2017 ජුලි 22 වන සෙනසුරාදා

හෝටලයේ මැරුණු හිටපු මන්ත්‍රී පුතා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයෙක් වූ යසසිරු තිසර කුමාර ගලප්පත්ති මාතර මඩිහ ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැනුණේ පසුගිය 14 වැනිදා පෙරවරුවේය. දේශපාලන සබඳතා සහිත ප්‍රසිද්ධ පවුලක පුත්‍රයෙක් වූ යසසිරු මියයන විට 24 හැවිරිදි වියේ පසුවූවෙකි. ඒ වනවිටත් ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද විය. ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වූයේ රට බීම අලෙවිසලක් පවත්වාගෙන යාමය. එහි සේවකයන් රාජකාරිය සඳහා යොදවා තිබුණ ද නිරන්තරයෙන් යසසිරු එම ස්ථානයේ ගැවසෙමින් සිටියේය.

වයසට වඩා පෙනුමැති දේහධාරී ශරීරයෙන් හෙබි යසසිරු සමාජශීලීය. බොහෝ විට මිතුරන් ඇසුරට ප්‍රියකළ ඔහු විනෝදයෙන් කල්ගෙවා ඇත. මේ නිසා බොහෝ අවස්ථාවලදී මිතුරන් හා එක්ව සාද පවත්වා මධුවිත තොලගෑම ඔහුගේ සුපුරුදු ලක්ෂණයක් වී තිබේ. රෑ බෝවන තෙක් මධුවිතෙන් සප්පායම් වන ඔහුට නැවත නිවසට යාමට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. මේ නිසා පුරුද්දක් වශයෙන් පොල්හේන මඩිහ ප්‍රදේශයේ පිහිටි කැරිබියන් හෝටලයේ රාත්‍රී නවාතැන් ගන්නට යසසිරු පුරුදුව සිට ඇත.

සුපුරුදු පරිදි ඉකුත් 13 වැනිදා සවස් යාමයේ මිතුරන් පිරිසක් හා එක්ව මත්පැන් සාදයක් පවත්වා මධ්‍යම රාත්‍රිය ආසන්නයේ යසසිරු හෝටලයට පැමිණ ඇත. එසේ පැමිණි ඔහු හෝටලයට පිටින් මහල් දෙකකින් යුක්තව ඉදිකර තිබූ කාමරයක එදින නවාතැන් ගෙන ඇත. බීමත්ව සිටි යසසිරු කාමරයට ගිය සැණින් ඇඳේ පෙරළුණේ දොර අගුල් හෝ නොදමාය. ටික වේලාවකින් නින්ද යාගෙන ආවද සුව නින්දක් ලබන්නට අවස්ථාව නොවීය. හදිසියේ ඇඳ මතින් බිමට ඇඳවැටුණු යසසිරු ඇගේ අමාරුව මතින් කෙඳිරි ගා නැවත නැගිට ඇඳේ දිග ඇදුණේය. පැයක් හමාරක් එසේ ගතකළ යසසිරු නැවත වරක් බිමට බැස නාන කාමරය වෙත ගියේය. තවමත් මත් ගතියෙන් වෙලී සිටි ඔහු එහිදීද ලිස්සා වැටී තිබිණි. අසීරුවෙන් නැගී සිටි ඔහු මොහොතකට පසු පැමිණ නැවතත් ඇඳට නැගී තිබුණේ ශරීරයේ දැනෙන වේදනාවන් අඩුවේයැයි සිතමිනි.

අවසනාවන්ත වූ යසසිරු ශරීර වේදනා වියැකී යනතෙක් ඇඳේ උඩබැලි අතට වැටී බලාසිටියේය. කිසිත් කරගැනීමට හැකියාවක් නොවූ යසසිරුට හුස්ම ගැනීම අසීරුවූයේ මේ වේලාවේදීය. ඉන් අනතුරුව යසසිරු තවත් හුස්ම හෙලුවේ නැත. පසුදින, 14 වැනිදා එළිය වැටීමෙන් පසුව හෝටලයේ සාමාන්‍ය කටයුතු සිදුවෙමින් පැවතියද ව්‍යාපාරික මන්ත්‍රී පුත්‍රයා රැඳීසිටි කාමරය පැවතියේ නිසොල්මනේය. ඔහු එළියට එන පාටක් නොවූයෙන් සේවකයෝ අවධානය යොමුකර බැලූහ. අයෙක් එම කාමරයේ දොර අසලට ගොස් විමසිලිමත්වීමේදී පෙනී ගොස් තිබුණේ කාමරයේ දොර අගුළු ලා නැති බවය. කතාකර බැලුවද ප්‍රතිචාරයක් නොවූයෙන් අඩවල් කර තිබූ දොර තල්ලු කර බැලීමේදී යසසිරු ඒ වනවිටත් සිටියේ නිදි යහනේය. ඔහු අවදි නොවන බවක් දක්නට තිබූ නිසා කාර්යමණ්ඩලයේ කීපදෙනෙක් ඒ දෙසට ගියහ. එහිදී දැක තිබුණේ යසසිරු ගේ මුවින් කෙළ ගලාගෙන ගොස් ඇති බවත් සිරුරේ කිසිදු සෙලවීමක් හෝ නොමැති බවත්ය. එම දසුණින් කලබල වූ පිරිස පොලිස් හදිසි ඇමතුම් ඒකකය අමතා සිද්ධිය සැල කළේය. සැණෙකින් ක්‍රියාත්මක වූ මාතර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගමන් කළේ ලැබුණු තොරතුරු මතය.

ඒ වනවිටත් උස මහත සිරුරෙන් යුත් යසසිරු හෝටල් කාමරයේ ඇඳ මත මියගොස් සිටියේය. දුටු පමණින් අභිරහස් මරණයක් බවට සැක කළ අතර ඔහුගේ ඥාතීන් එතැනට පැමිණ කියා තිබුණේ මරණය පිළිබඳ සැක සහිත බවකි. ඒ අනුව පොලීසිය විශේෂ විමර්ශනයක් අරඹා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකළ විට හෙළි වූයේ මරණයට හේතුව හෘදයාබාධයක් බවය. සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 සමන්ත ප්‍රදීප් විල්තෙර