2017 ජුලි 22 වන සෙනසුරාදා

සතොසට වික්ක සීනි ගොඩේ කොකේන්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

අහක යන කුණු ගොඩවල් පවා ආණ්ඩුවට වැටෙන තත්ත්වයක තිබියදී ඊට හොඳම උදාහරණය වන්නේ මේ කොකේන්ය. එය රාජ්‍ය ආයතනයක තිබී හමුවූ නිසා බොහෝ දෙනෙක් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළහ. අනෙක් ඇඟිලි සියල්ලම අදාළ ආයතනයේ අමාත්‍යවරයා වෙත දිගුවිය. එහෙත් එය ඇත්තද? නැතිනම් මෙය වැරදීමක්ද කියා අප සෙවිය යුතු හෙයින් මේ කොකේන් කන්ටේනරයේ ඇත්‍ත කතාව සොයා අපි ගියෙමු.

එසේ සොයා බැලීමේදී අනාවරණය වන්නේ මේ කන්ටේනරය නැවට ඇතුළු වී ඇත්තේ බ්‍රසීලයේ සැන්ටෝස් වරායෙන් බවය. ඒ 2016 සැප්තැම්බර් 22 වැනිදාය. සුපුරුදු පරිදි නැවට සීනි කන්ටේනර් ඇතුළු තැනේ පටන් ලෝකයේ සිටින තැරැව්කරුවන් විසින් තමන්ට අවශ්‍ය සීනි ඇනවුම් කරන අතර එහිදී අදාළ සීනී හිමිකාර ආයතනය විසින් මුහුද මැදදීම වෙන්දේසී‍ය කරනු ලබයි. ඒ අනුව ලංකාව වෙනුවෙන් සිටිනා තැරැව්කරු ශ්‍රී ලංකාවේ සිටින සීනි ව්‍යාපාරිකයකුගේ අත්‍යවශ්‍යතාවය මත සීනි තොගයක් ඇණවුම් කරනු ලබන්නේ මේ අතරතුරේදීය. එම ව්‍යාපාරික ආයතනය වසර ගණනාවක සිට සීනි ව්‍යාපාරයේ යෙදී සිටින ප්‍රබල ආයතනයක් බැවින් එම ආයතනයේ නම නොකියා සිටීමට අප තීරණය කළෙමු.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඉල්ලුම අනුව සීනි කන්ටේනර් 600ක් අවස්ථා කිහිපයකදී ඇණවුම් කර තිබිණි. ඒ අනුව එකම වර්ෂයේදී අවස්ථා ගණනකදි සීනි මිලදී ගත් අතර ඉන් එක් අවස්ථාවක් ලෙස ඉහත සිද්ධිය නම් කළ හැක.
කෙසේ වෙතත් මෙලෙස මෙම ආයතනයට ඇණවුම් කළ සීනි තොග පිටින් 2016 සිට ලංකාවට පැමිණෙන විට දිනක් එම ආයතනයෙන්ම මත් ද්‍රව්‍ය කාර්යංශයට තොරතුරක් ලැබෙන්නේ සීනි තොගයේ හඳුනා නොගත් පාර්සල් කිහිපයක් ඇති බව දන්වාය. ඒ වන විටත් අවස්ථා දෙකකදී එනම් සීනි අතර තිබී කොකේන් මෙරටදී සොයාගෙන තිබිණි. එක් අවස්ථාවක කිලෝ 80කුත් තවත් අවස්ථාවක කිලෝ 301ක් වශයෙන් හමුවී තිබිණි. මේ සැකය නිසා එම සමාගම මත්ද්‍රව්‍ය කාර්යංශයට ඔත්තුව ලබාදෙන්නේය. ඔවුන් පැමිණ පරීක්ෂා කරන විට එම පාර්සල්වලද කොකේන් විය. එහි කිලෝ 30ක් තිබුණේය. 

ඒ වන විටත් අවස්ථා තුනකදී කොකේන් මෙරටදී හමුවී තිබු නිසා මත්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණ නියෝග මත සීනි කන්ටේනර් දහස් ගණනක් රඳවාගෙන පරීක්ෂා කරන්නට පටන්ගත්තේය.

එලෙස පරීක්ෂා කරන විට තවත් සීනි කන්ටේනර් රථයක තිබී කොකේන් කිලෝ 219 සොයා ගැනීමට හැකිවිය. පුදුමය නම් ඒ පෙට්‍ටියද අයත්ව තිබුණේ ඉහත කොම්පැණියටම වීමය. ඉතා සූක්ෂම ලෙස කොකේන් සඟවා තිබූ අතර මෙහිදී සමාගම පැවසුවේ තමන් කිසිවක් මේ ගැන නොදන්නා බවය.

මේ අතරතුර මේ සමාගම ඉහත කී පරිදි මිලදී ගත් 2016 සැප්තැම්බර් සීනි තොගය බ්‍රසීලයේ සිට ස්පාඤ්ඥයටත්, ස්පාඤ්ඥයේ සිට ඉතාලියටත්, ඉන් අනතුරුව සෞදි අරාබියේ කිං අබ්දුල්ලා වරායටත් යමින් තිබුණේය. අවසාන වශයෙන් එම කන්ටේනරය අඩංගු නැව මෙරටට පැමිණෙන්නේ 2016 නොවැම්බර් 16 වැනිදාය. එදින එම සීනි තොගය ගොඩ බසින විටත් මාස ගණන් පරණ සීනි පෙට්ටි වරායේ හිරවී තිබුණේය. ඒ මත්ද්‍රව්‍ය කාර්යංශයේ පරීක්ෂාව නිසාය. එසේ පරික්ෂා කරන විට තවත් කිලෝ 928ක් සොයා ගැනීමට හැකිවිය. ඒ නැවක සඟවා තිබියදී මේ වසරේ මුලදීය. මෙය දකුණු ආසියාවෙන් අත්අඩංගුවට ගත් ලොකුම කොකේන් තොගය විය.

මේ තත්ත්වය මත බ්‍රසීලයෙන් සීනි ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීමට සීනී ආනයනකරුවෝ  තීරණය කළහ. එයට හේතුවුයේ ඒ තුළ කොකේන් තිබීමත් මේ නිසාම සීනි කන්ටේනර් එළියට ගැනීමට මාසගණන් දුක් විඳින්නටත් සිදුවන නිසාත්ය.

කෙසේ වෙතත් බොහොමයක් ව්‍යාපාරිකයෝ තමන් ඇනවුම් කළ සීනි කන්ටේනර් පෙට්ටි අමතක කර දමන තැනට පත්වූහ. එන්න එන්නටම මෙය විශාල පාඩුවක් නිසා සීනි ව්‍යපාරිකයෝ රජයෙන් සහනයක් ඉල්ලූහ. ඒ තමන්ගේ සීනි කන්ටේනර් පෙට්ටි නිදහස් කරදෙන ලෙස කියාය. රජය සහනයක් දී සීනි මුදවා හැරියේ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම සහ ඔවුන් රැකගැනීමේ අදහස ඇතිවය. ඒ අනුව ඔවුහු තම සීනි කන්ටේනර් පෙට්ටි අරගෙන ගියෝය. 

මේ පෙට්ටි අතර ඉහත සමාගම විසින් ගෙන්වා 2016 නොවැම්බර් 16 මෙරටට පැමිණි කන්ටේනර් පෙට්ටියද තිබුණේය. කෙසේ හෝ ආනයනය කරන ලද සීනි තොග විනාශවීමට පෙර විකිණිය යුතු නිසා ඉහත සමාගමෙන් සීනි මිලදී ගන්නා තවත් ආයතනයකට සීනි කන්ටේනර් පෙට්ටි කිහිපයක් විකුණා දැම්මේය. එම සමාගමේද නම නොකියන්නේ ඔවුන්ද මෙයට සම්බන්ධ නොවන නිසාය.

අවසානයේ එම පෙට්ටි මිලදී ගන්නා දෙවැනි සමාගම අදාළ සීනි තොග ගබඩා කරගන්නේ විකිණිමේ අරමුණ ඇතිවය.

