2017 මැයි 27 වන සෙනසුරාදා

කැබිනට් සංශෝධනයේ හොඳ - නරක

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

බාලගිරියට අසුවී තිබූ යහපාලන ඇමැතිධුර මාරුව පසුගිය සතියේ ආරම්භයේදීම සිදුවිය. මෙය ආණ්ඩුව තුළ සිදුවන ගිනි බෝම්බයක් විය හැකි යැයි බොහෝ දෙනා අපේක්ෂා කළත් රතිඤ්ඤා කරලක තරම්වත් ගැස්මක් රටට ඇති නොවූ බව දේශපාලන විචාරකයෝ පවසති. ජනතා විමුක්ති පෙරමුණ ඇමැතිමාරුවේ එක් මාරුවක් අර්ථකථනය කළේ කරවල කෑල්ලක් කෑ බළලෙකුට උම්බලකඩ කෑල්ලකින් දමා ගැසීමක් වැනි යැයි කියාය. කවර කතා කීවත් නොයෙකුත් විවේචන තිබුණත් රටට දැනෙන යම්කිසි වෙනසක් කිරීමට මේ රජයට හැකිව තිබූ බව තවත් පිරිසක් කියති. ඒ වෙනස ගැන විචාර කළ හැක්කේ තවත් මාස කිහිපයක් ගිය පසුය.

කෙසේ වෙතත් මේ අමාත්‍යධුර සංශෝධනය පිළිබඳව වසර ආරම්භයේ පටන් කතාබහක් ඇතිවූයේ සමාජය තුළින්මය. ඇතැම් අමාත්‍යංශවල ඇමැතිවරුන් විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් ජනතාව තුළ තිබුණේ කලකිරීමකි. මේ නිසා ජනතාව සිටියේද දැඩි කනස්සල්ලෙනි.

මේ බව තවත් උත්සන්න කරමින් බොහෝ අවස්ථාවල කැබිනට් මණ්ඩලය තුළත් ගැටුම් හට ගත්තේය. ඇතැම් අමාත්‍යංශ පවත්වාගෙන යාමට තවත් අමාත්‍යංශවලින් ලැබිය යුතු සහය නොලැබීම නිසා බොහෝ අමාත්‍යවරුන් කැබිනට් රැස්වීමේදී පවා කතා කළේ දෝෂාරෝපණය කර ගනිමිනි. මේ නිසා ආණ්ඩුව තුළ වියවුලක් ඇති බව බොහෝ දෙනා සැක කළහ. එයට සාක්කි සැපයූ රාජිත, ජෝන් සෙනෙවිරත්න, චම්පික, සුජීව, පාලිත රංගෙබණ්ඩාර, දයාසිරි, ඩිලාන් යන මැති ඇමැතිවරු නිතර වාගේ ප්‍රහාර එල්ල කළේ ආණ්ඩුවටමය.

එපමණක් නොව විපක්ෂයේ නියෝජිතයන්ද ඇතැම් අමාත්‍යංශවල කෙරැවාවල් ලියකියවිලි පිටින්ම පාර්ලිමේන්තුව තුළ දිගහැරි නිසා එන්න එන්නම ආණ්ඩුවට එල්ලවුණු අභියෝග අධික විය. මේ සඳහා ඇතැම් අවස්ථාවල ජනතාව වීදි සටනට පවා ඇතුළු විය. අවසානයේ විවිධ පාර්ශ්ව හරහා සිදුකරනු ලැබූ යෝජනා අනුව කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය ගෙන තිබුණි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය තනිව කළ නොහැක. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහය ලැබිය යුතුය. මේ පිළිබඳව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ ඒ අනුවය.

අවසානයේ අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂයේ බොහෝ දෙනා විරුද්ධ වූහ. ඔවුන් සඳහන් කළේ තමන් සිදුකළ ඇතැම් සංවර්ධන ක්‍රියාදාමයන්වල ප්‍රතිඵල රටට ලැබීමට වසර 05ක් ගතවන නිසා ඊට කළින් වෙනස් කිරීම මත පාලනය අවුල් විය හැකි බවය. අවසානයේ ඒකමතික අදහස වූයේ කැබිනට් සංශෝධනය නොකරන තැනටය. අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව ජනාධිපතිවරයාටද දැනුම් දෙනු ලැබීය. එසේ තීරණය දැනුම් දෙන විටත් ශ්‍රීලනිප ඇමැතිවරුන් තැන් තැන්වල යමින් කියවමින් සිටියේ ඇමැති සංශෝධනයක් අතළඟ බවය. ඇතැම් විට එය ඇමැතිවරුන්ගේ ප්‍රකාශයකටත් වඩා ජනාධිපතිවරයාගේ කැමැත්ත පිළිබිඹු කරන අවස්ථාවක් විය.

මේ අතරතුර කැබිනට් සංශෝධන අද, හෙට, අනිද්දා වශයෙන් දින සඳහන් කරමින් ගියත් සිදුවූයේ නැත. එකවරම රට හෙල්ලෙන ප්‍රවෘත්තියක් එන්නේ මේ අතරය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් සංශෝධනය කරනතෙක් කැබිනට් රැස්වීම් නොපැවැත්වෙන බව කියාය. මේ තීන්දුවෙන් රටට වඩා හෙල්ලී ගියේ ආණ්ඩුවමය. අවසානයේ අකමැති වූ සංශෝධනයට එජාපය එකඟ වූ බවට වාර්තා පළවිය. ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ඇතැම් ඇමැතිවරුන් ලක්වූ බවද දේශපාලන ආරංචි මාර්ග හරහා හෙළිවිය. එසේම ඇමැති මාරුවෙන් හිත් රිදේ යැයි සලකා ඇමැතිවරු ජනාධිපති නිලනිවසට කැඳවා සැනසූ වගද දැනගන්නට ලැබිණි.

ඇතැම් ඇමැතිවරුන් තමන්ගේ ඇමැතිධුර මාරුවන බව අසා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ ශෝක සහ කෝප වූ ආකාරයක් එහෙන් මෙහෙන් ආරංචි වන්නට විය. ඒ තරම් තම අමාත්‍යංශ අත්හැරීමට ඇති අකමැත්තට හේතුව ඇත්ත දන්නේ රටේ ජනතාව නොව ඔවුන්මය. අවසානයේ බොහෝ දෙනා පසුගිය 19 වැනි සිකුරාදා මෙම වෙනස සිදුවන බවට අපේක්ෂාවෙන් පසුවූහ. එහෙත් එදිනද බාලගිරිය ලබා එය කල්ගියේය. මේ අතරතුර එදිනම සවස දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර එනම් සඳුදා දිනයේ සිය අමාත්‍ය ධුර වෙනස් කරන බව කියාය.
ඒ අනුව සඳුදා උදාවිය. උදෑසනම දැනගන්නට ලැබුණේ ඇතැම් අමාත්‍යවරුන්ගේ වාහන පෝලිමේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇදී යන බව කියාය. මෙය ජනමාධ්‍යයට පවා කොළය වසා සිදුකළ පෙරළියක් විය. ඇතැම් පිරිස් රූපවාහිනී දමාගෙන ඇමැති මාරුව බලා සිටියත් ඒ වනවිටත් ඇමැතිවරු ඇමැතිධුර රුගෙන ගෙදර යමින් සිටියහ. ඇතැම් ප්‍රබලයෝ සිය ප්‍රබල අමාත්‍යංශවලින් එළියට විසිවී සිටියහ. ඇතැම් ප්‍රබලයෝ තවත් ප්‍රබල වූහ. ඇතැම් ඇමැතිවරුන්ගේ විෂයයන් කපා දමා තිබුණේ ඇඟට පතට නොදැනෙන්නටය. අවසානයේ ඇමැති පෙරළිය නවයකට සීමාවිය.

කෙසේ වෙතත් මේ ඇමැතිධුර මාරුව පිළිබඳව බොහෝ දෙනා කතා කළේ විවේචනශීලීවය. එනම් ඇතැම් ඇමැති ධුර මාරුවීමට නියමිතව තිබුණත් ඒවා එලෙසම තබා තිබුණු බව බොහෝ දෙනා චෝදනා කළහ. ඇතැම් අය ඉවත් කළ යුතු වුවත් ඒ අයත් තවත් තබාගෙන තිබෙන බවද පැවසූහ. එහෙත් හේතුව දන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණි. 

♦ ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00