2017 මැයි 20 වන සෙනසුරාදා

සද්දෙයි දුමයි එක්ක තට්ටු පහක් බිමට

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

මීතොටමුල්ල කුණුකන්ද ජනතා සිරස මත කඩා වැටී ගෙවුණේ හරියටම මාසයකුත් දින 4ක් පමණි. එදා අවුරුදු කිරිබත මළබතක් කළ මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව තවමත් සුසුම්ලද්දී මහවැස්සක පෙරනිමිති කියමින් සිටි අහස යට සිදුවුණේ තවත් බලාපොරොත්තු විරහිත ඛේදවාචකයකි.

වැල්ලවත්ත සැවෝයි සිනමා හල අසල “චාර්ලිමන් පාරේ” පිහිටා තිබූ “The Excellency” උත්සව ශාලාව පිහිටා ඇති මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ල 18 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 10.45ත් 11.00ත් අතර කාලයේදී අනපේක්ෂිත අයුරින් කඩා වැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වී විසි හත් දෙනකු බරපතළ තුවාල ලැබූහ. දෙදෙනෙක් අතුරුදන් වූහ. මේ ඒ ඛේදවාචකයේ සංක්ෂිප්තයයි.

17 වැනි දින රාත්‍රියේද මෙහි උත්සවයක් පැවැත්වූ අතර 20 වැනි දිනයද එහි උත්සවයක් වෙනුවෙන් උත්සව ශාලාව වෙන්කර තිබුණි. මේ හේතුවෙන් උත්සව ශාලාව පිරිසිදු කිරීමේ කටයුතුවල කාන්තාවන් හා පිරිමි ළමයකු නිරතව සිටි අතර අතුරුදන්ව ඇත්තේ ඒ කාන්තාව හා පිරිමි ළමයාය.

“මගේ මල්ලී නිරෝෂන්. එයා මේ හොටෙල් එකේ පිරිසිදු කරන වැඩ තමයි කළේ. මල්ලී ගැන කිසිම තොරතුරක් නෑ. අපි තාම මල්ලිව හොයනවා. හොස්පිට්ල් දෙකටම ගිහින් බැලුවා. ඒ දෙකේම නෑ. එයත් එක්ක තව ගෑනු කෙනෙකුත් මේකේ වැඩ කරනවා. ඒ දෙන්නා ගැනම තොරතුරු නෑ. මල්ලී මොන වැඩේ කළත් එයා එයාගේ ෆෝන් එක ළඟම තමයි තියාගෙන ඉන්නේ. වැඩ කරද්දීත් ෆෝන් එක සාක්කුවේ දාගෙන තමයි ඉන්නේ. ඒත්... මල්ලිගේ ෆෝන් එකත් වැඩ නෑ. අනේ.... අපේ මල්ලිට මොකද වුණේ.”

තම සොහොයුරාගේ අතුරුදන්වීමත් සමඟ කලබලයට පත්වූ ඔහු පොලිස් අණ නොතකා එහාට මෙහාට දුවමින් තම සොයුරා සෙව්වේ දුටු දුටුවන්ගේ හද කම්පාවට පත් කරමිනි. පස් මහල් ගොඩනැගිල්ලක් වූ මෙහි ඉහළට තවත් මහල් දෙකක් ඉදිවෙමින් පැවතිණි. මේ සම්බන්ධව එම ගොඩනැගිල්ලට යාබදව ඇති සැවෝයි සිනමා ශාලාවේ කළමනාකරු ඇතුළු නිලධාරීන් මෙම ගොඩනැගිල්ල අයිති “සාජන්” නම් තැනැත්තාට කීපවතාවකදීම පැමිණිලි කළේය. එහෙත් මහා අනතුරක් සිදුකරමින් ගොඩනැගිල්ල බිමට පතිත වනතුරු ඔහු ඒ කිසිදු පැමිණිල්ලකට සවන් යොමු නොකළ බව කියැවේ.

මේ සම්බන්ධව සැවෝයි සිනමා ශාලාවේ නිලධාරියකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“මේක අවුරුදු පහක් තිස්සේ හදන බිල්ඩින් එකක්. එක කොටසක් හැදුවා. ඊළඟට කාලෙකින් ආයේ තව කොටසක් හදනවා. ඒ වෙද්දීත් ඒ බිල්ඩිමේ පහළ කොටස් ඉරිතැලිලා ගිහින් තිබුණේ. අපි ඒවා කීප වතාවක්ම ඒ තැනැත්තාට පෙන්නුවා. එච්චර ඒවා ගණන් ගත්තේ නෑ. තාවකාලික සිමෙන්ති යොදලා ඒවා පිළිසකර කරනවා. අද මම ඔෆිස් එකේ හිටියේ. මට කෝල් එකක් ආවා බිල්ඩිම කඩා වැටිලා කියලා. අපේ වාහන දෙකකට ඩැමේජ්. ඔහු හරි ප්‍රමිතියකට බිල්ඩිම හැදුවේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ තමයි හදන්නෙ. එහෙම හදද්දි මේ පැත්තට සිමෙන්ති බදාම වැටෙනවා. අපේ වාහන කීපයකට සිමෙන්ති බදාම වැටුණා. ඒ වෙලාවේ ඇවිත් එහා පැත්තට දාලා ක්ලීන් කරලා දෙනවා එච්චරයි..... ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයක් කියලා නෑ. එක එක කාලෙට එක එක අය ඔය බිල්ඩින් එක හදනවා...”

මෙම ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟම යුද හමුදාව, පොලීසිය, ගිනි නිවන සේවාව, කොළඹ විදුලිබල මණ්ඩලය ඇතුළු සේවාවන්හි නිලධාරීන් මෙම සිද්ධිය සිදුවූ තැනට පැමිණ යුහුසුළුව සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් රෝහල් කරා රැගෙන යාමේ කටයුතුවල නිරත වූහ. මෙයට අමතරව ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන හා භූ විද්‍යා පතල් කාර්යාංශයේ නිලධාරීන්ද මෙම ස්ථානයට පැමිණියෝය.

ගොඩනැගිල්ල කඩා වැටී පැය භාගයක් යන්නට මත්තෙන් කොළඹ නගරය පුරාවට හමා ගිය තද සුළඟත් අධික වර්ෂාවත් හේතුවෙන් ආරක්ෂක නිලධාරීන්ට අතුරුදන්වූවන් සෙවීම හා තුවාලකරුවන් රෝහල් කරා යාමේ කටයුතුවලට බාධා මතුවිය. නමුත් සියලු බාධාවන් මැද යුද හමුදාව ඇතුළු සියලුම කණ්ඩායම් අදාළ රාජකාරියේ නිරත වූහ. මේ අතර අසල තිබූ තවත් ගොඩනැගිල්ලක් හා එම ගොඩනැගිල්ලේ ඉතිරි කොටස දැඩි අවදානම් තත්ත්වයේ ඇති බවටද ප්‍රකාශ විය. අධික වර්ෂාව හා තද සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ල වටා තාවකාලිකව ඉදිකර තිබූ ටකරං ගැලවී යාමේ අවදානම් තත්ත්වයක්ද ඇති විය.

මේ අතර ගාලුපාර පුරා දැඩි රථවාහන තදබදයක් ඇතිවිය. බොහෝ මිනිසුන් මෙම සිදුවීම දැක බලා ගැනීමට හා ඡායාරෑප ගැනීමට මෙම ස්ථානයට එක්රොක් වූහ. මේ නිසා පොලිස් නිලධාරීන්ට කීප වතාවකදීම ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. වැල්ලවත්ත පාලම ඉහළට නැග ඇතැමුන් මෙය නැරඹීමට උත්සාහ ගත් අතර එම අවදානම් තත්ත්වයද පාලනය කිරීමට සිදුවූයේ පොලිස් නිලධාරීන්ටමය.

“සිද්ධියක් වුණාම ඒ අසලට යන්න එපා කියලා අපි ජනතාවට කියන්නේ අවදානම රැඳී තිබෙන නිසා. කරුණාකර එවැනි සිදුවීමක් වූ වහාම ස්ථානයෙන් ඉවත්ව සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ෙපාලිස් නිලධාරියා කීය.

මේ පිළිබඳව නිසි තොරතුරු හැකි ඉක්මණින් සොයාගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගොඩනැගිල්ල කඩා වැටුණ මොහොතේම අපිට ආරංචිය ලැබුණා. ඒ ලද සැණින් අපේ කණ්ඩායමක් හැකි ඉක්මණින්ම මේ ස්ථානයට වාර්තා කළා. ඒ අවශ්‍ය කරන මෙහෙයුම් කටයුතුවලට තමයි අපි මේ සහයෝගය දක්වන්නේ. දැනට ගොඩනැගිල්ල තුළ කී දෙනෙක් ඉන්නවද කියලා නිසියාකාර ගණනයක් නෑ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ බිල්ඩිම කොන්ත්‍රාත් ගත් කෙනා හොයාගෙන නිසි තොරතුරක් ලබාගන්න.” පොලීසිය දැඩි ලෙස ප්‍රකාශ කළේ එයයි.

එම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර සම්බන්ධීකාරක සරත් හපුආරච්චි මහතා එසේ අදහස් දැක්වීය.

ගොඩනැගිල්ලේ කඩා වැටුණ කොටසේ ඒ වනවිට කීප දෙනෙකු සේවය කරමින් සිටියා. එයින් කීපදෙනෙකු කඩා වැටුණු සුන්බුන් අතරෙන් දිවි බේරා ගත්තේ කඹයක ආධාරයෙන් බිමට පැනීමෙන්.

“අපි උඩ වැඩ කර කර හිටියේ. එකපාරටම ලොකු සද්දයක් ආවා. මාව බිමට වැටුණා. මට එකපාරටම හිතාගන්නවත් බැරිවුණා. මං ළඟ තිබුණ බීම් එකකට කොන්ක්‍රීට් එක හිරවෙලා තිබුණේ. මම බඩගාගෙන වගේ ඇවිත් තව යාළුවෙක් එක්ක කඹයක් දිගේ බිමට පැන්නා. අපේ යාළුවෝ කීපදෙනෙක් අපිත් එක්ක උඩ හිටියා.”

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන සේවකයෙක් එසේ පැවසීය.

මෙම ස්ථානයට වැල්ලවත්ත වැඩබලන ප්‍රාදේශීය ලේකම් නාලනී බාලසුබ්‍රමනියම් මහත්මියද අධික වර්ෂාව මැද්දේම පැමිණියාය. ගොඩනැගිල්ල කඩාවැටුණ ස්ථානයට ගොස් ඒ පිළිබඳව සොයාබැලීමෙන් අනතුරුව එතුමිය මාධ්‍යයට මෙසේ අදහස් දැක්වූවාය.

“මෙය ඉතා පැරැණි ගොඩනැගිල්ලක්. මෙයාලා මේක අලුත්වැඩියා කරමින් පවතිනවා. අලුත්වැඩියා කරන්නත් නගර සභාවෙන් අවසරය ගන්න ඕනේ. ඒ අවසරය දෙන්න ඕනේ ප්ලෑනින් යුනිට් එකෙන්. ඒකට සුදුසුකම් තියෙනවා නම් පමණක් ඒකට අනුමැතිය දෙනවා. ඒ ටික සිදුවෙලාද කියලා අපි හොයලා බලනවා. එහෙම නැත්නම් ඒකට අනුමැතිය දීපු අයට විරැද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.” ඇය පැවසුවාය.

මෙම උත්සව ශාලාව ඉදිරිපස ඉතා අලංකාරව සකසා ඇතත් පිටුපස ප්‍රදේශ ඉතා අබලන් තත්ත්වයක් දිස්වේ. ගොඩනැගිල්ල කඩාවැටීමත් සමඟ උත්සව ශාලාවේ විශාල වීදුරු ජනෙල් කිහිපයක්ද කඩා වැටීමෙන් එම මාර්ගයේද වීදුරු කැබලි බොහොමයක් දක්නට ලැබුණි. වැල්ලවත්ත ඇළ මාර්ගයේද ගොඩනැගිල්ලේ සුන්බුන් බොහොමයක් දක්නට ලැබුණ අතර යුද හමුදාවේ නිලධාරීන්ට එම ස්ථානයට යාමේදී වර්ෂාව හේතුවෙන් මඩෙහි එරීමටද සිදුවිය.
“අපිට එකපාරට ලොකු සද්දයක් ඇහුණා. අපි එළියට බැහැලා බලද්දි ලොකු දුමකින් මුළු පළාතම වැහිලා ගියා. අපි හිතුවේ ලොකු ගින්නක් කියලා.  ඒ නිසා අපි ඉක්මනට වාහනත් අරගෙන මෙම ස්ථානයට ආවා. බලද්දි තමයි දැනගත්තේ බිල්ඩිමක් කඩා වැටිලා කියලා. අපි ඉක්මනට මුලින්ම මුළු පළාතටම විදුලිය විසන්ධි කළා. ඊට පස්සේ මේ ගොඩනැගිල්ලට පමණක් විදුලිය විසන්ධි කළා.” කොළඹ විදුලිබල මණ්ඩලයේ නිලධාරියකු “දේශය”ට පැවසීය.
වැහි අඳුර නිසා ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින තුවාලකරැවන් සෙවීම මහත් අපහසුවක් විය. නමුත් විදුලි පන්දම් ආලෝකයෙන් ගොඩනැගිලි අතර සිරවී සිටින තුවාලකරුවන් සෙවීම දිගින් දිගටම සිදුවිය. යන්ත්‍රානුසාරයෙන් සුන්බුන් ඉවත් කිරීමට කටයුතු නොකරන්නට ප්‍රධාන හේතුව වූයේ සුන්බුන් අතර සිරවී සිටින තුවාලකරුවන්ට ජීවිත හානියක් වේ යැයි සැකයෙනි. අධික වර්ෂාවත් අධික සුළං තත්ත්වයක් මෙන්ම වරින්වර මෙම ප්‍රදේශයට මහ අකුණු සහිත ගෙරවීම් තත්ත්වයක්ද ඇතිවිය.

මෙම ස්ථානයට පැමිණි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා දේශයට ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“මේ අවස්ථාවේදී තත්ත්වය ඉතා බරපතළයි. මෙතන වැඩපළේ ඒ අවස්ථාවේ සේවකයෝ පනස් දෙනෙක් විතර වැඩකළා කියලයි මට ආරංචි වුණේ. බිල්ඩිමක් හදද්දි ඒ සම්බන්ධව හොයලා බලන්න ඕනේ. හොරකමක් නැතිව ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඒ නිසා මේ සම්බන්ධව හොයලා බලලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මගේ කොට්ඨාසයේ මේ වගේ දෙයක් සිදුවීම ගැන මම කනගාටු වෙනවා.” අමාත්‍යවරයා කීය.

මෙහි එක් කොටසක් පෞද්ගලික රථවාහන නතර කිරීමේ කොටසක් ලෙස වෙන්කර ඇත. වැල්ලවත්ත, බම්බලපිටිය ප්‍රදේශවල පිහිටි පාසල්වලට පැමිණෙන පාසැල් සේවා රථ මෙන්ම රැකියා කටයුතුවලට පැමිණෙන වාහනද මාසික කුලී ගාස්තු, දෛනික කුලී ගාස්තු යටතේ මෙම රථ ගාලේ ගාල් කරති. එම සියලුම රථවාහන අද සුන්බුන් ගොඩක් බවට පත්ව ඇත.

“මමත් පාසැල් සේවා වෑන් එකක් කරනවා. මාත් ගාල් කළේ ඔය රථ ගාලේම තමයි. ඒත් මේ මාසේ මාසික කුලිය රුපියල් තුන්දාහක් වුණා. ඒ නිසා අපි කට්ටියක්ම එතනින් වාහන ටික අරගෙන වෙන තැනක නතර කරනවා. ඒත් තාමත් කීප දෙනෙක් ඕකේ තමයි නවත්තන්නේ. අපි දෙන්නෙක්ට කතා කළා. එක්කෙනෙක්ගේ ෆෝන් වැඩ කරන්නේ නෑ. අනිත් කෙනා ආන්සර් කරන්නේ නෑ.”

නන්දනී මහත්මිය පැවසුවාය.

ඔතන දොලහමාර එක වෙනකන් වාහන අසූවක් විතර දානවා. උඩත් දාන්න පුළුවන්. පහළත් දාන්න පුළුවන්. හතර වටින්ම වාහන දානවා. මේ අය දෙදහට කරපු වැඩේ එකපාරටම තුන්දාහ කළා. ඒ නිසා වාහන අඩුවුණා. ඇය තවදුරටත් පැවසීය.

සෑම දිනකම ගාල් කරනුයේ මෙම රථගාලේ මෙම ඉසව්වේමය. වාසනාවකට නන්දනගේ ජීවිතයට හානි නොවීය. නමුත් ඔහුගේ වෑන් රථය හඳුනාගත නොහැකි තරමටම සුන්බුන් අතර සිරවිය. අවසානයේදී නන්දනට ඉතිරි වූයේ සුන්බුන් අතර සිරව තිබූ වෑන් රථයෙන් තම ජංගම දුරකතනයට ගත් ඡායාරූපයක් පමණි. ඔහු කඳුළු පිරි දෑසින් තම සිදුවීම මෙසේ විස්තර කළේය.

“දෙවැනි තට්ටුව කඩාගෙන තුන්වෙනි තට්ටුවට වැටුණා. මගේ එක තියෙන්නේ මේ කොන්ක්‍රීට් එක අස්සේ. මම වාහනේ මෙතන පාක් කරලා කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගියා. එතනදී යාළුවෝ කෝල් කරලා කිව්වා බිල්ඩිම කඩා වැටිලා කියලා. මම හිතුවේ විහිළුවක් කියලා. ඇයි දෙයියනේ කවුද දන්නේ මේ වගේ දෙයක් වෙයි කියලා. ඒත්... කියද්දි මම ඉක්මනට ආවා. මම හිතුවෙම වාහනේ ළඟ තිබුණ කණුවේ බරට වාහනේට මුකුත් වෙන්නේ නැතිවෙයි කියලා. ඒත් වාහනේ බොනට් එක බිමටම පොඩිවෙලා... දැන් දෙවැනි තට්ටුව කඩාගෙන මගේ වාහනේ තුන්වෙනි තට්ටුවට බැහැලා තියෙනවා. මට එහා පැත්තේ කාර් එකේ හිටපු අංකල් මම සැලුන් එකට යද්දී වාහනේ ළඟ වාඩිවෙලා පත්තරයක් කියව කියවා හිටියේ. ඒ අංකල්ට මොනව වුණාද දන්නේ නෑ.”

නන්දන පවසන පරිදි ඔහුගේ වාහනයට යාබද රථයේ රියදුරු “මාව බේරාගන්න” කියමින් කෑගසා ඇත. අවසානයේදී මහත් පරිශ්‍රමයක් දරා ඔහුව බේරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට හැකිවී ඇත.

මෙම ඛේදවාචකයේදී පැය 8ක් පුරා කොන්ක්‍රීට් තට්ටුවකට යට වී ජීවිතය ඉල්ලා නිහඬවම අරගල කළ තරුණයෙකු රාත්‍රී අටට පමණ ගොඩගන්නා විටත් ඔහු සිටියේ අනපේක්ෂිත තත්ත්වයකය. හැකි ඉක්මණින් ඔහු රෝහල් ගත කළත් ඔහුට එසේ රෝහල් ගතකර පැය දෙකක කාලයක්වත් ජීවත්වීමට වරම් නොලැබුණි.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය දී ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක් ලෙසට බවත් එසේ නම් එය පස් මහල් ගොඩනැගිල්ලක් දක්වා ඉදිකිරීම් කෙරුණේ කවර පදනමක් මතද යන්නත් අදාළ පාර්ශ්ව වලින් ඍජුව විමසා සිටිය යුත්තකි. නිසි ප්‍රමිතියකින් තොරව මෙවැනි ඉදිකිරීම් සිදුකිරීම එහි ඉදිකිරීම්හි නියැලෙන කම්කරුවන්ගේ ජීවිතවලට මෙන්ම පසුව එහි සේවාවන් ලබාගන්නා පාරිභෝගික ජනතාවගේ ජීවිතවලටද ප්‍රබල අවදානමකි. එය නොතකා හැර මෙහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ අත්තනෝමතික ලෙසින් නම් ඊට එරෙහිව ගතයුතු සියලු නෛතික ක්‍රියාමාර්ග නොපමාව ගතයුතු වග අපි අවධාරණය කර සිටිමු.


♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ l සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00