමා හෘදය වස්තුවේ වේගය අඩුවෙන කොට ඒක වළක්වන්න Pacemaker භාවිතා කරන්න පටන්ගැනීම. ඒ දවස්වල මම විතරයි ඒක කළේ. අනිත් එක තමා රූපවාහිනිය ආපුවහම නෙත්සර නමින් පළමු වෛද්‍ය වැඩසටහන කළේ මම.

අද වෙද්දි  පෞද්ගලික රෝහල් බයිපාස් සැත්කම්, සල්ලි ගරන උපායන් බවට පත්කරගෙන තියෙනවා කියල ලොකු චෝදනාවක් පවතිනවා. ඇත්තද මේ කතාව? 

අනවශ්‍ය ක්‍රමවේද භාවිත කරන එක නම් ඇත්ත. මම දන්න කෙනෙක්ටත් එහෙම බයිපාස් කළ යුතුයි කියලා එක්තරා රෝහලකින් නිර්දේශ කරලා තිබුණා. නමුත් මම රිපෝර්ට්ස් චෙක් කළාම තේරුණේ බයිපාස් කළ යුතු නැහැ කියලයි. බයිපාස් නොකර අදත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා. මම ඉතාම විශ්වාසන්ත මාර්ගයකින් දැනගත්ත දෙයක් තමයි බයිපාස් වලට රෝගීන් නිර්දේශ කළාම ඒ වෛද්‍යවරුන්ට රෝහලෙන් විශේෂ මුදලක් හිමිවෙනවා. එක රෝහලක ගිණුම් අංශයේ නිලධාරියෙක් තමයි මට ඒ ගැන කිව්වෙ. කෑදරකම හින්දා දොස්තරලා අද තමන්ගෙ තත්ත්වය නැති කරගෙන ඉවරයි. 

මේවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වගකිව යුතුයිද?

එයාලා තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ. එයාලා හැම එකටම ස්ට්‍රයික් කරන එකනෙ කරන්නෙ. දැන් බලන්න කාලෝට වෛද්‍ය සභාවේ සභාපතිකමට සේවා දිගුවක් නොදුන්නොත් ස්ට්‍රයික් කරනවා කිව්වා. එහෙම කියලයි කාලෝ හම්බවෙන්න ගියේ. කාලෝ අන්තිමට කිව්වා අනේ පින් සිද්ධ වෙයි මං හින්දා නම් ස්ට්‍රයික් කරන්න එපා කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරම් නැහැදිච්ච වෘත්තීය සමිතියක් මම දැකලම නැහැ. මම එංගලන්තයේ අවුරුදු 23ක් වැඩ කළා. ඒ මුළු කාලෙටම මම දැක්කෙ එකම එක ස්ට්‍රයික් එකයි. 

සයිටම් ගැනත් ඔබේ අදහස දැනගන්න කැමැතියි?

ඒකෙදි දෙපැත්තම වැරැදි කරලා තියෙනවා. හැබැයි අන්තිමට කවුරු වැරැදි කළත් අසාධාරණයට ලක්වෙන්නෙ අර ළමයි. එයාලා අවුරුදු පහක් ඉගෙන ගත්තා. වෛද්‍ය සභාවත් යම් කැපවීමක් පෙන්වමින් දැනට අධ්‍යාපනය අවසන් කරපු ළමයින්ට විදේශ  වෛද්‍ය අධ්‍යාපනය ලැබූ සිසුන් මුහුණ දෙන විභාගයටම වාඩි වෙන්න දිය යුතුයි. පිටරට වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය අපේ වෛද්‍ය සභාව පරීක්ෂා කරලා නැහැනෙ. බොහොම ලේසියෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් ආණ්ඩුව අච්චාරුවක් කරගෙන. මේගොල්ලො මේ රටේ ආර්ථික ප්‍රශ්න යටගහන්න මේවා කරනවාද කියලත් මට සැකයි. 

හැබැයි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම තුළින් අධ්‍යාපනයේ පිරිහීමක් ඇතිවෙන බවටත් මතයක් තියෙනවා...

අනිත් හැමදේටම පෞද්ගලික අධ්‍යාපනය හොඳ නම් වෛද්‍ය අධ්‍යාපනයට විතරක් ඒක නරක වෙන්නෙ කොහොමද? අපි කරන්නෙ ඩොලර් හම්බකරන්න කියලා රටේ ශ්‍රමය වැඩකාර කමට විකුණන එකයි. හැබැයි අපිට පුළුවන් වෙන රටවලට දොස්තරවරු, නර්ස්ලා අපනයනය කරන්න. බටහිර රටවලට සාපේක්ෂව අපේ රටේ හොඳ බුද්ධිමත් ළමයි ඉන්නවා. නර්ස්ලා වුණත් ලංකාවෙ තරම් හොඳ නර්ස්ලා එංගලන්තෙත් නෑ. ඒකෙන් අපි වැඩක් ගන්න ඕනෙ. එහෙම පිටරට යවලා ලංකා රජයට අනිවාර්ය ගෙවීමක් මාස්පතා ගෙවන්න කියලා කියන්න පුළුවන්. අපිට රට හදන්න හොඳ සැලැස්මක් ඕනෙ. මම කියන්නෙ එච්චරයි. 

♦ රජිත ජාගොඩ ආරච්චි
සේයාරුව | සුමුදු හේවාපතිරණ

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00