2017 මැයි 27 වන සෙනසුරාදා

කඳු කඩා වැටේ පවුල් පිටින් වැළලේ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

සති ගණනාවක් තිස්සේ පැවති ගත දැවූ වියළි කාලගුණික තත්ත්වය නිමාවට පත්කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම මහවැසි ඇදහැලෙන්නට ගත්තේය. නිරිතදිග මෝසම් ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් පැවති කාලගුණික තත්ත්වය මුළුමනින්ම වෙනස් වූ අතර ලැබුණු වර්ෂාපතනය මි.මී. 150 ද ඉක්මවීය.

 

මෙවර වර්ෂාව ආරම්භ වූයේ ද ජනතාව පීඩාවට පත්කරන්නා වූ සිදුවීම් රැසකට මඟපාදමිනි. වර්ෂාව ආරම්භ වීමත් සමඟම බුලත්සිංහල  - මහගම බෝගහවත්ත ප්‍රදේශයේ පස් කන්දක නායයෑමක් සිදුවී ඇති අතර එම අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයන් පිරිසක් එයට යට වූ බවද කියැවේ. සහන කණ්ඩායම් මගින් මෙම ස්ථානයේ දී කන්දට යටවී මියගිය 6 දෙනකු සොයාගත් අතර මේ වන විට මියගිය සංඛ්‍යාව වාර්තා වන්නේ 9 ක් ලෙසයි.

අධික වර්ෂාෙවන් දිස්ත්‍රික්ක 12ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති අතර දිස්ත්‍රික්ක 6කට නායයාමේ අවදානම මතු වී ඇත. අධික වැසි හා සුළං හේතුවෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, කළුතර, ගාල්ල, මුලතිව්, වවුනියාව, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, කොළඹ යන දිස්ත්‍රික්කයන්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

වර්ෂාව හේතුවෙන් ගංඟාවල ජල මට්ටමද සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර ආපදා අංශ මගින් දැනුම් දී ඇත්තේ ගංඟා දෙපස ජීවත්වන්නන් හට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි. ගිං ගඟ මේ වනවිටත් පිටාර මට්ටමද ඉක්මවා ඇති අතර කළු ගඟ, කැළණි ගඟ සහ නිල්වලා ගඟ දෙපස සිටින ජනයාට ගංවතුර තත්ත්වයක දී ගනු ලබන ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින ලෙසත් දැනුම් දී තිබේ. කළු ගඟ දෙපස පිහිටි රත්නපුර ඇලපාත, කුරුවිට, කිරිඇල්ල, අයගම මෙන්ම ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර සහ කළු ගඟ පහළ ප්‍රදේශයන්හි සිටින ජනතාව හටත් මෙම අනතුරැ ඇඟවීම සිදුකර තිබේ. රත්නපුර නගරය සිකුරාදා වනවිට ජලයෙන් යටවී තිබුණි.

අගලවත්ත, මාවතවත්ත ප්‍රදේශයේ ද නිවාස තුනක් නායයාමට හසුවීමෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් ඇත. මෙම මියගිය අය අතර ගැබිනි මවක් හා කුඩා දරුවකු ද සිටිති. එම නිවාස තුනෙහි 12 දෙනකු සිට ඇති බවත් මේ වනවිටත් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පැවසේ. මේ අතර සපුගස්කන්ද හෙයියන්තුඩුවේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් මවක හා දියණියක මියගොස් ඇත. සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට පළාත් අධ්‍යාපන කාර්යාලය කටයුතු කළේද පස් කඳු කඩාවැටීම් හා ජල ගැලීම් නිසාය. 

දැනට වාර්තා වී ඇති ඉහළම වර්ෂාපතනය සබරගමුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සටහන් වන්නේ මිලිමීටර් 196.7ක් වශයෙනි. රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙමින් පවතින තද වැසි හේතුවෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි රත්නපුර, ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත යන ප්‍රදේශවලටයි. මෙම දිස්ත්‍රික්කයේ ජල ගැලීම්, ගස් කඩාවැටීම් සහ පස් කඳු කඩාවැටීම්වලින් බොහොමයක් දෙනා විපතට පත්ව ඇති අතර, මෙලෙස විපතට පත්වූවන් රත්නපුර කොළඳගල බෝධිරාජ විහාරස්ථානයේද, පැල්මඩුල්ල දිප්පිටිගල විහාරස්ථානයේද රැඳී සිටිති. රත්නපුර නගරය හරහා ගලායන ගංවතුර පිටාර මට්ටමට වැඩි වී ඇති අතර ඉදිරියේ දී ශ්‍රීපාද අඩවියට තද වැසි ඇදහැලීමක් සිදුවුවහොත් විශාල ගංවතුරක් ඇතිවීමේ අවදානමක් ඇති බවද ආපදා ඒකක සඳහන් කර ඇත. රත්නපුරේ සිදු වූ නායයාම්වලින් මේ වන විට පුද්ගලයන් 10ක් මියගොස් ඇති බව වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයටද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර එම දිස්ත්‍රික්කයට නොකඩවා දින දෙකක් තිස්සේ ඇදහැලෙන වර්ෂාවෙන් සිකුරාදා දහවල් වනවිට දෙනියාය, මොරවක, වරල්ල, අකුරැස්ස, කඹුරුපිටිය, දෙයියන්දර, පල්ලේගම සහ මාකඳුර ආදී ප්‍රදේශ රුසක් ගංවතුරින් යටවී ඇත. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියේ අවතැන් වූ ජනතාව බෝට්ටු මගින් බේරාගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර මොරවක කන්ද ප්‍රදේශයේ 25 වැනිදා සිදු වූ නායයාමත් සමඟ නිවාස 10ක් පමණ සම්පූර්ණයෙන්ම යට වී ගොස් ඇත. මෙම නායයාම නිසා 20 දෙනකු පමණ අතුරුදන් වී ඇති බවද වාර්තා වේ. ගිං, නිල්වලා ගංඟා පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ගංවතුරින් යටවී ඇති අතර මාර්ග ජලයෙන් යටවීමද, පස් කඳු හා ගස් කඩාවැටීම නිසාද ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති අතර විදුලියද ඇණහිට ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට ගංවතුර තර්ජන එල්ල වී ඇති අතර ප්‍රදේශ ගණනාවක ප්‍රධාන හා අතුරැ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇත. එමෙන්ම නෙළුව, නියාගම, ඇල්පිටිය, අක්මීමන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස ගණනාවකටම හානි සිදු වී ඇති බව ගාල්ල ආපදා කළමනාකරණ අංශය සඳහන් කර ඇත.්‍

මේ අතර දෙනියාය - පල්ලේගම බෝගොඩ කර්මාන්ත ශාලාව අසල දී ටිපර් රථයක ගමන් ගත් පිරිසක් මාර්ගයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොටු වී ඇත. එම අවස්ථාවේ දී මාර්ගයේ ජල මට්ටම අඩි 6 ත් 8 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා විය.

අනෙකුත් අවස්ථාවලදී මෙන්ම මෙවරද දක්ෂිණ අධිවේගී මාර්ගයටද අධික වර්ෂාවෙන් බලපෑම් ඇති වූ අතර වැලිපැන්න හා කොක්මාදුව අධිවේගී මාර්ග පිවිසුම් අප මේ ලිපිය ලියන අවස්ථාව වනවිටත් ජලයෙන් යටවී තිබිණ. එම ප්‍රදේශවල කුඩා වාහන ගමනාගමනය මුළුමනින්ම නතර වී තිබූ අතර එම ජල පහර හරහා ගමන් කිරීම හැකිවූයේ විශාල වාහනවලට පමණි.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නෝර්ටන් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශ 26 වැනිදා උදෑසන වනවිට වාන් දැමීම ආරම්භ විය. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙක සහ මස්කෙළිය - තැන්නේ ජලාශයේ වාන් දොරටු දෙක ද 26 වැනිදා උදෑසන වන විට විවෘත කෙරිණි.

පවතින කාලගුණික තත්ත්වය සම්බන්ධ‍යෙන් නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවයි. 

මේ අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශයන්හි තද වැසි ද බලාපොරොත්තු විය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. 


 හේමමාලා කුමාරි රාජකරුණා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00