2017 ජුනි 17 වන සෙනසුරාදා

අතේ පත්තුවූ ජනපතිගේ හූනියම

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 492

මල් බිත්තර කටු අරවා මේවා සොහොන උඩ දාලා ගිහිල්ලා

හිටපු ඇමැති කෙනෙකු දෙසට ඇඟිලි දිගුවෙයි

කාන්තාවකගෙනුත් උදව් අරන්!

යක්කු ගස්යන වෙලාවේ කරපු කට්ටඩි වැඩක්

කළුවර අඳුන ගාගෙනයි එන්න ඇත්තේ....

සල්ලි විසිකරලා කටවහන්න ඇති

ජනපතිගේ රූපය තඹ තහඩුවේ ඇඳලා නමත් කොටලා තිබුණා

 

කුවේණියගේ ශාපය - ශාපයක් වී ලක් පොළොව දවාලන වග විශ්වාස කරන ජනකොටසක් 21 වැනි සියවසේදීත් මේ දෙරණ මත ජීවත් වෙති. එමෙන්ම යක්ෂ ප්‍රේත භූත හදිහූනියම් ආදි අදෘශ්‍යමාන බලවේග සහ විධික්‍රම විශ්වාස කරන එකී බලවේග පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යනයක නිරත පිරිසක්ද ලොව වෙති. බුදුදහම ගැඹුරින් අධ්‍යනය කරද්දීත්, විද්‍යාව අභිබවා යමින් ත්‍රිමාන දෘෂ්ඨියෙන් ඔබ්බට අහස පොළොව අතර සියල්ලක් අධ්‍යනය කරද්දීත්, ඉහත කී සියල්ල විශ්වයේ පවතින්නේ යැයි විමර්ශනාත්මකව හෙළිදරව් කරන පිරිසක් මෙන්ම මේ සියල්ල ගල් යුගයේ සංකල්ප හා විශ්වාස ලෙස සලකා බැහැර කරන පිරිසක්ද විශ්වය මත වෙති. බුද්ධිය සහ අතීත සම්ප්‍රදායන් සමඟ හුදු ආත්මීය අරගලයක යෙදෙමින් සත්‍ය ගවේෂණයේ යෙදෙන්නන් පිරිසක්ද ධරණීතලයේ වෙසෙති. ආසියාකරයේ මෙන්ම නවීන විද්‍යාව ජීවිතයේ පදනම කරගත් යුරෝපයේද එවැන්නන් අඩු නැති බව අපි දනිමු. 

 

මේ මොහොතේ මේ තොරතුරැ සොයන්නේ එකී ජන විඥානය හෝ විශ්වාසය පිළිබඳ නොවේ. මින් දින කිහිපයකට ඉහතදී මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි හා ෆේස්බුක් ආදි ජනසමීප මාධ්‍යට කදිම කටගැස්මක් වූ රජරට තඹ තහඩුවේ හූනියම ගැනය. මේ හූනියම එසේ මෙසේ හූනියම් කතාවක් නොව තුඩ තුඩ රැව්දෙන හූනියම් කතාවක් බවට පත්වූයේ හූනියමට පාත්‍ර වී සිටි මුඛ්‍ය චරිතය අද මෙරට පාලක චරිතය වූ හෙයිනි. 

අම්මට සිරි... බුදු අප්පේ... ඔහේ බලපන්... හාහා කට කට... ඕක ගැන දැනගත්තත් දන්නවා නොදන්නවා වගේ ඉන්න එක ඇඟට ගුණයි... ගමේ සෝමලතාට... විල්සන්ට කරපු හූනියමක් නෙවෙයිනේ... මොකක්... ජනාධිපතිට කරපු හූනියමක් එහෙනම් එසේ මෙසේ සල්ලියක් නෙවෙයි යට කරන්න ඇත්තේ... හොඳ කට්ටඩියෙක් තමා වැඩේ කරන්න ඇත්තේ... හා... හා... කට.. කට... 

මෙවැනි කතා ඉකුත් දින දෙක තුනේම කැබිතිගොල්ලෑව ගම්මානයෙන් ඇහෙන්නට වූයේ මේ හූනියම කරණ කොටගෙනය. 

පදවිය - කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියෙන් හමු වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලන රජයේ පිරිසක් අරමුණු කරගෙන කර ඇතැයි කියන තඹ තහඩු හූනියම අද වෙද්දී රටම දන්නා හූනියම් කතාවක් වුවත් එහි උණුසුම නම් තවමත් එලෙසමය. 

අපේ මතකය නිවැරදිනම් 2006 ජුනි 16 වැනිදායින් පසුව කැබිතිගොල්ලෑව මේ රටේ ජනතාව උණුසුම් හැඟීමෙන් කතා කළ මාතෘකාවක් බවට පත්වූයේ නැත. එදා 2006 ජුනි 16 වැනිදා මේ රටේ මිනිසුන් තමන්ගේම යැයි කියා එකෙක්, යාළුවෙක්, නෑදෑයෙක් එතැන නොසිටියත් උන් වෙනුවෙන් අපමණක් සුසුම් ලෑහ. ඒ කැබිතිගොල්ලෑවේදී කොටි බෝම්බයකින් බසයක් පිපිරවීම හා ඉන් ජීවිත ගණනාවක් මියැදුණු දවසයි. තමාගේ පුංචි පුතුගේ දේහය දෝතට ගත් තාත්තා කෙනෙක් පුත්‍ර ස්නේහයෙන් විලාප නගමින් අනේ මේ යුද්ධය ඉවර කර දෙන්න යැයි රට කරපු ජනාධිපතිගෙන් ඇයද සිටි ඒ අතිශය සංවේදී දර්ශනය මුළු රටක්ම කැළඹීමට ප්‍රකම්පනයට පත්කළා ඔබට මතකද? ඒ සංසිද්ධියෙන් ඉනික්බිති කැබිතිගොල්ලෑව ගැන සුවිශේෂි සිද්ධියක් අළලා කතා කළා අපට මතක නැත. එකී සිදුවීමෙන් අවුරුදු 11කට පසු කැබිතිගොල්ලෑව රටේත් මාධ්‍යයේත් මාතෘකාවක් වූයේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉලක්ක කර ඇතැයි කියන මෙම හූනියම නිසාය. 

පදවිය කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටිය යනු ජනශුන්‍ය පෙදෙසක් නොවේ. ඒ අවට කාලයක් තිස්සේ ජනවාස වී පවතින අතර මහවැහි වහින වැහි දිනයකදී හෝ අන්ධකාර මැදියමකදී හැරෙන්න ගම්මුන්ගේ වංහුං හොයන විමසිලිමත් නෙතින් මුවාවී ඒ සොහොන් පිටියේ හොර වැඩක්, හූනියමක් කිරීම තබා කසිප්පු වඩියක් ගැසීමවත් ලේසි පහසු කාර්යයක් නොවේ. එහෙයින්ම මේ හූනියම් තතු විත්ති සොයාගෙන අප පහළ උස්ගල්ල සොහොන් පිටියට ගිය මොහොතේ අප හා කතා කළ ගැමි කාන්තාවක් පැවසූයේ මෙවැන්නකි. 

ඈ යකෝ... අපේ ඇස් වහලා මොකා මෙතන්ට ඇවිත් හූනියම් කළාද... එහෙනම් ඉතින් යක්කු ගස්යන වෙලාවේ කට්ටඩියා ආවා වෙන්න ඕනෑ... ඒත් අපේ මිනිහා නම් පොඩි සද්දෙටත් ඇහැරෙනවා. වටපිට සෝදිසි කරනවා. ඒ නැතත් මේ වටේ පිටේ බලු හැත්ත අඩි සද්දයක් ඇහුණත් වරුවක් බුරන එකේ මේක මෙතෙන්ට ඇවිත් කළා කියලනම් අපට විශ්වාස කරන්න අමාරුයි. එහෙමනම් ඉතින් කළුවර අඳුන ගාගෙන එන්න ඕනෑ...

අද ඊයේ නෙවෙයි දැන් මාසයක් දෙකක් ඇතුළෙ කාලෙදිවත් මොකුත් සිද්ධියක් වුණා මතක නැද්ද? අපි නැවතත් ඇයගෙන් විමසුවෙමු

ඔහේ නෑ... මහත්තයෝ... හාංකවිසයක්වත් ඇහුණෙ නෑ...

මේ ගමේ ඉන්නවද ඔය හූනියම්වලට ප්‍රසිද්ධ කට්ටඩිලා එහෙම...

ගම්වල ඕවා විශ්වාස කරන මිනිස්සුනම් එමට ඉන්නවා. උගත් නූගත් භේදයන් නෑනේ මහත්තයෝ ඔය වැඩවලට. ඒත් එහෙමම දන්න කියලා කෙනෙක් නම් නෑ...

අම්මා මේ සොහොන් පිට්ටනිය ළඟම ගෙදරකද ඉන්නේ?

අනේ අනේ මහත්තයෝ පත්තරවලටනම් අපි ගැන ඕන නැති ඒවා ලියන්න එපා... ඊළඟ වඩියේ පොලිසියේ මහත්තුරු අපේ ගෙදර එයි කටඋත්තර ගන්ට... ඒවා මේ නැති ප්‍රශ්න... අන්තිමේ පොලිසිගාණේ රස්තියාදු වෙලා අපට මේ ගෙදර දොරේ වැඩක්වත් කරගන්න බැරිවෙයි... ඔය කැමරාව උලුක් කරගෙන හිටියට කමක් නෑ... අපේ එහෙම ෆොටෝ කෑලි දානවා නෙවෙයි ඕං....

ඇය සැබැවින්ම ඉල්ලීමක් කළා නොව කෙළින්ම විධානයක් දුන්නාය. ඇගේ කතාව අසා සිනාසුණු තවත් ගැමියෙකු පැවසූවේ ගෑනි කියන කතාවත් ඇත්ත මහත්තයෝ කරපු උන් පැත්තක ඉද්දී අන්තිමේ ඕවට පොලිසි ගාණේ බඩගාන්න වෙන්නේ අපිට. සමහර මිනිස්සු විස්තර දන්නවා. ඒත් කටක් හොල්ලන්න මිනිස්සු කැමති නෑ. 

වචනයක් හරි කීව ගමන් පොලිසියෙන් ඇවිත් එක්ක යනවා කට උත්තරයක් ගන්න. හූනියම් ආරංචිය ආව ගමන් අපිත් ආවා බලන්න. සමහරු තවත් හූනියම් තියේද කියලත් හෙව්වා. කටවහන් ඉන්න බැරිකමට මිනිස්සු කට අරින්ට ගිහින් අන්තිමේට කටඋත්තර ගන්න කියලා පොලීසියට දක්කපු එක තමා වුණේ... ඒකයි මිනිස්සු දන්න දේ හරි කියන්න බය. හැබැයි සමහර මිනිස්සුන්ට නම් කොඩිවිනේ කරපු මිනිස්සුම සල්ලි විසික් කරලා කට වැහුවද දන්නෙ නෑ... සොහොන් පිටිය අවට මිනිසුන් සමඟ මේ ගැන වැඩිදුර කතාව අසීරු වූයේ කටඋත්තර ගන්නට අපි පොලීසියට එක්ක යයි යන සිතුවිල්ල මත තිබූ බිය නිසා බව පැහැදිලිවම පෙනී ගිය කරුණකි. එමෙන්ම ඉහත ගම්වැසියා පැවසූ පරිදි සල්ලි නිසා කට වහගෙන සිටින පිරිසක් ඉන්නවාද යන්නත් කිසිවක් අපි නොදනිමු.  අනුරාධපුර කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පහළ උස්ගල්ල ගමෙහි සොහොන්පිටියක තිබී හමුවු අඟල් දෙකක පළලින් සහ අඟල් දහයක දිගකින් යුත් තඹ පත්‍රිකාවක කෙටුවේයැයි විශ්වාස කරන මෙම හූනියම් තඹ පත්‍රිකාව හමුවී ඇත්තේ මේ සොහොන් පිටියට යාබදව ඇති විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් ඉදිකිරීම් බිමක සේවයේ නිතර තරුණයන් දෙදෙනෙකුටය. 

සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, පර වූ රතු මල්, පොල් තෙල් සහ පහන් කිහිපයක් තිබෙනු දුටු තරුණයෝ ඒ පිළිබඳව විමසිලිමත්ව අවට විපරම් කර බලන්නට වූහ. එහිදී ඔවුන්ගේ නෙත ගැටී ඇත්තේ සොහොන ආසන්නයේ රෝල් කර දමා තිබූ අඟල් දහයක් දිග අඟල් දෙකක් පළල තඹ පත්‍රිකාවකි. සැක සංකාවෙන් යුතුව වුවත් ඔවුහු එය අතට ගෙන මේ කුමක්දැයි විමසා බැලූහ. ඒ වෙද්දී වෙලාව දවල් 12.30ය. රෝල් කර තිබූ තඹ පත්‍රිකාව දිග හැර බලද්දී තරුණයන් දෙදෙනා මොහොතකට වික්ෂිප්ත වූයේ එහි මෛත්‍රිපාල සිරිසේන යන නමත් තවත් දන්න කියන නම් කිහිපයකුත් කොටා තිබූ දුටු විටය. 

මෛත්‍රිපල සිරිසේන, කේ.එච්. නන්දසේන හෙවත් හේතුහාමිගේ නන්දසේන, සුසිල් ගුණරත්න, තුසිත ගුණරත්න, කවීන් දිසානායක, අමිල දිසානායක, රවින්ද්‍ර දිසානායක යන නම් ඒ පත්‍රිකාවේ සටහන්ව තිබූ අතර ඔවුන්ගේ හැඩරුව මතුකළ අනුරූද එහි කොටා තිබුණි.  කේ.එච්. නන්දසේන යනු උතුරු මැද පළාත් හිටපු අමාත්‍යවරයාය. සුසිල් ගුණරත්න යනු උතුරු මැද පළාත් අමාත්‍යවරයාය. තුසිත ගුණරත්න යනු ඔහුගේ පුත්‍රයාය. කවීන් දිසානායක යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෙන්ම කෘෂිකර්ම ඇමැතිවරයා වන දුමින්ද දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයාය. එමෙන්ම කවීන් අමිල හා රවින්ද්‍ර යනු දුමින්දගේ සහෝදරයන් තිදෙනාය. 

මෙම තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හතක් ඇඳ එහි තිරස් අතට නම් රේඛණය කොට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූපය අඟවන රූපය ඇඳ එහි පසෙකින් නම ලියා ඇති අතර ජනාධිපතිවරයා ජාතික ඇඳුමේ කමිසයට උඩින් අඳිනා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජැකැට්ටුවද ඒ රූපයේ මනාව මතුකර දක්වා ඇත. 

මෙම හූනියම් තඹ තහඩුව තරුණයන් දෙදෙනාට හමු වූ පුවත ගම්දොරින් දොර සැලවෙද්දී ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නෙකු විසින් එය රැගෙන ගිය බව තඹ පත්‍රිකාව සොයාගත් තරුණයෙකු අප හා පැවසීය.

ගම්වැසියන් පවසන්නේ මේ සොහොන්බිම නගරයට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි නිසාත්, ඒ මැද්දෙන් වැටී ඇති පාරේ ගමේ මිනිසුන් හිතර ගැවසෙන නිසාත් මෙහි පැමිණ හූනියම් කිරීම නම් ඉතා දුෂ්කර කාර්යයක් බවය. කොහේ හරි කරලා ගෙනත් දැම්මද දන්නේ නෑ... ඔවුන් එසේ පැවසුවත් එහෙනම් මල් බිත්තර කටු අරවා මේවා සෙහොනක් උඩ තිබෙන්නේ කොහොමද... වටේ ඉන්න කාට කාට හරි සල්ලි කීය කීය හරි දීලා කටවල් වැහුවද කව්ද දන්නේ යනුවෙන් විමසන පිරිසක්ද සිටිති.

ආන්දෝලනයට තුඩු දුන් මෙම තඹ පත්‍රිකාව පිළිබඳව කවර හෝ තොරතුරක් සොයමින් ඒ අවට පැය ගණනක් ගත කරද්දී අපට ඒ පිළිබඳව රහසිගත තොරතුරු රැසක්ම අනාවරණය කරගන්නට හැකිවුවත් ඒ තොරතුරු අප වෙතට ලබා දුන් ප්‍රදේශවාසින්ගේ බලවත් ඉල්ලීම වූයේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ගැන කවර හෝ සඳහනක්වත් නොකරන ලෙසය.  ඔවුන් ඉතා විශ්වාසවන්ත ලෙස හෙළිදරව් කළ ඒ තොරතුරුවලට අනුව මෙම හූනියම කර ඇත්තේ අධික බල තණ්හාවෙන් යුතු දේශපාලනඥයකු විසිනි. අමාත්‍යධූරයක් දැරූ මේ දේශපාලනඥයා මෙම හූනියම කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මනස ව්‍යාකූල වී පක්ෂයේ වැඩකටයුතු අකර්මන්‍ය කිරීමටත්, මෙහි නම් සඳහන් පුද්ගලයන් භේදභින්න කර ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට වර්තමාන ආණ්ඩුවෙන් තැනක් ලබාගැනීම සඳහා  බවටත් මෙම තඹ තහඩු හූනියම හමුවීමත් සමඟ ගමපුරා කටකතා පැතිර ගියත් එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව කියන්නට අපි නොදන්නෙමු. 

එහෙත් කාලයක් මුළුල්ලේ මේ ගමේ ජීවත්වෙන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය හොඳින් හඳුනන පුද්ගලයන් කිහිප දෙනෙක්ම ගමේ ජීවත්වන එක් කාන්තාවක් පිළිබඳව අපට තොරතුරු පැවසූහ. මහත්තයෝ අහවල් හිටපු ඇමැතිට උදව් කළේ ඒ ගෑනිම තමා න්‍යායෙන් ප්‍රදේශයේ ජීවත් වන එක් කාන්තාවක පිළිබඳව අපට ඔවුන් පැවසුවේ මෙවන් තොරතුරකි. 

ඔය සොහොන් පිට්ටනිය ළඟම ගෙදරක ඉන්න ගෑනු කෙනෙක් ඉන්නවා. නගරෙ වගේ නෙවෙයිනේ මහත්තයෝ මේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත. කාමරයේ දොර වහගෙන කරන දෙයක් ඇරෙන්න ආයෙ මොනවා කීවත් කළත් හාව හූව යනවා වටේටම. ඔය ගෑනු කෙනයි අර හිටපු ඇමැතියි අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා කියලා තමා ඔය වටේ මිනිස්සු නම් කියන්නේ. අනිත් එක ඔය ඇමැති හදි හූනියම් පස්සෙ හරියට දුවන කෙනෙක්. ඔය දෙකම ප්‍රසිද්ධ රහස්.
එහෙත් මේ සියලු සංසිද්ධීන් කරුණු කාරණා සහ ගම් දොර දොරින් දොර පැතිර යන කතා අතරේ අප විචක්ෂණ බුද්ධියෙන් සහ අවබෝධයෙන් විමසා බැලිය යුතු සහ වටහා ගත යුතු කරුණු කිහිපයක්ද තිබෙන බව අපි විශ්වාස කරමු.

හූනියම් කළා නම් ඒ කළ තැනැත්තා හූනියමක් කළ බවට තවකෙනෙකුට සැක කළ හැකි කිසිදු සාක්ෂියක් ඉතුරැ කර තබයිද? 

තමා සැකයට භාජනය විය හැකි බැවින් එසේ සැකයට තුඩු දිය හැකි ප්‍රදේශයක හූනියමක් කරයිද?

ජනශුන්‍ය නොවූ තැනකදී ලෙහෙසියෙන්ම කෙනෙකුගේ ඇස ගැටිය හැකි තැනක මේ ආකාරයේ පැහැදිලිව නම් සඳහන් කළ එසේම අව් රශ්මිය වැදුණු සැනින් දිලිසෙන තඹ පත්‍රිකාවක් දමා තබයිද?

නොඑසේනම් වළදැමීමට හෝ සැඟවීමට අමතකව මෙසේ වැටී තිබුණාද?

නොඑසේනම් මේ සියලු කාරණාවලට පිටස්තරව හූනියමක් නොකරම නම් සඳහන් කර ඇති පුද්ගලයන් බිය ගැන්වීමේ හා මානසිකව ව්‍යාකූල කිරීමේ අටියෙන් තඹ තහඩුවක නම් කොටා අන් අයගේ අවධානයට පාත්‍රවන තැනක මෙවැන්නක් දමා තිබුණාද?

එසේත් නැතිනම් ඩෙංගු වසංගතය, බැඳුම්කර ප්‍රශ්නය, ඉහළ යන බඩු මිල ආදී නානාවිධ දහසක් ප්‍රශ්න වලින් ඔද්දල් වූ ජන මනසේ දිශානතිය වෙන අතකට යොමු කරලීමේ අරමුණින් මෙවැන්නක් කළාද?

තීරණය හා විචාරය බුද්ධිමත් ජනතා ඔබටම බාරය.

 

 සංජීවිකා සමරතුංග
(පසුබිම් වාර්තාව හා සේයාරූ 
තඹුත්තේගම ප්‍රදීප් රණතුංග)

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00