2017 ජුලි 22 වන සෙනසුරාදා

සයිටම් ලෙඩේට බැන්ඳ රෝහල පවරාගැනීමේ පත්තුව

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ගෙවුණු සතියේ ප්‍රධානම මාතෘකාව වූයේ අනිකක් නොව සයිටම් රෝහල හෙවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව ශික්ෂණ රෝහල රජයට පවරාගැනීමය. නැතහොත් එහි හිමිකරු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින්ම තම රෝහල රජයට පරිත්‍යාග කිරීමය. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ද උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද එක්ව සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුල් පුටුවේ හිඳුවාගනිමිනි. ජනාධිපතිවරයාගේ අනෙක් පසින් අසුන් ගෙන හුන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ය.

චාම් සරල උත්සවයක් ලෙස පැවැත්වුණු එහිදී සිදුවුණු ප්‍රධානම කටයුත්ත වූයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් අත්සන් තැබීමය. එය තුන් පාර්ශ්වීය ගිවිසුමක් වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස ද නෙවිල් ප්‍රනාන්දු රෝහල පාර්ශ්වයෙන් එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ද ලංකා බැංකුව වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර යන අය ඊට අත්සන් තැබූහ. 

ලංකා බැංකුව එම ගිවිසුමට සම්බන්ධ වූයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකිරීමටත් ඊට අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදීගැනීමටත් සයිටම් ආයතනය රුපියල් බිලියන 3.55ක වූ ණය මුදලක් ලංකා බැංකුවෙන් ලබාගෙන තිබීමත් අදාළ මුදල පියවීමට තවත් අවුරුදු 10ක කාලයක් ඉතිරිව පැවතීමත් නිසා ය. 

මෙම ගිවිසුම එදින ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා වූයේ සයිටම් රෝහල රජයට පවරා ගනු ලැබූ බවත් එළඹෙන අගෝස්තු 01වැනිදා සිට සාමාන්‍ය රජයේ රෝහලක් මෙන් එය මහජනතාවට විවෘත වන බවත් පවසමිනි. සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන ගණන් වෙන්කරමින් දැන්වීම් ව්‍යාපාරයක් හරහාද මේ බව කල් තබා ප්‍රචාරය කරතිබුණි. 

නමුත් ගිවිසුම අත්සන් කර හෝරා කිහිපයක් ගතවන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර පෙන්වා දුන්නේ එහිදී අත්සන් තැබුණේ බදු ගිවිසුමකට පමණක් බවය. 

ඒ සමඟම විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් හරහා ද එම ප්‍රකාශය ඉදිරිපත් ‍වුණු අතර ඉකුත් බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට මාධ්‍යවේදීන් හමුවේ එම ප්‍රශ්නයට උත්තර බැඳීමට සිදුවිය. 
ඇමැතිවරයා කීවේ සිහිය විකල්වූ අය කියන දේවල් ගණන් ගත යුතු නැති බවය. 

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ද පසුගිය දිනවල පුන පුනා ප්‍රකාශ කරසිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවත් ඒ සඳහා වන ණය මුදල වෙනුවෙන් එකදු සතයක් හෝ ගෙවීමට රජයට සිදුනොවන බවය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම ප්‍රකාශය පිළිබඳ සොයාබැලීමේදී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස මහතා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වෙත යවනු ලැබූ 2017.07.04 දාතමය රැගත් ලිපිය බොහෝ ප්‍රයෝජනවත් වේ. නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරාගැනීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරන එම ලිපියේ තෙවැනි කරුණ ඔස්සේ ඊට අදාළ ගිවිසුම පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ. 

එහි කියැවෙන ආකාරයට වසර 10ක කාලයක් තුළ සයිටම් ආයතනය විසින් ලංකා බැංකුවට ගෙවිය යුතු රුපියල් බිලියන 3.55ක මුදල ගෙවා නිමකරන තුරු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරිත්වය පවතින්නේ සයිටම් ආයතනය සතුවය. වෙනත් අයුරකින් පැවසුවහොත් සයිටම් ආයතනය විසින් රෝහල ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කර තිබුණද එහි සැබෑ නීතිමය හිමිකාරීත්වය රජයට හිමිවන්නේ තවත් වසර 10කිනි. 

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසීමට ලංකා බැංකු සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර මහතා ඇමැතූ අවස්ථාවේදී පළමුවර දුරකථනයට පිළිතුරැ දුන් හෙතෙම තමා කාර්යබහුල බව පවසමින් පසුව අමතන ලෙස දැනුම්දුන්නත් ඉන් අනතුරුව ඔහු දුරකථනය හා සම්බන්ධ නොවීය. නෙවිල් ප්‍රනාන්දු රෝහල පාර්ශ්වයෙන් ගිවිසුම ගැන තොරතුරු දැනගැනීමට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. 

ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනක ය. එනම් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම තුළින් සයිටම් අර්බුදයට විසඳුමක් ලැබෙතැයි රජය කීවද එවැන්නක් සිතීම තවමත් දුෂ්කර වීමය. 

සයිටම් සිසුන්ගේ සායනික පුහුණුවේ ගුණාත්මක භාවය එම වෛද්‍ය උපාධිය පිළිගැනීමට මතුව ඇති ප්‍රධාන ගැටලුවකි. ඊට විසඳුමක් ලෙස ශික්ෂණ රෝහලක් වශයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකෙරුණ ද පසුව වෛද්‍ය සභාවෙන් කැඳවුණු වාර්තාවකින් කියැවුණේ ශික්ෂණ රෝහලේ ප්‍රමිතිය (සුළු තාක්ෂණික අඩුපාඩු හැර) හොඳ තත්ත්වයේ පවතින මුත් ශික්ෂණ රෝහලක ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් සංඛ්‍යාවේ ප්‍රශස්ථ මට්ටම නෙවිල් ප්‍රනාන්දු රෝහල තවමත් ළඟා කරගෙන නොමැති බව ය. 

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඇත්තෙන්ම මාලබේ, කඩුවෙල, බත්තරමුල්ල, අතුරුගිරිය වැනි ඉහළ පෙළේ නේවාසික පරිසරයකදී ඉතා සාර්ථක විය හැකිව තිබූ රෝහලක් වූ නමුත් පසුගිය කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් ඒ තත්ත්වය අවුරාලනු ලැබීය. විශේෂයෙන්ම ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී දෙල්ගොඩ ප්‍රදේශයේ හුන් 35 හැවිරිදි කාන්තාවක නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිදුකෙරුණු සැත්කමක් අතරතුරදී මියයාමත් සමඟ නෙවිල් ප්‍රනාන්දු රෝහල විශාල සමාජ අපකීර්තියකට ලක්වුණු බවද නොකියා බැරිය. 

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම හා බද්ධ වුණු ප්‍රශ්නාර්ථ මතුකරන අනෙක් කරුණ වන්නේ එහි කාර්ය මණ්ඩලය රජයට බඳවාගැනීම පිළිබඳව ය. ගිවිසුම ප්‍රකාරව එහි සමස්ත කාර්ය මණ්ඩලය නව පාලනය යටතේ ද එහි සේවය කරනු ඇති බව සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් යැවූ උක්ත ලිපියේ කියැවෙන්නේ රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිර්ණායක සම්පූර්ණ කළ සියලු වෛද්‍ය, හෙද සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට එක් කරගන්නා බව ය. රජයේ නිර්ණායක සම්පූර්ණ කර නොමැති කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පවතින වැටුප් තලය තුළම රුකියා නාමයේ යම් වෙනසක් සහිතව සේවය කිරීමේ අවස්ථාව සලසන බව ද එහි දැක්වේ. 

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය දේශය හා පැවසූයේ ලබන අගෝස්තු මාසයේදී සිදුකිරීමට නියමිත මීළඟ හෙද පත්වීම් ලබාදීමේදී නෙවිල් ප්‍රනාන්දු රෝහලට ද හෙදියන් 100ක් පත්කිරීමට යෝජනා වී ඇති බවය. 

මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීමේ උත්සවයට ජනාධිපතිවරයා එක්ව සිටීම ද බොහෝ දෙනකුගේ අවධානයට යොමුවුණු කරැණක් විය. එහිදී ජනාධිපතිවරයා කිසිදු අදහස් දැක්වීමකට සම්බන්ධ නොවූ නමුත් සයිටම් හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ සාකච්ඡා සිදුවන වේදිකාවක ජනාධිපතිවරයා මුලසුන හෙබවීම තුළින් ලබාදෙන නිහඬ පණිවුඩය වන්නේ වර්තමාන රජය යටතේ වුව ද සයිටම් අහෝසිවීමේ කිසිදු ඉඩක් නැති බව විය හැක. 
කෙසේ වෙතත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීමත් ඊට ශික්ෂණ රෝහලක සැබෑ ක්‍රියාකාරීත්වය හිමිවීමත් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් මහාචාර්ය කාලෝ වෙනුවට නව සභාපතිවරයෙක් සමඟ සයිටම් වෙත අවශ්‍ය පූර්ණ පිළිගැනීම නුදුරේදීම ලැබෙනු ඇතැයි සිතීම සාධාරණය. මේ සියල්ල සිදුවන අතරවාරයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කුමන තීරණයක් ගනු ඇත්ද? ශිෂ්‍ය සංවිධාන කුමක් කරනු ඇත්ද? ඉදිරි දින කිහිපය, සති කිහිපය තීරණාත්මක ය.  

මේක බදු ගිවිසුමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්

අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ ඇතිවුණු ගිවිසුම මොකක්ද කියන එක රට ඉදිරිපත් කරන්න කියලා. අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව පැහැදිලි වෙන්නේ මේක බදු ගිවිසුමක් කියලයි. කොහොම වුණත් සයිටම් සම්බන්ධ ගැටලුවේදී ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ලබන 23 වැනිදා පැවැත්වෙන මාසික මහා සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්කරනවා. ලබන 25වැනිදා කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී සයිටම් විරෝධී ජන පවුරේ රැස්වීමක් පැවැත්වෙනවා. ඒකට අපි විතරක් නෙමේ විශ්ව විද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයින්, පෙරටුගාමී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කියන සයිටම් විරෝධී සියලු පාර්ශ්ව එකතු වෙනවා. ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ කෙරෙන සාකච්ඡා වෙනම පැවැත්වෙනවා. සයිටම් උපාධි ප්‍රදානය නතර කිරීම, ඊට ශිෂ්‍යයින් බඳවාගැනීම නතර කිරීම හා වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය ගැසට් කිරීම කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරැ හා පීඨාධිපතිවරු සමඟ ඇතිකර ගැනුණු මූලික ප්‍රතිපත්ති මතයි ඒ සාකච්ඡා සිද්ධ වෙන්නෙ. 

රජිත ජාගොඩ ආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00