2017 ජුලි 22 වන සෙනසුරාදා

මිනිස්සු මරණ මැණිකක්!

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1353

මිහිකත ළය මඬලේ ගැඹුරුම ඉසව්වන්හී සඟවාගත් නිල් කැට, රතු කැට ආදී නෙක නෙක නම් ලද ඒ අනගි වස්තුව තරම් වටිනා වස්තුවක් තවත් ඈ සන්තකව නැති තරම්ය. රතු කැට, නිල් කැට, පද්මරාග, පසිංගල් ඉපැද්දුවේ මේ මහ පොළොව නොවේ. එහෙත් ඒ මහ පොළොව රතු කැට නිල් කැට ආදී මහා පරපුරක්ම වර්ෂ බිලියන ගණනක් තිස්සේ තම ඇතුළාන්තයේ සඟවාගෙන සිටියේය. වර්ෂ බිලියන ගණනකට එහා දුරාතීතයේ අහස පොළොව අතර ඇතිවූ මහා ප්‍රකම්පන අවසානයේ ඇද හැලුණු අසෙනි වරුසාවන් මහී මාතාවගේ හද ගැඹුරේ සඟවාලූ ඒ සම්පත් කාලාන්තරයක් මුළුල්ලේ විවිධ භූ විපර්යාසයන් හමුවේත් බිඳකුදු වෙනස් නොවී රැකගත් වටිනාකම නිසාම ඒවා දුර්ලභ වටිනාකම් සහිත විශ්වීය වස්තූන් බවට පත්වූයේය. මැණික් යැයි නම් ලද්දේ ඒ අනර්ඝ වස්තුවයි.

ලෝකයේ ආරම්භයේදීම ජනිත වී ලෝකය අවසන් වන තුරුම ක්‍ෂයනොවී වෙනස් නොවී පවත්නා යම් වස්තුවක් වේද ඒ වස්තුවද එයයි. කාලයාගේ ඇවෑමෙන් වැලි වලින් මඩ වලින් වැසී පොළොව පතුලේ නිදන් වූ ඒ අමිල නිධානය සොයා පස් තට්ටුවෙන් තට්ටුව පොළොව පිරික්සූ අපේ ආදිතම මානවයා මහී කුසෙන් ඒ මාණික්‍යයෝ දෑතට ගත්හ. ලෝකයේ ලොකුම නිල් මැණික හමුවූ මේ පොළොවෙන්ම ළඟ තබා ගත්තොත් මරණය ඉල්ලා සිටීමක් හා සමාන වූ විෂ විහිදුවන කොළ මැණිකක්ද හමුවිය. මැණික් ගැන කියන්නට තවත් කතාන්දර බොහෝය. මැණික් මතුවෙන විස්මිත පොළොවක සිට මැණික් ගැන කියන්නට මැණික් ගැන දන්නා කෝටි ගණන් මැණික් සන්තකයක අයිතිකාරයෙකු අපි මුණගැසුනෙමු.

NATURAL GEMS අධිපති සරත් ලෝරන්ස් ඔහුය. මහනුවරට ආසන්න නගරයක පිහිටා ඇති NATURAL GEMS මැණික් ප්‍රදර්ශනාගාරයට අනුබද්ධිතව මැණික් කෞතුකාගාරයක්ද පවතී. මැණිකෙහි පුරාවත ගැන මෙන්ම මේ ධරණිතලයේ උපන් තවත් ජීවී අජීවී ජනකයන් පිළිබඳවද අතීත සාක්ෂි මේ කෞතුකාගාරයේ බොහෝ වෙත්. ඒ කෞතුකාගරයේ නොහිම් වටිනාකම ගැන කියන්නට පෙරාතුව එහි හිමිකරු ගැනද යමක් කිවයුතුය.

මැණික් කෙරේ ලෝරන්ස්ගේ සිත උපන් ආදරයට ජාන උරුමයෙන් ලෙයට කා වැදුණු ඇල්මක් තිබුණු සෙයකි. ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි සරත් ලෝරන්ස්ගේ  පියාණන් වූ එඩ්මන් ලෝරන්ස් වරෙක රන් වැඩ අතරෙහි තමා සමීපයට ආ සිය පුතු එලවා ගත්තේය. තවත් වරෙක උකුලේ හිඳුවාගෙන යමක් කියා දුන්නේය. හයේ පන්තියේදී අකුරු උගැන්ම අත්හල එඩ්මන් වයස අවුරුදු දොළහේදී තම පවුලම නඩත්තු කරන වගකීම් දරන්නා බවට පත්ව සිටියේය. විවාපත් ඉනික්බිති ඔහු පුතුන් තිදෙනෙකුගේත් දියණියකගේත් තාත්තා කෙනෙක් විය. සරත් ඔහුගේ වැඩිමල් පුතුය. මහනුවර ධර්මරාජයට අකුරැ උගනිනු පිණිස ගිය ඔහු ඔහුට වයස පහළොෙව්දී තවත් මිතුරෙකු සමඟ කිලෝමීටර් විස්සක් තිහක් දුර ගෙවා පයින්ම ඇලහැරට ගියේය.

ඒ මැණික් ගැන සොයන්නට දකින්නට තිබූ මොකක්දෝ කැක්කුමක් නිසාය. අවසානයේ ඒ ආසාව විසින්ම පාසල් අධ්‍යාපනයටද තිත තබන ලදී. උසස්පෙළ පන්තියේ අවුරැද්දක් ඉගැනීමෙන් ඔහු පාසල් අධ්‍යාපනය හැර දමා මැණික් පසුපස ගියේය.

මගේ ආදිම මුත්තෙක් ජීවත් වෙලා තියෙනවා ගාල්ලේ. මේ එක්දහස් පන්සීය ගණන්වල. ලොරෙන්සෝද අල්මේදා කියන දේශාටකයා ලංකාවට ඇවිත් තියෙන්නෙ මේ කාලයේ. ගාල්ලට ආපු ලොරෙන්සෝ ද අල්මේදා ගාලු කොටුව හදන්ට දක්ෂ ශක්තිවන්ත මිනිසුන් සොයමින් ගාල්ලෙ ගම්වල ඇවිදිද්දී අපේ මුත්තව මුණගැහිලා තියෙනවා. ඒ වෙලාවේ මුත්තා ඉඳලා තියෙන්නෙ ගෙයි ඉස්තෝප්පුවට වෙලා රන් වැඩ වගයක් කරමින්. ලොරෙන්සෝද අල්මේදාගේ ඉල්ලීමට එකඟ වූ මුත්තා එයාගෙ නෑ පරපුරත් එකතු කරගෙන ගාලු කොටුව බැඳලා දීලා. හුඟාක් සතුටට පත්වුණු ලොරෙන්සෝද අල්මේදා සීයාට වටිනා තෑග්ගක් දීලා. තෑග්ගට තෑග්ගකින්ම සංග්‍රහ කරන්නට සිතූ මුත්තා ලොරෙන්සෝද අල්මේදාගේ ස්වභාවික ඉරියව් නිරූපණය වෙන පිළිරැවක් රනින් හදලා දීලා තියෙනවා. විස්මයටත් ප්‍රීතියටත් පත් දේශාටකයා මුත්තට තමන්ගේ නම ප්‍රදානය කරලා. අපි ෙලා්රන්ස් වුණේ එහෙම... තම පරපුරට ෙලා්රන්ස් නාමය ලැබුණු අයුරු සරත් ලෝරන්ස් සිහිපත් කළේ එලෙසය.

සරත් ලෝරන්ස්ගේ සීයා බුරැමය, ඉන්දියාව, පකිස්ථානය වැනි රටවලට ගියේද ස්වර්ණාභරණ නිෂ්පාදනය ගැන ඉගැන්වීමටය.

මට ඩිප්ලෝමා, උපාධි නෑ. ඒත් මහපාරෙ ඉද්දී කවුරුහරි මැණිකක් පෙන්නලා මැණික ගැන ඇහුවත් මට ඒ ගැන හැමදේම කියන්න පුළුවන්. 

ආත්මගත බන්ධනයකින් මෙන් මැණිකට ඇළුම් කරන කෝටිපති ව්‍යාපාරිකයා පැවසීය. මහියංගනය හා ඇලහැර ප්‍රදේශවල පතල් හිමිකරුවෙකු වන සරත් ලෝරන්ස් NATURAL GEMS ප්‍රදර්ශනාගාරයට යාබදව කෞතුකාගාරය නිර්මාණය කළේ මීට තෙවසරකට පෙරය. දෙනෙතින් දැක, සවනින් අසා ලෝකයේ මැණික් ඉපදීම, මැණික් හා පුරාවෘත ගැන මහා පුස්තකයක් බඳු ඒ කෞතුකාගාරය ඇසුරෙන් උකහා ගත හැකි සාරය පත්පිටුවක් තුළට සංක්ෂිප්ත කිරීම අසීරුයැයි සිතෙන තරම්ය.

පොළොව යටදීත් වෙනස්කම්වලට බඳුන් නොවී, මිනිස් දෑතේ සහ සිරැරේ ස්පර්ශය ලද පසුවත් කිසිඳු වෙනසකට ලක් නොවී තිබීම මැණිකකට ආවේණික පොදු ලක්ෂණය වුවත් හිරුඑළිය අනුව වර්ණයේ වෙනස්වීම්වලට බඳුන් වෙන මැණිකක් දෙකක්ද කලාතුරකින් හමුවෙයි. එහෙත් ඒ වෙනස්වීම ඒ මැණිකට අනන්‍ය වූ ස්වභාවයක් මිස දුර්වලතාවක් හෝ වටිනාකම අවතක්සේරු කරන කාරණයක් නොවේ. YELLOW SAPPHIRE නමින් හඳුන්වන කහ කැටය එසේ හිරු එළියේ අඩු වැඩි වීම අනුව තම දීප්තිය අඩු වැඩි කර පෙන්වන මැණිකකි. ලෝකයේ වැඩිම මිලක් නිර්දේශ වන කුඩාම වස්තුව මැණිකය යනුවෙන් පෙරවදනක් ලිවීම සාධාරණයයි සිතෙන සිතුවිල්ල ක්ෂණයකින් සිතේ පහළ වූයේ PRIDE OF SRI LANKA නමින් හඳුන්වා දී තිබූ කැරට් 850 නිල් මැණික පිළිබඳව සටහන දුටුවිටය. එය රත්නපුරයේ සිට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි හකමුව ප්‍රදේශයෙන් හමුවුවකි. BLUE BELLE OF ASIA ලෙස නම් කර ඇති කැරට් 392.52ක් බර නිල් මැණික 2014 නොවැම්බර් 6 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රදර්ශනයක් අතරතුර එහි සේවකයකු විසින් අල්ලා සිටින අයුරැ දැක්වෙන සේයාරැවක් ළඟ අපි මොහොතක් නැවතුනෙමු. එම මැණික ජිනීවා නුවර පැවති දුර්ලභ ආභරණ වෙන්දේසියකදී ඩොලර් මිලියන 17.29කට අලෙවි වූවකි.

වෙන්දේසියකදී වැඩිම මිලක් නියම වූ නිල් මැණික විදිහට ඒ මැණික ඒ ගාණට අලෙවි වීම ලෝක වාර්තාවක් වුණා.... සරත් ලෝරන්ස් එසේ පවසමින් JACK HILLS ZIRCON  හෙවත් පොළොවෙන් සොයා ගැනුණු වසර බිලියන 4.4ක ඉතිහාසයක් ඇති ලොව පැරුණිම මැණික් පාෂාණය ගැනද දිගු විස්තර කිරීමක් කළේය.

ලෝකයට බොහෝ දුර්ලභ මැණික් විශේෂ වූ මැණික් හමුවෙන ප්‍රදේශයක් ලෙස රත්නපුර කොලොන්න ප්‍රදේශය සැලකේ. මැණික් විශේෂඥයකු වූ ආචාර්ය දුනිල් පාලිත ගුණසේකරට 1996 වසරේදී කොලොන්නේ කටුකුඹුර කඳු අවටින් දුර්ලභ නව මැණික් විශේෂයක් හමුවිය. dunilite ලෙස නම් ලද්දේ ඒ මැණිකය. ඊයම් කොළයක ඔතා පොළොව යට වළක් හාරා වැළලීමට මිස ළඟ තබා ගැනීම මරණය තුරුල්ලට ගැනීම හා සමාන වූ තවත් මාරාන්තික මැණිකක්ද ඒ ෙපාළොවෙන් මතුවූයේය. ඒ මැණික මිලදී ගැනීම පිළිකාවක් සහ ඉක්මන් මරණයක් මිලට ගැනීම හා සමානය. ඔලිව් කොළ පැහැයෙන් හා දුඹුරු පැහැයෙන් යුත් ඒ මැණිකද මේ කෞතුකාගාරයෙදී දැකිය හැකිය.

