2017 මැයි 20 වන සෙනසුරාදා

දොස්තරකමටත් නිගා දුන් කතරගම දොස්තර

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

වර්තමානය වනවිට ලංකාවේද ඇතැම් වෛද්‍යවරු කළු කඩ මුදලාලිලාගේ තත්ත්වයට පත්ව සිටිති. ඔවුන් තමන්ගේ ඉල්ලීම් හීන් නූලෙන් දිනාගැනීමට සමත්ව සිටිති. අසරණ අහිංසක රෝගීන් බිල්ලට දී තමන්ගේ සුඛ විහරණය සලසා ගැනීමට තරම් වෛද්‍යවරු යොමුවීම කෙතෙක් දුරට සාධාරණද යන්න සොයා බැලිය යුතුය. මේ කරුණු පිළිබඳව අප ඔබට මුලින් සටහන් කළේ අද අපි ඔබට ලියන්නට යන ලිපියද වෛද්‍යවරයකු සම්බන්ධව වූ ශෝචනීය පුවතක් නිසාවෙනි.

නිවසේ හොඳට දුව පැන ඇවිද හුරතල් කරමින් සිටි අවුරුදු එකහමාරක පුංචි දුව එකවරම කෑගහගෙන දැඩි අපහසුවෙන් දඟලද්දී දෙමාපිය දෙදෙනාද බියවී දරු පැටියා වඩාගෙන මොකද පුතේ වුණේ ඇහුවත් දරුවා කිසිත් නොකියා අඬන්නටම වූයේ දැඩි අපහසුවෙනි. දරුවා අමාරුවෙන් හුස්ම ගන්නා බව වැටහුණු දරුවාගේ මව නහය දෙස බැලුවේ කුමක් හෝ වී ඇතිද යන්න පිළිබඳව පරීක්ෂාවටය. ඒ අවස්ථාවේ දරුවාගේ නහය තුළ බොත්තමක් සිරවී තිබෙනු දුටු මව හැඬූ කඳුළින් යුතුව වහා දරුවා රැගෙන ගියේ කතරගම රෝහලටය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන පුංචි දුව වත්තන් කරගෙන රෝහලට ගොස් අනේ දොස්තර මහත්තයෝ මගේ දරුවා බේරාදෙන්නැයි ඉල්ලන්නේ දැඩි අසරණකමකිනි. 

මවකගේ මේ බැගෑපත් අසරණ හඬට වෛද්‍යවරයකු අනේ මට නම් ඕක කරන්න බෑ. කැමති දෙයක් කරගන්න. ඇම්බියුලන්ස් එක දෙන්නත් බෑ යැයි පැවසුවහොත් ඔවුන් කොතරම් නම් අසරණ වනු ඇතිද? මේ සිදුවීම්දාමය කොතරම් සංවේදීද යන්න පිළිබඳව ලිපිය කියවන ඔබටද වැටහෙනු නොඅනුමානය

සිත් කම්පා කරවන මේ සිදුවීම සිදුවෙන්නේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේදීය.  ඒ ඉකුත් 10 වෙනි දින රාත්‍රි 9.30ට පමණ කතතරගම රෝහලේදීය. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසියටද පැමිණිල්ලක් ලැබී තිබුණි. පැමිණිල්ලෙන් කියවුණේ වයස අවුරුදු එකහමාරක දරුවකුගේ නාසයේ බොත්තමක් සිරවී එයට ප්‍රතිකාර ගැනීම සඳහා දරුවා කතරගම රෝහලට ඇතුළත් කළද එදින රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයා දරුවා රෝහලට බාරනොගත් බවයි.

වයස අවුරුදු එක හමාරක් වූ එගීෂා දිලක්ෂි දැරිය 10 වෙනි දින රාත්‍රි 9.00ට පමණ නාසයේ බොත්තමක් සිරකරගෙන ඇති අතර මවුපියන් වහාම ඇය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට රැගෙන ගොස් තිබුණේ එදිනම රාත්‍රි 9.30ට පමණය. දරැවා රෝහලට රැගෙන ගිය පසු එදින රෝහලේ වැඩකරමින් සිටි වෛද්‍යවරයා දරුවා රෝහලට බාරගැනීමට නොහැකි බවත් මට ඔය බොත්තම ගැනීමට නොහැකි බවත් පැවසීම නිසා මවුපියන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
කුඩා දැරියගේ මව ඉනෝකා සඳමාලි (30) සිද්ධිය පිළිබදව මෙසේ පැවසුවාය.

10 වැනිදා රෑ දුව නාහේ බොත්තමක් හිරකරගෙන. මම දරුවා කතරගම රෝහලට ඉක්මනට අරගෙන ගියා බොත්තම ඉවත් කරගැනීමට. එහිදී එහි සේවයේ සිටි වෛද්‍යවරයා දරුවා බාරගන්න බෑ කිව්වා. කැමති නම් හම්බන්තොට අරගෙන යන්න කිව්වා. දරුවා ජීවිතෙත් මරණයත් අතර ඉන්න වෙලාවේ රෝහලෙන් දරුවා බාරගන්න බෑ කිව්වම අපි ගොඩක් අසරණ වුණා. අපි කිව්වා අඩුම තරමේ දරුවා හම්බන්තොට රෝහලටවත් යවන්න ඇම්බියුලන්ස් එකේ කියලා. ඒ වෙලාවේ ඒ දොස්තර කිව්වා ඇම්බියුලන්ස් එක හම්බන්තොට ගිහින් ඇවිත් තවම විනාඩි 30කට වැඩිය නෑ. ඇම්බියුලන්ස් එකේ යවන්න ඕනේ නම් තව ලෙඩෙක් එනකම් ඉන්න කිව්වා. නැතිනම් උදේ වෙනකම් ඉන්න උදේට හම්බන්තොට යවන්නම් කිව්වා. දරුවා මැරෙන්න යද්දී මේ දොස්තර ඒක ගානකටවත් ගත්තේ නෑ. වෛද්‍යවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක් කියලයි අපි විශ්වාස කරන්නේ. නමුත් කතරගම ඉන්න මේ දොස්තර අපිට සැළකුවේ දොස්තර කමටත් නොගැළපෙන විදියටයි. පසුව අපි ‍පෞද්ගලික වාහනයක් අරගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරලා දුවගේ නාහේ හිරවෙලා තිබුණ බොත්තම ඉවත් කළා. වගකිවයුතු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලන්නේ මෙවැනි වෛද්‍යවරු පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගන්න කියලයි.

ඩබ්ලිව්.වී. ප්‍රියන්ත කුමාර මහතා මෙසේ පැවසීය.

මගේ මල්ලිගේ දුවගේ තමයි නාහේ බොත්තමක් හිරවෙලා කතරගම රෝහලට අරගෙන ගියේ. රජයේ රෝහලකට ලෙඩෙක් අරගෙන යන්නේ වත් පොහොසත්කම් නැති නිසයි. එතනිනුත් ජනතාවට නිසි සේවයක් වෙන්නේ නැතිනම් මොකටද මේ රෝහල්වලින් ඇති වැඩේ. අවුරුද්දේ වැඩි දවසක් රෝහල්වල වැඩ වර්ජන. වැඩ කරන්නේ දවසයි දෙකයි සතියකට. එහෙම තියෙද්දිත් මේ අය ජනතාවට සේවය කරන්නේ නෑ. සයිටම් එපා කියලා කෑගහන අය මේ වගේ වෛද්‍යවරුත් වෛද්‍ය ක්ෂේත්‍රයට එපා කියලා වෛද්‍යවරු ඇයි වැඩවර්ජන නොකරන්නේ. මල්ලිගේ දරුවගේ නාහේ බොත්තම හිරවෙලා කෙල්ල ජීවිතෙත් මරණෙත් අතර සටන් කරනකොට කතරගම රෝහලේ දොස්තර මහත්තයා ඒක සතයකටවත් ගණන් ගත්තේ නෑ. අනික තමයි කතරගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයකුත් තියෙනවා. කතරගම රෝහලේ දොස්තරට බැරි නම් මේ බොත්තම ගන්න. එයාට තිබුණා දරුවට මුලික ප්‍රතිකාර දීලා ඇම්බියුලන්ස් එකේ හම්බන්තොට මහ රෝහලට යවන්න. ඇයි ඒ දොස්තර එහෙම නොකළේ. වෛද්‍යවරයෙක් කියන නමටත් ලැජ්ජයි. මේ දොස්තර ගැන ගමේ අයගෙන් අහලා බලන්න. ඔහු ගැන ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. මේ දොස්තර ඉන්නේ හරියට මැරයෙක් වගෙයි. ලෙඩෙකුට කතා කරන්නවත් දන්නේ නෑ. මම මේ සිද්ධිය පිළිබඳව එම වෙලාවෙම කතරගම පොලීසියට පැමිණි කළා. (CIB 42/77) තවම නම් පැමිණිල්ල විභාග කළෙත් නෑ. 

කතරගම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරීවරයාටත් මම මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. ඔහු මේ පිළිබඳව සොයාබලන බව පැවසුවා. මේ දොස්තර මහත්තයා මිනිස්සුන්ට මෙහෙම කළ පළවෙනි වතාව නෙමෙයි මේ. මීට කලිනුත් කීප දෙනෙකුටම මේ විදියට කළා. ජනතාව විදියට අපි කියන්නේ කතරගම රෝහලට මේ වගේ වෛද්‍යවරු එපා කියලයි.මේ සිද්ධිය පිළිබඳව අපි ඉහළ සෞඛ්‍ය බලධාරීන්ට දන්වනවා. ඔවුනුත් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගත්තේ නැතිනම් කතරගම ජනතාව අපි පාරට බහිනවා මේ වෛද්‍යවරයාට එරෙහිව. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට.
අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතරගම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් කුමාර මහතාගෙන්ද විමසීමක් කළෙමු.

මට සිද්ධිය පිළිබඳව පසු දින තමයි දැනගන්න ලැබුණේ. මම ඒ පිළිබඳව සොයා බැලුවා. එම සිදුවීම ඇත්ත. ඒ සම්බන්ධයෙන් කතරගම පොලීසියටත් මවුපියන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මම එම අවස්ථාවේ මේ සිද්ධිය පිළිබඳව දැනුම්වත් වූයේ නම් මෙවැනි තත්වයක් උදාවෙන්නේ නෑ. රෝගීන් කතරගම රෝහලට ඇතුළත් වූ පසු ඔවුන්ගේ තත්ත්වය බරපතළයි නම් වහාම ගිලන් රථයෙන් ඔවුන් හම්බන්තොට මහ රෝහලට යැවීමට අවශ්‍ය උපදෙස් අනෙකුත් වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයට ලබාදීලයි තියෙන්නේ. නමුත් ඇයි මෙහෙම සිද්ධියක් වුණේ කියන එක තමයි ගැටලුව. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් දරුවාගේ මවුපියන් මා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මා එම පැමිණිල්ල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.ඩී.කේ. අධිකාරී මහතා වෙත යොමු කළා. සිද්ධියට අදාළ පරීක්ෂණ ඒ හරහා තමයි සිදුවෙන්නේ.

දරුවාගේ දෙමාපියන් පොලීසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අප කතරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපාලි කාරියවසම් මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව සිද්ධිය පිළිබඳව අදාළ වෛද්‍යවරයාගෙන් කටඋත්තරයක් ලබා ගත් බවත් ඉදිරි විමර්ශන සිදුකරන බවත්ය.

අප කළ සොයා බැලීමකදී ගම්වැසියන් පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාට එරෙහිව මීට පෙරද මෙවැනි පැමිණිලි කිහිපයක්ම පවතින බවත්, මෙම වෛද්‍යවරයා තවමත් වෛද්‍ය වෘත්තියටද පැමිණ වසර කීපයක් පමණක් වන තරුණ වෛද්‍යවරයෙකු බවත්ය. ඔහු රෝහල තුළදී රෝගීන්ටද ඉතා අමානුෂික ලෙස සලකන, වෛද්‍ය වෘත්තියටද නොගැළපෙන ලෙස හැසිරෙන අයෙකු බවද ගම්වැසියෝ කියති.

 කතාව හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00