2017 මැයි 27 වන සෙනසුරාදා

රට ගමන් යද්දී අලුත් නීති මල්ලක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

ගෝලීය නිර්ණායක අනුව යමින් කටුනායක සිට රටින් පිටවන මගීන්ට තම අතේ ගෙනයන බෑගයේ බහාලිය හැකි දියර වර්ග කිහිපයකට සීමා පැනවීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පසුගියදා නිවේදනය කළේය. ජූනි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව නීති ඔස්සේ ගුවන් මගීන්ගේ, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණ වී තිබේ. 

මෙම වැඩපිළිවෙළට අනුව එක් ගුවන් මගියෙකුට තම අත් බෑගය තුළ ගෙන යා හැකි මුළු දියර ප්‍රමාණය ලීටර එකක් දක්වා අඩු කර තිබේ. ඒ අනුව දියර වර්ග, ස්ප්‍රේ, ජෙල් වර්ග ආදිය මෙසේ සීමා කිරීමට ලක්වේ. තවද ජලය, බීම වර්ග, සුප් වර්ග, ජෑම්, සෝස්, තලප, රැවුල බෑම සඳහා ගන්නා පෙණ වර්ග, විලවුන් වර්ග, තෙල් වර්ග, බෙහෙත් වර්ග, ඇස් පිහාටු ආලේපන, තොල් ආලේපන, වායු පීඩනයට ලක්කළ බහාලුම්, ඇතුළු දියර තත්ත්වයේ පවත්නා ද්‍රව්‍ය බොහෝමයක්ද සීමා කිරීමට බඳුන් වනු ඇත. 

ඒ අනුව ඉදිරියේදී එම දියර වර්ග අතුරින් එකකින් මිලි ලීටර 100ක උපරිම ප්‍රමාණයක් වශයෙන් ලීටර එකකට අඩු ප්‍රමාණයක් පමණක් අත් බෑගයේ රැගෙන යාමට හිමිකම ලැබේ. යම් හෙයකින් ඊට වඩා වැඩි දියර ප්‍රමාණයක් අත් බෑගය තුළ බහා ගෙනයාමට මගීන් උත්සාහ ගතහොත් ඒවා ඉවත් කිරීමේ අයිතිය ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයට හිමිව තිබේ.

 ජුනි 01 සිට නීතිය ක්‍රියාත්මකයි 

කෙසේ වුවද බෙහෙත් වර්ග ගෙන යාමේදී ඒවා පිළිබඳ වෛද්‍ය සහතිකයක් රැගෙන එන්නේ නම් ඒ සඳහා මෙම සීමාකිරීම් බලනොපායි. තවද කුඩා ළමුන් සඳහා වන දියර ආහාර සඳහාද නව නීතියෙන් බලපෑමක් නැත. තවද ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පුවලින් මිලදී ගත් භාණ්ඩ ගෙනයාමේදීද මෙම සීමාකිරීම බලනොපවත්වන නමුත් අදාළ භාණ්ඩ මිලදී ගැනීමේදී නිකුත් කරන රිසිට්පත් සන්තකයේ තබාගැනීම අත්‍යවශ්‍ය වේ. 

තවත් නීතියක් වන්නේ මෙම සියලු දියර වර්ග මිලි ලීටර 20x20 ප්‍රමාණයේ විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතීන් බෑග්වල අසුරා තිබීමය. එවැනි ඇසුරුම් ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති බවද ගුවන් තොටුපොළ සමාගම දක්වා තිබුණි. කෙසේ වුවද එක් ගුවන් මගියෙකුට රැගෙන යාමට අවසර ඇත්තේ එවැනි එක් බෑගයක් පමණි. සෙසු සියල්ල ගුවන් ටිකට්පත් කවුන්ටරයේදී භාරදෙන ප්‍රධාන ගමන් මලුවට බහාලීමේ අවස්ථාව තිබේ. 

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රීලංකන් ගුවන්සේවයේ ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා දේශයට සඳහන් කර සිටියේ, ගුවන් තොටුපොළ සමාගම විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රසාදය හිමිවන බවය. විශේෂයෙන්ම එය ගුවන් මගීන්ගේ ආරක්ෂාව පිණිස ගනු ලැබූ තීරණයක් බවද ඒ මහතා පැවසීය.

ගුවන් ගමනාගමනයේදී දියර වර්ග ගෙන යාම සීමාකිරීම සඳහා මුලින්ම නීති ස්ථාපිත වූයේ 2006 වසරේදී යුරෝපයේදීය. ෂැම්පු බෝතල් තුළ බහාලූ පිපිරුම් සඳහා භාවිත කළ හැකි ද්‍රාවණ ගුවන් යානා තුළට ගෙනවුත් ගුවන් යානා විනාශ කිරීමේ සැලසුමක් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරී විසින් හෙළිකරගනු ලැබීම නිසා මෙම තීරණය ගනු ලැබිණ.

අමෙරිකානු සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ මුළු ලෝකයම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ බියෙන් ඇළලී ගොස් තිබුණු අතර ලන්ඩනයේ හීත_ ගුවන් තොටේ සිට උතුරැ ඇමරිකාව බලා ගමන්කළ ට්‍රාන්ස් ඇට්ලැන්ටික් ගුවන් යානා ත්‍රස්තයින්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයිද එකල වාර්තා විය. මුලදී යුරෝපීය ගුවන් යානා සමාගම් කිසිදු දියර වර්ගයක් ගුවන් යානය තුළට ඇතුළු නොකරගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළද වැඩි කලක් යාමට මත්තෙන් එම නීති ලිහිල් කරනු ලැබිණ. 

♦ රජිත ජාගොඩ ආරච්චි