එච්චර විෂ මැණිකක්නම් මෙහෙම තියා ගන්න බයක් නැද්ද?

මගේ ළඟ තියෙන්නෙ හරිම පුංචි මැණිකක් නිසා එහෙම ලොකු  හානියක් නැහැ. මේක අපේ රටෙන් හමුවෙන අතිශය දුර්ලභ මැණික් විශේෂයක්. ඒ වගේම මේ මැණික හඳුන්වන්නේ තමා විසින්ම තම පාෂාණ සැකැස්ම විනාශ කරගන්නා සුවිශේෂී මැණික් වර්ගයක් විදිහට. ඒ විනාශ කරගැනීම සිදුකරන්නෙ එහි අන්තර්ගත ශක්තිය හරහා. කෞතුකගාරයකට මේ මැණික හුඟක් වටිනවා. ඒකයි මම මේක මිලදී ගත්තෙ. 

විෂ මැණික එච්චර විෂ ඇයි?

අධි විකිරණශීලී මූලද්‍රව්‍යක් වන තෝරියම් මේ මැණිකෙ තියෙනවා. සුන්දරත්වය පසුපස මරණය සඟවාගත් මැණික් ලොවේ ඒ දුෂ්ටයාගේ නම Ekanite ය. 

විෂ මැණික් වගේම මිනිසුන්ට ඉතා ගුණදෙන මැණික් වර්ගත් තියෙනවා. BLUE SAPPHIRE (නිල් කැට) එවන් විශේෂිත ගුණ සහිත බව විද්‍යාත්මකවම ඔප්පු කළ මැණිකක්. අපල සඳහා එය පළදින්නෙත් එහි ඇති ඒ විශේෂිත ගුණ නිසා.
ලෝකයේ මුල්වරට ඒකනයිට් ඛනිජය හම්බවුණේ 1953 අවුරැද්දේ. ඒ ඇහැලියගොඩින්. 1985 අවුරැද්දේ රත්නපුරේ ඇහැලියගොඩින් හම්බවුණා කැරට් 161ක් බර ඒකනයිට් මැණිකක්. ඒ කාලේ වෙද්දී ලෝකයේ හමුවූ විශාලතම ඒ වර්ගයේ මැණික තමා ඒ. ඒකත් ස්ටාර් ඒකනයිට් වර්ගයේ නූල් අටක් ඇති මැණිකක්. ඒ මැණික ගැන පර් යේෂණාත්මක ලිපියක් 1999 අවුරැද්දේදී GEMS AND GEMOKIOGY කියන ජාත්‍යන්තර සඟරාවේත් පළ වුණා. 

ලෝකයේ අතිශය කලාතුරකින් හමුවෙන මේ මැණික් වර්ගය ලෝකයට හඳුන්වලා දුන්නේ ලාංකිකයෙක්. පසුව රුසියාව, අමෙරිකාව, කැනඩාව වගේ රටවලිනුත් මේ මැණික් වර්ගය හමුවුණා. 

ඒකනයිට් මැණික නිකුත් කරන විකිරණ පිළිකා රෝග ඇතිකරන බවත් එහෙත් එහි විද්‍යුත් චුම්බක කිරණ මානසික රෝග හා මෝහන ප්‍රතිකාර සඳහා යොදාගත හැකි බවත් MARKELA කියන වෛද්‍යවරිය 1978දී FINLANDIA NEWS හි සඳහන් කළා. මෙම වෛද්‍යවරිය රත්නපුරේ අංගම්මන පදිංචිව සිටි මේ මැණිකක් හිමි තරුණයෙක්ගෙන් මෙවැනි පර්යේෂණ සඳහා ඒ ඒකනයිට් මැණික වරින්වර ලබාගෙන තියෙනවා. වරක් ඇය පැමිණෙන තුරු ඔහු වැඩි පරිස්සමට එම මැණික හිස් සැමන් ටින් එකක් තුළ දමා තමන්ගේ ඇඳ යට තියාගෙන ඉඳලා. දවසින් දවස කෙට්ටුවී ගිය ඔහු මාස කිහිපයකින් පසු මරණයට පත්වෙලා. 

ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ කාමරය අස්පස් කරද්දී තමා ඇඳ යට තිබූ මේ මැණික හමුවුණේ. වෛද්‍යවරු කීප දෙනෙක්ම කියා තිබුණේ ඔහුගේ මරණයට හේතුව මේ ඒකනයිට් මැණිකෙන් නිකුත් වූ අධික විෂ කිරණ කියලා. ඒ කිරණ හේතුවෙන් ඔහුට පිළිකාවක් සෑදී තිබුණා. ඒ මැණිකක් ළග තබාගෙන සිටි මහනුවර ප්‍රදේශයේ කෙනෙකුත් ඊට පෙර මිය ගියා. විකිරණශීලි මැණික් වර්ග කියන්නේ දුර්ලභ ගණයේ මැණික් විශේෂ. මැණිකේ ප්‍රමාණය අනුව විකිරණශීලි ගුණාංගය අඩුවැඩි වෙනවා. ඔහු කීය.  

දෙවැනි එළිසෙබෙත් රැජනගේ කිරුළට නිල් මැණික දුන්නේද මේ මහ පොළොවමය. 1670 වර්ෂයේ රජකම් කළ ඩෙන්මාර්කයේ පස්වැනි ක්‍රිස්ටියන් රජුගේ කිරුළටත්, 11වැනි සියවසේ රාජ්‍යත්වයේ කිරුළ දැරූ ශුද්ධ වූ රෝම අධිරාජයාගේ කිරුළටත්, එම සියවසේම රජකම් කළ දෙවැනි හෙන්රි රජුගේ බිසව වූ ලක්සම්බර්ග්හි කුනිගුන්ඩ් රැජනගේ ආභරණයකටත් 14වැනි සියවසේ රජ පුටුවේ හිඳ සිටි දෙවැනි රිචර්ඩ් රජුගේ බිසව වූ බොහිමියාවේ ඈන් රැජනගේ කිරුළටත්, බොහිමියානු රජුගේ කිරුළටත්, ඔස්ට්‍රියාවේ රාජ සෙන්කෝලයටත් නිල් කැට දුන් මේ මහපොළවම විෂ කැවූ මහ මැණික්වලටද තම ඇකයේ කොතැනක හෝ රැකවරණ සැලසීය.

කඳුකරයේ සිට ගංඟාව දිගේ ජල පහරේ සැඟවී ආ මැණික් කැට මහවැලි ගං දෑල ඉවුරු දෙපසේ ඉනික්බිති සැඟවුණේය. රත්නපුර, බලංගොඩ, ඇලහැර, කන්තලේ, ගල්ගමුව, කුලියාපිටිය, හොරොව්පතාන, මොණරාගල, බුත්තල, මහියංගණය, බදුල්ල, හපුතලේ, කළුතර, මතුගම මේ  අාදී හැම ඉසව්වකම පොළොව පතුලට කිඳා බැස මැණික් සැඟවුණේය. ඒ ප්‍රදේශ අතුරින් රත්නපුරය මැණික් පුරයක් බවට පත්වූයේ එය ලංකාවේ මධ්‍යයෙහි පිහිටි නගරය වූ හෙයිනි. එක පොකුරට හැදුණ මැණික් අකම්පිත ජල ප්‍රවාහයක ගසාගෙන ගොස් පොළොව පතුලේ කොතැන සැඟවුණාදැයි කියන්නට දෙවියන්වත් නොදන්නවා ඇත. මැණික් පොළොවෙන් මතුවෙන අවසානය කොතනදැයි කිව නොහැකි  වනුයේ කවදා කොතැනකදී මැණිකක් හමුවේදැයි යන්න අනපෙක්ෂිතයක්ම වන හෙයිනි.

ලෝකයේ ලොකුම නිල් මැණිකේ හිමිකරැවා වූයේ ගුරුගේ මැණික් හිමිකරුය. සිංගප්පූරුවේ ආරක්‍ෂිත සේප්පුවක රැකවල් ලා තිබූ ඒ මැණික පසුව ලංකාවට ගෙන එන ලදී.

මයිකල් ජැක්සන්ගේ රුව මැණිකකින් නෙළන්නට අවැසිව මැණිකක් සොයද්දී ගුරැගේ සතු ලෝකයේ ලොකුම නිල් මැණික ගැන පොප් රජු මයිකල්ටද සිතක් උපන්නේය. ඒ මැණික පිරික්සන්නට මයිකල් ජැක්සන්ගේ නියෝජිතයන් දෙදෙනෙකුද ලංකාවට පැමිණියහ. එහෙත් ඒ විසල් නිල් මැණිකේ එක් පලුද්දක් තිබුණි. මැණිකෙහි රුව නෙළද්දී ගෙල පෙදෙසේ ඒ පලුද්ද මතු වෙයි. එහෙයින් ඒ නිල් මැණිකේ මයිකල් ජැක්සන්ගේ රුව නෙළුවේ නැතත් තම රුව නෙළන්නට මැණික දීමට එකඟ වූ ගුරුගේට මයිකල් ජැක්සන් ස්තූති කර එවූ ලිපිය තවමත් ගුරුගේ ළඟ මතකයක් ලෙස තිබේ.

වරක් මගේ මැණික් බලන්නට එළිසෙබෙත් රැජනගේ රන්කරු ජෝන් හාඩි ආවා. ජෝන් හාඩි මගේ ළඟ තිබුණ SUN STONE එකක් මිලට ගන්න ලෑස්ති වුණා.

කීයකටද මැණික මිලට ගත්තෙ?

මම මුදල් ගත්තෙ නෑ.. ජෝන් හාඩිගේ සිත්ගත් ඒ මැණික ත්‍යාගයක් විදිහට දුන්නා. 

ඔබගෙන් මැණික් ගන්න පැමිණි එවන් විශේෂිත පුද්ගලයන් කවුද?

කෙනෙක් තමන්ගෙ අනන්‍යතාව අපට කීවොත් විතරයි අප ඒ ගැන දන්නෙ. බැරක් ඔබාමා ජනාධිපති කාලේ එතුමගේ මූල්‍ය උපදේශකයෙක් ආවා. ඔහුත් මැණිකක් මිලදී ගත්තා. කොහොමත් මගේ ගැනුම්කරැවන් වැඩිදෙනා විදේශිකයන්. 
සරත් ලෝරන්ස්ගේ මැණික් කෞතුකාගාරය තුළ තිබූ තවත් අපූරු මැණික් ගලක් ළඟ අපි දෙඇස් රැඳවුයෙමු.

ඔය ගල අවුරැදු ලක්ෂ ගණනක් පරණයි... ඒ ගල ඇතුළෙ මදුරුවෙක් ගල්වෙලා ඉන්නවා. ඔය ගල හම්බුෙණ්ම ඔය මදුරැවත් එක්ක. ඒ කියන්නෙ ඒ මදුරුවත් අවුරුදු ලක්ෂ ගණනක් පරණයි. 

ඒ මදුරුවා ගල තුළින් යාන්තමට පෙනේ. එක් එක් ආකාරයෙන් ගල් වූ මත්ස්‍යන් මෙන්ම විවිධ මුහුදු ජීවින් ගේ ගල්වූ කැටයම් බඳු විස්මිතයන් රුසක් එහි වේ. උල්කාපාත කැබැල්ලේ පටන් විෂ මැණික දක්වාත් වටිනා මැණික් ගැබ තුළ සඟවාගත් විසල් පාෂාණයොත් මෙහි වෙත්. තවත් තැනක වූයේ මෙයින් අවුරුදු ලක්ෂ ගණනකට පෙර ජීවත් වූ නියන්ඩතාල් මානවයාගේ ප්‍රායෝගික බුද්ධිය පෙන්වන සාධකයකි.

මේ ගලට කියන්නෙ හෙමටයිට් කියලා. මේක යකඩ අන්තර්ගත ගලක්. නියන්ඩතාල් මානවයත් රක්ත හීනතාවයෙන් පෙළිලා තියනවා. ඒ නිසා ඔහු සිරැර විදගෙන මේ ගල සිරැරෙ එල්ලගෙන ඉඳලා තියෙනවා. ඒ විවරණය අසා සිටි අප ඊළඟට නැවතුණේ කුණු ලේ පැහැයට හුරැ එක් කනක් කැඩී ගිය ඉතා සියුම් ලෙස නෙළන ලද අලි රෑපය අබියසය. එය සිත් අලවන කදිම නිමැවුමක් වූ නිසාත් අද යුගයේ නිර්මාණයක් යැයි උපකල්පනය කළ හැකි එය කෞතුකාගාරයක තබා ඇති හේතුව කුහුලක්ම දැනවූ නිසාත් අපි ඒ ඇත් රැව ගැන ඔහුගෙන් විමසුවෙමු.

මේක මුක්කරැන් හදපු ඇත් රැවක්. ඇලහැර කුඹුරක හෑරෑ මගේ පතලකින් හම්බවුණේ. විශ්වාස කළ හැකිදැයි එක්වරම සිතුණත් විශ්වාස කළ යුතු ඒ සත්‍ය හා බැඳුණු අතීතය ගැන අපි තවදුරටත් විමසීමු.

අම්පාරේ රජකරලා තියෙනවා සද්ධාතිස්ස කියලා රජකෙනෙක්. ඒ රජ්ජුරුවෝ තමන් ළඟ වැඩට ඉන්දියාවේ කේරළයෙන් මුක්කරැ කියලා පිරිසක් ගෙන්න ගත්තා. මේ පොළොවෙ මැණික් ඇති බව දැනගත් මුක්කරැන් කතරගම දෙවියන්ට බාරයක් වෙලා තියෙනවා මැණික් හම්බවුණොත් මැණික් ඔරැවක් කතරගම දෙවියන්ට පූජා කරනවා කියලා. මැණික් ගරද්දී අවශ්‍ය ඉල්ලම් කූර ඔවුන් හදාගෙන තියෙන්නෙ මැටි අච්චුවේ. මොණරාගල, ඔක්කම්පිටිය, බිබිල, රත්නපුර, ඇහැලියගොඩ, බලංගොඩ මුක්කරැන් තමන්ගෙ වාස භූමි කරගෙන තියෙනවා. නිල්ගල කැලෙත් ඔවුන් පදිංචි වී හිඳ තියෙනවා. මැණික් ගැරෑ ඔවුන්ට විශාල වශයෙන් මැණික් හම්බ වී තියෙනවා. ඔවුන් නැවත ඉන්දියාවට ගියොත් ඒ මැණික්ද රැගෙන යන නිසා රජු ඔවුන්ට නැවත ආපහු යාමට දී නැහැ. ඔවුන් මිය ගිය පසු ඔවුන් සන්තකයේ තිබූ මැණික් සියල්ල මුට්ටියක දමා ඔවුන් සමඟම මිහිදන් කර විශාල ගල් පුවරැ ඒ මිහිදන් කළ තැන්වල සිටුවා තියෙනවා. ඒ මැණික් මුට්ටියේ ආරක්ෂව සුරක්ෂිත කරන්න වගේ. ඒ සොහොන් කොත් පසුකාලයේදී නිල්ගල කැලෙන් සොයාගෙන තියෙනවා. පසුකාලයේදී ඒ සොහොන් කඩා දමා මිනිසුන් ඒ මැණික් මුට්ටි අයිති කරගෙන තියෙනවා. නිල්ගල කැලයෙන් වැඩිපුරම හමුවී තියෙන්නේ නිල් මැණික්. මේ මැණික් මුට්ටියක් ලබාගත් කෙනෙක් ඒ කාලෙ ඇලහැර ගමෙත් ජීවත් වෙලා තියෙනවා.

මට ඇලහැර පතලකින් ඔය අලි රූපය වගේම බොත්තමක් සහ මැදින් නූලක් දැමිය හැකි අන්දමේ සියුම් ගල් කීපයක් හම්බවුණා. බොත්තම පුංචිම පුංචි බනිස් ගෙඩියක් වගේ. ඒ බොත්තමේ දළ සහිත පුංචි ඇත් කැටයමක් තිබුණා. ඒකත් මුක්කරැන්ගේම නිර්මාණයක්. 

කෝ එතකොට ඒ බොත්තම?

පතලෙ කෙනෙක් ඔය බොත්තම මට ඇවිත් දෙද්දී එතන තව මැණික් ව්‍යාපාරිකයෙක් හිටියා. මම ඒක ඔහුට දුන්නා. ඒ කාලෙ අද තරම් එවැනි දේක වටිනාකම මට දැනුණේ නෑ. ඒ වෙලාවේ ඒක මම දුන්නෙ රැපියල් දාහකට. ඔහු පැවසුවේ සරල මන්දස්මිතයක් මුවගට නගමිනි. ඉතා සියුම් ලෙස විදින ලද ගල් එසේ විදින්නට උපයෝගී කරගත් තාක්ෂණයද පුදුම එලවන සුළුය. 

ගම්වල ළමයි බයට පත්වුණාම තනිකම්දෝෂ ඇතිවුණා කියලා හිතුවම පතල්වලින් හමුවූ ඔය ගල් නූලක දාලා ඉණේ ගැටගහනවා. ඒ මිනිස්සු විශ්වාස කරනවා මුක්කරැන් ළඟ Super Natural Power  එකක් තිබුණා ඒ ශක්තිය මේ ගල්වලට උරච්චි වෙලා තියෙනවා කියලා.

මැණික් ගැන ඔහුට කියන්නට ඇති කතා බොහෝය. අපට අසන්නට ඇති කතාද බොහෝය. මැණික් ගැන ඇති පුරවෘත මෙන්ම පතල් හා බැඳුණු සම්ප්‍රදායන්ද බොහෝය. පතලේ හිමිකරු ගෝලබාලයන් සමඟ හොඳ හිත ආරක්ෂා කරගැනීමටත් විශ්වාසය රුකගැනීමටත් සතියකට වතාවක් ඔවුන්ට මීවිත සාදයක් මෙන්ම ඔවුන්ගේ මරණේදී මඟුලේදී ලෙඩේදී දුකේදී වෙන පිලිසරණද අවශ්‍යමය. මක්නිසාදයත් කෝටි ප්‍රකෝටි ගණන් වෙන මැණික් හමුවෙන්නේත් දකින්නේත් මැණික් මුදලාලිට ප්‍රථම ඒ ගෝලබාලයන්ය. හමුවෙන නිල්කැට රතුකැට වහන් නොවන්නේ ඒ යුතුකම් එසේ ඉටුවෙන පසුබිමකය.
මැණික් කර්මාන්තය කියන්නෙ බොරැව වැඩිපුරම පාවිච්චි කරන වෘත්තියක්. කවුරැ හරි කියනවනම් මැණික් මුදලාලිලා කියන්නෙ හිතේ තෙතමනයක් නැති ගුණදහම් නැති පිරිසක් කියලා ඒ චෝදනාව බොහෝ දෙනෙක් විෂයෙහි නිවැරදියි. හුඟාක් වෙලාවට තාත්තා පුතාටවත් පුතා තාත්තටවත් මේ රස්සාවේදී ඇත්ත කියන්නෙ නෑ. මැණික් ළඟදී ඒ සියලු බන්ධනයන් විශ්වාසයන් බොහෝවිට දෙවැනියි. එසේ කියන්නේ මැණික් සුරතට ගත් මැණික් සමඟ කෝටි ගණනින් ගනුදෙනු කරන මැණික් ව්‍යාපාරිකයෙක්මය.

කුණුපස් තට්ටුව - කරමැට්ට - එල කබොක - ගිනි කබොක - නිල් මැට්ට - කොළ මැට්ට - වැල්ල - ඉල්ලම - මාලාව - පාරැගල දක්වා මහපොළවේ පතුල විනිවිද ඔවුන් සොයන්නට යත්න දරන්නේ නිල් කැටය, රතු කැටය, පද්මරාග, පසින්ගල්ය. විශ්වය නොනැසී පවත්නා තාක් කොහේ කොතනකින් හෝ ඒ මාණික්‍යයෝ මිහි කුසින් අහස් කුස දකින්නට මිනිස් දෝතට සපැමිණෙනු ඇත. ඒ අහම්බකාරකය දිළින්දන්  කෝටිපතියන් කරද්දී කෝටිපතියන් ප්‍රකෝටිපතියන් කරද්දී මනුෂ්‍යත්වයත් දිලිසෙන නිල්කට රතුකැට සේම රැගත හැකිනම්.... 

කෝටිගණන් වටිනා මැණික් ඇති මැණික් මන්දිරයකින් අප සමුගත්තේ ඒ අවසන් සිතුවිල්ලෙනි.


 සංජීවිකා සමරතුංග
සේයාරූ - චන්න කස්සප කෝරළේආරච්චි