2017 මැයි 27 වන සෙනසුරාදා

අවදානම ඔන්න මෙන්න බිල්ඩින් 2200ක්!

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

අලුත් අවුරුදු උදාවත් සමඟ මහ දහවලේ මිනිස් ජීවිත 31ක් මහපොළොවට සිරකරමින් මීතොටමුල්ල කුණුකන්ද නාය ගියේ අපගේ මතකයෙන් බැහැරට මාරාන්තික පාඩම් දෙකක් ඉතිරි කරවමිනි. එම ඛේදවාචකයෙහි පළමු පාඩම නම් කසළ කළමනාකරණයයි. එහි දෙවැන්න වනුයේ මහා ජන ගංගාවක් ගැවසෙන කොළඹ නගරයේ සිදුකෙරෙන ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්ය. කසළ කළමනාකරණයේ හෝඩි පොත අප මේ වනවිට අකුරු කරමින් සිටින්නෙමු. නමුත් අහස සිඹින්න තනන කොළඹ නගරයේ ඉදිකිරීම් පාඩමට අත ගැසීමට නිලධාරීහු තවමත් කල් මරමින් සිටිති.

එම පාඩමේ හෝඩි පොත අකුරු කිරීමට නම් මිනිසුන් සමඟ තවත් ගොඩනැගිලි දෙක තුනක් ගිලා බැසිය යුතුය. එය එසේ නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. මෙම ඉදිකිරීම් කථාව සමහරකුට තිත්ත වුවත් ඇත්තය.

පසුගිය 18 වැනිදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසලින් ගලා යන ඕලන්ද ඇළට යාබදව ඉදිකර තිබූ පස් මහල් ගොඩනැගිල්ලක් පොළොවට සමතලා විය. මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මෙලෙස කඩා වැටුණේ මිනිසුන් දහයකට පමණ අසුන් ගත හැකි මංගල උත්සව ශාලාවකි. එවැනි මංගල උත්සවයක් තිබියදී මෙම ගොඩනැගිල්ල බිමට පතිත වූයේ නම් එය මෑත ඉතිහාසයේ ලංකාවේ සිදුවූ ලොකුම අවමංගල්‍යය වීමට ඉඩ තිබිණි. නමුත් වාසනාවට එසේ වූයේ නොමැත.

නගර සභාවේ ඉංජිනේරුවරයාගේ වාර්තාවට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ප්‍රමිතියකින් තොරවය. අනෙක් අතට අවශ්‍ය ඉදිකිරීම් සහතිකද අයිතිකරු ලබාගෙන නොමැත. ඔහු මේ වනවිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටී.

නමුත් එතැනින් මෙම ප්‍රශ්නය විසඳුණා යැයි ඇතැමුන් සිතා සිටියහොත් ඒ ඔවුනට සිදුවූ බරපතළ වැරදිමකි.

කොළඹ නගරය ගතහොත් විශාල අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් තිබෙන බවත් බොහෝදුරට ඒවා ප්‍රමිතියෙන් තොර බවත් පෙනී යයි. බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා ඇති මෙම නීති විරෝධී ඉදිකිරීම් සංඛ්‍යාව 1800ක් පමණ වනු ඇති බව සංගණනයක් මගින් සොයාගෙන ඇත. මේවා කූඩාරම් මට්ටමේ සිට විශාල මහල් නිවාස දක්වා ව්‍යාප්ත වී ඇත. දේශපාලන බලය යොදාගැනීම් මෙන්ම නිලධාරීන්ට අල්ලස් ලබාදීම ආදි දූෂිත ක්‍රියාවන්ද මේ පසුපස ඇති බවට සැකයක් නැත්තේ විධිමත් නගර සැලැස්මකට අනුව නිසි ප්‍රමිතියකට මේවා ඉදිවී නැති බව පෙනෙන බැවිනි.

  

මෙම අනවසර ඉදිකිරීම් මෙන්ම අහස සිඹින ගොඩනැගිලි කොළඹ නගරයට පමණක් සීමා වන්නේද නොමැත. රටේ සෑම නගරයකම පාහේ මෙවැනි ඉදිකිරීම් පවතී. ඒවා ගැන සොයා බලන්නට මේ වනතෙක් කිසිදු බලධාරියකුද නැත. කුණු ප්‍රශ්නය මෙන්ම ප්‍රමිතියෙන් තොර අනවසර ඉදිකිරීම්ද රටේ මේ වනවිට බරපතළ අර්බුදයක් මතුකර තිබේ.

මෙම අනවසර ඉදිකිරීම්වල භයානක ප්‍රතිඵල භුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාවය. කොළඹ නගරය වැසි වතුරෙන් යටවන තත්ත්වයක් මීට දශක දෙක තුනකට පෙර තිබුණේ නැත. නමුත් මේ වනවිට පොඩි වැස්සකටද කොළඹ නගරයේ ඇතැම් ස්ථාන යට වන්නේය. මීට ප්‍රධාන හේතුව පහත් බිම් ගොඩ කිරීම බව ඉංජිනේරුවන්ගේ මතය වී තිබේ. මෙම තත්ත්වය වහාම වෙනස් විය යුතුය. එලෙස නොවන්නේ නම් බලධාරීන් මෙය වෙනස් කිරීමට වහාම පියවර ගත යුතුය. මේවා වෙනස් නොවුණුහොත් තවත් බරපතළ ඛේදවාචක සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.

වැල්ලවත්තේ කඩා වැටීම නිසා රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ අලුත් කතාබහක් ඇතිවී තිබේ. එක අතකින් රජය මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට උනන්දු වී ඇත. තව අතෙකින් පෞද්ගලික අංශයද සිය ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත දෙවරක් සිතා බලන තැනට ගොස් ඇත. මෙබඳු ඉදිකිරීම්වල යෙදෙන කම්කරු ප්‍රජාවගේ ආරක්ෂාව ගැනද සලකා බැලීම අවශ්‍යය. කොන්ත්‍රාත්කරුවන් කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන කල්පනා කරන්නේ නැත. ඔවුන් දෛනික කුලීකරුවන් බව වැල්ලවත්ත හෝටලයේ වැඩකරමින් සිටි මියගිය කම්කරුවාගෙන් පැහැදිලි වෙයි. මෙබඳු කම්කරුවන්ට රක්ෂණ ආවරණයක් ලබාදෙන ක්‍රමයක් ගැනද තවමත් කිසිවෙකු කල්පනා කර නැත. ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් දැන් පවතින තත්ත්වය ඉන් මනාව පැහැදිලි වේ.

කුඩා නිවසක් පවා සැලසුමකට අනුව ඉංජිනේරු දැනුම ලබා ගනිමින් ප්‍රමිතියක් සහිතව ඉදිකරන යුගයක රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඇති ප්‍රමිතියකින් තොරව ඉදිකරන ලද ගොඩනැගිලිවලට ඉංජිනේරු දැනුම භාවිත නොකිරීම භයානක තත්ත්වයකි.

පසුගියදා වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුර පාඩමකට ගෙන ඇළ මාර්ග අසල ඇති සියලු නීති විරෝධී දැවැන්ත ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාව හා මහනගර සංවර්ධන අමාත්‍යංශය ගත් තීරණය අගය කළ යුතුය.

මෙවැනි අවස්ථාවක ඇතිවන කම්පනය සමඟ ගන්නා තීන්දු තීරණ කාලයත් සමඟ හමස් පෙට්ටියට යෑම අප කාලයක් මුළුල්ලේම දැක ඇති යථාර්ථයයි. එහෙත් එම තීන්දු තීරණ හමස් පෙට්ටිවල පුස්කද්දී වළක්වා ගත හැකිව තිබූ දැවැන්ත විනාශයක් හිස මත කඩා පාත්වීම සිදු නොවිය යුත්තකි. දේශපාලන බලය යොදාගෙන ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සිදුකිරීමෙන් වැළකී සිටීම අවශ්‍යය. එම මර උගුල් එකින් එක ගලවා රට ඉන් මුදා නොගතහොත් කිසියම් සුළු භූ කම්පන තත්ත්වයක් හෝ ඇතිවුවහොත් එවැනි ඉදිකිරීම් ජනතාවගේ හිස මතට කඩාවැටීම වැළැක්විය නොහැකි වනු ඇත.

 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00