2017 මැයි 27 වන සෙනසුරාදා

වේලිඔය වනසන ගෝල්ෆ් පිටිය යළිත් විලිස්සයි!

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

මොණරාගල, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක මුල්කරගෙන ආරම්භ වුණු වේලිඔය කුඩා වාරිමාර්ග ව්‍යාපාරයකි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ල තනන වේලිඔයේ ජලය සහ කාල්කන් ඔයේ ජලය යොදාගෙන මෙම ජලාශය ඉදිකර තිබේ. බෝගහපට්ටිය රක්ෂිතයේ දී මීටර් 90ක් දිග මීටර් 8ක් උස වේල්ලක් ඉදිකර එහි ජලය කි.මී. 25ක් දිග ඇළ මාර්ගයක් ඔස්සේ රැගෙන යමින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සිදුවේ.

කුඩා වැව් 28ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 2කට මින් ජලය සැපයේ. ගොවි පවුල් 4,000කට සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය විවෘත කළේ ඉතා මෑතකදීය. එහෙත් විවෘත කිරීමේ උත්සවයේ රස්නය මැකීයාමටත් පෙර වේලිඔයට කනකොකා හඬන කතාවක් යළිත් කරළියට පැමිණ ඇත. ඒ පසුගිය ආණ්ඩු සමයේ දී ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ විරෝධතා නිසා යටපත්ව තිබූ වේලිඔය ගොල්ෆ් ක්‍රීඩාපිටිය සහ හෝටල් සංකීර්ණයයි.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම ව්‍යාපෘතියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස එය තාවකාලිකව නතර වී තිබුණා. දැන් වර්තමාන රජයේ අනුග්‍රහය යටතේ නැවත ආරම්භ කිරීමට සූදානම් වෙනවා. දේශපාලන අනුග්‍රහය වගේම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙම ඉඩම් කොල්ලයට සහයෝගය දක්වනවා. දේශපාලන සහ නිලධාරී සම්බන්ධය නිසා පාරිසරික අණපනත් තුට්ටුවකට ගණන් නොගෙන වේලිඔය ගොල්ෆ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න බවයි, පේන්නේ. අපට එලෙස අදහස් දැක්වූයේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකරය.

වේලිඔය ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 850 කි. ඒ යටතේ යල මහ දෙකන්නය වගාකරන කුඹුරු අක්කර ප්‍රමාණය 2830 කි. ඊට අමතරව ගොඩ ඉඩම් අක්කර දහස් ගණනකට ඉන් ජලය සැපයේ. ගොල්ෆ් පිටිය නිසා වේලිඔය ව්‍යාපෘතියේ ජල මාර්ගවල පෝෂක වනාන්තර විනාශ වේ. එයට ලැබෙන ජලය අඩු වී යාම සිදුවේ. ඒ ගැන සඳහන් කළ පරිසරවේදී සජීව චාමිකර,

ගොල්ෆ් පිටිය සහ හෝටලය ඉදිකිරීමට යොදාගන්නේ සොරගුණේ දේවාලයට අයත් නින්දගම් වනාන්තර ඉඩම්. දේවාලයට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628ක් එළිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒවා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්වන්ගුහාව ග්‍රාමනිලධාරී වසමේ දඩයම්පහළගම ගමට අයත්.

වේලිඔයේ ජලපෝෂක ප්‍රදේශයක් වශයෙන් වගේම උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි ඇතුන්ගේ වාසස්ථානයක් වශයෙන් ද මේ වනාන්තරය වැදගත්. ජනතාව අලුත් ආණ්ඩුව පත්කර ගත්තේ නීති විරෝධී සම්පත් සූරාකෑමට එරෙහිවයි. නමුත් අද සිදුව තිබෙන්නේ පසුගිය රජයේ ක්‍රියාකාරකම් වෙනස් මුහුණුවරකින් එළිබැසීමයි.

පසුගිය ආණ්ඩු සමයේ මෙම ව්‍යාපෘතිය සඳහා මූලික පියවර ගෙන තිබුණි. ඒ වනාන්තර එළිකර මාර්ග සැකසීම මගිනි. එහිදී ජාතික පාරිසරික පනත සහ පුරාවිද්‍යා පනත එළිපිටම උල්ලංඝනය කෙරිණි. එදා නීති විරෝධී අයුරින් ආරම්භ කළ ව්‍යාපෘතියට අද නිත්‍යනුකූල මුහුණුවරක් ලබාදීමට උත්සාහයක් පැවතීම කනගාටුදායකය. මේ ගැන විස්තර කළ පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මෙවැන්නකි.

මෙම හෝටල් ව්‍යාපෘතිය නිසා වේලිඔය ව්‍යාපෘතියට සිදුවන පාරිසරික හානිය ගැන සඳහන් කරමින් 2011 දී ඌව පළාත් මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂට වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය ලිපියත් බාර දී තිබුණා. නමුත් එය එවකට ක්‍රියාත්මක වුණේ නැහැ. මිනිසුන් දහස් ගණනක් ගොවිතැන් බතින් ජීවිතය ආරක්ෂා කරගන්නා වේලිඔය ප්‍රදේශයට ජලය ලබාගැනීමට විකල්ප මාර්ගයක් නැහැ. ප්‍රදේශයේ තිබෙන කුඩා වැව් 27ක් කාල්කන් ඔය සහ වේලිඔය මගින් පෝෂණය වෙනවා. ගම්මාන 35ක ජනතාවක් මේ ජලයෙන් ගොවිතැන් කරනවා.

කොටවෙහෙරමංකඩ, කණ්ඩියපිට, අලුත්වැව, හම්බෙගමුව යන ග්‍රාමසේවා වසම්වලට අයත් ගම්මාන 35ක ජනතාව අද යළිත් තම අනාගතය ගැන අවිනිශ්චිත බවකින් පසුවෙති. මෙම ව්‍යාපෘතිය නිසා ඒ ගම්මානවල ජනතාවගේ ආර්ථික සහ සමාජයී්‍ය ජීවන රටාවන් කනපිට හැරෙන බව පාරිසරික සංවිධාන පවසයි. වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ඩී.එම්. දිසානායක පවසන්නේ තම ගොවිතැන විනාශ කිරීමට මුල්වන මෙම ව්‍යාපෘතිය නතර කිරීමට හැකි හැම පියවරක්ම ගන්නා බවත් ගොවි සංවිධාන 34ක විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත්ය.

සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ඉඩමක් වන සොරගුණේ වනාන්තරය, බෝගහපට්ටිය වනාන්තරය හා සම්බන්ධ වී අක්කර 12,000ක විශාලත්වයකින් පැතිරී යයි. කාල්කන්න වනාන්තරය ලෙසද එය හැඳින්වේ. වේලිඔය ව්‍යාපෘතියේ ජල සැපයුම රඳා පවතින්නේ සොරගුණේ වනාන්තරයේ පැවැත්ම මතය.

යෝජිත ගොල්ෆ් පිටිය සඳහා එම වනාන්තරයේ විශාල බිම් ප්‍රමාණයක් එළිකිරීම නිසා එහි පැවැත්ම අස්ථාවර වේ. වියළි කලාපයේ පිහිටි මෙම ගෝල්ෆ් ක්‍රිඩාපිටිය නඩත්තු කිරීමටද දිනපතා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් පිටියක් පවත්වාගෙන යාමට දිනකට අවශ්‍ය වන ජල ප්‍රමාණය ලීටර් බිලියන 9.5 කි. එම ජල ප්‍රමාණය ලබාගැනීමට සිදුවන්නේද වේලිඔය අමුණ ව්‍යාපෘතියෙනි.

සොරගුණේ වනාන්තරය වියළි මිශ්‍ර සදාහරිත වන වැස්මකි. ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ඌව මාන්දෝර ශාකය ඇතුළුව කෝන්, මී, කුඹුක්, මිල්ල, බුරුත, වෙලං, මාදං, අරළු, බුළු, නෙල්ලි ඇතුළු ශාක විශේෂ රැසක් එහි පැතිර තිබේ. සත්ත්ව විශේෂ සංඛ්‍යාව ද ඉහළ අගයක් ගනී. බෝගහපට්ටිය, සොරගුණේ සහ සමනලවැව වනාන්තර පද්ධතිය ආශ්‍රිතව කරන ලද අධ්‍යයනයකට අනුව සත්ව විශේෂ 390ක් වාර්තා වන අතර ඉන් විශේෂ 59ක් ලංකාවට ආවේණිකය. අක්කර 628ක් එළිකිරීමට යන්නේ එවන් පාරිසරිකව වැදගත් වනාන්තරයකිනි.

 කුසුම්සිරි විජයවර්ධන