2017 ජුලි 22 වන සෙනසුරාදා

අර්ජුනට එරෙහි සංගා : සංගාට එරෙහි අර්ජුන

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකාවේ අභිමානයේ සංකේත යැයි හැඳින්වුවහොත් එහි වරදක් නොමැත. මෙම දෙපළ වර්තමාන ක‍්‍රිකට් පිටියේ සජීවී චරිත නොවූවද මේ දිනවල වඩාත් කතා බහට ලක්ව සිටිති. ශ්‍රී ලංකා ලෝක ශූර ක‍්‍රිකට් පිලේ නායකයා මෙන්ම වර්තමාන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අර්ජුන රණතුංග සහ හිටපු ශ්‍රී ලංකා නායක සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අතර මේ දිනවල මත ගැටුමක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි.

එම ගැටුමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සදාතනික අමිහිරි මතකයන් වන 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර ත‍්‍රස්තප‍්‍රහාරය සහ 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වීම යන සිද්ධීන් දෙක කරළියට පැමිණ තිබේ.  

මෙම ගැටුමේ කථා වස්තුව බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවකු වන ශ්‍රී ලංකාවේ පදිංචි විදේශිකයකු වන චාලි ඔස්ටින් මහතාය. ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ කළමනාකරු වන්නේ ද චාලි ඔස්ටින් මහතා වන අතර ඔවුන්ගේ ව්‍යාපාර පරිපාලනය ද ඒ මහතා හරහා වන බවට වාර්තා වේ. 

ඔස්ටින් මහතා වර්තමාන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයන් 20 කට අධික සංඛ්‍යාවක කළමනාකරු යැයි ද කියති. 

සිම්බාබ්වේ පිල හමුවේ එක්දින තරගාවලිය පරාජය වීමට හේතුව චාලි ඔස්ටින් මහතා සිය ක‍්‍රීඩකයන් හරහා කණ්ඩායමට එල්ල කළ බලපෑම් බවටද චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන් මේ සම්බන්ධයෙන් තිරය පිටුපස සිට ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ධියක් ලබා දුන් අතර අර්ජුන රණතුංග මහතා ද එයට ප‍්‍රතිචාර දැක්වීය. 

රණතුංග මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවීමට පෙර සහ ඉන්පසුවත් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පිළිබඳව විවේචනය කළ පුද්ගලයෙකි. රණතුංග මහතාගේ ප‍්‍රකාශයට කුමාර් සංගක්කාර මහතා එංගලන්තයේ සිට ප‍්‍රතිචාර දැක්වීමත් සමඟ පරණ කුණු එළියට පැන්නේය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වීමේ චෝදනාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙසට එල්ල වෙත්ම ක‍්‍රිකට් ආයතනයේ පුද්ගලයකු වෙබ් අඩවි හරහා මහේලට සහ සංගක්කාරට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ බව තතු දන්නෝ පවසති. 

එහිදී අදාළ නිලධාරියා ඔහුට සම්බන්ධ යැයි කියන ක‍්‍රීඩා සමාජයක ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයාගේ කළමනාකරැගේ නම ටිපෙක්ස් කර ඇතැමුන්ට ලබාදී තිබු බව වාර්තාවේ. එංගලන්තයේ පදිංචිව සිටින්නේ යැයි කියන එම කළමනාකරැවා අදාළ නිලධාරියාගේ හිතවතකු වන අතර එංගලන්තයේ හෝටල් පහසුකම් ඔහුගෙන් ලැබෙන බව ද වාර්තා වේ. 

අර්ජුන සහ සංගක්කාර ක‍්‍රිකට් ආයතනය ලබාදුන් කුණු ගොඩ ගෙඩි පිටින් ගිල දැමූ බව බොහෝ දෙනාගේ මතයයි. අර්ජුන රණතුංග මහතා චාලි ඔස්ටින් මහතාගේ ක‍්‍රියාකලාපය පිළිබඳව මාධ්‍ය හමුවකදී කළ විවේචනයකට කුමාර් සංගක්කාර එංගලන්තයේ සිට දැක්වූ ප‍්‍රතිචාරයක් සමඟ කුණු කන්දක් බවට පත්විය. 

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින කුමාර් සංගක්කාර ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන දුරකථන සමාගමක් තුළ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. මෙම මාධ්‍ය හමුව ඇතැම් විට ශ්‍රී ලංකාවේ පැවැති මෙවැනි ආකාරයේ පළමු මාධ්‍ය හමුව හැටියට ඉතිහාසගත වීමටද ඉඩ තිබේ. එහිදී සංගක්කාරගෙන් සජීව ප‍්‍රශ්න කිරීමේ අවස්ථාව මාධ්‍යවේදීන්ට හිමිවිය.  

චාලි ඔස්ටින් මහතාට සම්බන්ධ සමාගමකින් සංවිධානය කළේ යැයි කියන මෙම මාධ්‍ය හමුවට තෝරාගත් පිරිසක් සහභාගි කරවාගත් බවද වාර්තා වේ. 

එහිදී සංගක්කාර 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව පරීක්‍ෂණයක් කළ යුතු බවට අර්ජුණ රණතුංග මහතාට එරෙහිව චෝදනා එල්ල කළේය. 

මම හිතන්නේ ලාහෝර් ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම එවකට හිටපු පාලක මණ්ඩලය ගතයුතුයි. අපි ඒ දවස්වල ඇහුවා මේ සංචාරය සහභාගි වන එක හොඳයිද? ආරක්‍ෂාව තියෙනවාද කියලා. අපිට රක්‍ෂණයක් ගන්න පුළුවන් කියලා. ක‍්‍රීඩකයන් හැටියට අපි කවදාවත් සංචාරයක් යන්න බෑ කියලා නෑ

අපි ප‍්‍රහාරයට ලක්වෙලා නැවත පැමිණියාට පස්සේ වන්දි ඉල්ලලා කෑගැහුවේ නෑ. හික්මීමකින් මානසිකත්ව දැඩි කරගෙන අපි ක‍්‍රිකට් ගැහුවා

අපි අහපු සියලු ප‍්‍රශ්න නොතකා අපේ ආරක්‍ෂාව ගැන නොතකා මැරෙන්නම කියලා වගේ අපිව පාකිස්තානු සංචාරයට යැව්වා. සමහර ක‍්‍රීඩකයන්ට වෙඩි වැදී තුවාල වුණා. මගේ ඇඟේ ඒ වෙඩි වැදිච්ච කුඩු තාමත් තියෙනවා. ඒ නිසා ඒ සංචාරය සංවිධානය කළේ වගකීමෙන්ද? නැත්නම් පෞද්ගලික උවමනාවකටද? කියලා පරීක්‍ෂණයක් කළ යුතුයි

පාකිස්තානු ලීග් තරගාවලියේ අවසන් තරගය ලාහෝර්වලට ගෙනියන්න අපෙන් ඇහුවා. මම යන්නේ නෑ කිව්වා. මහේලත් කොදෙව් ක‍්‍රීඩකයොත් ගොඩක් අය බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා සල්ලි ගෙවනවා කියලා. ඇතැම් ක‍්‍රීඩකයන්ට ඩොලර් ලක්‍ෂයක්, සමහර අයට 50,000 ක්. අපි කිව්වා මේක මුදල් ගෙවන එකක් නම් කවදාවත් යන්නේ නෑ කියලා යැයි එහිදී සංගක්කාර පැවසීය. 

අර්ජුන රණතුංග මහතා පසුදින එයට ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. ලියනගම මහතා කටයුතු කළ බවත් පරීක්‍ෂණයක් කරනවා නම් තමාත් කැමති බවත්ය. 

තවද 2011 වසරේ ඉන්දියාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ පරාජය පිළිබඳව ද පරීක්‍ෂණයක් කළ යුතු බවට රණතුංග මහතා යෝජනා කළේය. 

සංගක්කාර මහත්තයා කියනවා නම් පරීක්‍ෂණයක් කරන්න. මමත් කියන්නේ පරීක්‍ෂණයක් කරන්න කියලා තමයි. ඒ වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිසි බලධාරී ලෙස සිටියේ ලියනගම. මම ඊට මාස කීපයකට පෙර ආසියානු ක‍්‍රිකට් සංගමයේ සභාපති. අපි ආසියානු තරගාවලිය පාකිස්තානයේ ඉතාම හොඳට පැවැත්වුවා

ඊට පස්සේ අයි.පී.එල්. තරගාවලියට යන්න  ඕනෙ කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම මට කිව්වා. මම කිව්වා රට පාවලා දීලා ඒකට අත්සන් කරන්න මට බෑ කියලා. ගාමිණි ලොකුගේ ක‍්‍රීඩා ඇමතිවරයා ඊට පසුව මාව අයින් කළා. ඉන් පසුව තමයි ඔය සංචාරයට ගියේ. එහිදී තමයි අනතුරට පත්වුණේ

මම හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්තානයට ගිය ක‍්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවැති ආසියානු කුසලානයට ගියා. ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා. මම වෙනම පුද්ගලයෙක්ව යැව්වා ඒ ආරක්ෂාව බලන්න

ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලිය යන විට  ඕනතරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක‍්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයි.පී.එල්.  ඕනේ නැහැ කියලා. නමුත් රටට ගහන්න වෙන කොට බෝම්බ ගහනවා කියලා කතා කරන්න නම් ක‍්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා යැයි අර්ජුණ රණතුංග මහතා වැඩි දුරටත් පවසා තිබුණි. 

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පසුගියදා 2011 ලෝක කුසලාන පරාජය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය හරහා ඉල්ලා තිබුණි. 

එහි හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණේ එම තරගයේ පරාජය පිළිබඳව කරැණු කීපයක් සම්බන්ධයෙන් සැකයක් ඇති බවයි. 

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ අනුමැතියෙන් තොරව අවසන් මහ තරගයේදී ක‍්‍රීඩකයන් සිව්දෙනකු වෙනස් කිරීම, ක‍්‍රීඩකයකු එම තරගය තුළදී විවේකාගාරයේ දුම්වැටි 50 කට අධික සංඛ්‍යාවක් පානය කිරීම සහ පරාජයෙන් පසුව නායකයා ඉල්ලා අස්වීම යන කරුණු හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණි. 

ලෝක කුසලාන පරාජය පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් ඉල්ලීමක් කළ ද එය නොකළ බව ද එහිදී චෝදනා කර තිබුණි. 

ඉච්ඡාභංගත්වයට පත්වූ අවස්ථාවේදී අධික ලෙස දුම්පානය කරන ක‍්‍රීඩකයා කවුරැන්ද යන්න බොහෝ දෙනකු දන්නා කරුණකි. මීට වසර කීපයකට පෙර ඩුබායි ක‍්‍රීඩාංගණයේදී ශතකයක් අහිමිවූ අවස්ථාවේදී අදාළ ක‍්‍රීඩකයා අධික ලෙස දුම්පානය කර තිබූ බව වාර්තා විය. 

ලෝක කුසලාන අවසන් මහ තරගයේ පරාජයෙන් පසුව නායකයා පමණක් නොව තේරීම් කමිටු සභාපතිව සිටි අරවින්ද ද සිල්වා මහතා ඇතුළු තේරීම් කමිටුව ද ඉල්ලා අස්විය. 

ලෝක කුසලාන තරගාවලියේ මාර්තු මස 29 වැනිදා නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ජය ලැබූ කණ්ඩායමේ වෙනස්කම් හතරක් කරමින් ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, චාමර සිල්වා සහ අජන්ත මෙන්ඩිස් අවසන් මහ තරගයෙන් ඉවත්කර තිබුණි. 

කුමාර් සංගක්කාර සිය ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් සගයාට ප‍්‍රතිචාර නොදැක්වූයේ නම් මෙවැනි ගැටුමක් නිර්මාණය නොවීමට ඉඩ තිබිණි. කෙසේ වෙතත් වෙතත් මේ ගැටුමේ වාසිය ලැබුණේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනාශ කරමින් සිටින ක‍්‍රිකට් නිලධාරීන්ට බව නැවතත් කිවයුතුය.  

 යොහාන් භාසුර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00