2017 ජුලි 22 වන සෙනසුරාදා

උදම්මිට හෝටලේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ සල්ලාල සාදය

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

මුහුණු පොතෙන් හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක් ජාඇළ කොටුගොඩ උදම්මිට හෝටලයකදී මත්ද්‍රව්‍ය භාවිතා කර අසභ්‍ය ලෙස හැසිරෙමින් අවරගණයේ සාදයක් පවත්වමින් සිටියදී ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළකිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. මෙම නොසන්සුන් හැසිරීම පාලනය කිරීමට සීදුව, ජාඇළ, කඳාන හා පෑලියගොඩ පොලිස්ථානවලින් භට කණ්ඩායම් කැඳවා තිබූ අතර පළායමින් සිටි තරුණියන් දෙදෙනකු පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකිරීමට උත්සහ කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ ඒ කලබැගෑනිය මැදය. 

පසුගිය 16 වැනි ඉරිදා උදෑසන සිටම උදම්මිට පිහිටි හෝටලයක් වෙත තරුණ තරුණියන් රාශියක් පැමිණෙමින් සිටියහ. සීමිත ඉඩකඩක පිහිටි හෝටලයේ අවහිරතාවය නිසා එහි පැමිණි රථ බොහෝමයක් ගාල්කෙරුණේ මාර්ගය දෙපස, අතුරු පාරවල හා වතු ආශ්‍රිතවය. කොණ්ඩය කැපූ තරුණියන් අතර බහුතරය හිසකෙස් වර්ණ ගන්වාගෙන සිටියෝය. අඩනිරුවත් ආකාරයෙන් සිරුර පෙන්වන සංකර ඇඳුම් විලාසිතා ද ඒ අතර විය. සිරුර පුරා පච්චා රූප කොටාගත් අය බහුලව සිටියහ. කොණ්ඩය වැවූ සහ උඩුකය නිරුවත් තරුණයන් පිරිසක්ද ඔවුන් අතරය. උත්සවශාලාව තුළින් නංවන ඩී.ජේ. සංගීත රාවය ගමට හිසරදයක් වැනිය. පිරිසක් අධිවේගි රංගනයේ නිරතව සිටියදී ශාලාව තුළ රැස්වූවන් සියල්ලෝ ලොලිපොප් උරා කති. රත්පැහැ වූ දෑස් නිලංකාර වන තරමට ඔවුන් මත් ගතියෙන් වෙලී සිටියෝය.

ඉරිදා ගම්වාසීන්ට නිවහනේ නිදහස්ව කල්ගෙවන්නට තිබුණද උදෑසන සිට නැගෙන අධික ශබ්දය හා ගමට පිටතින් පැමිණි පිරිසගේ ඝෝෂාව හා අශෝභන හැසිරීම ගම්මුන්ට මහත් හිරිහැරයකි. ඉවසුම් නොදෙන පිටස්තරයන්ගේ පැමිණීම හමුවේ ගම්වාසීන් එකිනෙකා පාරට බැස සංවිධානය වූයේ එහිදීය. මත්වූ තරුණ තරුණියන්ගේ ප්‍රසිද්ධ අනගරැගුම් මහ මඟදී දුටු පිරිස වහා එතැනින් ඉවත්ව යන ලෙස දැනුම්දුන්නේ හෝටල් කළමනාකාරීත්වයටත් ඒ බව දන්වමිනි. මේ අතර දෙපිරිස අතර වූ වාදය ප්‍රදේශවාසීන්ගේ ද කෝපය උත්සන්න කරන්නට හේතු විය. එහිදී දෙපාර්ශවය අතර වූ කතාබහ උණුසුම් තත්ත්වයක් දක්වා වර්ධනය වූයෙන් ප්‍රකෝප වූ ගම්වාසීන් පොලු මුගුරු ගෙන සංකර ලෙස හැසිරෙමින් සිටි තරුණ තරුණියන් බියගන්වා එළවා දමන්නට ක්‍රියාකළහ. බොහෝ වේලාවක් පැවැති මේ ආරවුල උත්සන්න වෙද්දී ගම්මුන් හමුවේ පසුබැස ගිය තරුණ තරුණියන් රැසක් පාරක් තොටක් නොදන්නා උදම්මිට ගමේ අතුරු පාරවල් ඔස්සේ පැන දුවන්නට වූහ. මේ වෙද්දී පැනනැගී තිබූ උණුසුම් තත්ත්වය පිළිබඳ තොරතුරු අවට පොලිස්ථාන රැසකට වාර්තා වීමත් සමඟ පෑළියගොඩ කොට්ඨාස පොලිස් අධිකාරී උපාලි ජයරත්න සහ කැලණිය සහකාර පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ, ජාඇළ, සීදුව හා කඳාන පොලිස්ථානවල නිලධාරීන් එහි කැඳවන්නට පියවර ගත්හ.

