2017 ජුලි 22 වන සෙනසුරාදා

කවුද මේ පුදුම හිතෙන සාක්ෂිකරු?

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම පසුගිය සතියේ සඳුදා සුපුරුදු පරිදි රැස්විය. එදින කොමිසම හමුවේ ඉදිරිපත් වුණේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සජිත් රුචික ආටිගල මහතාය. ඔහුගේ සාක්ෂිය අනුව 2015 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 100.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට අවශ්‍යව තිබී ඇත. ඊට අමතරව රජය ලබාගෙන තිබූ ණය සඳහා පොලී වශයෙන් රුපියල් බිලියන 85.22ක මුදලක්ද, ණය වාරික සඳහා රුපියල් බිලියන 128.86ක මුදලක්ද අත්‍යවශ්‍යව තිබී ඇත. එම මුදල් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 213.86 මුදලක් සපයා දෙන ලෙසත් එය භාණ්ඩාගාර බිල්පත් හරහා ලබාදෙන ලෙසත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැන්වූ බව ඔහු කීය.

එසේම 2015 පෙබරවාරි මාසයේ රජයේ මුළු ණය අවශ්‍යතාවය කොපමණදැයි මෙහිදී ප්‍රශ්න කළේය. එවිට ආටිගල මහතා පවසා සිටියේ රුපියල් බිලියන 6.9ක අවශ්‍යතාවක් තිබූ බවය. 2015 මාර්තු 02වනදා මූල්‍ය ප්‍රවාහක අවශ්‍යතාවය කෙසේදැයි විමසීය. එවිට ආටිගල මහතා පවසා සිටියේ රුපියල් බිලියන 13.5ක මුදලක් බවය.

ඒ අනුව මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාර්ග සංවර්ධන වැඩකටයුතු සඳහා රුපියල් බිලියන 75ක මුදලක් ඉල්ලා මහ බැංකු අධිපතිවරයා වෙත යොමුකළ දිනයක් නොමැති ලිපිය සාක්ෂිකරුට පෙන්වීය. එවිට ආටිගල මහතා පැවසුවේ තමන් එවැනි ලිපියක් නොදැක්ක බවය. ඒ අනුව එදින ඔහුගෙන් සාක්ෂි ලබාගත් අතර ඔහු විසින් ඉදිරිපත් කළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක සිල්වා මහතා කාලය ඉල්ලීය. ප්‍රශ්න කිරීම 18 දක්වා කල්ගියේය.

ඒ අනුව නැවත 18 වනදා ආටිගල මහතා කැඳවීය. ඔහුගෙන් එදින නීතිඥ චානක ද සිල්වා මහතා ප්‍රශ්න කරන්නට විය.

එහිදී 2015 පෙබරවාරි මස 24 වනදා ආර්ථික විද්‍යා කමිටුවේදී මාර්ග සංවර්ධනයට මුදල් අවශ්‍ය බවට ගත් තීරණයන්, 2015 පෙබරවාරි මස 26 මහ බැංකුවේ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූ බවටත්, එම රැස්වීමට මුදල් අමාත්‍යවරයා සහභාගි වූ බවටත්, එම රැස්වීමට කබීර් හෂීම් අමාත්‍යවරයා සහභාගි වූ බවත් තමන් නොදන්නා බව ආටිගල මහතා සඳහන් කරයි. එවැනි රැස්වීම්වලට තමන් සම්බන්ධ නොවූ බවද ඔහු මෙහිදී පැවසීය.

මේ අතරතුර  නීතිඥ චානක මහතා දිනයක් නොමැතිවී රවි කරුණානායක අමාත්‍යවරයා විසින් මහ බැංකුවට යවන ලද ලිපිය පෙන්නා ඒ අත්සන රවි අමාත්‍යවරයාගේදැයි විමසනු ලැබීය. එවිට ආටිගල මහතා එය පිළිගන්නා අතර එම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙනුත් තමන්ට ගැටලුවක් නැහැනේ දැයි නීතිඥවරයා විසින් ආටිගල මහතාගෙන් විමසීය.

මේ අවස්ථාවේ එකවර නැගී සිටි පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අතිරේක සොලිසිටර් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පවසා සිටින්නේ නීතිඥ චානක සිල්වා මහතා විමසූ ප්‍රශ්නය ඉවත්කර ගන්න ලෙසය.

ඒ අනුව කොමිසමේ සභාපති විනිසුරු මිත්‍රසිරි මහතා එය ඉවත් කරගන්නා ලෙසට දැනුම් දුන්නේය. එසේ පවසනවාත් සමඟම නීතිඥ චානක සිල්වා විමසා සිටින්නේ අසනීපයක්ද යැයි කියාය. එවිට උද්වේගයෙන් නැගී සිටින ලිවේරා මහතා මට ඔබට අණදීමට හැකියාව ඇතැයි පැවසීය. එවිට නීතිඥ චානක ද සිල්වා පවසන්නේ තමන්ටද අණ දිය හැකි බවය. මෙයත් සමඟ විනිසුරු චිත්‍රසිරි මහතා මහත් උද්වේගකරයෙන් පවසා සිටින්නේ දෙදෙනාටම දෙදෙනාට අණදීමට හැකි බවය.

ඉන් අනතුරුව නැවතත් ප්‍රශ්න කරන අතර ආටිගල මහතා පවසන්නේ 2015 පෙබරවාරි මාසයේ රාජ්‍ය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 46ක් ලෙස භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට දැනුම් දුන්නත් ඔවුන්ට සොයාදීමට හැකිවුණේ බිලියන 40.5ක් බවය. ඒ අනුව ආටිගල මහතාගෙන් ප්‍රශ්න කිරීම නිමවිය.

ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා කැඳවීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින් ගුණතිලක මහතා කොමිසම අමතමින් පවසා සිටියේ පර්පර්චුවල් ට්‍රෙෂරිස් සමාගම හා සේවක අර්ථසාධක අරමුදල අතර සිදුවූ ගනුදෙනු 32කදී පෑන් ඒෂියා බැංකුව අතරමැදියකු ලෙස කටයුතු සිදුකර ඇති බවය. මෙවැනි  ගනුදෙනු සිදුවූ ඩීල් ටිකට් මේ දක්වා අහවර කර නොමැති නිසා ඒවා සම්පූර්ණ කිරීමට අවසර පැතීය. ඒ අනුව ඊට කොමිසම අවසර ලබා දුන්නේය. ඒ අනුව එදින සාක්ෂි කැඳවීම නිමවිය.

නැවත කොමිසම ඊට පසුදින කැඳවනු ලැබිණි. එදින කැඳවා තිබුණේද පෑන් එෂියා බැංකුවේ අරුණ බෙනඩික් ඩයස්ය. එදින පෑන් එෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ ඔහුගේම සමාගමක් වන ඇන්.ජී. කැපිටල් ආයතනය සමඟ සිදුකළ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමසීය. එවිට අරුණ සඳහන් කර සිටියේ එම සියලු ගනුදෙනු නිමල් පෙරේරාගේ උපදෙස් මත දුරකතනය ඔස්සේ සිදුකළ බවය. එසේම නිමල් පෙරේරා සහ ඔහුගේ සමාගම රුපියල් බිලියන 85ක බැඳුම්කර සේවක අර්ථසාධකයට විකුණූ බවද ඔහු කීවේය.

ඉන් අනතුරුව අරුණ මහතාගෙන් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කළේය. එහිදී අරුණ පවසන්නේ පර්පර්චුවල් ට්‍රෙෂරිස් සමාගමේ නිලධාරීන් තමන් හමුවන්නට ගියේ සභාපති නිහාල් පෙරේරා මහතාගේ උපදෙස් මත බවය.

ඉන් අනතුරුව අතිරේක සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණවර්ධන මහතා අරුණ මහතාගෙන් ප්‍රශ්න කරන්නට විය. එහිදී අරුණ මහතා පවසා සිටියේ 2017 ජූනි 03 වන දින අර්ජුන ඇලෝසියස් මහතා හමුවන්නට ගිය බවත් එහිදී ඉදිරි සති දෙක තීරණාත්මක බව ඔහු කී බවත් අවශ්‍යයෙන්ම වැදගත් තොරතුරු සහ සාක්ෂි සඟවන ලෙසට තමන්ට ඇලෝසියස් පැවසූ බවත්ය.  එදිනට දුරකතන ඇමතුමක් දුන් බවද ඔහු කීය. ඒ අනුව එදින සාක්ෂි කැඳවීම නිම විය.

නැවත කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා කැඳවීය. එදින අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද පවසා සිටියේ බැඳුම්කර ගනුදෙනුවට ඩීල් ටිකට් සියල්ල බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කරන බවය. එදින ප්‍රශ්න කිරීම සඳහා කැඳවා සිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ණය අධිකාරි වත්තල ගමගේ මහතා විසින් මහ බැංකු පරිගණක පද්ධතියෙන් ලබාගත් ගනුදෙනු වාර්තාවට අදාළ සමහර ජාත්‍යන්තර බැඳුම්කර ගනුදෙනු අංකද කොමිසමට ඉදිරිපත් කළේය. ඒ අනුව එදින ඔහුගේ සාක්ෂිය නිමවිය.

මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය රහසක් හෙළි කළාය. එනම් ඉදිරියේදී බැඳුම්කර කොමිසම හමුවට පුදුම හිතෙන සාක්කිකරුවකු පැමිණෙන බවය. එය කාටත් දැන් පුදුමයක් ඇත. ඒ අනුව එදින කොමිසමේ වැඩ නිමවිය.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි කොමිසමේ කාලය තවත් මාස තුනකින් දිගුකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. එයට හේතු වී ඇත්තේ තවත් සාක්ෂි කිහිපයක් ලබා ගැනීමට ඇති නිසාය. කෙසේ වෙතත් කොමිසමේ කාලය පසුගිය අප්‍රේල් 27දායින් අවසන් වීමට තිබුණු අතර එහෙත් කොමිසම විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා තවත් මාස තුනකින් කොමිසමේ කාලය දීර්ඝ කළේය. ඒ අනුව මෙවරද කාලය දිගුකරන ලෙස ඉල්ලා ඇත.

 ගයාන් ගාල්ලගේ