2017 ජුලි 22 වන සෙනසුරාදා

උතුරු මැද පළාත් සභාවේ සෙංකෝලය වැසිකිළියේ!

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

පසුගිය 18 වැනිදා උතුරෙු මැද පළාත් සභාවේ එජාපය සිය බල තහවුරු කරගත්තේ ආණ්ඩුවේ යහපාලනය මෙය දැයි ප්‍රශ්නයක් ඉතිරි කරමිනි. 1993 දී බලහත්කාරයෙන් පළාත් සභාවක බලය අත්පත් කරගැනීමක් සිදුවිය. එහෙත් හවුල් යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ සම්මුතියෙන් එක්වෙමු. සම්මුතියෙන් තීරණ ගනිමු. සම්මුතියෙන් විසිර යමු යනුවෙන් පවසමිනි. එසේ පැවසූ පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා යමින් පළාත් බලය උදුරා ගැනීම කොතරම් සාධාරණද? යහපාලකයන්ට බලය සාධාරණ අන්දමින් අත්පත් කරගැනීමට වෙනයම් නීතීමය ක්‍රියාමාර්ගයක් ගන්නට තිබුණා නොවේද? යහපාලනයේ සම්මුතිය මෙයද? රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ඉදිරිපත් කළ ප්‍රමුඛම චෝදනාවක් වූයේ ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීමේ සිද්ධියයි. පැහැදිලිවම එය අත්තනෝමතිකව කටයුතු කළ අවස්ථාවක් වුණත් ඇය ඉවත්කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ සම්මතයෙනි. උතුරු මැද පළාත් සභාවේ මෙන් බලහත්කාරයෙන් ගුටිකෙළියෙන් නොවේ.

18 වැනිදා උතුරු මැද පළාත් සභාවේ න්‍යායපත්‍රයට ඇතුළත් කොට තිබුණේ එහි සභාපති ටී.ඒ.ආර් සිරිපාල එරෙහිව චෝදනා අටකින් යුත් විශ්වාසභංග යෝජනාව පමණි. උපසභාපතිවරයා විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට ඇතුළත් නොකරන ලෙස පැවසුවත් ලේකම්වරයා ස්වකැමැත්තට න්‍යාපත්‍රයට කළා යනුවෙන් පවසමින් විශ්වාසභංග යෝජනාව සභාපතිවරයා ඉවත දමා සභාව කල්තැබීමට උත්සාහ කළේය. ඒත් සමඟම එජාප මන්ත්‍රීවරු සභාපතිවරයා වට කළහ. ආණ්ඩු පක්ෂයද එම ස්ථානයට කඩා පැනීම නිසා දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. සභාපතිවරයා ආරක්ෂා කරගනිමින් ඒකබද්ධයේ ආණ්ඩු පක්ෂය සෙංකෝලය සභාවෙන් ඉවත් කරගැනීමට උත්සහ කළේය. නමුත් සෙංකෝලය ඉවත් කිරීමට විපක්ෂය ඉඩදුන්නේ නැත. පසුව තාවකාලිකව එජාපයේ ඩී.එම්. අමරතුංග සභාපති ලෙස මූලාසනයේ අසුන්ගෙන විපක්ෂ නායක අනිල් රත්නායකට විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට අවසර දුන්නේය. ආණ්ඩු පක්ෂ හා විපක්ෂ පළාත් මැතිඇමතිවරු ඉදිරියේ විශ්වාසභංගය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍යදැයි විමසූවිට සියලු දෙනා නිහඬව සිටීම හේතුවෙන් විශ්වාසභංගය ඒකමතිකව සම්මත විය. මෙලෙස ඒකාබද්ධයේ දැඩි විරෝධය හමුවේ සභාපති ධූරයෙන් ටී.ඒ.එම් සිරිපාල ඉවත් කරනු ලැබීය. මූලාසනයේ සිටි ඩී.ඒ. අමරතුංග 11.00 පමණට සභාව කල්තැබුවේ නැවත දහවල් 2.00ට සභාව ආරම්භ කිරීමට ය.

“සාමාන්‍ය සම්ප්‍රදාය සභාවේ නොසන්සුන්කාරි තත්ත්වයක් ආවොත් එකපාරටම සභාව කල් තියන්නෙ නෑ. පක්ෂ නායක රැස්වීම් දෙසැරයක් කැඳවලත් හරි ගියේ නැත්තම් තමයි කල්තියන්නේ. විශ්වාසභංගයෙන් පරාජය වන බව දන්න නිසා උපක්‍රමයක් ලෙස කලින්ම සැලසුම් කරගෙන ඇවිත් මේ යෝජනාවෙන් පළා යන්නයි ඔවුන් උත්සාහ කළේ. එවැනි තත්ත්වයකදී අපිට තියෙන ප්‍රතිපාදනය සෙංකෝලය සභාව තුළ රඳවාගෙන ඉන් එහා කටයුතු තාවකාලික සභාපතිවරයෙක් යටතට පත්කරගැනීමයි. සෙංකෝලය නැත්තම් නිත්‍යනුකූල නෑ. ඒ නිසා සෙංකෝලය සභාව තුළ ආරක්ෂිත තියාගන්න අපි උත්සහ කළා. ඒගොල්ලො අරගෙන යන්න උත්සහ කළා. මුල්වටේ සෙංකෝලේ ආරක්ෂා කරගෙන අපි විශ්වාසභංගය සම්මත කළා.” විපක්ෂ නායක අනිල් රත්නායක මහතා එසේ කීය. 

සභාව තුළ සිදුවූ සිදුවීම වැඩිදුරටත් විස්තර කරමින් විපක්ෂ නායක අනිල් රත්නායක මෙසේද පවසීය. 

නැවත 2.00ට සභාව රැස්වීමට නියමිත වුණා. සියලු දෙනාම සභාවෙන් ඉවත් වුණාට පස්සේ සෙංකෝලය ආරක්ෂා කරන්න ඕනෑ වේත්‍රධාරීන්. ඔවුන් සියලු දොරවල් වහලා දැම්මා. ඊට පස්සේ සභාව ඇතුළට දොරක කම්බිකූරු ඈත් කරලා සභාපතිවරයාගේ බෑනා සහ රියදුරා ඇතුළට පැනලා සෙංකෝලය පැහරගෙන ගිහින් තියෙනවා. හංගලා තිබුණේ සභාපතිගේ කාමරේ. ඊට පස්සෙ නැවත සභාව පවත්වන්න සෙංකෝලය වේත්‍රධාරීන් ඉල්ලුවා. ඔහු දුන්නෙ නෑ. ඊට පස්සේ පොලිසීයත් ඉල්ලුවා. ඒත් දුන්නෙ නෑ. ඊට පස්සේ  අනිත් මන්ත්‍රීවරුත් එතැන්ට ගියාම සෙංකෝලය කෑලි කරලා හංගලා. එකක් සභාපතිගේ කකුල යට. අනික වැසිකිළියේ. ඒ හොයාගද්දිත් ආයේ ගාල ගෝට්ටියක් ඇති වුණා.

මෙහිදි විපක්ෂය සේම ආණ්ඩු පක්ෂයද ක්‍රියා කර ඇත්තේ එකසමාන අයුරකිනි. එනිසා එක් පාර්ශවයකට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකිය. සිදුව ඇත්තේ රාජකාරිය ඉටු කිරීමට යෑම සහ වැළැක්වීම අතර ඝට්ටනයකි.

නියමිත පරිදි දහවල් 2.00ට නැවත සභාව ආරම්භ කිරීමට සභාවේ සෙංකෝලය නොතිබුණි. ඒ වනවිට සෙංකෝලයේ එක් කොටසක් සභාපතිගේ නානකාමරය තුළ සභාපතිවරයාගේ කබායකින් ඔතා සඟවා තිබුණි. අනෙක් කොටස සභාපතිවරයාගේ මේසය යට සභාපතිවරයාගේ කකුල යට තිබුණි. ඔහුගේ ආරක්ෂාවට ඒකාබද්ධයේ දහතුන් දෙනෙකුද සිට ඇති අතර එම ස්ථානයට එජාප මන්ත්‍රීන් කඩා පැන්නේ සෙංකෝලය සොයාගැනීමටය. එහිදි නැවතත් දෙපිරිස අතර ගැටුමක් ඇති වී පුටුවලින් ගහගන්නට වූහ. ඒත් සෙංකෝලය සොයාගන්නේ නැතිව සභාව ආරම්භ කළ නොහැකි නිසා සෙංකෝලය සොයාගැනීමට පොලීසියේ සහාය පැතීමට ඔවුන්ට සිදුවිය. 

“නිලධාරීන් කරන්නේ නැත්තම් සභාපතිවරයා විදිහට සෙංකෝලෙ ආරක්ෂා කරන්න ඕනෑ මම. මම මන්ත්‍රීවරයෙක්ට කියලා ‍සෙංකෝලය ගෙන්නලා පොලිසියට බාර දෙද්දී එයාලා බාරගත්තේ නෑ. ඊට පස්සේ අර කට්ටිය සෙංකෝලෙ කඩලදායි කියලා මම කොටස් දෙකකට කරලා තිබ්බා. ඒක ඇත්ත. ඒ පිරිසක් අනවශ්‍ය විදිහට සෙංකෝලෙ තබාගෙන රැස්වීමක් පැවැත්වුවා. ඒකයි වුණේ.” හිටපු සභාපති ටී.ඒ.ආර්. සිරිපාල මහතා කීය.

සෙංකෝලය සභාවේ තියෙනකොට ඕනෑම වෙලාවක ධූරාවලියේ ඉන්න මන්ත්‍රීවරයෙක් නම්කර ස්ථිර ක‍ළොත් මූලාසනයේ ඉඳගෙන සභාවේ කටයුතු මෙහෙයවන්න පුළුවන්. ඒ අනුව තමයි අපි කටයුතු කළේ. ඒ වෙලාවේ තමයි සිරිසේනගේ මැරයෝ සභාවේ දොරවල් කඩලා සෙංකෝලයත් කැඩුවේ. මේවා සාදාචාරාත්මක වැඩ නෙවෙයි. අපි නිතරම කටයුතු කළේ සභාවටත් සෙංකෝලෙට ගරු කරළා. නමුත් සභාපති සෙංකෝලය කාමරේට හොරෙන් ගෙනියලා කෑල්ලක් පාගා ගෙන අනික ලැට් එකේ දැම්මා. නව සභාපති ඩී.එම අමරතුංග මහතා සඳහන් කළේය. 

පළාත් සභාවේ බලය අත්පත් කරගැනීමට කටයුතු කළ ආකාරය ප්‍රජාතන්ත්‍රවිරෝධි නොවන්නේ දැයි කළ විමසුමට නව සභාපති ඩී.එම්. අමරතුංග මහතා මෙසේ පිළිතුරු දුන්නේය. “අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අණ පනත්වලට යටත්ව කරුණු කාරණා එක්ක තමයි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ. මාස දෙකක කාලයක් රීති වෙනස් කරලා අත්නෝමතික විදිහට සදාචාර විරෝධීව සභාපතිවරයා කටයුතු කළා. විශ්වාසභංගයක් ඉදිරිපත් වෙනකොට සදාචාරයක් තියෙන කෙනෙක් විශ්වාසභංගය ජය අරගෙන නිදොස් වෙන්න ඕනෑ. සභාපති අපිට භාෂණයේ නිදහසවත් දුන්නෙ නෑ. හැමදාම කඩාකප්පල් කරමින් තමයි හිටියේ. රීතිවල ප්‍රශ්නයක් තියෙනවා නම් සභාවෙන් පැනලා යන්නෙ නැතුව සාකච්ඡා කරලා නිදොස් වෙන්න ඕනෑ. අපි සභා කටයුතු පිළිබඳ කාරක සභාවේ පක්ෂ නායකයෝ රැස්වෙල න්‍යාය පත්‍රය පිළිබඳව සාමාජිකයන් 07 දෙනෙක් ගත්තු තීන්දු සභාපතිට වෙනස්කරන්න අයිතියක් නෑ. අපිට මෙවැනි චෝදනා ආව නම් චෝදනාවලින් සද්භාවයෙන් නිදොස් වෙනවා. සභාපතිවරයාට සාදාචාරයක් තියෙනවා නම් එදා මෙහෙම කටයුතු කරන්නේ නෑ.” 

විපක්ෂ නායක අනිල් රත්නායක පැවසුවේත් මාස කිහිපයක්ම සභාපතිවරයා විශ්වාසභංගයෙන් පළා යමින් සිටි නිසා වෙන කිරීමට මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නොවුණු බවයි.

තමාට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් විශ්වාසභංගයෙන් පරාජය වූ සභාපති සිරිසේන මහතා කරුණු මෙසේ පැහැදිලි කර දුන්නේය. 

“විශ්වාසභංගයෙන් මම නිල කබායක් ගන්න අණපනත් මෙහෙයවනවා කියලා චෝදනාවක් ඉදිරිපත් කරනවා. මම සභාපති ධූරයට පත්වෙලා අවුරුදු පහක් වෙනවා. නිල කබායක් තවදුරටත් අඳින්න බැරි නම් වසර පහකට වරක් සභා ලේකම්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් අලුත් නිල කබායක් මහන්න. ඒ අනුව තමයි ලේකම්වරයාගෙන් මම ඉල්ලුවේ. ඔහු නීති රාමුව තුළ ප්‍රසම්පාදන මණ්ඩලයට දාලා මිල ගණන් කැඳවලා නිත්‍යනුකූලව තමයි කබාය අරං තියෙන්නේත්. නිල කබාය අරගෙන දැන් අවුරුදු පහක් වෙනවා. මම මිල ගණන් දැම්මෙත් නෑ, කැ‍ෙදව්වෙත් නෑ. නමුත් මට එරෙහිව දැන් විශ්වාසභංගයේ මේක චෝදනාවක් කරගෙන. මේ ප්‍රශ්න ඇමැති ධූර මාරු කළාට පස්සේ දාන දේවල්. මේ වගේම තමයි අනිත් චෝදනාත්. ලේකම්වරයාට බලපෑම් කළා කියලා වාර්තාවක් තිබුණා නම් විශ්වාසභංගයක් දාන්න පුළුවන්. හිතූ පමණින්ම දාන්න බෑනේ. ඒ අනුවයි හේතු දක්වලා නියෝජ්‍ය සභාපතිවරයා විශ්වාසභංය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. හේතු සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා වාර්තාවක් සකසලා විභාග කර ඉදිරියේදි සභාපතිකමින් ඉවත් කරන්න පුළුවන්.”

උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය කටයුතු කළ ආකාරය සදාචාර විරෝධීය. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය. චෝදනාවක් එල්ල කිරීමට පදනමක් තිබිය යුතුය. තමාට එරෙහිව එල්ල වන ඕනෑම චෝදනාවකට සාධාරණ ලෙස පිළිතුරු දීමට ද බැඳී සිටිය යුතුය.

නැවත සභාව දහවල් 3.00ට සභාව ආරම්භ විය. නව සභාපති ලෙස අනිල් රත්නායක මහතා විසින් ඩී.එම්. අමරතුංග මහතා යෝජනා විය. එම යෝජනා සම්මත වී නව සභාපති ලෙස පත්වූ ඩී.එම්. අමරතුංග මහතා සභාව කල් තැබුවේය. ඊට විරෝධය දක්වමින් නැවතත් සභාව තුළ කළහකාරි තත්ත්වයක් නිර්මාණය වුණි. කෙසේ වෙතත් එදින සවසම මහඇමති පී.බී. දිසානායක ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේය. උතුරු මැද පළාත් සභාව විසුරැවා හැරීමට තව ඇත්තේ මාස දෙකක් පමණි. එනම් සැප්තම්බර් මාසයේදීය. සභාව තුළ විශාල ගාලගෝට්ටියකින් එජාපය බලය තහවුරැ කළේ ඒ මාස දෙක සඳහාය.

 සකීෆ් සාම් තන්වීරි.