2017 ජුලි 22 වන සෙනසුරාදා

රුපියල් දාහේ බඩු මල්ලේ 440ක් බදු?

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

ආණ්ඩුව නව ආදායම් බදු පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන බවට ආරංචි පළවේ. මෙම පනතට එරෙහිව පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම පසුගිය දිනවල ආරම්භ විය. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති, බදු ගෙවන්නන්ගේ සංවිධාන, රක්ෂණ නියෝජිත සංගම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආදි විවිධ සංවිධාන සහ පුද්ගලයන්ය. මෙම නව පනත ඉදිරිපත් කිරීමේ අරමුණ දැනට සංකීර්ණව ඇති අපේ බදු ප්‍රතිපත්තිය සරල කර බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. එහෙත් වෘත්තීය සංගම් හා සෙසු එරෙහිවන්නන් පවසන්නේ මෙම බදු පනත නිසා බදු ජාලය සරලවීම කෙසේ වෙතත් තවදුරටත් සංකීර්ණ වන බවය. එසේම මෙතෙක් බදුවලට ඉලක්ක නොවූ විවිධ වෘත්තිකයන් සහ ක්ෂේත්‍ර ගණනාවකට බදු ගෙවන තැනට පත්වෙන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක ව්‍යුහයද දේශපාලනීකරණයට ලක්වන බවය.

කෙසේ වුවත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනුයේ රටක බදු ව්‍යුහය සරල වනවිට කාර්යක්ෂමව බදු එකතු කරගත හැකිවන අතර බදු ගෙවන්නාටද සහනයක් සැලසෙන බවය. එසේම ආණ්ඩු මාරැවන විට වෙනස් නොවන ජාතික බදු ප්‍රතිපත්තියක් තිබීමේ වැදගත්කමද ඔවුහු අවධාරණය කරති. රටක සම්මත ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු අතර, ඡන්දයෙන් පසු බලයට පත්වන ආණ්ඩුව මුල් අයවැයෙන් කළ යුත්තේ මෙම බදු ප්‍රතිපත්තිය ස්වකීය රජය යටතේද දිගටම ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදීමය. මෙහි යම් යම් සංශෝධන අවශ්‍ය නම් අයවැයේදී කළ හැකි නමුත් මුළු අයවැය ලේඛනයම එම බදු ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක විය යුතුය. එසේ නැතිව වර්තමානයේ සිදුකරනවා මෙන් විටින් විට බදු ප්‍රතිශත වෙනස් කිරීම සහ අලුත් බදු පැනවීම රටේ ආර්ථිකයට අයහපත් බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.

ආදායම සහ දේපල මත ඍජු බදු අයකරන අතර වක්‍ර බදු වශයෙන් ආනයන බදු රේගු හා ගුවන් තොටුපොළ බදු, නිෂ්පාදන බදු, වැට් බදු, ව්‍යාපාර පිරිවැටුම් බදු (බී.ටී.ටී.) උපයන විට ගෙවීමේ බදු, ජාතිය ගොඩනැගීමේ බදු ආදී වශයෙන් විවිධ වර්ග ලෙස අය කෙරේ.  ඇතැම් භාණ්ඩවලට බදු කිහිපයක් ගෙවන්නට සිදුවන අතර ඇත්තටම තමන් බදු ගෙවන්නේ කුමකටද කීයක්ද යන්න ව්‍යාපාරිකයන් හෝ පාරිභෝගිකයන් නොදන්නා බව හෙළිවේ. එනිසාම ඔවුන් බදු ගෙවීමෙන් ලෙස්සා යාමට ක්‍රමෝපායන් පාවිච්චි කරන නිසා බදු ගෙවීම පිළිබඳ ඔවුන් දැනුවත් කර ස්වේච්ඡාවෙන් බදු ගෙවන තත්ත්වයට පත්කළ යුතු බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ.

අනිත් අතට රජය අයවැය මගින් ඉදිරිපත් කරන බදු ක්‍රම බොහෝ විට වසර තුළ ක්‍රියාත්මක නොකළ හැකි වන අතර ඇතැම් බදු යෝජනා විවිධ විරෝධතා නිසා වෙනස් කිරීමට හෝ ඉල්ලා අස්කර ගැනීමට සිදුවේ. වර්තමාන ආණ්ඩුවෙන් පමණක් නොව විවිධ වකවානුවලදී මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවූ බව පෙනෙන්නට තිබේ. මෙලෙස අපේක්ෂිත බදු ආදායම අඩුවූ විට සිදුවන්නේ අයවැය පරතරය තව තවත් වැඩිවීමය. අයවැය ලේඛනය මගින් ප්‍රකාශ කළ අයවැය පරතරය බොහෝවිට මවාපෑමක් පමණක් වෙයි. එසේ නොවෙන්නට නම් අඩු වූ බදු ආදායමට සමාන වනසේ අලුතින් බදු පැනවිය යුතුය. එහෙත් පසුගිය කාලය පුරාවටම එවැන්නක් සිදුනොවූ නිසා අයවැය ලේඛනය හුදෙක් සංඛ්‍යා ගොන්නක් බවට පමණක් පත්ව ඇත. ආණ්ඩුව බොහෝවිට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4-5 යැයි කියන අයවැය පරතරය ඉලක්කම් දෙකක් බවට පත්වේ.

ආණ්ඩු අත්‍යවශ්‍ය භාණඩවලට බදු පනවනුයේ ඒවාට අනම්‍ය ඉල්ලීමක් ඇති නිසාය. යම් පමණකට මිල වැඩිවුවද පාරිභෝගිකයාට එය මිලට ගන්නට සිදුවනුයේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි. සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍යවන ආහාර සහ වෙනත් භාණ්ඩවලට බදු පැනවූ විට ඔවුන්ට ඒවා මිලට ගන්නට සිදුවන්නේ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා කරන වැය කප්පාදු කරමිනි. අනම්‍ය භාණ්ඩවලට බිය නැතිව ආණ්ඩුව බදු පනවන්නේ තම බදු ඉලක්ක සපුරා ගැනීමට බාධා නොවන නිසාය. ඇබ්බැහි භාණ්ඩවලටද බදු පැනවුවත් එයට පුරැදු වූ අය එම ප්‍රමාණය පාවිච්චි කිරීමට පෙළඹෙනු ඇත. අනම්‍ය භාණ්ඩවලට උදාහරණ ලෙස කිවහොත් ඉන්ධන, ගෑස්, විදුලිය, ජලය, දුරකතන ආදියට බදු වැඩිකළද පාරිභෝජනය අඩු නොවේ. විකල්ප නොමැත. ඒ නිසා ආණ්ඩුව බලාපොරොත්තු වන ආදායම ලැබේ.

එසේ වුවද සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවලට වුවද අනවශ්‍ය ලෙස විශාල බද්දක් පනවන්නේ නම් එවිට ඉල්ලුම එක්තරා ප්‍රමාණයකට පහළ යයි. එයට හේතුව පාරිභෝගිකයා ආදේශනවලට යොමුවන නිසාය. උදාහරණයක් වශයෙන් පාන්පිටි මිල අනවශ්‍ය ලෙස ඉහළ ගියහොත් ජනතාව බත්, අල, බතල, ආදී විකල්පවලට යොමුවීමට ඉඩ ඇත. එළවළු, මස් මාළු මිල අධික වූ විට ඒවා පාරිභෝජනය කරන ප්‍රමාණය අඩුකිරීම සිදුවේ. ආණ්ඩුව මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවලට හා සේවාවලට බදු පැනවීම නිසා පාරිභෝගිකයා අපහසුතාවට පත්වේ. ජීවන වියදම ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩිවේ. මෙය පොදුවේ රටේ ආර්ථිකයටද අහිතකරය. මේ නිසා අත්තනෝමතික ලෙස බදු පනවා භාණ්ඩ මිල ඉහළ දැමීම කෙටිකාලීන මෙන්ම දිගුකාලීනවද අහිතකර ප්‍රතිඵලවලට හේතුවන බව පැවසිය යුතුවේ.

එහෙත් අනිත් සැමදෙයම මෙන් අපේ රටේ බදු අයකිරීමද දේශපාලනීකරණය වී ඇත. බදු නිසා ආණ්ඩු බලය ලබාගන්නා හැටිද ආණ්ඩු පෙරළෙන හැටිද පිළිබඳ අපි අත්දැක ඇත්තෙමු. ඇතැම්විට මැතිවරණයක් ආසන්න වනවිට පහළ දැමූ බදු ප්‍රතිශත මැතිවරණයෙන් පසු යළි ඉහළ යයි. එසේම පාලකයන් කරන අමනෝඥ කාර්යයක් වන්නේ රට තුළ තිබෙන භාණ්ඩයන් සැඟවීම නිසා හෝ බෙදාහැරීමේ දුර්වලතා නිසා හිඟවන අවස්ථාවලදී එයට ප්‍රතිකර්මයක් නොයොදා එකවරම ආනයන බදු ප්‍රතිශත පහළ දමා පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමය මෙයින් විදේශ විනිමය නාස්තියක්ද ඒවායේ නිෂ්පාදකයන් අමාරැවේ වැටීමද බදු අහිමිවීමද වංචා දූෂණවලට පෙළඹීමද සිදුවේ. වැඩි ඈතකට නොගියද මේ දිනවල ආණ්ඩුව සහල් ආනයනය කිරීමට පෙළඹීම මෙම තත්ත්වයට හොඳම උදාහරණයකි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගියදා ප්‍රකාශ කළේ අද රුපියල් දහසක බඩු ගන්නා පාරිභෝගිකයෙක් අවම වශයෙන් එයින් රුපියල් 400ක් බදු වලට ගෙවන බවයි. එම ප්‍රකාශය බොහෝ දෙනාගේ විමසුමට ලක්ව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක තම ප්‍රකාශය පිළිබඳ තවදුරටත් මෙසේ කියයි.

අපි මෙම සංඛ්‍යා දත්ත සකස් කළේ මෙයට මාස 6-7 කට පමණ පෙරයි. දැන් වනවිට මෙම තත්ත්වය තවත් අයහපත් වෙලා තියෙන්න ඕනෑ. අප අනාවරණය කළේ සාමාජිකයන් හතර දෙනකුගේ පවුලක් මසකට පාරිභෝජනය කරන භාණ්ඩ පිළිබඳව සලකලයි. ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම වඩාත් පරිහරණය කරන භාණ්ඩයි. එවැනි භාණ්ඩ රුපියල් 1000ක් ගෙවා මිලට ගත්විට එයින් රුපියල් 440ක්ම ගෙවන්න වෙන්නේ බදුවලටයි. භාණ්ඩවල සත්‍ය වටිනාකම වෙන්නේ රුපියල් 560ක් පමණයි. මේ අනුව පෙනීයන්නේ අඩකට ආසන්න ප්‍රමාණයක් බදු සඳහා ගෙවා ඇති බවයි. මෙම භාණ්ඩ වැඩි වශයෙන් ඉල්ලන්නේ සාමාන්‍ය පවුල්වල දුප්පත් ජනතාවයි. ඉතින් ආණ්ඩුව මේ විදියට බදු ගහලා පුංචි මිනිහා හිරිහැරයට පත් කිරීම කෙසේවත් සදාචාර සම්පන්න නැහැ.

ඔහු පවසන්නේ අල, ලූනු, පරිප්පු, කරවල, බෙහෙත්, ගෑස්, දුරකතන ආදිය සාමාන්‍ය මිනිහා පාරිභෝජනය කරන සේවා සහ භාණ්ඩ වේ. මෙයට සිගරට් සහ මත්පැන් අඩංගු කර නැත. බොහෝවිට ආහාර ද්‍රව්‍ය මිනිසුන් තොග වශයෙන් මිලදී නොගන්නා අතර අවශ්‍ය වූ විට කුඩා ප්‍රමාණවලින් මිලට ගනී. ඒ නිසාද ඔවුන්ට සිදුවන අයහපත විශාලය.

එසේම ජනතාව වැඩි වශයෙන් පාවිච්චියට ගන්නා සබන්, පවුඩර්, දත් බෙහෙත්, රේසර්, ක්‍රීම් වර්ග, ආලේපන ආදියේද මිල මසින් මස වැඩිවන ප්‍රවණතාවක් තිබෙනවා. මේවායේ මිල වැඩිවන අතරම ප්‍රමාණය පුංචි කිරීමේ ප්‍රයෝගයක්ද ක්‍රියාත්මක වෙනවා. එහිදී ජනතාවට සිදුවන්නේ වැඩිමිලට අඩු ප්‍රමාණයක් මිලට ගන්නයි. ඔහු පවසයි.

බොහෝ අවස්ථාවල පාරිභෝගිකයා භාණ්ඩයේ මිල විමසා එය මිලට ගන්නවා විනා බර හෝ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්නේ නැත. එහිදී ඔවුන් සිතන්නේ භාණ්ඩයේ පෙර පැවැති බර, දියර ප්‍රමාණය හෝ පරිමාව එසේම තිබෙන බවයි. එහෙත් මෙහිදී පාරිභෝගිකයා රවටා ඒවායේ ප්‍රමාණ හා බර අඩුකිරීමට නිෂ්පාදකයා පියවර ගෙන තිබෙන බව අනාවරණය වෙයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා එවැනි භාණ්ඩවල මිල සහ බර හෝ ප්‍රමාණය ආණ්ඩුව මගින් නියම කළ යුතුයි. මෙවැනි නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයන් සංඛ්‍යාව අතළොස්සක් වන නිසා මිල පාලනයක් කිරීමට රජයට අපහසු නොවන බව මන්ත්‍රීවරයා කියයි. ගෑස් මිල පාලනය කළා වගේ මෙවැනි පාරිභෝගිකයා නිතර පරිහරණයට යොමුව සිටින භාණ්ඩවල මිල පාලනයක් කිරීමට අපහසු නොවෙයි. ඔහු මෙසේද කියයි.

මෙවැනි භාණ්ඩවල ප්‍රචාරක වියදම් ඉතාම ඉහළයි. ඒවායේ දැවටුම් පෙට්ටි හා බහාලන ආදිය සඳහාද විශාල මුදලක් වැය කරනවා. ඒවා අඩුකළහොත් මිල සෑහෙන ප්‍රමාණයක් අඩුකළ හැකිය. සෑමදෙනාම ඉල්ලන භාණ්ඩ නිසා ප්‍රවාහනය අඩුකළාට අලෙවිය අඩුවෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වය නිවැරදි කිරීමට ආණ්ඩුව මැදිහත්වීම වැදගත්. එසේම දුප්පත් පාරිභෝගිකයා අසහනයට පත් කරමින් ඔහුට අත්‍යවශ්‍යම භාණ්ඩවලට අනවශ්‍ය ලෙස බදු ගැසිය යුතු නැහැ. එයින් ඔහුගේ ජීවිතය පීඩනයකට ලක්වෙනවා. ඒ නිසා ආණ්ඩුව කළයුත්තේ ධනවතාගෙන් බදු අයකර ගැනීම මිස දුප්පතා පෙළීම නොවෙයි. වක්‍ර බදු වෙනුවට ඍජු බදු වැඩිකළ යුතු වෙනවා. එහෙත් මෙතෙක් හැම ආණ්ඩුවක්ම කළේ පොදු ජනතාවගෙන් බදු අයකර ඔවුන්ගේ බත්පතට වැලි  දැමීමයි. එහෙත් ජනතාවට ආදරයක් තිබේ නම් ඔවුන්ගේ ආහාර ද්‍රව්‍යවල මිලට බලපාන තීරණ ගැනීමේදී ආණ්ඩුව දෙවරක් සිතා බැලිය යුතුයි.

දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර:

ආණ්ඩුව භාණ්ඩ නිෂ්පාදනයට හෝ ආනයනයට බදු සහන දුන් පමණින් පාරිභෝගිකයාට සහනයක් ලැබෙන්නේ නැහැ. එයින් සිදුවන්නේ ව්‍යාපාරකරැවන් පොහොසත්වීම පමණයි. එසේම ආනයනවලට බදු ගැසීමෙන් දේශීය නිෂ්පාදන ආරක්ෂා වේ යැයි සිතන්නෝ සිටියද එයද පිළිගත නොහැකියි. පසුගිය සමයේ ආනයනික කිරිපිටිවලට කිලෝවට රුපියල් 225ක බද්දක් අයකළා දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමට යයි කියලා. කිරි ගොවියාට ලීටරයක සහතික මිල රුපියල් 70 දක්වා ඉහළ දැමුවා. එහෙත් පසුව කිලෝවට පැනවූ මේ රුපියල් 225 බද්ද රුපියල් 2 දක්වා පහළ දැම්මත් එහි සහනය පාරිභෝගිකයාට ලැබුණේ නැහැ. සියල්ල විදේශීය කිරිපිටි නිෂ්පාදකයාට හිමිවුණා.

ඔහු පවසන්නේ මේ වනවිට දියර කිරිවල මේදය ඉවත්කර ඒ වෙනුවට විකල්ප ආදේශ කිරීමක් සිදුකර ඇති බවය. ස්වභාවික මේදය කිලෝව රුපියල් 800කට අධික වන අතර ෆාම්තෙල් රුපියල් 150ක් වෙයි. කිරිවල ස්වභාවික මේදය ඉවත්කර එයින් වෙනත් නිෂ්පාදන තනන අතර ඒ වෙනුවට ෆාම්තෙල් යොදා අඩුමිලට අලෙවි කළ හැකිය. මෙහිදී සිදුවන්නේ කිරිවල පෝෂ්‍ය ගුණය අවමවීමය. ජනතාව මෙහිදී බාල පිටිකිරි අඩුමිලට ගැනීමට පෙළඹේ. යෝගට් ආදී නිෂ්පාදනවලට පවා යොදාගන්නේ මෙලෙස මිල අඩු කිරිපිටිය. මෙහිදී පාරිභෝගිකයට බදු සහනය ලැබී නැත. මෙවැනි සමාගම් තුනක් මෙරට ක්‍රියාත්මක වන අතර ඒ අයගේ මල්ල පිරෙනවා හැර පාරිභෝගිකයාට සිදුවන යහපතක් නොමැත. කිරිපිටි සමාගම්වලට වසරකට රුපියල් මිලියන 20,000ක් ලැබුණත් කිරි ගොවියාට ලැබෙන දෙයක් නොමැත. පාරිභෝගිකයාටද එසේමය. රට නැංවීමේ දායකත්වය සඳහා ජාතික නිෂ්පාදන ආයතනවල සහය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ගොඩනැගිය යුතු බව ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි. මිල පාලනයට වඩා නිෂ්පාදනය වැඩිකර මිල පහළ දැමීම වඩාත් ප්‍රායෝගික වේ.

යසවර්ධන රුද්රිගු