2017 මැයි 20 වන සෙනසුරාදා

යුද්ධය නිමායී වසර අටයි : මිල කීයක් වුණත් සාමය ලාභයි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 404

උතුරේ ඊළාම් යුද්ධය හමාර වී ගිය සිකුරාදාට වසර අටක් සම්පූර්ණ විය. තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයම භීෂණයෙන් මුසපත් වූ යුගයක නිමාව 2009 මැයි 19 වැනිදා සටහන් විය. නන්දිකඩාල් කළපුවේදී යුද්ධය අවසන් වීමත් සමඟ සාමය උදා වූ බව සඳහන් වුවත් මෙම ප්‍රශ්නයට ප්‍රස්තුත වූ දේශපාලන බල අරගලය තවමත් හමාර නැත. කොටි නායක ප්‍රභාකරන් යනු හුදෙක් ත්‍රස්තවාදී නායකයෙකු පමණක් නොව උතුරේ ජනතාවගේ දිගුකාලීන දේශපාලන අසහනය තමන්ගේ පැවැත්මට උපයෝගි කරගත් නරැම චරිතයකි. 

1983-1984 කාලයේ සිවිල් යුද්ධයක් ලෙසින් එළිදුටු උතුරේ අරගලය ඕපපාතකව පැනනැගුණක් නොවේ. එය මෙරටට නිදහස ලැබෙන්නට පෙර සිටම උතුරේ ජනතාවගේ සිත් තුළ දැල්වෙමින් තිබූ අසහනයක ප්‍රතිඵලයයැයි ප්‍රභාකරන්ගේ මතවාදය අනුමත කළ ඇතැම්හු අර්ථකථනය කළෝය. එය සහමුලින්ම වැරදියැයි කිව නොහැක. භාෂා ප්‍රශ්නය ඉඩම් අර්බුදය තමන් දෙවැනි පන්තියේ ජනකොටසක් යැයි ඇතැම් දෙමළ ජනතාවගේ සිත තුළ මුල් බැසගත් ආකල්ප විසින් ප්‍රභාකරන්ගේ නරුම ත්‍රස්තවාදී සංකල්පයට පොහොර දැමීය. ම්ලේච්ඡත්වයෙන් විමුක්තිය ලබාගත හැකි යැයි විශ්වාස කළ ප්‍රභාකරන් සිතුවේ සෑමවිටම වාසනාව ඇත්තේ තමන්වෙත බවය. අනුකම්පා විරහිත දයා විරහිත තැනැත්තෙකු වූ ප්‍රභාකරන් තමන්ට අතදුන් තමන් නගා සිටවූ අයටද තෑගි කළේ උණ්ඩයයි. 

ඔහුට ඊළාම් සංකල්පය අත්පොත් තැබූ හිටපු විපක්ෂ නායක අප්පා පිල්ලේ අමිර්තලිංගම් මෙන්ම වඩාමාරච්චි සටනේදී ප්‍රභාකරන්ගේ ජීවිතය බේරාගත් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාද ප්‍රභාකරන්ගේ සාහසිකත්වයට ගොදුරු වූහ. ප්‍රභාකරන් යනු අණක් ගුණක් නැති කළගුණ නොදත් නායකයකු බවට තවත් සාක්ෂි කුමටද? 

කොටි සංවිධානය ආරම්භ කරන අවධියේ උතුරේ තවත් විමුක්තිකාමි සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක විය. චෙලෝ, ඊ.ජී.ආර්.එල්.එෆ්, ඊරෝස් වැනි සංවිධානවල සිටි තමන්ගේම සටන් සගයන් අමුඅමුවේ ඝාතනය කළ කොටි නායකයා උතුරේ විමුක්ති සටන තනි ඔප්පුවකට ලියාගෙන අත්පත්කර ගත්තේය. ඔහුගේ අරමුණ වූයේ පුදුකුඩුඉරිප්පු මහපොළොවේ අඩි සියගණනක් පොළොව යට සකස් කරන ලද භූගත භංකරයේ සිට තනියම උතුර දිනා ගැනීමයි. ඒ සඳහා ප්‍රභාකරන් නරුම සංවිධානයක් නිර්මාණය කළේය. සැබැවින්ම ඔහු නිර්දය නායකයෙකි. ඊළාම් යුද්ධයේ 1, 2, 3, 4 ආදී වශයෙන් සටන් ගණනාවක් මෙහෙයවූ ප්‍රභාකරන් වන්නි කැලේ සිට ත්‍රිවිධ හමුදාවක් නිර්මාණය කළේය. නැව්, ගුවන් යානා සහ සබ්මැරීනද ප්‍රභාකරන්ගේ ත්‍රිවිධ හමුදාවේ මෙවලම් අතර විය. යුද්ධයේ අවසන් භාගයේ ඔහු කොතරම් උමතු අධ්‍යාත්මික ස්වභාවයකින් ක්‍රියාකළේද කිවහොත් කොටි ගුවන් හමුදාවේ ගුවන්යානා ලවා කොළඹට බෝම්බ හෙළන්නට තරම් තියුණු පන්නරයක් ලබා සිටියේය. තනිකරම නායකයා වටා නිර්මාණය වූ සංවිධානයක් වූ කොටි හමුදාව තුළ වූයේ ඒක පුද්ගල රංගනයකි. යුද්ධයේදි ප්‍රභාකරන් ක්‍රියාකළ ආකාරය අනුව ඔහු සිතාගත නොහැකි තරම් බිහිසුණු ත්‍රස්තවාදී හංවඩුවක් ගසාගත්තේය. ඩොලර් ෆාමි කෙන්ට් ෆාම් මනුෂ්‍ය ඝාතන අරන්තලාවේ භික්ෂු ඝාතනය, ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, කාන්තන්කුඩි මුස්ලිම් පල්ලිය වැනි ස්ථානවලට එල්ල කළ අමානුෂික ප්‍රහාර මගින් කොටිනායකයා උත්සාහ කළේ දකුණ ඇවිලවීමටයි. දකුණේ ජාතිවාදය ඉස්මතු වීම ප්‍රභාකරන්ට රජ මඟුලක් විය. ලලිත් ඇතුළත් මුදලි මහතා ජාතික ආරක්ෂක ඇමැති පදවිය දරන සමයේ ප්‍රභාකරන්ට එරෙහි සටන මුල්වරට තීව්ර විය. ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී එම තත්ත්වය දැකගන්නට ලැබුණි. ඒ හැම මොහොතකම ප්‍රභාකරන් කළේ උපායශීලිව සාමසාකච්ඡාවලට පිවිසීමයි. ඔහු වරින්වර සටන් විරාම ගිවිසුම් කිහිපයකට ඇතුළත් විය. ඉන්දු ලංකා සාම ගිවිසුම යටතේ ඉන්දීය හමුදා උතුරට පැමිණෙන විට තමන් අවි ආයුධ පවා සංවිධානාත්මකව බාර දී ව්‍යාජ රංගනයක යෙදිණි. පැවති ආණ්ඩු ගණනාවක්ම තමන්ගේ මේ උගුලට හසුකරන්නට ඔහු සමත් විය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, ප්‍රේමදාස ජනාධිපතිවරයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවා ඔහුගේ සාමසාකච්ඡා ඇරියුම පිළිගත් නායකයෝ වූහ. ඒ සෑම අවස්ථාවකම සාම ප්‍රයත්නය කඩකොට ඔහුට ඕනෑ මොහොතේ යුද්ධය වැළඳ ගත්තේය. මේ සියල්ලෙන්ම ඔහු කළේ දකුණේ රාජ්‍ය නායකයන් රැවටීමයි. 

සෑම සටන්විරාම ගිවිසුමකදීම ප්‍රභාකරන් උපයාශීලිව තමන්ගේ ඊළම වපසරිය පුළුල් කරගත්තේය. එහෙත් වක්‍රව ඔහුගේද උදවුව ඇතිව බලයට පත් මහින්ද රාජපක්ෂ රජය ඔහුට රැවටුණේ ටික කලකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා වට ගණනාවකට සහභාගි විය. ප්‍රභාකරන් සටන්විරාම බිඳ දමා මාවිල්ආරු සොරොව්ව බිඳ දමා මාවිල්ආරු සොරොව්ව වසා දැමීම ඔහුගේ දෛවෝපගත ගමන ආපසු හරවන්නට සමත් වෙතැයි කොටිනායකයා සිහිනෙකින්වත් සිතුවේ නැත.

අවසන් ඊළාම් සටන ඇරුඹුණේ මාවිල් ආරු සොරොව්වේ ජල අර්බුදයෙනි. එවකට සේනාධිනායක වූ මහින්ද රාජපක්ෂ මහතාගේ අණ පරිදි යුද්ධය ඇරඹුණි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු හා බුද්ධි අංශ සටන් සැලසුම් කළෝය. ඒ අල්ල පනල්ලේද ඔහු ආරක්ෂක ලේකම්වරයාටත් හමුදාපතිවරයාටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කළේය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු දේශපාලන නායකයන් ගණනාවක් ඝාතනය කළෝය. ඒ වනවිට උතුරේ සටන් පෙරමුණු හතරකින් යුද්ධය ඇරඹී තිබුණි. දිනෙන් දින ප්‍රභාකරන් යුද්ධයෙන් කොටුවන විට ජාත්‍යන්තර බලවේග ඔහු බේරාගනු ඇතැයි උදක්ම අපේක්ෂා කළේය. ඉන්දියාව රජයේ සහායට සිටියේය. එහෙත් එංගලන්තය, ප්‍රංශය පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලධරයන් පවා කීවේ යුද්ධය නතර කොට නැවත සාකච්ඡාවට යන ලෙසයි. එහෙත් ජාත්‍යන්තරයේ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය කෙළවර කොට රට නිදහස් කර ගන්නා බව සපථ කළේය. එසේම ලෝක බලවතුන් හමුවේ නොනැමී ක්‍රියා කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2009 මැයි මස 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ මෘග සටන් සගයන් ඔහු විසින් නිර්මාණය කළ යුද්ධයටම බිලිවීමයි. ඒ සමඟම තිස්වසරක් රට අරාජිත කළ ශ්‍රීලාංකිකයන් අසීමිත පීඩනයකින් හෙම්බත් කළ රටම මළ ගමක් කළ රුදුරු ප්‍රභාකරන්ගේ  ඊළාම් සටනින් රටට නිදහස ලැබුණි. දකුණේ ජනයාට උතුර විවෘත වූ අතර උතුරේ ජනයාට දකුනේ විවෘත විය. කෙසේ වෙතත් රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් එල්ල වූයේ යුද අපරාධ චෝදනාවයි. 

ජාත්‍යන්තර ආධාර සීමාවූ අතර ජී.එස්.පී ප්ලස් වැනි සහනාධාර පවා අහිමිවිය. අවසානයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්නට පාර කැපුවේද ජාත්‍යන්තරයේ පැවති මෙම ඔරොප්පුවයි. 

යුද්ධය නිමාවීම යනු සාමය උදාවීමම නොවේ. සාමය ඇතිවිය යුත්තේ ජනතාවගේ සිත් සතන් තුළය. සිංහල දෙමළ ජනවර්ග දෙක මෙරට චිරාත් කාලයක් සමගියෙන් සහයෝගයෙන් විසූහ. ඒ සමගි සන්ධානය කඩා බිඳ දැමීමට වගකිවයුත්තේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තමන්ගේ පටු අරමුණු දිනාගන්නට තැත්කළ දේශපාලනඥයන්ය. එයින් ඇතැම්හු යුද්ධයේම ගොදුරු බවට පත්වූහ. ඇතැම්හු සාමයට ආවඩන අතර ඇතැම්හු යුද්ධයට ආවඩති. එහෙත් අවසාන වශයෙන් කිවයුත්තේ අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු වූ ආචාර්ය හෙන්රි කී සිංජර් ප්‍රකාශ කළ පරිදි මිල කීය වුණත් සාමය ලාභයි යන්නය.

 සංජීවිකා සමරතුංග