2017 මැයි 27 වන සෙනසුරාදා

අනියම් බිරියන් පහක් සමඟ දීග කන කෝටිපතියා

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

අනියම් බිරියන් හය දෙනකු සමඟ කෙළිලොල් දිවියක් ගතකරන කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳ තොරතුරු හෙළිවුණේ ඔහුගේ හතරවැනි අනියම් බිරිය හේතුවෙනි. ඇය තමාට සහ ව්‍යාපාරිකයාට දාව උපන් බිළිඳාට ජීවත්වීම සඳහා මුදල් හා පහසුකම් සලසා දෙන්නැයි ඉල්ලා බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම නිසා එම ව්‍යාපාරිකයාට පොලීසියට පැමිණීමට සිදුවිය.

වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.

දෙසතියකට පෙර ඉරිදා පෙරවරුව බොරැල්ල පොලීසියට එතරම් කාර්යබහුල නොවීය. ත්‍රිරෝද රථයක නැගී ආ තුරුණු වියේ කාන්තාවක් අතදරුවකුද කර පින්නාගෙන පොලීසිය තුළට පැමිණියාය. කාර්යභාර නිලධාරිවරයාගේ විමසීමෙන් පසුව ඇය විවිධ පැමිණිලි අංශය වෙත යොමු වූවාය.

අනේ සර්.... මම පත්තර දැන්වීමක් බලලා රස්සාවකට අයදුම් කළා.... ඉන්ටර්වීව් ආපු ගමන් රස්සාව ලැබුණා. හොඳ පඩියක් ලැබුණා... බොස් හොඳට සැලකුවා. අන්තිමේ සර්ගෙ වචනවලට පිටින් යන්න බැරිවුණා. කල් යද්දි මම එයාගේ අනියම් බිරියක් වුණා. මේ අවුරුදු 1 ½ක් වයස දරු පැටියාගේ තාත්තා එයා. දැන් මේ මිනිහා තව කෙල්ලෙක් රවටාගෙන අඹුකමට අරගෙන මමයි දරුවයි ගෙදරින් එළවලා දැම්මා. මටයි දරුවටයි ජීවත්වෙන්න කීයක් හරි ඉල්ලා දෙන්න සර්.... පින්සිද්ධ වෙනවා... මේ මිනිහා කෝටිපති ව්‍යාපාරිකයෙක්.

අතදරුවා වඩාගෙන සිටි තරුණ මව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා ඉදිරියේ ඉකිගසා හඬමින් පැවසුවාය.

කාන්තාවගේ දුක් අඳෝනාව අසා සිටි වික්‍රමරත්න මහතා මඳකට ඇයව අස්වසා කරුණු විමසන්නට විය.

සර්... මගේ වයස 33යි. මීට අවුරුදු දෙකකට කලින් ජොබ් එකට ආවේ. ආපු දවසෙ ඉඳලාම බොස් මට හිතවත් විදිහට සැලකුවා. පඩියට වඩා දීමනා ලැබුණා. දුප්පත් අපිට ඒ පහසුකම් කොහෙන්වත් ලැබෙන්නෙ නෑ. බොස්ගෙ හිතවත්කම නිසා වෙන පිරිමියකු දිහා මම බැලුවෙත් නෑ. අන්තිමට මටත් හොරෙන් මම එයාගේ පෙම්වතිය වුණා.... ගොඩක් ආදරේ කළා... එත් මට වැරදුණා... එහෙමයි කියලා මේ දරුපැටියා... කියමින් යළිත් ඇය හඬන්නට වූවාය. මොහොතක් වැලපෙමින් සිටි ඇය යළිත් විස්තර කරන්නට වූවාය.

මගේ උපන්ගම කුරුණෑගල නාරම්මල. මෙයාගෙ කම්පැනියේ රස්සාවට ඇවිත් ටික කාලෙකින් මාව බඳිනවා කියලා පොරොන්දු වුණා. මාත් ඒකට කැමැත්තෙන් හිටියා. එයා මට වඩා ගොඩක් වයස වුණත් ඒක මට ගැටලුවක් වුණේ නෑ.
එයා කියපු හැමදේම මම විශ්වාස කළා. පස්සේ කසාද බඳින්නෙ නැතුවම මට දරුවෙක් ලැබුණා. ඊට පස්සෙ වැඩි කාලයක් ගියේ නෑ. මාත් එක්ක දිගින් දිගටම රණ්ඩු කරන්න ගත්තා. එහෙම ඉඳලා කොළඹ ගෝතමී පාරේ ගෙදරින් මාව එළවා ගත්තා. දැන් මටයි දරුවටයි ජීවත් වෙන්න විදිහක් නෑ. එයා කෝටිපතියෙක් වුණත් මට සතපහක් දෙන්නේ නෑ. මම පොලීසියට ආවේ මනුස්සයා ගැන විස්තර ගොඩක් හොයාගෙනමයි.

අසරණ කාන්තාවගේ පැමිණිල්ලට අනුව එය විභාග කිරීමට විත්තිකාර කෝටිපති ව්‍යාපාරිකයාට බොරැල්ල පොලීසියට පැමිණෙන ලෙස දන්වනු ලැබීය. ඒ අනුව 62 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයා ඉකුත් 7 වැනිදා පොලීසිය හමුවේ පෙනී සිටියේය. ඔහු පොලීසිය වෙත පැමිණියේ තනිවම නොව රූමත් තරුණ ගැබිණි කාන්තාවක සමඟය.

චෝදනාවට ලක්ව සිටින කෝටිපති ව්‍යාපාරිකයා හඳුනාගත් පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතා පැමිණිලිකාරියද පසෙක සිටුවා ව්‍යාපාරිකයාගෙන් අසා ඇත්තේ තමා පැමිණියේ කා සමඟද? යන්නයි. එහිදී අනාවරණය වූයේ ඔහු පැමිණ ඇත්තේ සිය පස්වැනි අනියම් බිරිය සමඟ බවය. ගැබිණි කාන්තාවක කැටුව සිටියේ ඒ නිසාය. ඇය 29 හැවිරිදි කාන්තාවක වූවාය.

කෝටිපති ව්‍යාපාරිකයා නිත්‍යනුකූලව විවාහ වී ඇත්තේ මීට කලකට ඉහතදීය. ඔහුගේ ඇතැම් අනියම් භාර්යාවන්ගේ වයසට සමාන වයසේ දරුවන්ද ඔහුට සිටින බවද හෙළිවී ඇත. නිත්‍යනුකූල බිරිඳට දරුවන් දෙදෙනෙකි. විවාහක බිරිඳ සිය නිවෙසින් එළවා දැමීමෙන් පසුව මොහු තමන්ගේ සේවාස්ථානයේ රැකියාවට එන රූමත් තරුණියන් හා ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින් අනියම් භාර්යාවන් වශයෙන් ඇසුරු කරන බවද හෙළිවී ඇත. මේ ආකාරයට වසර කීපයක් තුළ අනියම් බිරියන් 5 දෙනකු සමඟ ගතකොට ඇතැයි වාර්තා වේ. මේ අයුරින් ඇසුරු කරන කාන්තාවන්ට දරුවන් ලැබුණු පසුව සිය නිවෙසින් එළවා දමා තිබෙන බවද හෙළි වී ඇත.

ඔහුගේ පළමු අනියම් බිරියට දරුවන් දෙදෙනෙක්, දෙවැනි බිරියට දරුවන් 1ක්, තෙවැනි බිරියට දරුවන් 1ක් සහ හතරවැනි බිරියට දරුවන් 1ක් වශයෙන් මොහුට දාව දරුවන් 6 දෙනකු සිටින බවද මේ වනවිට පස්වැනි බිරිය ගැබිණියක් බවද හෙළි වී ඇත. පොලීසිය හමුවේ මේ කරුණු අනාවරණය වනවිටත් පැමිණිලිකාර සිව්වැනි අනියම් බිරිය ඉහත කරුණු සියල්ල පොලීසියට දැනුම් දෙන්නට පියවර ගෙන තිබුණි. මේ අතර ව්‍යාපාරිකයාගේ අනියම් බිරින්දෑවරු බව කියන කාන්තාවන් පිරිසක් මෙන්ම ඔහුගේ නීත්‍යානුකූල භාර්යාවද පොලීසියට කැඳවන්නට පැමිණිලිකාරිය ගත් උත්සාහය සාර්ථකව තිබුණි.

අපිට කළා වගේම මේ පස්වැනි බිරියත් දරුවන් ලැබුණාම එළවා ගනී. වෙන ගෑනියක් අඹුකමට ගනියි, තව ඔෆීස් එකේ වැඩකරන අය ඉන්නවා. මේක මේ මනුස්සයාගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ. යැයි එහි ආ බිරියක පවසා ඇතැයි කියති.

මේ කරුණු අනුව හෙළිවී ඇත්තේ සියලුම බිරියන් ඔහුගේ සේවාස්ථානයේ රැකියාව සඳහා පැමිණි තරුණියන් බවය. මේ අතර නිත්‍යනුකූල භාර්යාව පොලිසියට පැමිණ සියල්ල දෙස බලා සිට ඇත. ඇය සෙසු කාන්තාවන්ට හෝ ගැබිණි මාතාවට අහිතකර කිසිදු වචනයක් නොකී බවද වාර්තා විය.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා සතුව අන්තර්ජාතික නාවික ප්‍රවාහන සේවා සැපයුම් ආයතනයක් තිබෙන බවද කොළඹ ස්ටේස් පාරේ එම කාර්යාලය පිහිටා ඇති බවද වාර්තා වේ. සෙසු අනියම් බිරියන්ට නඩත්තු දීමනා ගෙවූවද එක් බිරියකට දීමනා නොගෙවීම මත වූ පැමිණිල්ල විභාග කරමින් අවශ්‍ය නඩත්තු ඉල්ලා අධිකරණයේ නඩුවක් පවරන ලෙස පැමිණිලිකාරියට පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත. දැඩි අවවාදවලින් පසුව කෝටිපති ව්‍යාපාරිකයා මුදාහරිනු ලැබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රගති නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත පැමිණිල්ල විභාග කෙරිණ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00