2017 මැයි 27 වන සෙනසුරාදා

නුවරඑළියේ වෛද්‍යවරියගේ මරණය අබිරහසක්?

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

“මට තවත් ජීවිත් වෙන්න බෑ.” ජීවිතයේ එකම එක් අවස්ථාවක හෝ ඕනෑම අයකුට පහළ විය හැකි සිතුවිල්ල ඇයටද පහළ වන්නට ඇත. වෛද්‍යවරියකගේ සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් අපට පසුගියදා අසන්නට ලැබුණේ නුවරඑළිය ප්‍රදේශයෙනි. නුවරඑළිය මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක් ඇගේ නිල නිවසේදී නිර්වින්දන ඖෂධයක් එන්නත් කරගෙන මෙලෙස මියගොස් සිටියාය. කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය නුවරඑළිය මහ රෝහල් ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරියක් වශයෙන් සේවය කර මිය යනවිට 31 වැනි වියෙහි පසුවූවාය.

අදහන ආගම කුමක් වුණ කවර ආගමක වුවද සියදිවි හානිකර ගැනීම යන්න විශාල පාප කර්මයක් ලෙස හඳුන්වයි. මෙය කිසිදු අවස්ථාවකදී සිදුනොවිය යුත්තක් වුවද පසුගිය කාලය පුරාවටම අපට අසන්නට දකින්නට ලැබුණේ සියදිවි හානිකර ගැනීමේ සිද්ධීන් විශාල ප්‍රමාණයකි. විටෙක සියදිවි හානිකර ගැනීම අතින් ලෝකයේ පළමු ස්ථානයේ සිටින රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණීමට තරමටම තත්ත්වය දරුණු විය.

තමන් අපේක්ෂා කළ විභාග ප්‍රතිඵල නොලැබීම නිසා පාසල් ළමුන් දිවි තොරකර ගැනීමට පෙළඹීම විටෙක ආදර සම්බන්ධතා බිඳවැටීම්, පවුල් ආරවුල් මේ සෑම දෙයක්ම සඳහා එකම විසඳුම ලෙස බොහෝදෙනා කල්පනා කරන්නේ දිවි තොරකරගැනීමයි. වෛද්‍ය දිනුෂිකාගේ දිවි තොරකරගැනීමට නිශ්චිත හේතුවක් තවම සඳහන් නොවූවද ඇයගේ ජීවිතේ අවසන් තීන්දුව වූයේද එයයි.

 නිල නිවාසයක තනියෙන් ජීවත්වුණේ 

කැලණිය ප්‍රදේශයේ උගත් බුද්ධිමත් මාපිය දෙපළකට දාව උපත ලබන දිනුෂිකා හෙට්ටිආරච්චි උපතින්ම උරුමකම්  කිව්යේ සැපවත් ජීවිතයකටය. තමන්ට අවශ්‍ය යම් දෙයක්ද ඒ දෙය වඩාත් පහසුවෙන් ලබාගැනීමට ඇයට හැකියාවද පැවැති අතර ඒ නිසාම ඇය හුරුවී සිටියේ වඩාත් සැහැල්ලු ජීවන රටාවකටය. ජීවිතය කොතරම් සැහැල්ලුවෙන් ගතකළද අධ්‍යාපන කටයුතු කෙරෙහිද ඇය දැක්වූයේ විශේෂ දක්ෂතාවකි. අ.පො.ස. සා.පෙළ විභාගයේදී දිවයිනේම පස්වැනි ස්ථානයට පත්වීමට පවා සමත්වූයේ එබැවිනි. පසුව උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි දිනුෂිකා එහිදීද විශිෂ්ට ප්‍රතිඵල ලබමින් වෛද්‍ය පීඨයට තේරී පත්වූවාය. වෛද්‍ය පීඨයේදී ඇගේ අවධානය යොමුවූයේ නිර්වින්දන අංශය කෙරෙහිය. මෙරට නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර ඒ මේ හිඩැසක්ද පුරවමින් ඇය වෛද්‍ය පීඨයෙන් එළියට ආවේ නිර්වින්දන වෛද්‍යවරියක ලෙසය.

වෘත්තීය වශයෙන් සාර්ථකත්වයට පැමිණි වෛද්‍ය දිනුෂිකා විවාහ දිවියට එළඹි‍යේද වෛද්‍යවරයකු සමඟිනි. එහෙත් කාගේ හෝ අවාසනාවකට මෙම විවාහ දිවිය පවත්වාගෙන යාමට මෙම වෛද්‍ය යුවළට හැකියාවක් ලැබී නැත. අසාර්ථක විවාහ ජීවිතයෙන් සමුගත් වෛද්‍ය දිනුෂිකා ඉන්පසු තීරණය කර ඇත්තේ තනිව ජීවත් වීමටය. ඒ අනුව නුවරඑළිය මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක ලෙස සේවය කරමින් ඇය ජීවත් වී ඇත්තේද නුවරඑළිය වෛද්‍ය නිල නිවසේ තනිවමය.

 පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් 

වෛද්‍ය දිනුෂිකා හෙට්ටිආරච්චි සුපුරුදු පරිදි තම වෘත්තීය කටයුතු සිදුකරගෙන ගිය අතර ඇගේ සුරතින් ජීවිත විශාල සංඛ්‍යාවකට සෙත සැලසිණ. සුන්දර නුවරඑළියේ සොඳුරු පරිසරයේ ආස්වාදය ලබමින් දිනෙන් දින ගෙවෙද්දී ඇයට තනියක් නොදැනුණේ මාපියන්ද නිරතුරුවම දුරකතනය හරහා සම්බන්ධවෙමින් ඇයගේ දුක සැප විමසීම නිසාය. ජීවිතය මෙලෙස ගලායද්දී ජීවිතයේ සම්බන්ධයෙන් තමන්ට මෙලෙස දැඩි තීරණයක් ගන්නට වේයැයි ඇය පවා නොසිතන්නට ඇත.

ඒ ඉකුත් 23 වැනි දිනයි. තම දියණියගේ සුවදුක් ඇසීමට මාපියන් දුරකතන ඇමතුම් ලබාදුන්නද ඒ එකදු දුරකතන ඇමතුමකට හෝ ප්‍රතිචාරයක් නොලැබුණි. දිගින් දිගටම ලබාදුන් දුරකතන ඇමතුම්වලට තම දියණිය ප්‍රතිචාර නොදැක්වීම නිසා එයින් කලබලයට පත්වූ මාපියන් රෝහලේ වෛද්‍යවරුන් කීපදෙනකුම අමතා මේ බව දැනුම් දී ඇත. 22 වැනිදා සේවය නිමකළ ඇය වෛද්‍ය නිල නිවසට ගොස් ඇති බවට මේ වනවිටත් අනාවරණය වී තිබූ අතර වෛද්‍යවරියකගේ මාපියන්ගේ දැනුම් දීමෙන් අනතුරුව රෝහල් බලධාරීන්ගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් දෙදෙනකු රෝහලේ රෙජිස්ටාර්වරයා සමඟ වෛද්‍ය නිල නිවාසයට ගොස් ඇත. මෙසේ ගොස් නිල නිවස පරීක්ෂා කිරීමේදී එය අගුලු දමා තිබුණු බවත්, විදුලි එළිය දැල්වෙමින් තිබූ බවත්, ඉන්පසුව දොරවල් විවෘත කර බැලීමේදී ඇය නිදි යහනේම මියගොස් සිටි බවත් දැක තිබේ. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙය වූ පොලීසිය විසින් ඇගේ සයනය අසල බෙහෙත් කුප්පි කිහිපයක් තිබී හඳුනාගෙන ඇත.

 ඇඳ අසල බෙහෙත් කුප්පි කිහිපයක් 

වෛද්‍ය දිනුෂිකා හෙට්ටිආරච්චිගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑළිය මහේස්ත්‍රාත් රුවන් ඉන්දික මහතා විසින් සිදු කිරීමට නියමිත වුවද නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ කටයුතු මෙහෙයවූ නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග මහතා කළ ඉල්ලීම පරිදි පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී සිදුනොකෙරිණි. එහිදී විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාවය පෙන්වා දෙමින් මහනුවර අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උදයංග මහතා විසින් කරන ලද ඉල්ලීම නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පිළිගෙන සිරුර මහනුවර මහරෝහලට යවන ලදි. ඒ අනුව 2017.05.24 දින මහනුවර මහ රෝහලේදී අධිකරණ විශේෂඥ වෛද්‍ය එම්. සුබ්‍රමනියම් මහතා විසින් පැය ගණනාවක් තුළ සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මියගිය වෛද්‍යවරියගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී ඇත. ඒ සමඟම මෙම සිරුරේ කොටස් ගණනාවක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගැනීමට උපදෙස් පොලීසියට ලබාදී ඇත.
ජීවිතය ඉදිරියට ගලායාමේදී විවිධ වූ ගැටලුකාරී තත්ත්වයන් මතුවීම සාමාන්‍ය දෙයකි. අප විසින් කළ යුත්තේ එම ගැටලුවලට මුහුණ දෙනවා විනා ඒවායින් පළායාම නොවේ. මෑතකදී අගනුවර තදාසන්න ප්‍රදේශයක වෛද්‍යවරියක් දිවිනසා ගත්තේ දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන එක්තරා රෝගී අවස්ථාවක් නිසා බවට තොරතුරු අනාවරණය විය. ඇගේ සමීපතමයන් ඇය ගැන සැලකිලිමත් වූවානම් එම වටිනා ජීවිතයද රටට අහිමි වන්නේ නැත. එසේම මෑතකදී වෛද්‍ය සිසුවෙකුගේ දිවිනැති කරගනීමේ සම්බන්ධයෙන්ද අපට වාර්තා විය. වෛද්‍ය දිනුෂිකාද දැන් මෙලොව හැර ගොස්ය. වෛද්‍ය දිවිනසා ගැනීම් අනෙකුත් දිවිනසා ගැනීම්වලට වඩා වැඩිපුර අවධානය යොමුවන කාරණයක් වන්නේ ඔවුන් නිරතුරැම අන් අයගේ ජීවිත රැකගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන පිරිසක් වන නිසාය.

වෛද්‍ය දිනුෂිකා හෙට්ටිආරච්චිගේ මරණය පිළිබඳව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑළියේ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රදීප් කුමාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරති. අපරාධ විමර්ශන ස්ථානාධිපති නිශාන්ත ප්‍රදීප් කුමාර මහතා සඳහන් කර සිටියේ යළි මහේස්ත්‍රාත් කැඳවීම 2017.06.29 දිනට යොදා ඇති බවයි.

♦ හේමමාලා කුමාරි රාජකරුණා
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00