2017 ජුලි 22 වන සෙනසුරාදා

ලලිත් ජයසිංහට දැල එලුණු හැටි

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

යාපනය පුංකුඩුතිව්හි පදිංචිව සිටි පාසල් දැරියක් වන ශිවයෝගනාදන් විද්‍යා දැරිය දුෂණය කර මරාදැමීමේ සිද්ධිය මේ වන විට රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව ඇත. දැනට හෙළිවී ඇති සාක්ෂි සහ තොරතුරු අනුව විද්‍යා දූෂණය කර ඇත්තේ අසභ්‍ය වීඩියෝ පටයක් සැකසීමේ අරමුණ ඇතිව බව සඳහන්වේ. ඒ බව සැකකරුවන් විසින්ද තහවුරු කර ඇත.

කෙසේ වෙතත් මේ දිනවල ඊට අදාළ නඩු විභාගය නොනවත්වා අධිකරණයේ ඇසෙන අතර එම සාක්ෂි සැකකරුවන් මෙන්ම සාක්ෂිකරුවෝද හෙළි කරමින් සිටිති. කෙසේ වෙතත් නොකළ වරදක්ද වරදක් ලෙස පැවරීමට දන්නා පොලීසියේ සමහරැ මේ සිද්ධියේදී බබා වීමට ගොස් වැඩේ වරද්දා ගන්නේ නොසිතූ මොහොතකය. ඒ නිසා අවසානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නේ විද්‍යා ඝාතන සිද්ධියේ මහමොළකරු වූ ස්විස් කුමාර් නිදහස් කර පැන්නීමට උදව් දීමේ චෝදනාව මතය.

සැකකරුවන් විසිනුත් ස්විස් කුමාර් විසිනුත් අමු අමුවේ මේ අපරාධය සිදුකළ බවට පිළිගෙන තිබුණු මොහොතක ලලිත් ජයසිංහ එලෙස ප්‍රධාන සැකකරු නිදහස් කළේ කුමන අරමුණකින්ද යන්න දන්නේ ලලිත්ම පමණය.

2015 මැයි 13 දින මෙම ඝාතනය සිදුවිය. එම ඝාතනයෙන් පසුව පරීක්ෂණ කයිට්ස් පොලීසියට පැවරෙන අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධව සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගන්නේ පරීක්ෂණ පැවරී වැඩි දිනක් යන්නටත් මත්තෙනි. කෙතරම් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගත්තත් මෙහි ප්‍රධාන මහ මොළකරු වු ස්විස් කුමාර් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවන්නේ නැත. ඒ වන විටත් ස්විස් කුමාර් පැනගොස් සිටි නිසාය.

කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසුව ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඒ පොලිසීයට නොව ගම්වාසීන්ටය. කුමාර්ව අල්ලාගත් ගම්වාසින් ගමටම පේන්නට ඔහුට පහරදී ගස් බඳින්නේ අහස පො‍ෙළාව නුහුලන අපරාධයට පිළිතුරක් ලෙසය.

පසුව පොලීසිය මොහුව අත්අඩංගුවට ගන්නා අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රශ්න කරනු ලබන්නේ රඳවා ගැනීමේ නියෝග අනුවය. එහෙත් හිටි හැටියේම ස්විස් කුමාර් එළියට එන්නේ උතුරේ ජනතාවට පොලීසිය ගැන තිබූ විශ්වාසය පළුදු කරමිනි. සියලු සැකකරුවන් ස්විස් කුමාර් මේ සිද්ධියට සම්බන්ධ බවට කියා තිබියදීත් මොහු නිදහස් වුයේ කෙසේද යන්න ජනතාවට විශාල ප්‍රශ්නයක් විය.

මේ පිළිබඳව හොඳම සාක්ෂිය ලබා දෙන්නේ කොළඹ සරසවිය නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතාය. ඔහු කියන ආකාරයට ස්විස් කුමාර් යාපනය පොලීසියට රැගෙන යන්නේ ඔහුය. එසේ යාමට පෙර ස්විස් කුමාර් මෙම සිද්ධියේ ප්‍රධාක සැකකරු බවට ඔහු ලලිත් ජයසිංහට පවසා ඇත. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයකුගේ ඉල්ලීම මත ස්විස් කුමාර් රැගෙන යාපන මුලස්ථාන පොලීසියට ගොස් ඇත. එහෙත් ඔහුව පසුව නිදහස් කර ඇත. මෙලෙස නිදහස් කිරීමට හේතුව තමන් විමසීමේදී ලලිත් ජයසිංහ පවසා ඇත්තේ සාක්ෂි නොමැති නිසා නිදහස් කළ බව කියාය. එහෙත් සාක්ෂි තිබියදීත් මෙලෙස නිදහස් කළේ ඇයිද යන්න උතුරේ ජනතාවට විශාල ප්‍රශ්නයක් විය. මේ නිසාම උතුරේ ජනතාව ප්‍රකෝප වූ අතර තැන තැන උද්ඝෝෂණ, විරෝධතා පොලීසීයට එරෙහිව පැවැත්විණි. අවසානයේ මේ නිසාම පුද්ගලයන් 200 ක් අත්අඩංගුවට ගැනීමට සිදුවිය. හාස්‍යම කරැණ නම් වැරදි කරපු උන්ට පැන යන්නට උදව් කරණ විට නීතිය ඉල්ලු ජනතාවට මාංචු වැටීමය. මේ නිසාම ජනතාව අවසාන වශයෙන් අධිකරණයට පවා ගල්ගැසූහ.

අවසානයේ එන්න එන්නට තත්ත්වය හොඳ නැති නිසා විද්‍යා ඝාතන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර කෙරිණි. රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ නැවතත් ස්විස් කුමාර් කොටුවන අතර ඒ අනුව අදාළ නඩු විභාගයත් ආරම්භ වේ. කෙසේ වෙතත් මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් වශයෙන් ගෙන පසිඳන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුන් නියෝගයකට අනුව මෙහි අධිකරණ ක්‍රියාදාමය ආරම්භ වන්නේ හරි හරියටය.

කෙසේ වෙතත් ස්විස් කුමාර් ගෙන රහස් පොලීසිය ප්‍රශ්න කිරිමේදී හෙළිවන්නේ ලලිත් ජයසිංහ මෙය හිතා මතා සිදුකළ අක්‍රමිකතාවක් බවය. ඒ අනුව ඔහුට විරුද්ධව සාක්ෂි ඇති නිසා පොලීසිය මේ පිළිබඳව නීතිපති උපදෙස් පතන්නේ ලලිත් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන විමසමිනි. එහෙත් වසර දෙකක් යන තෙක් ලලිත් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන උපදෙස් ලැබුණේ නැත. ඒ නිසාම ලලිත් ද තැනින් තැන යමින් පළාත් පාලනය කරමින් යෙහෙන් වැජ‍ෙඹමින් සිටියේ නීතියට සරදම් කරමිනි.

නඩු විභාගය එක දිගට ඇසීමත් සමඟ ඊතලය ක්‍රමානුකූලව ලලිත් දෙස හැරෙමින් තිබුණේය. ඒ වන විට ලලිත් කිහිප විටක් රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කර තිබුණත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. මේ අතර නඩුව අසන අතර තුර සැකකාර ස්විස් කුමාර් නැමැත්තා පොලීසියෙන් මුදා හැර ඇති බවත් එය අපරාධ වරදක් ලෙසත් තහවුරු විය.

ඒ බව මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමඟ නිද්‍රාශීලීව මෙතෙක් කලක් සිටි පොලිස් කොමිසම හිටි හැටියේම අවදි වී ලලිත් ජයසිංහ මහතාට චෝදනා පත්‍රයක් දුන්නේය. එය එක් පැත්තකින් ඇපෙන් බේරීම සඳහාය. කෙසේ වෙතත් මේ සියලු සිද්ධීන් සිදුවන විට පසුගිය සතියේදී රහස් පොලීසිය වෙත නීතිපති උපදෙස් ලැබුණේය. ඒ ලලිත් ජයසිංහ අපරාධ වරදක් සිදුකර ඇති බව දන්වමිනි. ඒ නිසා ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා නියෝග ලැබුණේය.

ඒ අනුව ලලිත් ජයසිංහට පසුගිය සිකුරාදා (15) රහස් පොලීසියට පැමිණෙන ලෙසට දන්වා තිබුණේය. ජයසිංහ මහතා උදෑසන 9.30 පමණ රහස් පොලීසියට ගියේය. ඔහුව ප්‍රශ්න කරනු ලැබුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී තිසේරා විසිනි. පැය හතරකට කාලයක් ප්‍රශ්න කළ අතර එහිදී අනාවරණය වුණේ ලලිත් ජයසිංහ හිතා මතාම ස්විස් කුමාර් මුදවා ඇති බවය. ඔහු අපරධකරු බවට දැන දැනත් ඔහුට නිදහස් වීමට උදව් උපකාර කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ මහතා අත් අඩංගුවට පත්විය. ඒ දහවල් 2.15ට පමණය.

අත් අඩංගුවට ගත් ලලිත් ජයසිංහව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එදින සවසම කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය බලා පිටත් විය. එසේ යන අතර තුරේදී මෝටර් රථය අනතුරට පත්විය. මේ නිසාම අවසානයේ ලලිත් ජයසිංහව අධිකරණයට ඉදිරිපත් කරන්නට වන්නේ ඊට පසුදින උදෑසන 6.00ට පමණය. ඒ වන විටත් වැඩබලන මහේස්ත්‍රාත් වරයකු සූදානම්ව සිටි නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ දඬුවම් දියහැකි වරදක් කර ඇති බැවින් සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව ලබන 25 දා තෙක් බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙරිණි. සැකකරු වෙනුවෙන් ඒ වන විට නීතීඥයන් තිදෙනකු ඉදිරිපත් වී සිටි අතර එහිදී නීතීඥයන් විසින් ඉල්ලා සිටියේ ඔහුගේ ආරක්ෂාව පතා යාපනය බන්ධනාගාරයට නොව අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු කරන ලෙස කියාය. එයට රහස් පොලීසියද විරුද්ධ නොවූ හෙයින් ඔහු අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු කරනු ලැබීය. එපමණක් නොව ඔහුගේ හිර කූඩුව අවට විශේෂ කාර්ය බලකා සෙබළුන්ද යෙදවීය. ඒ අනුව විද්‍යා ඝාතන සිද්ධියට අවසානයේ ලලිත් එක සැකකරුවෙකු විය.

මේ සිද්ධියත් සමඟ ලලිත් ජයසිංහ ඉතිහාස ගතවන අතර ඒ පොලිස් ඉතිහාසයේ සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් ඉහළම නිලධාරියා ලෙසය. කෙසේ වෙතත් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වන මේ නඩු විභාගයේ ප්‍රතිඵල වැඩි ඈතක් යන්නට කලියෙන් ලැබෙනු ඇත. එදිනට ලලිත් ජයසිංහ අවංක නිලධාරියෙක්ද නැතිනම් වංචාකාරයෙක්ද යන්න හෙළිවනු ඇත.

 ගයාන් ගාල්ලගේ