2017 ජුලි 22 වන සෙනසුරාදා

ඉන්දියාවේ ඉඳන් ලංකාවේ වෙඩි තබන අංගොඩ ලොක්කා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

පාතාලයේ ප්‍රබල කෙරුම්කරුවෙකු බව කියන අංගොඩ ලොක්කා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා සිය ගෝලයන්ට බාධා හිරිහැර නොකරන්නැයි කියමින් ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටියදී මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනය මඟින් තර්ජනය කර ඇතැයි වාර්තා විය.

අංගොඩ ලොක්කා සහ ගෝලබාලයන් විසින් කාලයක් තිස්සේ මුල්ලේරියාව අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගනිමින් සිටින බවට තොරතුරු තිබේ. මර බිය නිසා කප්පම් ගෙවන්නට අකමැත්තෙන් හෝ සිදුව තිබෙන ව්‍යාපාරිකයෝ ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට පවා මැලි වෙති. එහෙත් ආර්ථික අපහසුතා මධ්‍යයේ ඇතැම් අය කප්පම් ගෙවීම පැහැරහැරිය ද ඔවුන්ට අංගොඩ ලොක්කාගෙන් හෝ ඔහුගේ ගෝලයන්ගෙන් බේරීමක් නැත. අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාර කීපයක හිමිකරැවෙකු වූ පුද්ගලයෙකුගෙන් කප්පම් ලබාගැනීම කාලයක් තිස්සේ සිදුකිරීම අංගොඩ ලොක්කා ඇතුළු පිරිසකගේ පුරුද්දකි. ඔවුන් එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලා ඇත්තේ දින ගණනාවකට ඉහතදීය. එය ලබාදෙන්නට අසමත් වූ ව්‍යාපාරිකයා හමුවේ පාතාල සාමාජිකයෝ එම මුදල රුපියල් ලක්ෂ පහ දක්වා අඩු කර ඇතත් එයද ලබා දී නැත. ඒ සම්බන්ධයෙන් උරණ වූ පාතාල සගයන් පසුගිය 13 වැනි බ්‍රහස්පතින්දා එම ව්‍යාපාරිකයාගේ කාර්යාලය ඉදිරිපිටට ගොස් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.

සිද්ධිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව විමර්ශන ඇරඹු විශේෂ විමර්ශන ඒකකය මගින් අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී අනාවරණය වූයේ සැකකරු කප්පම් මුදල් ඉල්ලා දුරකථන ඇමතුම් ලබාදී තිබූ බවය. එම සිදුවීමට පෙර අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට එම ව්‍යාපාරිකයාට දුරකථනයෙන් තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බවද අනාවරණය වී ඇත.

මෙම වෙඩි තැබීම මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ සිදු වූවක් නිසා මුල්ලේරියාව පොලීසිය ද විමර්ශන සිදුකරමින් සිට ඇත. ඒ වනවිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරු කියාතිබුණේ වෙඩි තැබීම මාතර ප්‍රදේශයේ සිට පැමිණි අයෙක් විසින් සිදුකර ඇති බවය. පාතාල කණ්ඩායමට එරෙහිව සිදුවන පොලිස් විමර්ශන පිළිබඳ තොරතුරු අංගොඩ ලොක්කාට දන්වන්නට ක්‍රියාකළ සග‍යන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක අංගොඩ ලොක්කා මුල්ලේරියාව ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා බිස්නස්කාරයන්ගෙන් කප්පම් ගන්නේ දුප්පත් නැති බැරි මිනිස්සුන්ට දෙන්න. ඒකට කරදර කරන්න හදන්න එපා. ඔතන මගේ ගෝලයෝ ඉන්නෙ යැයි කියමින් තර්ජනය කර තිබිණි. එම තර්ජනාත්මක දුරකථන ඇමතුමෙන් පසුව ස්ථානාධිපතිවරයා අදාළ තොරතුරු පොලිස් පොත්වල සටහන් තබා කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරිවරයා මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත දැනුම් දෙන්නට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඇමතුම ලද දුරකථන අංකය හා ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ බව කියන දුරකථන අංක දෙකම සමාන බවද හඳුනාගෙන ඇත. මේ ආකාරයට අංගොඩ ලොක්කා නොහොත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නැමැති පාතාල නායකයෙක් කියන අය තර්ජනය කොට තිබුණේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකුටය.

කොල්ලන්ට බාධා කරන්න එපා

මුල්ලේරියාව පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුවත් සමඟ අලුතින් පත්වූ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පමණක් නොව පරිසරයේ නිසි පැවැත්ම පිළිබඳව අවධානය යොමුකරමින් සිදුවෙමින් ඇති පරිසර හානිය ද අවම කරන්නට පියවර ගනිමින් සිට ඇත. ඒ අනුව පහත් බිම් ගොඩකිරීම, අනවසර වැලිගොඩ දැමීම සහ පස් වෙළෙඳාම වැනි නීතිවිරෝධී ක්‍රියා රැසකට එරෙහිව ක්‍රියාකරන්නට විය.  මේ ඔස්සේ ජාවාරම් කරුවන්ගේ ගතමනාව අඩුවී ඇත. සෑම වැලි ලොරියකින්ම රුපියල් 2000 බැගින් අංගොඩ ලොක්කාගේ ගෝලයන් ලබාගන්නා කප්පම් මුදලටද තට්ටු වී ඇත. මේ හේතුවෙන් අංගොඩ ලොක්කාගේ ගිණුමට වැටෙන මුදල පහත යත්ම උරණ වන ඔහු ස්තානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා මගේ කොල්ලන්ට බාධා කරන්න එපා යැයි වහෙන් ඔරෝ භාෂාවෙන් පවසා තිබේ.

2011 වර්ෂය මුලදී අංගොඩ බෝගල පාරේ සිදු වූ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සමඟ අංගොඩ ලොක්කා කරලියට පැමිණ ඇත. අංගොඩ ලොක්කාගේ පාතාල ජීවිතයට තවමත් වසර හයක් පමණය. 2015 මැයි 26 වැනිදා සුරාබදු නිලධාරීන්ගේ වැටලීමකදී අංගොඩ ප්‍රදේශයේදී කොටු වූ අංගොඩ ලොක්කා සතුව ගිනි අවි 2ක් උණ්ඩ තොග‍යක්, මැගසින් එකක්, කඩු දෙකක් ඇතුළු අවි ආයුධ රැසක්ද අත්අඩංගුවට ගැනිණි. පසුව මුල්ලේරියාව පොලීසියට බාර දීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. දකුණු පාතාලයේ ප්‍රබලයෙකු වූ මාතර මධුෂ් අංගොඩ ලොක්කා හා හිතවත් වන්නේ එහිදීය.

පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු කළුතරදී බන්ධනාගාර බස් රියේදී වෙඩි තබා ඝාතනය කළ අංගොඩ ලොක්කා හා තවත් සගයෙක් සිද්ධියෙන් පසුව පළාගොස් තලෙයිමන්නාරම හරහා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැනගොස් සිටි බව වාර්තා විය. මේ බව ඉන්දියා පොලිසියට දන්වන්නට පියවර ගත් මෙරට පොලීසිය අවධානයෙන් සිටියදී අංගොඩ ලොක්කා හා ලඩියා නමැත්තා ඉන්දියාවෙන් මලයාසියාවට පලායාමට උත්සහ දරද්දී චෙන්නායි ගුවන්තොටේදී ආගමන විගමන නිලධාරීන්ට කොටුවුණු මේ දෙදෙනා පිළිබඳ මෙරට ආරක්ෂක අංශවලට දන්වා ඔවුන් එරට බන්ධනාගාර ගතකර ඇත. 

සමන්ත ප්‍රදීප් විල්තෙර