2017 මැයි 27 වන සෙනසුරාදා

ලෙඩ ඇඳෙන් නැගිට ලෙඩෙකුට සැත්කමක් කළ හිත හොඳ දොස්තර

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

මනුෂ්‍යත්වය ආත්ම කොටගත් විසල් මිනිසුන් වනස්පතින් ලෙස නැගී සිටි මහ පොළොවක නොවේය; අද අප ජීවත් වන්නේ. හද සන්තානයේ කැකෑරෙන අසීමාන්තික ප්‍රචණ්ඩත්වය හා රුදුරුත්වය නන්වෙසින් වල් පඳුරු ලෙසින් නැගී වඳ කළ නොහැකි ශාක විශේෂ ලෙස සමාජයේ හදවත මත අක් - මුල් අදින විපරීත යුගයකය; අද අප ජීවත් වන්නේ. අතරින් පතර වුව දැනෙන මිනිස්ක‍ෙම් සොඳුරු විරල නිර්මල සුගන්ධ අල්පමාත්‍රය වුව අප බැතිබරව ළයට තුරුලු කොට ගන්නේ එබැවිනි.

ෆේස්බුක් සහ සමාජ ජාල වෙබ්අඩවිවල කුණු ගඳ ගහන වල්වැදුණු කතා දහසක් අතර රැඳුණු මේ වෙනස් කතාව දේශයේ පන්හිදින් අප අකුරු වියමනක් කළේ ඒ දුලබ මනුෂ්‍යත්වයට උත්තමාචාරයක් වනු පිණිසමය.
 
මම එහෙම කළේ මගේ හදවතට දැනුණු හැඟීමෙන්. වෛද්‍යවරු විදියට, මිනිස්සු විදියට අපි ළඟ තියෙන්න ඕනෑ මනුස්සකම ඒක කියලා මම හිතන නිසා. අනේ මම ප්‍රසිද්ධිය බලාගෙන එහෙම දෙයක් කළේ නෑ. මගේ ගැන ලියන්න ඕන නෑ... විශේෂඥ වෛද්‍ය උදයංග මදගොඩහෙට්ටි අපෙන් එවැනි ඉල්ලීමක් කළත් නරුම වෙස්ගත් දහසක් දනන් හට ආදර්ශයක් සපයන පරමාර්ථයෙන්ම ඔහුගේ උත්තුංග ක්‍රියාව ගැන ලියන්නට අපි කල්පනා කළෙමු.
කළුතර උපන් උදයංග කළුතර කණිෂ්ඨයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා මේ වෙද්දි විශේෂඥ වෛද්‍යවරයකු දක්වා දුර පැමිණ සිටියි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහ කොළඹ මහ රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍ය උදයංග මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සේවය කරයි. තමාද රෝගියකු බවට පත්ව සිටියදී ඒ බව අමතක කර වෛද්‍යවරුන් වැඩවර්ජනයේ යෙදී සිටිදා රෝගියෙකු වෙනුවෙන් කළ කැපකිරීම ඔහු කළ උදාර කාර්යයි.
මීට වසරකට පමණ පෙරදී උදයංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වැඩ බාරගත්තේය. කොළඹ ජීවත් වුණු, කොළඹ පාසලක අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනකු එවැනි දුෂ්කර ප්‍රදේශයක සේවය කිරීමට අදිමදි කරද්දී උදයංග තමන්ට ලැබුණු පත්වීම ගැන සතුටු වූයේය.
ඒ වෙද්දී දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එතරම් පහසුකම් නොතිබුණි. නමුත් තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නට උදයංග ඇතුළු රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනත්, කාර්ය මණ්ඩලයත් නිරතුරුවම උත්සාහ ගත්තේය. ඒ අතර අදාළ අංශයන් කරා කරුණු ඉදිරිපත් කොට පහසුකම් කීපයක්ම දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ලබාගන්නට උදයංග ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබුණි.
මේ අනුව බොහෝ සැත්කම් සාර්ථක කරගන්නට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමට හැකියාව ලැබුණි. 
පසුගිය දිනක වෛද්‍ය උදයංග අසනීප විය. වෛද්‍යවරයා තමා සේවය කළ රෝහලෙන්ම ප්‍රතිකාර ගෙන නිල නිවෙසට වී විවේක සුවයෙන් සිටියේය. ඒ වෙද්දි වරින් වර වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වූවේය. මේ හේතුවෙන් රෝගීන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවලට ලක්වූහ. ඇතැම් රෝගීන් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගනිද්දී, පෞද්ගලික වෛද්‍යවරුන් වෙත යාමට තරම් වත්කමක් නොතිබූ රෝගීන් උදේ පාන්දර රෝහලට පැමිණ රෝහල් බිමේම වෙදැදුරන් එනතෙක් අසරණව බලා සිටියහ. තමන් අදහන බුදුන් දෙවියන් මිසක ඔවුනට තම දුක, දුප්පත්කම, අසාධාරණය ගැන කියන්නට කෙනෙක් සිටියේ නැත. 
වෛද්‍ය උදයංගටද සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබුණත් ගනු ලැබූ වෛද්‍ය වාර්තා අනුව ඊට පෙර  එන්නත් කිහිපයක් ලබාගැනීම සිදුකළ යුතු බැවින් ඔහු ප්‍රතිකාර ගෙන තම නිල නිවසේ නේවාසිකව සිටි අතර උදරයේ හටගත් බරපතළ වේදනාවකින් ද ඔහු පීඩා විඳිමින් සිටියේය.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට හදිසියේම අවුරැදු විසිදෙකක තරුණයකු රැගෙන ආවේය. බඩවැල් ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිමින් සිටි තරුණයාගේ තත්ත්වය ඒ වෙද්දිත් බරපතළ අතට හැරී තිබුණි. එක් පැත්තක වෛද්‍යවරු නානාවිධ හේතු ගෙනහැර දක්වමින් වර්ජනයේය. වර්ජනය සාධාරණ වේවා අසාධාරණ වේවා එහෙත් ඊට කිසිදු නෑකමක් හෝ වගකීමක් නැති මේ රටේම දුප්පත් ජනතාව රජයේ රෝහල් සායනවල දොස්තර මහත්තුරු නැතිකමින් සුසුම්ලද්දී, ආණ්ඩුවේ පව් රෝගීන්ගේ දෙවුර මත අනවසරයෙන් පැටවෙද්දී උදයංග තමා ඒ මොහොතේ රෝගියකු බව අමතක කර පෙර කී රෝගියා වෙත පැමිණියේය. අතේ ඇති කැනියුලාවද දරාගෙනම උදයංග රෝගියා පරීක්ෂා කළේය. පළපුරුදු වෛද්‍යවරයාගේ නියමය වූයේ ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බවය. 
තවකෙකු සුවපත් කරන මනුෂ්‍යත්ව පරාර්ථයෙන් ඔහු තම වේදනාව අමතක කළේය. තවකෙකුගේ උදරයේ වේදනාවක් වෙනුවෙන් තම උදරයේ වේදනාව අමතක කළේය. වහාම නිර්වින්දන වෛද්‍යවරැන් කැඳවූ වෛද්‍ය උදයංග තම වෛද්‍ය කණ්ඩායමේ සහයෝගයෙන් සැත්කම ඇරඹීය. සැත්කම සඳහා ගතවූ කාලය පැය දෙකහමාරකි. සැත්කම සාර්ථකව නිම කෙරිණි. වෛද්‍යවරයා ආත්ම තෘප්තියකින් හුස්මක් ගත්තේය. වෛද්‍ය කබාය පසෙක තබා නැවතත් තාවකාලිකව රෝගියෙකු බවට පත්වූයේය. 
දෙහිඅත්තකණ්ඩිය රෝහලට රෝගියා රැගෙන ආ දවසේ සිදුව තිබුණේ මෙවැන්නකි.
එදා මෙම වෛද්‍යවරයා තම නිල නිවසේ විවේකී සුවයෙන් සිටිද්දී හදිසියේම රෝහලේ තවත් වෛද්‍යවරයකුගේ ඇමතුමක් ආවේය.
ඩොක්ටර් අමාරු ලෙඩෙක් ඉන්නවා. වෙන හොස්පිට්ල් එකකට මාරු කරලා යැව්වොත් තත්ත්වය අවදානම් වෙන්න පුළුවන්.
එදින රට පුරා පැය විසිහතරක වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක වෙමින් තිබුණත් ජීවිතය වෙනුවෙන් හුස්මක් ඉල්ලන රෝගියෙකු හමුවේ ඔහුගේ සිරසට වැඩවර්ජන පිළිබඳ මතකයක් පැමිණියේ නැත. ඒ මොහොතේ තමා රෝගියෙක් බව මතකයට නැගුණේද නැත. ඔහුට සිහිපත් වූයේ ඔහු මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙන ගත් ඒ මිනිසුන් වෙනුවෙන් යුතුකමක් දෙවුර දරන වෛද්‍යවරයකු බව පමණි.
ඔහු වහා රෝහල වෙත පැමිණියේය. නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයා දක්වා අවශ්‍ය හැම කෙනාගෙන්ම අවශ්‍ය උපරිම සහාය ද ඔහුට ලැබුණි.
සැත්කම සිදුකරන පැය දෙකහමාර පුරාම වෛද්‍ය උදයංගටද තම උදර වේදනාව නොනවත්වාම දැනෙන්නට විය. එහෙත් ජීවිතය ඉල්ලන තවත් එක් තරුණ ප්‍රාණයක් වෙනුවෙන් ඔහු ඒ වේදනාව දරාගත්තේය.
මේ වෙද්දී මහ රෝහල්වල සිදුකරනු ලබන සැත්කම් බොහෝ සංඛ්‍යාවක් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේද සිදුකරනු ලබන අතර ඒ හැම කටයුත්තකටම නොපමාව උරදෙන වෛද්‍යවරුන් හා ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක්ද එහි සිටී. මේ මොහොතේ අපි ගෞරවපූර්වකව ඒ බව සිහිපත් කරමු.
වෛද්‍ය උදයංග කළ ප්‍රසංශනීය කාර්යය පිළිබඳ මේ සටහන ලියැවෙන මොහොතේත් ඔහු තම රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියි. ඔහු අතින් සැත්කමට භාජනය වූ තරුණයා සුවය ලබමින් සිටියි.
මුදල් මත සියල්ල තීරණය කරන ලෝකයක, ඡන්ම ලාභය ලද්දා වූ භූමිය පවා විකිණිය හැකිනම් විකුණන්නට නොපැකිලෙන උන් වෙසෙන ලෝකයක, වෛද්‍ය සේවාව සල්ලි ගරන උල්පතක් බවට පත් කරගත් දොස්තර මුදලාලිලා අඩුවක් නැතුව සිටින රටක, බොත්තමක් නාසයේ සිරවී රෝහලට රැගෙන ගිය දැරියට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ කතරගම දොස්තර වැනි නරුම දොස්තරලාත් සිටින බැව් පසක් වූ රටක විශේෂඳ වෛද්‍ය උදයංග ඔසවා තැබිය යුතු තැන කොතැනද? තීරණය කිරීමේ අයිතිය පුරවැසි ඔබේ අයිතියක් කොට සලකමි.
 
 දිශානි ජයමාලි කරුණාරත්න