මේ අතරතුර  සතොස මගින් සීනි මිලදි ගන්නට ටෙන්ඩර් කැඳවීම සිදුකරන අතර එම අවස්ථාව ඉහත සමාගමට උදාවේ. ඒ අනුව සෑම අඟහරුවාදාවක සිදුකරන ටෙන්ඩරය සඳහා එම සමාගම සීනි කන්ටේනරයක් සතොස වෙත යවනු ලබයි. එම සීනි කන්ටේනරය සතොස විසින් මිලදී ගන්නා අතර අදාළ කන්ටේනර් පෙට්ටිය විවෘත කරන්නේ ඊට පසුදිනය. රත්මලාන ගබඩාවේදී එසේ විවෘත කරන විට මෙහි තිබී ගමන් මල්ලක් හමුවන්නේ එහි සේවය කරන කම්කරුවන්ටය. ඔවුන් විසින් මේ පිළිබඳව ඉහළට දැනුම් දී ඔවුන් ගල්කිස්ස පොලීසියට මෙම සිද්ධිය දැනුම් දෙනු ලබයි.

ගල්කිස්ස පොලීසිය පැමිණ අදාළ බෑගය පරීක්ෂා කරන විට කොකේන් කැට 16ක් පමණ සොයාගැනීමට හැකිවිය. පසුව ඔවුන් සම්පූර්ණ පෙට්ටිය විවෘත කර පරීක්ෂා කරන විට එවැනි ගමන් මලු 9 ක් සොයා ගැනීමට හැකිවේ. ඉන් එක් මල්ලක කොකේන් කැට 20ක් තිබුණේය.

පසුව මේ පිළිබඳව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දුන් අතර ඔවුන් පැමිණ පරීක්ෂණ සිදුකරන්නේ මෙය සතොසට පැමිණි ආකාරය ගැන සොයාය. කෙසේ වෙතත් එම පරීක්ෂණයේදී කන්ටේනරයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබීය. වැඩිදුරටත් සොයා බැලීමෙදි එම ස්ථානයේ සේවය කළ කම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නේ කොකේන් කැට දෙකක් සොරා ගැනීමේ චෝදනාව මතය. එසේම ඊට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා අතර ඒ අනුව මේ සිද්ධිය සඳහා පුද්ගලයන් හත් දෙනෙක් පොලීසියට කොටුවී සිටිති.

අවසානයේ එම කොකේන් තොගය පරික්ෂා කිරීමේදී එහි බර කිලෝ 218යි ග්‍රෑම් 600ක් බව තහවුරු විය. එසේම එහි වටිනාකම කෝටි 320ක් බවද හෙළිවිය. මේ වන විට පරීක්ෂණ සිදුකළත් තවමත් මේ ජාවාරමේ ඇත්ත කතාව හෙළිවී නැත. අදටත් පොලීසිය මේ උභතෝකෝටිකය තුළ අතරමං වී ඇත්තේ මේ පිටුපස සිටින්නේ කවුද යන්න සොයා ගැනීමට නොහැකිවය.

අපිට දුන්නේ රංජිකා සමාගම

සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන්

මේ කන්ටේනරය පෞද්ගලික සමාගමකින් තමයි අපිට සපයලා තියෙන්නේ. මේ කොකේන් තොගය සොයා ගත්ත කට්ටියට අපේ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ස්තූති කළා. ඒ වගේම අගය කළා. ඔවුන්ට අගය කරලා ලිපියක් ලබාදුන්නා. ඔය සීනි කන්ටේනරය දුන්නේ රංජිකා ට්‍රේඩර්ස් සමාගම. ඔවුන් සතොසට මීට කලින් සීනි දුන්න අය. ඔවුන් ලියාපදිංචි වෙලා තියෙන්නේ 2016 දෙසැම්බර් 07 වෙනිදා.

රංජිකා අරන් තියෙන්නේ සමරකෝන්ලගෙන්

සීනි අනායනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු

මේ සීනි තොගය සතොසට පැවරූ රංජිකා සමාගම මේ සීනි කන්ටේනරය අරගෙන තියෙන්නේ ඩබ්ලිව්.ඩී.ආර්. සමරකෝන් සමාගමෙන්. ඔවුන් කන්ටේනර් 49ක් මීට පෙර අරගෙන තියෙනවා. හැබැයි ඒ එකකවත් කොකේන් තිබිලා නෑ. කොහොම වුණත් අපි පසුගිය ඔක්තෝම්බර්වල ඉඳලා බ්‍රසීලයෙන් සීනි ගෙන්වන එක නැවැත්තුවා. 

 

ගයාන් ගාල්ලෙග්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00