2017 ජුලි 15 වන සෙනසුරාදා

මම දේශපාලනේට එන්නේ ගිවිසුමකුත් අරගෙන

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 382

- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

දේශපාලන වේදිකාවට එනවා කියලා මින් පෙර කවදාවත් නොකළ ප්‍රකාශයක් පසුගිය දිනෙක ඔබවහන්සේ කළා. ඇයි මේ වගේ තීරණයක් ගත්තෙ?

මම කවදාවත් දේශපාලන වේදිකාවක නැගලා නෑ. මට කාලයක් තිස්සෙ දේශපාලනයට එන්න කියලා හුඟ දෙනෙක් ආරාධනා කළත් දේශපාලනයට එන්නෙ නෑ කියන ප්‍රතිපත්තියේ මම හිටියා. ඒත් අද මේ රටට සිද්ධවෙන දේ දැක්කම අපි දිනාගත්තු දේවල් අපේ ඇස් පනාපිටම නැතිවෙලා යන හැටි දැක්කම, රටේ සිදුවූ බැඳුම්කරය වැනි හොරකම් වංචා දැක්කම, බෙදුම්වාදය කරා යන දේශපාලන ගමන දැක්කම මම කල්පනා කළා තවදුරටත් මම මේ ප්‍රතිපත්තිය රැකලා මොකටද කියලා. 

මේ තීරණය ආවේගයෙන් ගත් තීරණයක්ද? අවබෝධයෙන් ගත් තීරණයක්ද?

රට ගැන අල්පමාත්‍රික හරි ආදරයක් තියෙන කෙනෙකුට අන්ධයෙක් ගොළුවෙක් බිහිරෙක් වගේ ඉන්න පුළුවන්ද? ඔබත් මේ රටේ පුරවැසියෙක්නම් හදවතට තට්ටු කරලා අහන්න තවදුරටත් නිහඬව ඉන්න පුළුවන්ද කියලා. මම අවුරුදු හතළිස් පහක් හඬ නැගුවේ ජාතික තලයේ ඉඳන්. ඒ හඬ නැගුවේ මගේ රට ජාතිය ආගම සංස්කෘතිය උරුමය සහ රටේ සම්පත් රැකගැනීම වෙනුවෙන්. මම ඒ හැමදේම ආරක්ෂා කරන්න මුල්වෙච්ච කෙනෙක්. මම මේ රටට ආදරෙයි. මට මේ රට ගැන ලෙයට කාවැදුණු කැක්කුමක් තියෙනවා. ඒ කැක්කුම හින්දම තමා රට බෙදන්න, රට ඇතුළෙ වෙනම රටවල් හදන්න, විජාතික ඕනෑ එපාකම් උඩ මේ රටේ සම්පත් සහ වටිනාකම් විකුණන්න හදන සියලු බලවේගවලට එරෙහිව මම සෘජුවම නැගී සිටින්නේ. මම දේශපාලන වේදිකාවට ගොඩවෙන්නේ ජාතික වගකීමක් ඉටුකරන්න මිසක් පුද්ගල පරමාර්ථයක් ඉටු කරන්න නෙවෙයි. මම හුඟාක් හිතන කෙනෙක්. අවබෝධයෙන් මිසක් ආවේගයෙන් මම තීරණ අරගෙන නෑ. 

දේශපාලන වේදිකාවට ගොඩවෙන්න තීරණය කළ ඔබවහන්සේ දේශපාලනඥයෙක් වෙන්න තීරණය කරලා නැද්ද?

මේ මොහොත වෙද්දී එහෙම තීරණයක නෑ. දේශපාලන වේදිකාවට මම එන්නෙත් එක කොන්දේසියක් උඩ. 

මොකක්ද හාමුදුරුවනේ ඒ කොන්දේසිය?

මම දේශපාලන වේදිකාවට ගොඩ වෙන්නෙ කවදා හෝ බිහිවන මේ රටේ නියම අනාගත නායකයා වෙනුවෙන්. ඔහු දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරිපිට ගිවිසුමකට අත්සන්කළ යුතුයි. ඒ තමා මගේ කොන්දේසිය. ගිවිසුමේ සඳහන් කරුණුවලට එකඟව අත්සන් කළයුතුයි. ඒ හැම වගන්තියක් ගැඹුරේම තියෙන්නේ රටේ සහ රටේ සම්පත්වල ආරක්ෂාව. 

මගේ ළඟ හොඳ ගිණුමක් තියෙනවා

කවුද ඔබවහන්සේ කියන මේ අනාගත නායකයා?

දැනටමත් 2020 ජනාධිපතිවරණයට සූදානම් වෙන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒත් පිස්සන්ට රටක් බාරදෙන්ට බෑ. මිනිස්සුන්ට විශ්වාසයක් තැබිය හැකි, අවංක, කෙළින් කතා කරන, කොන්දක් තියෙන, නායකයෙක් පාලකයෙක් වෙන්ට පුළුවන්, ජන දුකට සංවේදී, රටට උරුමයට ආගමට ආදරේ කරන, අපිට හදා වඩගන්න පුළුවන්  කෙනෙක් මේ රටට අත්‍යවශ්‍යයි. එහෙම කෙනෙක් එක්කයි මම මේ ගිවිසුම අත්සන් කරන්නෙ.

දේශපාලන වේදිකාවට නගින්න ඔබවහන්සේ දැන් පෙර සූදානමකද ඉන්නෙ?

සූදානම් වෙනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් මා සමඟ ඉන්නවා. මම දැන් ඔවුන් සමඟ සාකච්ඡා පවත්වනවා. ඒ පිරිස මා ගැන තබා ඇති විශ්වාසය අබමල් රේණුවකින්වත් මම කඩ කරන්නෙ නෑ.

ඔබවහන්සේ කතා කරන්නෙ දැඩි ආණ්ඩු විරෝධී ස්ථාවරයක ඉඳන්ද?

රටට විපත් කරන කිසිම දේශපාලනඥයෙක්ගේ මූණවත් මම බලන්නෙ නෑ. මේ ආණ්ඩුවේ මට විශ්වාසය තබන්න පුළුවන් කෙනෙක් නැති තරම්. සමහර බලවත්තු අද ඔත්තු සේවාවල ප්‍රධාන ඔත්තුකාරයෝ. රැඩිකල් දේශපාලන චරිත විදිහට කෑ ගහපු සමහරු අද ඉටුකරන්නෙ එවැනි කොන්ත්‍රාත්. මම කිසිදෙයක් හොයලා බලන්නෙ නැතුව කතා කරන්නෙ නෑ. විවේචනය කළ යුත්ත මම නිර්භයව විවේචනය කරන්නෙ ඒකයි. ඒ විවේචනයේදී යාළු මිත්‍රකම් මට අදාළ නෑ. මට මගේ කියලා රැකගන්න තියෙන්නෙ මේ රට විතරයි. රට වෙනුවෙන් මම කරන දේශප්‍රේමී සටන තුළ මට ආත්මර්ථකාමී අභිලාෂ නෑ. එය මා වෙනුවෙන් කිසිවක් ආපසු නොඉල්ලා කරන පරාර්ථයේ සටනක් විතරයි.

ශ්‍රී ලාංකික දේශපාලනයට පා තැබූ භික්ෂුන් වහන්සේලා දේශපාලනයට එනවිට තිබූ ජනප්‍රියත්වය උන්වහන්සේලාට දිගටම රැකගන්න පුළුවන් වුණා කියලා ඔබවහන්සේ හිතනවද?

ඔව් දේශපාලනයට ආව හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම වගේ පිරිහුණා. අවලංගු කාසි බවට පත්වුණා. සමාජයේ මහා ප්‍රතිරෑප බවට පත්ව සිටි ඇතැම් භික්ෂුන් වහන්සේලා දේශපාලන වේදිකාවල න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් පසුව රාජ්‍ය නොවන සංවිධනවල ගැත්තන් බවට පත්වුණා. මම දේශපාලනයට එන්නෙ රට බේරා ගන්න මිසක් කාගෙවත් ඉත්තෙක්වත්, ඔත්තුකාරයෙක්වත් වෙන්න නෙවෙයි.

බොහෝ උසස් අරමුණු ඇතුව දේශපාලනයට පිවිසිච්ච උදවියට දේශපාලන ක්ෂේත්‍රයෙදී තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න බැරිවුණා. ඔබවහන්සේත් ඒ ගොඩට වැටුණොත්?

මගේ පරමාර්ථය රට. මම කාගෙවත් කොන්ත්‍රාත්කරයෙක් නෙවෙයි. නිවනටත් පෙර රට. ඒ තමා මගේ අරමුණ. රටට වැඩ කරපු හොඳ ගිණුමක් මගේ ගාව තියෙනවා. මේ දේශපාලන වේදිකාවට මම එන්නෙ ඒ ගිණුමත් අරගෙන. 

යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර තුනක කාලයක්වත් ගතවී නැහැ. මේ තරම් කෙටි කාලයක් තුළ මේ තරම් විශාල කලකිරීමක් ඔබවහන්සේට ඇතිවෙන්න තරම් බලපෑ හේතු මොනවද?

මාව දේශපාලන වේදිකාවට තල්ලු කළ එක් ප්‍රබලම සාධකයක් තමා මේ රට ජාත්‍යන්තරයේ තුරුම්පුවක් වීම. අද බොරැ නොකියන එක දේශපාලනඥයෙක් නෑ. වල්මත් වෙච්ච කපටි සියුම් උපායශීලී චරිත තමා හැමතැනම දකින්න ඉන්නෙ. අද සමහර නායකයෝ කවදාවත් නැති විදිහට ආගම ගැන කතා කරනවා. ඒක හරි භයානක තත්ත්වයක්. මොකද ඒ කතාකරන්නේ කැක්කුමකින් නොවන බව දන්නෝ දන්නවා. දවසින් දවස රටේ අර්බුද උත්සන්න වෙනවා. පාලකයෙක් වුණාම කෙළින් කතා කරන්න ඕනෑ. කෙළින් තීරණ ගන්න ඕනෑ. රටට විපත් කරන කිසිම කෙනෙකුට මගෙන් නම් සමාවක් නෑ. එහෙම අයට මෙලොවකුත් නෑ පරලොවකුත් නෑ.

මෙයාලා අත පුච්චගෙන ඉවරයි 

උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ක්‍රියාකරන ආකාරය ජාතික දේශපාලන අරමුණුවලට පටහැනියි කියලා චෝදනා නැගෙනවා. මෙවැනි අවස්ථාවක මධ්‍යම රජයට කළ හැකි දේ කුමක්ද?

දෙමළ සන්ධානය අභ්‍යන්තරයේ ගැටුම් ඇති කළෙත් ඔවුන් දෙකඩ කළේත් නැවත එක්කළෙත් ජාත්‍යන්තරය විසින්. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ඔවුන්ගේ ඉලක්කය මුදුන් පමුණුවා ගන්න ඔවුන් උත්සාහ කරනවා. මොකක්ද මේ ඉලක්කය. ඒ ඉලක්කය පැහැදිලිවම ඊළම. අපිට සාමාන්‍ය දෙමළ ජනතව සමඟ කිසිදු ප්‍රශ්නයක් නෑ. ඔවුන් අපේ සහෝදර ජනතාවක්. ඔවුන් සමඟ නොබෙදුණු රටක සහෝදරත්වයෙන් ජීවත් වෙන්න අපට පුළුවන්. අපට ගැටලුව තියෙන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑකරන්න දඟලන දෙමළ අන්තවාදී දේශපාලනඥයන් සමඟ. බොහෝ ලේ කඳුළු  හලා රැකගත් රට අපි බෙදන්න දෙන්නෙ නෑ. අද ආණ්ඩුව නිහඬව ඉන්නෙ තමන්ට බලයට එන්න උදව් කරපු ජාත්‍යන්තරයේ න්‍යාය පත්‍රයට අනුව. මේ ඉටු කරන්නෙ බලය ලබාගන්න ජාත්‍යන්තරයට දුන් පොරොන්දු. අද සිංහල බෞද්ධයාට ජාතිවාදී ලේබලය ගහලා අපිව නිහඬ කරන්න හදනවා. 

වත්මන් රජය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවා. මහා සංඝරත්නය කියලා තියෙනවා මේ අවස්ථාවේ අවශ්‍ය ව්‍යවස්ථාවක් නෙවෙයි කියලා. ඔබවහන්සේගේ මතයත් ඒකද? 

මෙයාල ඔය ගැන බොරු කියනවා. එක නායකයෙක් මාව හමුවෙන්න ආවම ඔය ව්‍යවස්ථාව ගැන මම ඇහුවම එහෙම දෙයක් නෑ අපේ හාමුදුරැවනේ කීවා. මම එතකොට මේ මොකද්ද අහලා ව්‍යවස්ථා කෙටුම්පත පෙන්නුවම එතුමාට කට උත්තර නැතුව ගියා. මම අහන්නෙ මොකටද මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක්. රට දෙකොණ ඇවිලෙද්දී ව්‍යවස්ථාවක් ගෙනත් මේ නටන්න හදන නාඩගම මොකක්ද? රටේ ජනතාව තේරැම් ගන්න ඕනෑ මේ නටන්නෙ කාගේ පදයකටද කියලා. මේ රටේ දේශපාලන චරිත ගැන අද රටේ ජනතාවට තියෙන්නෙ බිඳුණු විශ්වාසයක්. රටේ දේවල් විකුණන්න යන විදිහට අවසානයේ අපට ඉතුරැ වෙන්නෙ නාටු පොල්ගස් ටිකක් විතරයි. ඔය ව්‍යවස්ථාව කියන විස තැවරූ කේක් ගෙඩියේ උඩින්ම තැවරූ චොකලට් කෑල්ලට තමා ඔය සංහිඳියාව කියන්නෙ. අද රට ආයෙත් තර්ජනයකට ලක්වෙලා තියෙන්නෙ. 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලතල අනුව දඹුලු ලෙන් විහාරයට සීල් තියන්න ආණ්ඩුව තීන්දු කරලා?

මේ ආණ්ඩුව පොඩ්ඩක් ගින්දර තියෙන තැන්වලට පෙට්‍රල්මයි වත් කරන්නෙ. මෙච්චර කාලෙකට ආණ්ඩුවක් පන්සල්වල පින්පෙට්ටිවලට අත තිබ්බෙ නෑ. පන්සල් ගැන පුදුම රුදාවකින් කතා කරන ආණ්ඩුව ඇයි පල්ලි කෝවිල් ගැන කතා නොකරන්නෙ. මේ හදන්නෙ සිවුරෙ බලය දියකර හරින්න. ජාත්‍යන්තරයත් දන්නවා සිවුර කියන්නෙ බලයේ කේන්ද්‍රස්ථානයක් කියලා. මේ පහර දෙන්නෙ ඒ බලයේ කේන්ද්‍රස්ථානයට. මේ ලෑස්ති වෙන්නේ ජාතිය ආගම දියකර හැරලා අක්මුල් නැති ජාතියක් බෝ කරන්න. ඔයිට කලිනුත් ඔය පින් පෙට්ටි තිබ්බනේ. කිසිම ආණ්ඩුවක් ඒවා ගැන කතා කළේ නැහැ. සඟ සතු දේපලවලට අත තියන්නෙ පව්කාරයන්.

යහපාලන ආණ්ඩුව ගැන දේශපාලන විචාරකයන් වගේම ජ්‍යොතිෂ‍වේදීනුත් විවිධ අනාවැකි පළ කරනවා. ආණ්ඩුව ගැන ඔබවහන්සේටත් කියන්න පුළුවන් අනාවැකියක් තියෙනවද?

මෙයාලා අත පුච්චගෙන ඉවරයි. අර්බුදයක් හැරෙන්න අනාගතයක් නම් මට පේන්නෙ නෑ. 

සාකච්ඡා සටහන I සංජීවිකා සමරතුංග 

සේයාරුව -සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00