2017 මැයි 27 වන සෙනසුරාදා

රූපවාහිනී නිවේදිකාවට හිරිහැර කළ පිරිස තාම නිදැල්ලේ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධ රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන රූමත් නිවේදිකාවක වූ තරුණියක් මෝටර් රථයක ගමන් කරමින් සිටියදී සුදු වෑන් රථයක පැමිණි නාඳුනන පිරිසක් විසින් ගිනි අවි පෙන්වා බියවද්දවා පැහැරගෙන ගොස් ඇයව නිරුවත් කර ඡායාරූප ලබාගෙන එදින රාත්‍රියේම මහමඟ දමා ගිය පුවතක් පිළිබඳව පොලීසිය පසුගියදා වාර්තා කළේය.

ප්‍රසිද්ධ විද්‍යුත් නාළිකාවක් මගින් මෙහෙයවන ජනප්‍රිය රියැලිටි වැඩසටහනක අවසන් මහා තරගය ඉකුත් සතිඅන්ත රාත්‍රියක පැවැත්වීමට නියමිතව තිබුණි. ඊට පෙර දිනය පුරා එහි පෙරපුහුණුවීම් සඳහා වෙන්කර තිබුණි. එදින මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු පුහුණු වැඩසටහන පැවැත්විණි.

අනතුරුව සිය නිවෙස බලායන්නට සූදානම් වූ නිවේදිකාව එතැනින් පිටව ගොස් තිබුණේ එම වැඩසටහනේ නිෂ්පාදකවරයකුට අයත් මෝටර් රථයකිනි. එහි රියදුරු වශයෙන් කටයුතු කර තිබුණේත් නිෂ්පාදකවරයාය. මොවුන් දෙදෙනාගේ ගමන් මඟ වැටී තිබුණේ මහරගම, ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශ හරහාය. නිෂ්පාදකවරයාගේ අරමුණ වී තිබී ඇත්තේ හැකි ඉක්මණින් හා නිරුපද්‍රිතව හිතවත් නිවේදාකව ඇගේ නිවසට ඇරලවා තම නිවෙස බලා යාමටය.

මධ්‍යම රාත්‍රියත් ඉක්මවා තිබූ බැවින් මාර්ගයේ වෙනත් වාහන ධාවනය නොවූ තරමය.  දෙදෙනා රැගත් මෝටර් රථය පාඩුවේ තරමක වේගයෙන් ඉදිරියට යමින් සිටියදී ඔවුන් පසුපසින් ඉතා වේගයෙන් සුදු පැහැති වෑන් රථයක් ළඟාවෙනු දැකිය හැකිවිය. පැති කන්නාඩියෙන් ඒ බව දුටු නිෂ්පාදකවරයා මාර්ගයේ වම්පසින් සිය රථය ධාවනය කරන අතරතුර ක්ෂණයකින් පෙර කී වෑන් රථය ඔවුන්ගේ මෝටර් රථය ඉක්මවා ගොස් මාර්ගය හරහා නගර කළේය. තවදුරටත් සිය මෝටර් රථය පැදවීමට ඉඩක් නොවූයෙන් වහා තිරිංග දැමූ නිෂ්පාදකවරයාට හුස්මක් ගන්නට හෝ ඉඩක් නොවීය.

ලහි ලහියේ වෑන් රථයෙන් බැස ආ දෙදෙනෙකි. එක් අයෙක් ආවේ රියදුරු අසුන අසලටය. ඔහු අත වූ ගිනි අවියක් නිෂ්පාදකවරයා වෙත දිගු කොට බියගන්වා දොර හැර ඔහු බිමට බස්වන්නට පෙර නිවේදිකාව අසලට ආ අනෙක් පුද්ගලයා ඇයව බලෙන් ඇදගෙන ගොස් වෑන් රථයට ඇද දැම්මේය. ඒත් සමඟ නිෂ්පාදකවරයාත් ඇදගෙන ගොස් වෑන් රථය තුළට තල්ලු කෙරිණි. එසැණින් පියඹා ගිය වෑන් රථයට රත්මල්දෙණිය පසු කරන්නට ගතවූයේ තත්ත්පර කීපයකි. සිදුවූයේ කුමක්දැයි සිතන්නට නිෂ්පාදකවරයාට හෝ නිවේදිකාවට මොහොතක් නොවීය. දෙදෙනොම මර බියෙන් ගල් ගැසී තොල කට වියැළී ගොස් සිටියහ.

අඳුරැ වීදුරු සහිත සුදු වෑන් රියට දෙදෙනා නංවා ගත් සැණින් පලාගිය වෑන් රථයේ අධික වේගය ඔවුන්ට නිශ්චිත නැත. මංසන්ධි, වංගු, අතුරුපාර ඔස්සේ ගිය දුරද මතක නැත. කොහේ නමුත් නොදන්නා පෙදෙසකට වේගයෙන් එම රථය ගියා මතකය. එසේ ගොස් අවසානයේ නතර වූයේ පාළුවට ගිය නිවෙසක් අසලය. නොදන්නා ස්ථානයකට දෙදෙනාව කැටුව ගිය අවිගත් කල්ලිය නිවේදිකාවට විවිධ බලපෑම් කොට ඇතැයි වාර්තා විය. 

අවසානයේ එම පිරිස නිවේදිකාව බියගන්වා ඇයව නිරුවත් කොට ජංගම දුරකථනයක් මගින් ඡායාරූප ගත කරන්නට පටන් ගෙන තිබිණි. එහෙත් වාසනාවකට ඇයට ශාරීරික හිංසනයක් සිදුකර තිබුණේ නැත. නමුත් ඇය පැළඳ සිටි රන් මාලය ඇතුළු වටිනා ස්වර්ණාභරණ සියල්ල කොල්ලකන්නට ඔවුන් ක්‍රියාකර තිබිණි. මේ සියල්ල දෙස නිෂ්පාදකවරයාට බලා සිටිනවා හැරෙන්නට කළහැකි දෙයක් නොවීය.

ඒත් සමඟ ක්‍රියාත්මක වු පිරිස නැවතත් නිවේදිකව සහ නිෂ්පාදකවරයා වෑන් රථයට නංවාගෙන ඇසිපිය හෙළන සැණින් එතැනින් පිටත් විය. කිලෝමීටර් ගණනාවක දුරක් යන්නට ඇතැයි සිතෙන තරමට ධාවනය වූ රථය නතර වූයේ පළාතම අන්ධකාරයේ පැවැති ස්ථානයකය. ක්ෂණයකින් වෑන් රථයේ දොර ඇරෙනවාත් සමග දෙදෙනාට බැස යන ලෙස මැර පිරිසෙන් අණ ලැබිණි. ඔවුන් බිමට බසිනවාත් සමඟ වේගයෙන් ඇදී ගිය වෑන් රථය පලාගිය මඟක් හෝ සොයාගත නොහැකි විය. අඳුරේ ඒ මේ අත බැලූ විට දෙදෙනාට පෙනීගොස් තිබුණේ අසලින් ඇති දුම්රිය ස්ථානයකි. එහිදී හඳුනාගෙන ඇත්තේ කොට්ටාව මාලපල්ල දුම්රිය‍ෙපාළ අසල ඔවුන් රැඳී සිටින බවය.

නිෂ්පාදකවරයා සතු මුදල් පසුම්බියත් කොල්ල කල්ලිය සතු කරගෙන තිබූ නිසා ඔවුන් අත මුදලක් හෝ නොවීය. අනතුරුව හිතවතුන්ගේ උපකාර මත දෙදෙනා වහාම මහරගම පොලිස්ථානය වෙත ගොස් තමුන් මුහුණ පෑ සිදුවීම පිළිබඳව පැමිණිලි කළෝය. නිවේදිකාව මුහුණ දුන් සියලු ගැහැට පිළිබඳව පොලිස් පැමිණිල්ලේ සටහන් විය.

අනතුරුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කළද නිෂ්පාදකවරයාගේ මෝටර් රථය පිළිබඳව හෝඬුවාවක් හෝ ලැබුණේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව තුනක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව මෙය කොල්ල කල්ලියක ක්‍රියාවක්ද? පෞද්ගලික අරමුණක්ද? නොඑසේනම් වෙනත් පිරිසකගේ මෙහෙයවීමක්ද යන්න සොයා බැලෙයි.

මේ පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස් අධිකාරි කරුණාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එස්. මීඩින් මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර