2017 මැයි 27 වන සෙනසුරාදා

සිංහරාජෙ අලි කෙරුමා එක පිට එක මිනී මරයි

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

අම්මේ... අලියකුගේ ගඳ එනවා නේද...? කියලා මම අහනවත් එක්කම අම්මා ටෝච් එක පත්තු කළා... අලියයි අපි දෙන්නයි අතර දුර මීටර් 25ක් වගේ. එකපාරටම අලියා දුවගෙන ආවා. අලියා අාපු ගමන් අම්මාව හොඬවැෙලන් උස්සලා 

පොළවේ ගැහුවා පාගලා පොඩි කළා.... මම කෑගැහුවට හඬ පිටවුණේ නෑ. මගේ බෑග් එක බිම වැටුණම අලියා ඒකත් උස්සලා විසිකළා... මම එතනින් දුවලා බේරුණා...

සිය දෑස ඉදිරියේ ආදරණීය මෑණියන් අලියකු විසින් පොළොවේ ගසා මරණ ආකාරය දුටු දියණියගේ මේ වදන් පෙළ තැතිගන්නා සුළුය.

රක්වාන, සයිප්‍රස්වත්ත ප්‍රදේශයේ දී අලියකු පහර දීමෙන් මියගිය සන්ධ්‍යා ලක්මාලි (35) නැමැත්තියගේ මරණය පිළිබඳව එසේ පැවසුවේ ඇගේ දියණිය වූ 17 හැවිරිදි ඉෂානි මහේෂිකාය.

ඉකුත් 16 වැනිදා පස්වරැවේ සිදු වූ අවාසනාවන්ත මරණයට පෙර සන්ධ්‍යා මහත්මිය ඇගේ දියණිය කැටුව අමතර පන්තියක් වෙත ගියාය. සවස් යාමයේ රෑ බෝවී තිබියදී නැවත නිවෙස බලා එන අතරමඟ දී වන අලි ප්‍රහාරය එල්ල වී තිබිණ. ඒ මොහොතේම ඔවුන් පසුපසින් ආ දැරියගේ පියා සහ ඔහුගේ මිතුරකු වෙතද අලියා කඩාපැන තිබූ අතර එහිදී සුදුවැලිකන්දේ ආනන්ද (45) නැමැති සිව්දරු පියෙක් ද එම ස්ථානයේම මියගියේය.

සිංහරාජ වනාන්තරයේ රක්වාන බෑවුමේ පිහිටි සයිප්‍රස්වත්ත ප්‍රදේශයේ දී සිංහරාජ නම් අලියා පහරදීමෙන් මෙම මරණ දෙක සිදුව තිබුණි. 

මේ වන විට සිංහරාජ වනයේ වෙසෙන්නේ අලි තිදෙනකු බවත් ඉහත කී මිනීමරු අලියා එහි විශාලම අලියා බවටත් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෑතක සිට මෙම වන අලි ගම්වැදීම නිසා සිංහරාජයට මායිම්ව පිහිටි කෝපිකුල්ල, රඹුක, වතුරාව, ඉළුඹකන්ද, ගාලවත්ත, ලියනෙක්කන්ද ආදී ගම් රැසක ජනතාව බියෙන් පසුවෙති.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පවසන්නේ සිංහරාජ වනය සහ වළංකැලේ අතර අලි ගමන් ගත් මාර්ගය අවට ජනතාව තේ වගාකර ඇති නිසා අලින්ගේ ගමන් මාර්ගය වෙනස් වී ගම් අසලින් ගමන් ගන්නා බවය. මෙසේ අලි ගම්වැදීම නිසා අලි මිනිස් ගැටුම් වාර්තා වන බව කියයි. ඊට දින කීපයකට පෙර වනජීවී නිලධාරීන් ගමන් ගත් ජිප් රථයකටද මෙම අලින් පහර දී ඇතැයි වාර්තා විය. මෙම අලින් වෙනත් වනයකට පලවා හැරීමද අසීරුය. ඊට හේතුව වශයෙන් දක්වන්නේ තෙත් කලාපීය වනාන්තරයට හුරු වූ අලින් මුදාහැරීමට සුදුසු එකම වනය සමනළ අඩවිය පමණක් බවය. නමුත් ඊට ඉඩක් සෙවීම අසීරු බව කියයි. ඒ හැර වියළි කලාපයේ වනයකට මේ අලින් මුදාහැරීම ඔවුන්ගේ ජීවන රටාවට බාධාවකි.

රක්වාන අලි ප්‍රහාරයෙන් ජීවිත දෙකක් අහිමි වී ගතවූයේ දින තුනකි. පසුගිය 19 වැනිදා පෙරවරුවේ තවත් අලි ප්‍රහාරයකින් 5 හැවිරිදි කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව ඇගේ සොයුරිය හා මිත්තණිය බරපතළ තුවාල ලැබූ පුවත වාර්තා වූයේ ගල්කිරියාගම, පලාගල, වේදෙණිගම ප්‍රදේශයෙන්ය. මියගිය දියණිය ළදරු පාසල් යන්නීය. එදින ඇය ගොස් තිබුණේ වැඩිමහල් සොයුරිය හා ඇගේ මිත්තණිය සමඟය. එසේ පාසල වෙත යන අතරමඟ ස්ථානයක දී වන අලියාගේ පහර දීමට ලක්ව ඇති බවත් එහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනා ප්‍රතිකාර සඳහා ආඬියාගල රෝහලට ඇතුළත් කරන්නට ප්‍රදේශවාසීන් ක්‍රියා කර තිබුණි. ඒ වනවිටත් 5 හැවිරිදි දැරිය මියගොස් සිට ඇති අතර අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවිණ.

මේ ආකාරයට ඉකුත් දින කීපය තුළදී ප්‍රදේශ කීපයකින් වාර්තා වූ අලි - මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත ගණනාවක් අහිමි වූ අතර ඇතැම් මිනිසුන්ගේ ක_ර ක්‍රියා හේතුවෙන් වන අලි කීපදෙනකු ද මරණයට පත් වී තිබුණි.

එසේ අනුරාධපුරය තන්තිරිමලේ පොලිස් බලප්‍රදේශයේ මහහල්මිල්ලෑව ගම්මානයේ දී විදුලිසැර වද්දවා අලින් තිදෙනකු ඝාතනය කර තිබුණි. පසුගිය 7 – 17 අතර දින කීපයේ දී මෙම අපරාධය සිදුකර ඇති අතර ඇතින්නක හා අලි දෙදෙනකු එසේ මරණයට පත්ව ඇතැයි වනජීවී කාර්යාලය සඳහන් කළේය. මෙම අපරාධය සිදුකළ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඔවුන් සඳහන් කළේය. කෙසේ නමුත් එහි ප්‍රදේශවාසීන්ට වන අලි තර්ජනය හිසරදයක් වී ඇතැයි පවසති.

අලි ප්‍රහාර හේතුවෙන් 2016 වසරේ අහිමි වූ ජීවිත ගණන 68 කි. ඉන් 54ක් වූ බහුතරය නැගෙනහිර කලාපයෙනි. පොළොන්නරුව ප්‍රදේශයෙන් ද රැසක් වාර්තා වී ඇත. මේ හේතු මත අලි මිනිස් ගැටුමේ අලි මරණ සිදුවන ආකාරය අමානුෂිකය. මරඋගුල්, හක්කපටස්, වස දීම, විදුලිසැර වැද්දවීම ඉන් ප්‍රධානය.

මෙකී අලි මිනිස් ගැටුම දැන් පෙරට වඩා උග්‍ර වී තිබේ. අත්තනෝමතික ක්‍රියාකලාපයන්ගෙන් මිදී බලධරයන්ගේ නිසි අවධානය මේ වෙනුවෙන් වහා යොමුවිය යුතු නොවේද?

 සමන්ත ප්‍රදීප් විල්තෙර