මේ වනවිටත් හෝටලයේ රැඳීසිටි තරුණ තරුණියන් හා ගම්වාසීන් අතර පැනනැගී තිබූ උණුසුම් තත්ත්වය හමුවේ පලායන තරුණ තරුණියන් නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කරවන ලෙසට පොලීසියට උපදෙස් ලැබී තිබුණි. සීදුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.එම්.එල්. වික්‍රමසිංහ මහතාගේ ජංගම දුරකතනයට පණිවුඩයක් ලැබුණේද මේ අතරය. ඉන් දන්වා තිබුණේ උදම්මිට ගම්වාසීන්ගේ විරෝධය හමුවේ තරුණ තරුණියන් පලායන බවත් සීදුව පොලිස් වසමේ අතුරු මාර්ගවලින් ඔවුන් ගමන් ගන්නා බැවින් සාමකාමීව යන්නට අවස්ථාව සලසන ලෙසය. වහා ක්‍රියාත්මක වූ වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් ප්‍රධාන හා අතුරු මාර්ග ආවරණය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කළහ.

මේ අතරතුර උදම්මිට හෝටලයේ සිට පලායන පෙම්වතා හා පෙම්වතිය බව කියන යුවළක් සහ තවත් තරුණියන් දෙපලක් නොදන්නා මාර්ගයක් දිගේ දිවයමින් සිටියහ. සීදුව ක_ස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් නැගි ත්‍රීරෝද රථයක් ඔවුන් අසලට පැමිණ නැවැත්වූයේ මේ මොහොතේදීය.

කොහේටද යන්නේ... හෝල්ට්එකට යනවද? එහි රියදුරු විමසුවේය.

අනේ... අනේ... අයියේ අපි බස් පාරට ගිහින් දාන්න... යැයි තරුණියන් තිදෙනා එක හඬින් කියා සිටියෝය. එසැනින් ත්‍රීරෝද රථයට නැගගත් පිරිස හිරවී අපහසුවෙන් ගමන් ගත්හ. මිනිත්තු කීපයක් ගතවූවද ත්‍රීරෝද රථය ගමන් කරමින් තිබුණේ අතුරු මාර්ග ඔස්සේය. යන ගමන පිළිබඳ සැකසිතූ පිරිස වහා ත්‍රීරෝද රථය නවත්වන ලෙස අණ කළද පලක් නොවූයෙන් හඬ නගන්නට වූහ. මේ අතර එහි ගමන්ගත් පෙම් යුවළ ත්‍රීරෝද රථයේ එක් පසෙකින් බිමට පැනගෙන තිබුණේ වේගයෙන් ධාවනය වෙමින් තිබියදීය. ඔවුන් දෙස නොබැලූ ත්‍රීරෝද රථයේ රියදුරු සෙසු තරුණියන් දෙන්නා රැගෙන අධික වේගයෙන් ධාවනය කළේය. මේ වනවිටත් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයා හා එක්ව රියැදුරු තරුණියන් දෙදෙනාට ලිංගික අතවර කරන්නට තැත් කළේය. ප්‍රධාන මාර්ගයෙන් හැරවූ රථය රන්දෝලි මාවත අතුරු මාර්ගයේ වේගයෙන් ධාවනය කළේය. කොන්ක්‍රීට් පාර කෙළවර වගුරු බිම ආශ්‍රිතව පළාතම කැලෑබද ප්‍රදේශයකි. ත්‍රීරෝද රථයේ ගමනාන්තය වී තිබුණේ එම ඉසව්වයි.

මේ මොහොතේ සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමකින් දන්වා තිබුණේ හෝටලයේ හිටපු ගෑනු ළමයි දෙන්නෙක් ත්‍රීවිල් එකකින් උස්සන් යනවා. දැන් එයාලා රන්දෝලි මාවත පැත්තට ගියා... ඒ ළමයි බේරාගන්න කියලා කෑ ගහනවාු යනුවෙනි.

එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඒ දෙසට ගමන් ගත්හ.

අපි පණිවුඩය ලැබුණු ගමන් ඒ ඉසව්වට ගියා. කොන්ක්‍රීට් පාර කෙළවර දිගටම මහ කැලේ. ත්‍රීරෝද රථය නවත්තලා තිබුණා. පිරිමි දෙන්නෙක් එකතු වෙලා ගෑනු ළමයි දෙන්නා කැලේට උස්සගෙන යන්න හදනවා. ගෑනු ළමයි දෙන්නා බයෙන් කෑ ගහනවා. අපි ගිය ගමන් ඔවුන් දෙන්නා මුදාගත්තා. ඒත් එක්කම පලායන්න හදපු සැකකාර පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. මේ ස්ථානය පාළුවට ගිය තැනක්. ගෙදරක් තියා මනුස්ස‍යෙක් පේන්න නෑ. ඒ අවස්ථාවට පොලිසියේ කාන්තා නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. ඔවුන්ගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ මේ තරුණියන් දෙන්නා හඟුරන්කෙත සහ බද්දේගම පදිංචිකාරියන් බවයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මෙම තරුණියන් දෙදෙනා වයස අවුරුදු 21, 24 වයසේ පසුවන්නියන්ය. ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කොට අවසානයේ භාරකරුවන් ගෙන්වා බාරදෙන්නට පොලිසිය පියවර ගත්තේය. සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අංක දෙක අධිකරණයට ඉදිරිපත් කළේය. සිදුවීම වාර්තා වූ හෝටල් බිමේ සිට අවට මීටර් 500ක් පමණ දුරට මේ ගම්මුන් හා හෝටලයේ රැඳී සිටි පිරිස අතර ගැටුම වර්ධනය වී තිබුණි. එම අවස්ථාවේ හෝටල් පරිශ්‍ර යේ රුඳීසිටි පිරිස 700ක් පමණ වූ බව පොලිසිය සඳහන් කරයි. උත්සව ශාලාව, නාන තටාකය කාමර ඇතුළු පහසුකම් සපිරි හෝටලයේ කාමර තුළ තරුණියන් සමඟ හැසිරෙන තරුණයන් රාශියක් සිටි බව පැවසේ. මත්ගතියෙන් සිටි නිසා ඔවුනට පොලිසිය පැමිණ සිටින බව හෝ වගක් නැත. මෙහිදී අයෙකු ළඟ ගංජා සුරුට්ටුද තවත් අය ළඟ ඩාන්සින් ටැබ්ලට් නැමැති මත්පෙති කැබලි රාශියක්ද තිබී සොයාගෙන ඇත. ඊට අදාළව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්ද අත්අඩංගුවට ගැනීමට ජාඇළ පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ගැමුණු ගුණරත්න මහතා පියවර ගෙන තිබුණි. එහි තිබූ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගනු ලැබූ අතර ෆේස්බුක් මඟින් සාදය සංවිධානය කොට තිබුණේ මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

මෙම පුද්ගලයා ඊට පෙර දින ජාඇළ පමුණුගම ප්‍රදේශයේ මෙවැනිම සාදයක් පවත්වා ඇති අතර එයට වයස අවුරුදු 18 - 30 අතර විශාල පිරිසක් සහභාගී වී ඇතැයි කියති. එක් අයෙකුට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3000කි. යුවළකට ඇතුළුවීම සඳහා රුපියල් 6000ක් අයකර ඇත. එම සාදය ඉකුත් 15 වැනි සෙනසුරාදා පවත්වා තිබෙන බවත් එදින ලැබූ අධික ලාභය නිසා පසු දින පෙරවරුවේ සූදානම් කළ සාදය නොමිලේ පවත්වා ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙවැනි විප්‍රකාර දෙස බැලීමේදී අන්තර්ජාලය පරිහරණය කරන තරුණ දුවා දරුවන් වඩාත් කල්පනාකාරී විය යුතු බව කිව යුතුය. මව්පියන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එසේ නොවීම හේතුවෙන් මෙම සාදය සඳහා බොහෝ ගම්බද තරුණ තරුණියන් පැමිණ ඇත්තේ සිය නිවෙස්වලට මුසාබස් පවසමින් බව පොලිසිය පවසයි. එසේ නොවන්නට කූඨ ජාවාරම්කරුවන්ගේ ගැටවලට අහිංසක තරුණ ජීවිත බිලිවනු ඇත. මේ පිළිබඳ මව්පිය වැඩිහිටියන්ගේ අවධානය මෙන්ම තරුණ තරුණියන්ගේ අවබෝධාත්මක බව අත්‍යවශ්‍ය බව පොලීසිය අවධාරණය කරයි. සැකකරුවන් හා මත්ද්‍රව්‍ය හා දේපල අත්අඩංගුවට ගැනීම සඳහා ජාඇළ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගැමුණු ගුණරත්න මහතා ක්‍රියාකළේය. 

 කතාව, සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00