2017 ජුලි 29 වන සෙනසුරාදා

ලොව ලොකුම ගුවන්යානය රැගෙන ලංකාවට ආ අපේ නියමුවා

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 974

මීට අවුරුදු සියයකටත් පෙර විල්මට් හා ඕවිල් රයිට් දෙසොහොයුරෝ හැබෑ කළ හීනය දිගේ අපි විශාල දුරක් පැමිණ ඇත්තෙමු. එක් අයෙකුට යාන්තමින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවක සිට මගීන් සිය ගණන් ගෙන යා හැකි දැවැන්ත ගුවන් යානා දක්වා අද අහස සිසාරා ගමනේ යෙදෙන්නේ තම අතීත උරුමයේ තේජාන්විත බවද රැගෙන ය.  මෙසේ දියුණුවට පත් ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අද දක්නට ඇති විශාලතම ගුවන් යානය වන්නේ යුරෝපයේ එයාර්බස් සමාගම විසින් නිෂ්පාදිත A 380 යානාව ය. මගීන් 517ක් රැගෙන අඩි 43,000ක් ඉහළ අහසේ ගමන්කිරීමට ඊට හැකියාව තිබේ. 

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය නවීකරණය කිරීමෙන් අනතුරැව මෙරටට පැමිණෙන පළමු A 380 ගුවන් යානාව එළඹෙන අගෝස්තු 14 වැනිදා ඩුබායි සිට මෙරටට පැමිණීමට නියමිතය. ඒ ඇසුරෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා සමඟ සංවාදයකට පිවිසියේ A 380 ගැන මෙරටදී සිදුවන කතාබහකදී අනිවාර්යයෙන්ම දායක විය යුතු තැනැත්තා ද කපිතාන් සුරේන් රත්වත්ත බවට සැකයක් නොමැති බැවිනි. ඒ මන්දයත්, එයාර් බස් සමාගම නිෂ්පාදනය කළ පස්වැනි A 380 යානය පැදවූයේත්, මුල් වරට මෙරටට A 380 යානයක් පදවාගෙන ආවේත් සුරේන් රත්වත්ත මහතා ය. 

“එයාර් බස් සමාගම A 380 නිෂ්පාදනය කරන්න පටන් ගත්තු කාලෙ මම හිටියෙ එමිරේට්ස් ගුවන්සේවයේ. එතැන ගුවන් නියමුවන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් පස්වැනි ගුවන් නියමුවා වුණේ මමයි. ඉතින් එමිරේට්ස් මිලදී ගත්ත  පස්වැනි A 380 ගුවන් යානය පදවාගෙන ඒමේ අවස්ථාව ලැබුණේ මටයි” සුරේන් රත්වත්ත මහතා කතාබහ ඇරඹුවේ එලෙසිනි.  

එකල එමිරේට්ස් ගුවන් සේවයේ සිටි එකම ශ්‍රී ලාංකික ගුවන් නියමුවා වූ කපිතාන් සුරේන් රත්වත්ත ප්‍රංශයේ ටුලුස් නුවර එයාර් බස් නිෂ්පාදනාගාරයේ සිට ඩුබායි දක්වා A 380 යානය පදවාගෙන ආවේය. 

“ගුවන් යානයක් නිෂ්පාදනය කරලා ගුවන් සේවයකට දෙන්න කලින් පරීක්ෂණ ගුවන් වාරයක් සිදුකරනවා. ඒකට පස්සෙ තමයි ගුවන් යානය මිලදී ගන්න යන ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකු ගුවන් යානා නිෂ්පාදන සමාගම වෙත ගෙන්වා ගෙන අලුත් ගුවන් යානය පුහුණුවීමට ඉඩ ලබාදෙන්නෙ. ඉතින් මමත් මගේ සහාය ගුවන් නියමුවරයාත් ප්‍රංශයට ගිහින් A 380 පැදවීමට හුරුව ලබාගත්තා”. 

අලුත්ම ගුවන් යානයක නියමු කුටියට ගොඩවැදීම ගුවන් නියමුවෙකුට විශාල ආස්වාදයක් ගෙනදෙන අත්දැකීමකි. මුල්වරට A 380 නියමු කුටියට ගොඩවැදුණු ඔහුට දැනුණු හැඟීම ද විශේෂ එකක් විය.  “ඇත්තටම කොක් පිට් එකට (නියමු කුටිය) ගියාට පස්සෙ දැනුණෙ වෙනම ලෝකෙකට ගියා වගේ හැඟීමක්. ගොඩක් වෙනස් දේවල් එතැන තිබුණා. මම හිතන්නෙ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය පටන් ගත්තෙ 1981 දි විතර. ඉතින් එයාලගෙ තාක්ෂණික දියුණුව උපරිම තලයකට ඇවිත් තිබෙන බව එතැනදි මට තේරුණා”. 

A 380 යානාවේ ඇති සුවිශේෂීතාව ලෙස ඔහු හඳුන්වන්නේ එය පදවාගෙන යාමේදී වැරැදි සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමාසහිත වීම ය. එනම් එක් පද්ධතියක යම් දෝෂයක් ඇති වූ විටෙක එම අඩුපාඩුව වළක්වාලමින් කටයුතු කිරීමට තවත් සමාන පද්ධති දෙකක් තුනක් ගුවන් යානයට එක්කර තිබේ. එනිසා ගුවනේ සිදුවිය හැකි අනතුරු වළක්වාගනිමින් වැඩි මගී ආරක්ෂාවක් සහතික කිරීමට ඉන් ලැබෙන්නේ විශාල පිටුබලයකි. 

“ගුවන් ගමන් අතරතුර යම් අකරතැබ්බවලටත් මුහුණ දීලා ඇති?” ඔහුට යොමුකෙරුණු තවත් පැනයකි.   “නැහැ ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්න මුකුත් ආවෙ නැහැ. සමහර වෙලාවට කුණාටුවක් තිබ්බොත් කාලගුණ වෙනස්වීම් නිසා පොඩ්ඩක් කරදර වෙනවා. ඒ හැරුණම ලොකු සිදුවීමක් වෙලා නැහැ. හැබැයි එක දවසක් A 380 යානයක්ම පදවගෙන යනකොට පොඩි ළමයෙක්ට අසනීප වෙලා ජර්මනියේ මියුනික් ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකරන්න වුණා. ඒ සිදුවීම හින්දා මියුනික්වලට මුලින්ම A 380 එකක් ගෙනිච්චෙත් මමයි” ඔහු කීවේ හිනැහෙමිනි.  

කපිතාන් සුරේන් රත්වත්ත පෞද්ගලිකව ද A 380 යානයට දක්වන්නේ දැඩි ඇල්මකි. A 380 යානය ගැන සිදුකළ කතාබහ පුරාවටම ඔහුගේ දෑස් දිලිසුණේ තමන් වඩාත්ම ආදරය කරන දෙයක් ගැන කතා කරන කුඩා දරුවකු සිහිගන්වමිනි. 
“A380 කියන්නෙ හරි ෂෝක් ප්ලේන් එකක්. ඇතුළෙ ඉන්නකොට එන්ජින් එකේ සද්දයක්වත් ඇහෙන්නෙ නැහැ. ඒක ඇත්තටම නියම වැඩක්. ඔයාලත් අනිවාර් යෙන්ම ඒකෙ යන්න. ගුවන් යානයේ තට්ටු දෙකක් තියෙනවා. පළමු පන්තියේ ෂවර්ස් (නාන කාමර) දෙකක් වගේ ගොඩක් පහසුකම් තියෙනවා. සාමාන්‍ය ප්ලේන් එකක බාත් රූම් එක ගොඩක් පොඩියිනෙ. නමුත් මේකෙ බාත් රූම් එකක් මේ මම දැන් ඉන්න කාමරේට වඩා පොඩ්ඩයි පොඩි. ඒ හින්දා වෙන ප්ලේන්ස්වල පළමු පන්තියයි A 380 පළමු පන්තියයි අතර තියෙන්නේ ලොකු වෙනසක්, පරතරයක්” තියෙනවා. 

A 380 යනු දිගු දුර ගුවන් ගමන් සඳහා විශේෂයෙන්ම සැකසුණු ගුවන් යානයකි. එහි තාක්ෂණය මෙන්ම සුවපහසුව ආදී බොහෝ කාරණා එවැනි දිගු දුර සේවාවන් සඳහා මනාව ගැලපේ. 

“A 380 යානයේ මම ගිය දිගම ගමන, පැය පහළොවක්. ඒ ඩුබායි ඉඳන් ලොස්ඇන්ජලීස් දක්වා. ඒ කාලෙ හැටියට ඒක ලෝකෙ තිබුණු දිගම ෆ්ලයිට් එකක්. දැන්නම් ඩුබායි ඉඳන් නවසීලන්තයටත් ගුවන් යානා තියෙනවා. ඒකට මම හිතන්නෙ පැය 17ක් විතර යනවා”.

ප්‍රංශයේ පිහිටි එයාර් බස් සමාගම හැරැණු විට ගුවන් යානා නිෂ්පාදනය කරන ලොව අනෙක් ප්‍රධානතම සමාගම වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ බොයිං සමාගම ය. අන්තර්ජාතික ගුවන් සේවාවන් සඳහා බහුලව භාවිත කරන මෙම ගුවන් යානා වර්ග දෙකම පැදවීමේ අත්දැකීම් සුරේන් රත්වත්ත මහතා සතු ය.

“එයාර්බස් හා බෝයිං අතර ලොකු වෙනසක් තියෙනවා. පාලන පද්ධතිය සියයට සියයක්ම වෙනස් කිව්වොත් වැරදි නැහැ. සාමාන්‍යයෙන් ගුවන් නියමුවෙකු එක් කාලයකදී පදවන්නෙ එක්කෝ එයාර්බස් එකක් එහෙමත් නැත්නම් බොයිං එකක්. ඒ දෙකම එකවර පදවන්න බැහැ. A 380 එකක් පදවන කොට වුණත් වෙන ප්ලේන්ස් පදින්න යන්නෙ නෑ”. 

ඔහු පවසන ආකාරයට බොයිං 777 හා සැසඳීමේදී A 380 යානය මගීන් වෙනුවෙන් වැඩි සුවපහසුවක්, සුඛෝපභෝගීත්වයක් පිරිනැමුව ද A 380 නඩත්තුව එතරම් ලෙහෙසි නැත. එහි ඉන්ධන කාර්යක්ෂමතාව අනුව බලන විට ලාභ ඉපැයීමට නම් A 380 මගී ආසන පිරවීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොවන විට A 380 යනු ගුවන් සේවයකට සම්පතකට වඩා හිසරදයක් වීමේ ඉඩකඩ වැඩිය.  ඊට සාපේක්ෂව බොයිං යානාවල ඉන්ධන පිරිමැසුම්දායී බවත් නඩත්තුවේ පහසුවත් හේතුවෙන් A 380 යානා අලෙවියේ පවතින්නේ යම් පසුබෑමකි.

ශ්‍රීලංකන් ගුවන් සේවයටත් A 380 ගුවන් යානා ලබාගැනීමේ සූදානමක් ඇත්ද යන්න ඔහුගෙන් විමසීමට ද අමතක නොකළෙමු. 

“අපිට ඇත්තටම ඒ වාගේ ලොකු ගුවන් යානයක අවශ්‍යතාවයක් නැහැ. දැනට මගීන් 200 -250ක් ගෙන යා හැකි යානා අපට තිබෙනවා. එම සංඛ්‍යාව අපට ප්‍රමාණවත්. ගිම්හාන කාලෙදි සහ නත්තලේදි අපිට ඊට වඩා මගී ආසන විකුණන්න පුළුවන්. නමුත් අවුරුද්දෙ හැමදාම ආසන පන්සීයක් විතර විකුණන එක ටිකක් අමාරු වැඩක්”. 

එමිරේට්ස් ගුවන් සේවය යනු අද ලෝකයේ පවතින දියුණුම ගුවන් සේවයක් බව අවිවාදිත ය. එහි සෑහෙන කලක් සේවය කළ අයෙකු ලෙස ඔහුට එමිරේට්ස් ගැනද කියන්නට දෑ ඕනෑ තරම් තිබේ. 

“මම එමිරේට්ස් එකට ගියේ එයාර් ලංකා අවුරුදු හයක් වැඩ කරලා. මම එමිරේට්ස් යද්දි එයාලට තිබුණෙ ප්ලේන් හතරයි. එයාර් ලංකා ප්ලේන් නමයක් තිබුණා. ඉතින් යාළුවො මට හිනාවුණා එයාර් ලංකා එකෙන් අයින් වෙලා එමිරේට්ස් යනවා කියල. අන්තිමේදී මම එතැනින් අයින් වෙලා නැවත මෙහෙට එද්දි එමිරේට්ස් එකට ප්ලේන් 250ක් විතර තිබුණා”. 

එමිරේට්ස් ගුවන් සේවය දියුණුව කරා ගිය ගමන සුරේන් රත්වත්ත මහතා හැඳින්වූයේ මැජික් එකක් ලෙසිනි. 

“එමිරේට්ස් එකට ඒ වැඩේ කරන්න පුළුවන් වුණු එක හේතුවක් තමයි ඩුබායිවලට සල්ලි තිබුණා. සල්ලි නැතුව එයාර් ලයින් එකක් දුවන්න බැහැ. අනිත් කාරණය තමයි එහෙදි සියලු මඟපෙන්වීම්, මෙහෙයවීම් උඩ ඉඳන් පහළටම එකම විදිහට ගලාගෙන යනවා. අපේ රටේ එහෙම නැහැනෙ. ඩුබායිවල ෂේක් කිව්ව කතාව තමයි ‘අපි නගරෙ හදන්න ඕනෙ. ඒකට මිනිස්සු ගේන්න ඕනෙ. මිනිස්සු ගේන්න අපිට එයාර් ලයින් එකක් ඕනෙ. ඒ හින්දා අපි එයාර්පෝට් එක හදනවා’ කියලයි. ඒ අරමුණ තිබුණු නිසා එමිරේට්ස් දියුණු වුණා. අද වැඩියෙන්ම A380 යානාත් වැඩියෙන්ම බෝයිං 777 යානාත් තියෙන්නෙත් එමිරේට්ස්ලටයි”. 

‘ලොකු වුණාම කවුරුන් වෙන්න කැමැතිදැයි මීට දශක දෙකකට පෙර පොඩි එකෙකුගෙන් ඇසූ විට හිතේ මැවෙන්නේ අනාගතයේ දොස්තරවරුන්, ඉංජිනේරුවන් පමණක් පිරැණු රටකි. ඊට වෙනස් උත්තරයක් දෙන්නේ එහෙමත් දරුවෙකි. තම පවුලේ කිසිවෙකුත් ගුවන් ගමනාගමන ක්ෂේත්‍රයට සම්බන්ධ වී නොතිබුණු පසුබිමක සුරේන් රත්වත්ත කුඩා දරුවා ගුවන් නියමුවෙකු වන්නට සිහින දැකීම විශේෂ වන්නේ එනිසා ය.  

“මමත් තාම දන්නෙ නෑ ඇයි මම ගුවන් නියමුවෙක් වුණේ කියල. පොඩි කාලෙ ඉඳන්ම ඒ ආසාව තිබුණු බව නම් මතකයි. ඒ ආසාව දිගේ මම ඉදිරියට ගමන් ගත්තා. දැන් ආපහු හැරිලා බලද්දි ලොකු සතුටක් දැනෙනවා. මොකද ගුවන් නියමුවෙක් විදිහට මම වැඩ කළේ ක්ෂේත්‍රයේ හොඳම කාලෙදියි. වර්තමානයෙදි ගුවන් නියමුවෙක්ගෙ රාජකාරිය බොහොම වෙහෙසකරයි. අද පැය පහළොවක් ගුවන් යානය පැදෙව්වොත් හෙට ආපහු තවත් පැය පහළොවක් පදවගෙන ආපහු එන්න ඕනෙ. ඒ කාලෙ එහෙම නැහැ. මගේ ළමයි දෙන්නට ගුවන් නියමු ක්ෂේත්‍රයට එන්න එපා කියලා මම කිව්වෙත් ඒ හින්දයි. මේ යන විදිහට මම නම් හිතන්නෙ ඉස්සරහට ඩ්‍රයිවර්ලා නැති කෝච්චි වගේ පයිලට්ලා නැති ගුවන් යානාත් දකින්න ලැබේවි. 
1980 වසරේ පටන් ජෙට් ගුවන් යානා වර්ග නමයක ගුවන් නියමුවා ලෙස පැය 19,000 කට අධික කාලයක් ගුවනේ සැරි සරෑ ඒ ලෙන්ගතු මිනිසා තම අත්දැකීම් සමුදායෙන් බිඳක් අප හා බෙදාගත්තේ එලෙසිනි.

රජිත ජාගොඩ ආරච්චි
සේයාරුව - සුමුදු හේවාපතිරණ 

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00