2017 ජුලි 22 වන සෙනසුරාදා

පිච්චෙන මහවිලච්චියේ අඳෝනාව / දරුවන්ට කන්න දෙන්න පිහිය උකස්කළ ගොවියා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

මිහිකත දවන නියඟයෙන් දැඩි සේ පීඩාවට පත්ව වේලක් හැර වේලක් හෝ කුසට ආහාරයක් හෝ සපයා නොහැකිව දිවි ගෙවන මහවිලච්චිය ප‍්‍රදේශයේ දිවි ගෙවන ගොවි මහතෙකු තම අප‍්‍රමාණ අගහිඟකම් පවසා නිවසේ තිබූ මන්නා පිහියක් උකසට තබා රුපියල් 300 ක මුදලක් ණයට ඉල්ලාගත් අනුවේදනීය පුවතක් ඉකුත්දා අසන්නට ලැබිණි.

අවස්ථා කිහිපයකදීම තම දරුවන්ගේ හා බිරියගේ කුසගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක් ණයට ගෙන ඇති මෙම පුද්ගලයා එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින බැවින් නිවසේ තිබූ පිහිය උකසට තබා රුපියල් තුන්සියයක් ඉල්ලූ බව වෙළෙඳසල් හිමිකරු අප හා පැවසීය. මෙකී ගොවි මහතා කළ ඉල්ලීම කෙරෙහි අනුකම්පා සහගත වී වෙළෙඳසල් හිමියා ඔහුට රුපියල් 300 ක් ලබා දී පිහියද ආපසු රැගෙන යන ලෙසට පවසා තිබේ. එහෙත් තමන් කෙරෙහි දැක්වූ අනුකම්පාව අගයමින් එම මුදල හා පෙරදී ලබාගෙන ඇති ආහාර ද්‍රව්‍යවලට ගෙවීමට ඇති ණය මුදල් ආපසු ලබාදෙන තෙක් ඔහු ගෙන ආ පිහිය බලෙන් මෙන් වෙළෙඳසලෙහි තබා ගොවි මහතා පිටව ගොස් තිබේ.

නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් ඔවුන්ගේ දරු පවුල් බඩගින්නේ සිටින බව පවසන විට වෙළෙඳසලේ තිබෙන දෙයක් නොදී ආපසු හරවා යැවිය නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි අදාළ ව්‍යාපාරිකයා කීය. මෙවැනි තත්ත්වයක් හමුවේ වෙළෙඳසල් පවත්වාගෙන යෑම අපහසු වී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පවැසීය. මේ ගිනිදන කතරක්ව ඇති මහවිලච්චියෙන් මෙදවස අසන්නට ලැබෙන තවත් එක් අනුවේදනීය පුවතක් පමණි.

පිට පිට කන්න තුනකදීම වගාවන් අහිමි වූ මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවීන්ට මෙතෙක් රජය මගින් පොරොන්දු වූ වගා වන්දි මුදල් ගෙවා නැති බව ගොවීහු පවසති. මේ හේතුවෙන් ගොවිතැන ජීවිකාව කොටගත් විශාල පිරිසක් අසරණව සිටින බව කියති. ඉකුත් යල සහ මහ කන්නය මෙන්ම මෙවර යල කන්නයද මුළුමනින්ම අතහැර දැමීමට සිදුවීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ගොවීහු හෙළිදරව් කරති. මහවිලච්චිය මහ වැවේ වේල්ලේ ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් ඉකුත් කන්න දෙකද ප‍්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් මෙවර යළ කන්නයද මෙසේ අතහැර දැමීමට සිදුව ඇත.
මහවිලච්චිය, පේමඩුවේ ඩී.එම්. රත්නායක මහතා පැවසූයේ මෙවැන්නකි.

පහුගිය කන්න දෙකේම අඩුම ගාණේ එළවළු ටිකක්වත් හදාගන්න වතුර තිබුණේ නෑ. කුඹුරු යායවල් පිටින් මූකලන් වැහිලා ගියා. දැන් මේ යල් කන්නෙත් මිනිස්සු එහෙම පිටින්ම අතෑරලා දාලා තියෙන්නේ. වන්දි දෙන්න කියලා මේ හැමතැනම ඉල්ලුම් පත‍්‍ර පිරෙව්වා. ඒත් තාම කාටවත් ලැබුණ වන්දියක් නෑ. සමහර පළාත්වල මිනිසුන්ට දීලා තියෙනවා. මෙහෙට තමයි හැම කෙනෙහිලිකමක්ම. මිනිස්සුන්ට කුලී වැඩක්වත් නෑ. පුදුම අමාරුවකින් ජීවත් වෙන්නේ. ගොඩක් මිනිස්සු මොනවා හරි වැඩක් හොයාගෙන පිටට ගිහිල්ලා ඉන්නේ. එහෙමත් මනුස්සයෙක් තමයි ගම්වල ඉන්නේ.

මිනිස් පුලුටක් නොපෙනෙන මූකලන් වැහී ගිය කෙත්යාය තුළ දිස්වනුයේ නොකිව හැකි මූසල බවකි. ඵල සම්පතකට කියා මෙහි දැන් දැකිය හැක්කේ නියං සායට මතුව ඇති  දිවුල් ගැට පමණක්මය. එක යායට පොල් පුවක් ආදිය කරටි කඩා වැටී මැරෙන්නට වැටී ඇත. බීමට මෙන්ම ස්නානය සහ අනෙකුත් සනීපාරක්ෂක කටයුතු සඳහාද ජලය සපයා ගැනීම මහත් ගැටලුවක් වී ඇත. ග‍්‍රාමනිලධාරි කොට්ඨාස 17ක පිහිටි මහවිලච්චියේ ජනාවාසව ඇති කුඩා ගම්මාන ගණන 97 කි. මේ සියලු තැන් සඳහා ජලය බෙදීමට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජල බවුසර් 04 ක් දින හතරකට, පහකට වරක් සේවයේ යොදවා ඇතත් එය ප‍්‍රමාණවත් නැති බව ගැමියෝ කියති.

මතුව ඇති අහේනිය පිළිබඳව යූ.ඒ. ගාමිණි මහතා මෙසේ කීය.

ආයේ ඉතිං කොයි කාලෙක මේ වැවෙන් කුඹුරක් කරලා ආදායමක් ගන්ඩ පුළුවන් වෙයිද කියලා කියන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. ඔක්කොම කුඹුරු පුරන් වෙලා මුකලන් වැහිලා තියෙන්නේ. දැන් අවුරැද්දකින් හමාරකින් ගොඩ ගොවිතැනක්වත් කරගන්ඩ ඉඩක් ලැබුණේ නෑ. ගෙවල්වල වී පුරෝගෙන හිටපු අපිට දැන් කන්ඩ වී ඇටයක්වත් නෑ. ගමේ හැම කෙනාටම කඩෙන් හාල් කන්ඩ වෙලා තියෙන්නේ. එහෙන් හාල් ගිනි ගණන්. හොඳට කාල බීල කාටවත් බරක් නැතිව හිටපු මිනිස්සු දැන් තුන් වේල කන්ඩ නැතිව නෙළුම් අල හාරලා තම්බලා කන තැනට වැටිලා අසරණ වෙලා ඉන්නේ.

වාරි ඉඩම් අක්කර 2,264 ක් සහිත අක්කර අඩි 34,250 ක උපරිම ජල ධාරිතාවයක් දැරීමේ හැකියාවෙන් යුතු මහවිලච්චිය වැව ඇසුරින් ප‍්‍රධාන වශයෙන්  වී සහ එළවළු වගාව මෙන්ම අතිරේක බෝගයක් ලෙස උඳු වගාවෙහි මෙහි ගොවීන් නියැලී ඇත. අක්කර දහස් ගණනාවක් පුරා යල, මහ දෙකන්නයේ උඳු සහ තල වැපිරීම මේ ගොවීන්ගේ ප‍්‍රධානතම ආදායම් මාර්ගයක්ව පැවැත ඇත. ජාතික වශයෙන් වාර්ෂිකව ඉහළම උඳු අස්වැන්න ලැබීමට තරම් මේ ගොවීන් පොහොසත්ය. එනිසාම මහවිලච්චිය සමහරකු  උඳු තීරය ලෙසද හඳුන්වන්නේ නොපැකිලවය. එහෙත් ඒ සියල්ලක් වෙත කන්න තුනක් තිස්සේ කණකොකා හැඬූ බව ගොවීහු පවසති. නිසි පරිදි වැසි නොලැබීමෙන් ඉකුත් සමයේ අක්කර දහස් ගණනක හේන් තුළ වගා කළ බඩඉරිඟු, උඳු, තල, එළවළු ආදිය සියල්ලද විනාශ වූ බව ගැමියෝ පවසති. 

ඩබ්ලිව්.එම්. සිරිසේන මහතා කීයේ මෙවැනි අදහසකි.

දැන් හරකෙකුට කන්ඩ තණකොළ ගහක්වත් නැති තරමට පෑවිල්ල තදවෙලා තියෙන්නේ. කුඹුරු යායවල් පිටින් දාලා පිච්චිලා ගිහින් තියෙන්නේ. මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ ටිකේ. හරියට  බැලුවොත් ගොවිතැන් කරන මිනිස්සුන්ට ගම් රටවල් දාලා යන්ඩ තරම් අහේනියක් ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඉතිං මොනවා කියලා කරන්නද? වැස්සකුත් නෑ. වැවේ වතුරත් නෑ.

මහවිලච්චියේ පිහිටි තන්තිරිමලේ රජමහා විහාරය  වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන පිරිස් වෙත මඟ දෙපස රැදෙමින් එළවළු පළතුරු ටිකක් අලෙවි කොට කීයක් හෝ සොයා ගැනීමට වෑයම් කළ පිරිස්ද දැන් මෙහි දක්නට නැත. පැමිණෙන්නවුන් වෙත අත පා නවතා, අඹ මල්ලක්, කොමඩු ගෙඩියක්, දිවුල් ටිකක්, වෙරළු, නෙල්ලි ආදිය විකිණීමට වෑයම් කළ බොහෝ දෙනෙකුද දැන් අසරණව ඇත්තේ හේන් කුඹුරුවල කවර වගාවක්වත් කරන්නට නොහැකිව ඇති බැවිනි. පන්සල ළඟ මල් විකුණන පිරිස්ද මල් හිඟ වී අසරණව ඇත.  

අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා වෙතින් ගොවීන්ගේ වන්දි මුදල් ලැබීම පිළිබඳව කළ විමසීමකදී පැවසූයේ සමීක්ෂණය කොට වන්දි දීම සඳහා නිර්දේශ කළ ගොවීන්ගේ තොරතුරූ අමාත්‍යාංශය වෙත යවා ඇති බවය.

 සේයාරූ හා සටහන - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග