2017 ජුලි 15 වන සෙනසුරාදා

චීන සල්ලි මල්ලට විද්ද පොලිස් සැරයන් කූඩුවේ

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

කොළඹ රාත්‍රි සමාජශාලාවලට පැමිණ විනෝද වන විදේශිකයන්ට පොළියට මුදල් ලබාදුන් චීන ජාතික කාන්තාවක් සතු රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ පනස් දහසක් (15,250,000)ය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ජංගම දුරකථන දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසියට අනුයුක්ත ගම්පහ විශේෂ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරයෙක් හා ඔහුගේ හිතවත් පිරිසක් වැල්ලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ දින කීපයක මෙහෙයුමකිනි.

චීන ජාතික කාන්තාව වසර දහයක් පමණ මෙරට පදිංචිව සිටිනියකි. ඇය කෝළඹ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජශාලාවල කැසිනෝ සූදු ක්‍රීඩාවට පැමිණෙන චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන්ට මුදල් පොළියට ලබාදීමේ නිරතව සිටියාය. එමගින් එක් රාත්‍රියකට රුපියල් ලක්ෂ 100 – 150 අතර මුදලක් උපයන්නට ඇය සමත් වූවාය. රාත්‍රිය පුරා උපයාගන්නා මුදල් රැගෙන අළුයම සිය නවාතැන පිහිටි වැල්ලවත්ත ප්‍රදේශයට ගමන් කිරීම ඇයගේ පුරුද්දකි. වැල්ලවත්ත ගාලුපාරේ අංක 296 ලිපිනයේ පිහිටි සුපිරි මහල් නිවාසයේ උඩු මහලක පදිංචිව සිටි ඇය සමඟ ඇගේ දුව හා පුතාද රැඳීසිටියේය.

කැසිනෝ සූදුකරුවන්ට පොළියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයේ නිරතව සිටි 56 හැවිරිදි මැය පසුගිය ජූනි 27 වැනිදා රාත්‍රියේ කොළඹ කොටුව ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි බේලීස් රාත්‍රී සමාජශාලාවේ රැඳීසිටියාය. සාමාන්‍ය පරිදි ව්‍යාපාර කටයුතු අවසන් කළ ඇය එතැනින් පිටව ගියේ අළුයම 1.30ට පමණ කඩිමුඩියේ පිටව යන කාන්තාව දෙස පිරිසක් ඇසගසා සිටිව බව ඇය දන්නේ නැත. සමාජශාලාවෙන් පිටත් වූ වහාම ඇය එතැනින් නික්ම ගිය බව දන්වා තවත් පිරිසක් දැනුම්වත් කරන්නට ඈ දෙස බලාසිටි කීපදෙනෙක් කටයුතු කළෝය. ඔහුන් එසේ තොරතුරු දන්වා තිබුණේ ගාලුමුවදොර පිහිටි ආසන්නයේ රැදීසිටි පෙර කී පිරිසේම තවත් සාමාජිකයන් කීපදෙනකුටය. ඔවුන්ද මෝටර් රථයක් තුළට වී එතෙක් වේලා බලාසිට ඇත්තේ චීන ජාතික කාන්තාව ඔවුන් පසුකර යන තෙක්ය. තොරතුරු ලබාදුන් වහාම ඔවුන් රැගත් මොටර් රථයද පෙර කී කාන්තාවගේ පසුපසින් ගමන් කරමින් සිටියේය.

ගාලුමුවදොර පිටිය ආසන්නයේදී එක්වූ මෝටර් රථ දෙකේම පිරිස පෙරකී කාන්තාවගේ මොටර් රථය පසුපස ලුහුබඳින්නට වූහ. වාහන දෙකේ ගමන් කරන පිරිස හත්දෙනෙකි. චීන ජාතික කාන්තාව ගාලුපාර ඔස්සේ ගමන් කර අංක 296 ස්ථානයේ පිහිටි නවීන මහල් නිවාස සංකීර්ණයක් වෙත මෝටර් රථය ඇතුළු කළාය. ඒ සමඟ පසුපසින් ආ මෝටර් රථ දෙකෙන් බැසගත් පුද්ගලයන් 4 දෙනකු වහා දිවගියේ චීන ජාතික කාන්තාව අසළටය. කිසිවක් නොදත් ඇය තමා සතු අත්බෑගයේ මුදල් තොගය සමඟින් නැගීසිටියේ ඉහළ මාලයේ නිවෙස වෙත යන්නටය. ඊට ඉඩක් නොදුන් ඈ වෙත කඩාපැන්න පිරිස කාන්තාවට එකපිට එක පහර දෙන්නට වූහ. නොසිතූ මොහොතක එල්ල වූ ප්‍රහාරයෙන් මිදෙන්නට අවස්ථාවක් නොවූ ඇගේ මුදල් තොගය සොරාගත් පිරිස ක්ෂණයකින් එම ස්ථානයෙන් පිටව ගියේය.

පහර කෑමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාව මහල් නිවාස සංකීර්ණයේ රථගාල අභියස වැටී සිටියදී මොහොතකට පසුව ඇගේ සහායට පැමිණ තිබුණේ එහි ආරක්ෂාවට කටයුතු කරන තැනැත්තාය. ඔහුගේ මැදිහත්වීමෙන් කාන්තාවගේ නිවසේ දරු දෙදෙනාට තොරතුරු දන්වා තිබූ අතර ඒ මොහොතේම සිද්ධිය පොලීසියට දන්වන්නට කටයුතු කර තිබුණි. මේ වෙද්දී පලාගිය පිරිස චීන කාන්තාව සතුව තිබූ ඩොලර් සහ රුපියල්වලින් යුත් මුදල් රුපියල් 15,250,000ක් සහ රුපියල් ලක්ෂය බැගින් වටිනා ජංගම දුරකථන දෙක්කද පැහැරගෙන ගොස් අවසන්ය.

සුපිරි නිවාස සංකීර්ණය සහ එහි රථගාල ගාලුපාර අද්දරම පිහිටීම මංකොල්ලයට පහසුවක් වූ සෙයකි. සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹූ වැල්ලවත්ත පොලීසිය නව සංකල්ප සහ නවීන තාක්ෂණය ඇසුරු කරගනිමින් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව චීන ජාතික කාන්තාව ගමන් ගත් රාත්‍රි සමාජශාලාවේ සිට වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණය දක්වා වූ මාර්ගයේ ස්ථාන කීපයක සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණයට ලක්කළේය. එමඟින් සැකසහිත මෝටර් රථ දෙකක් හඳුනාගන්නට ලැබී ඇති අතර නිවාස සංකීර්ණයේ රථගාල තුළ වූ සී.සී.ටී.වී. කැමරාවෙන් ද අනාවරණය වූයේ එම රථ දෙක එම ස්ථානයට පැමිණ ඇති බවත් ඉන් පුද්ගලයන් 4 දෙනකු බැස කාන්තාවට පහරදී මංකොල්ලය සිදුකර තිබෙන බවත්ය.

මේ ආකාරයට සැකසහිත මෝටර් රථයක් ද හඳුනාගන්නා අතර එය කුලී රථ සපයන ආයතනයකින් වෙන්කර ගත් එකක් බවට අනාවරණය කරගෙන ඇත. තවදුරටත් විමර්ශන  සිදුකිරීමේදී සැකසහිත කාන්තාවක හා පුරැෂයකු අත්අඩංගුවට ගන්නේ හලාවත මාදම්පේ ප්‍රදේශයේ සිටියදීය. ඔවුන් දෙන්නා නීතියෙන් විවාහ නොවුණත් අඹුසැමියන් වශයෙන් කල්ගෙවන එක් දරුවෙක් සිටින මව්පියන් බවට හෙළිවී ඇත. සැකකාර පුරුෂයා උමා ඔය ව්‍යාපෘතියේ රියදුරෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. චීන ජාතික කාන්තාව සතු මුදල් සොරාගන්නට කළ කොල්ලයේ මහමොළකරුවන් වන්නේ මේ යුවළය. ඔවුන් දෙදෙනා පුරුද්දක් වශයෙන් රාත්‍රි සමාජශාලාවලට යන අතර කැසිනෝ සූදු ක්‍රීඩාවේද නියැලෙයි. එසේ ගිය අවස්ථා ගණනකදී පෙර කී චීන ජාතික කාන්තාව පැමිණෙන බවත් පොළියට මුදල් ලබාදෙන බවත් අවසානයේ ඇය සතු මුදල් හා පොළිය වශයෙන් විශාල මුදල් තොගයක් රැගෙන යන බවත් දැක තිබුණේය. නිතරම තනිව යන එන ඇය දෙස දින ගණනාවක් විපරමෙන් සිටි දෙදෙනා මුදල් කොල්ලය සැලසුම් කරන්නේ ඉන් අනතුරුවය. ඒ සඳහා සහායකයන් වශයෙන් තවත් පුද්ගලයන් 5 දෙනකු සහභාගී කරවා ගන්නේ ඔවුන්මය.

පසුගිය 27 වැනිදා අළුයම සිදුකළ කොල්ලයෙන් පසුව පිරිස පළාගියේ කටුනායක ප්‍රදේශයටය. යන මඟ අතරතුරදී කොල්ලකන මුදලෙන් ප්‍රමාණයක් පිරිස අතර බෙදාගත් අතර ඉතිරිය එහි නිවෙසක් තුළදී බෙදාගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ වූ 7 දෙනකු අතර මුදල් බෙදාගෙන පිරිස විසිර ගියද ඒ වනවිටත් විමර්ශන අරඹා තිබූ වැල්ලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම් 4ක් දීර්ඝ විමර්ශනයක නිරතව සිටියේය. එහිදී කොල්ල කල්ලියේ එකිනෙකා අල්ලගත්තේ විවිධ ප්‍රදේශවල සිටියදීය. ඔවුන් අත විවිධ ප්‍රමාණයෙන් ලක්ෂ ගණන් මුදල් තිබී ඇති අතර ඒවා චීන කාන්තාවගෙන් කොල්ල කෑ ඒවාය. කොල්ලය සඳහා තොරතුරු සැපයූ සහ එකඑල්ලේම කොල්ලය සිදුකළ වශයෙන් කණ්ඩායම් දෙකක් මෙයට සම්බන්ධ වී සිට ඇතැයි වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා ප්‍රකාශ කළේය. මෙවැනි අපරාධ විමර්ශනය සඳහා පොලිසියේ නව සංකල්පයන්ට අනුව ප්‍රදේශවාසීන් සතු සී.සී.ටී.වී. කැමරා පොලිසීයේ උපදෙස් අනුව ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට විශේෂ ස්තූතියක් පුදකරන බවද ස්ථානාධිපතිවරයා පවසයි. සැකකරුවන් පිරිසක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරති.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා ප්‍රධාන වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක හිරන්ත සහ පොලිස් පරීක්ෂකවරැන් වන තෙන්නකොන්, වික්‍රමරත්න, ජේසුදාසන්, වර්ණසූරිය, පොලිස් සැරයන්වරුන් වන 18345 රත්නායක, 4972 ජයතිලක, 26975 සමන්, 78511 චන්දන, 72238 කරැණාතිලක, 67063 ලක්මාල්, 84348 පුෂ්පකුමාර, 70075 සෙනවිරත්න, 72078 විජේසිංහ, 89777 වික්‍රමසිංහ, 89803 තරංග, 12250 හසිත, කාන්තා පොලිස් කොස්තාපල් 9960 ඉවෝන් සහ පොලිස් කොස්තාපල් රියදුරු 90008 ජයසිංහ යන නිලධාරීහු විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර