2017 මැයි 13 වන සෙනසුරාදා

ජපන් බෝම්බෙන් ගිළුණු නැවට ගිහින් හැම අවුරුද්දෙම මල් තියන ලංකාෙව් කිමිදුම්කාරයා

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 208

ඉසියුම් රන් දහරාවක් වලාකුළු මත විසුල සේ වලාකුළු ළා රන් පැහැයෙන් දිදුල උදෑසනකි ඒ. පැහැදිලි අහස මත දෙවියන් වහන්සේ අසුබ පණිවිඩයක සටහන් අංශුමාත්‍රයක්වත් තබා නොතිබුණි. ඒ දවස දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලද දිව්‍යමය දිනයක් සේය. එහෙයින් දවස පියකරැය. ග්‍රීක දෙවිවරුන්ගේ අධිපති වූ හියුස් දෙවියන්ගේ පුත්‍ර හර්මිස් ග්‍රීක දේව මණ්ඩලයේ සම්භාවනාවට පාත්‍ර වන්නේ ග්‍රීක දෙවිවරු අතර පණිවිඩකරු හැටියටය. ඒ පණිවිඩකාර හර්මිස් දෙවියන්ගේ නම් ලද බ්‍රිතාන්‍ය ආඩම්බරකාරයෙක් එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටයයැයි නම් ලද රමණීය පුංචි දිවයින වටා සොබාදහම එලූ නිල් සළුව මත නිස්කාංසු සුවයෙන් ලැඟ උන්නේය. ඒ ආඩම්බරකාරයා එච්.එම්.එස්. හර්මිස්ය. එච්.එම්.එස් යනු Her Majesty’s Ship - රාජකීය මහේෂිකාවගේ නෞකාව යන අරුත දනවන්නකි. හර්මිස් නමටද අපූරු නිර්වචනයක් තිබේ. Greek messenger of God ග්‍රීක දෙවියන්ගේ පණිවිඩකරු යන්න ඒ අරුතය. 

ගුවන් යනා විස්සක් ගෙන යා හැකි ලොව පළමු ගුවන් යානා අංගනයක් සහිත යුද නෞකාව ලෙස ලෝක නෞකා ඉතිහාසයට එක් වූ බ්‍රිතාන්‍යයේ උපන් දැවැන්ත හර්මිස් ආසියා පැසිෆික් කලාපයේ යුද මෙහෙයුම්වල නිරත වන මිත්‍ර පාර්ශ්වයට හිත හොඳ ශක්තිවන්ත මිතුරෙක් විය.

මේ 1942 වසන්තයේ උදාවයි. එහෙත් වසන්තය විශ්වයෙන් අනන්තයක නතරව උන්නේය. ඒ දෙවැනි ලෝක යුද්ධයේ කළු සෙවණැලි සැහැල්ලු රන්වන් වසන්තයක දෙවුරට බර වැඩි වූ හෙයිනි. ඒ වෙද්දී හර්මිස් බ්‍රිතාන්‍යය කිරීටයේ තවත් යටත් රාජ්‍යයක් වූ ලංකාවට අනුයුක්ත කර තිබුණි. එහෙයින් හර්මිස් නවාතැන් ගෙන උන්නේ නිල්වන්ව රළ නඟන සුන්දර ලංකා මුහුදේය.

නැවේ සිටි අයගෙන් එක්කෙනෙක් අදටත් ජීවතුන් අතර

1942 අප්‍රේල් 05 ඉරිදා දවසකි. ඒ ඉරිදාව දෙවියන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහිකරන පාස්කු ඉරිදාවක්ව යෙදී තිබුණෙන් සෑම දේවස්ථානයකම සතුටේත් ආයාචනයේත් යාඥාවන් ඇසෙන්නට විය. රාගම තේවත්ත පල්ලියේ එදින පූජාව පැවැත්වෙද්දී ජපන් ගුවන් යානා ඉහළ අහසේ සැරි සැරෑහ. කිතුණු පූජකයාණෝ එදා ඒ පූජාවේදී දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ මේ ආක්‍රමණයෙන් ලංකාව බේරාදෙන ලෙසය. එසේ බේරා දුන්නොත් දෙවියන් වහන්සේ වෙනුවෙන් විසල් බැසිලිකාවක් හදන්නටද ප්‍රතිඥාවක් දුන්නේය. තේවත්ත බැසිලිකාවේ උපත ඒ පොරොන්දුව පදනම් වූවක් යැයි විශ්වාස කෙරේ. 
ඒ පාස්කු ඉරිදාව ගෙවී ඉනික්බිති හතරවැනි දවස පැමිණියේය. ඒ බ්‍රහස්පතින්දාවකි. දිනය 1942 අප්‍රේල් 09 වැනිදාය.

යුද උන්මාදයෙන් ඇළලී ගිය ජපනුන් අමෙරිකාවේ පර්ල් වරායට පහරදී ඉන් නොනැවතී සිංගප්පුරුවත් ආක්‍රමණය කර H.M.S Repulse සහ Peace Of Wales යන දැවැන්ත නෞකාවන්ද ගිල්වා බෙංගාල බොක්ක දෙසට ආක්‍රමණයේ යතුර කරකවමින් සිටියේය. ඒ අද්මිරාල් නගුමෝ ගුකී නම් ජපන් ජාතික යුද උත්තේජකයාගේ අණ යටතේය. නගුමෝ ගුකී 1942 දෙවැනි ලෝක යුද සමයේ විශාල මිනිස් සංහාරයක නියමුවාව වූ අතර අවසානයේ තම හෘද සාක්ෂියද තමන්ට එරෙහිව වගවෙද්දී ඔහුම ඔහුගේ ඉරණමේ තීරකයා වූ බව සඳහන්ය. ඔහු අවසානයේ සියදිවි නසාගත්තේය. 

බෙංගාල බොක්ක දෙසට වේගයෙන් ඇදී ආ ජපන් යාත්‍රා සමූහය මුලින්ම දර්ශනය වී තිබුණේ බ්‍රිතාන්‍ය හමුදාවේ ස්කොඩ්න් ලීඩර් ලෙනාඩ් බර්චිල්ටය. ස්කොඩ්න් ලීඩර් බර්චිල් තමන් දුටු දසුන් පිළිබඳව වහාම රත්මලාන ගුවන්තොටුපොළේ රාජකීය ගුවන් හමුදාවට දැනුම් දුන්නේය. අවසානයේ ජපන් අත්අඩංගුවට පත් ස්කොඩ්න් ලීඩර් බර්චිල් නිදහස ලද්දේ II ලෝක යුද්ධයේ සමාප්තියෙන් පසුව බවට ඉතිහාසය සාක්ෂි දරයි. 
දෙවන ලෝක යුද්ධය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝක යුද්ධයක් විය. හිරු නොබසින අධිරාජ්‍යයේ අවසන් හෝරා කිහිපය ද එය විය. බ්‍රිතාන්‍යයන් දෙවැනි ලෝක යුද්ධයට සක්‍රීය දායකත්වයක් සැපයීමත් නාසි කඳවුරට ආසියාතික ජපානය සම්බන්ධ වීමත් නිසා ආසියාවට ද යුද්ධයේ උණුසුම දැනෙන්නට විය. 1942 වසරේ ජපනුන් කොළඹට බෝම්බ දැමුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කොළඹට පසු ජපනුන්ගේ ඉලක්කය වූයේ ආසියාවේ නාවික බලයේ කේන්ද්‍රය ලෙස සැලකෙන ත්‍රිකුණාමලය වරායයි. 

නැවේ ඛේදවාචකය දුටු එකම සාක්ෂිකාරයා හිටපු මන්ත්‍රි ප්‍රින්ස් කාසිනාදන්

1942 අප්‍රේල් 9 වැනිදා ඔත්තු සේවයේ යෙදුණු බ්‍රිතාන්‍ය ගුවන් භට නිලධාරියෙකුට ලංකාවට නැගෙනහිර මුහුදේ සිට පැමිණෙන ජපන් නෞකා සමූහයක් දක්නට ලැබුණි. ඒ වනවිට සිංගප්පූරුවේ බලය අල්ලාගෙන සිටි ජපනුන් ත්‍රිකුණාමලය ඉලක්ක කරගනිමින් එන බව හොඳින් පැහැදිලි විය. බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරියා මෙම ඔත්තුව කොළඹට ලබාදුන්න ද ඒ වනවිටත් ප්‍රමාද වැඩිවී තිබුණේ, ජපන් අහස් යාත්‍රා නෞකාවලින් මිදී ලංකාවේ අහස බලා ඇදෙමින් තිබුණු බැවිනි. කොළඹට මහත් විනාශයක් අත් කරදුන් ජපන් අහස් යාත්‍රා ත්‍රිකුණාමලය දෙසට නැවත යනවිට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සතුවූ වටිනාම නෞකාවක් වූ හර්මිස් තිබුණේ මඩකලපු මුහුෙද්ය. නෞකාවන්ට ලංකාව අවදානම් බව වටහාගත් බ්‍රිතාන්‍යයෝ වහාම මාලදිවයින් මුහුද කරා යන ලෙස දැනුම් දුන්හ. එහෙත් ප්‍රමාද වැඩිය. ත්‍රිකුණාමලයෙන් පිටත්ව ගමන්ගනිමින් තිබූ හර්මිස් නෞකාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදේ දී ජපන් ආක්‍රමණයට ගොදුරු විය. 
ඒ අකම්පිත මහ මුහුද පවා සලිත කළ හර්මිස් නෞකාවේ ඉරණම් කතාවේ සංක්ෂිප්තයයි. මහා සාක්ෂිකරුවෙක් ලෙස නැගී සිටින ඉතිහාසය පවසන පරිදි එදා උදෑසන ජපන් අහස් යාත්‍රා 80ක් පමණ සමූහයක් ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට හා වරායට දරුණු ප්‍රහාර එල්ල කර එමින් සිටියදී දකුණු දෙසින් පියාසර කර තිබූ ගුවන්යානයකට දර්ශයන වූයේ හර්මිස් නෞකාවය. 

මාන්කන්වල තිබූ ඉන්ධන සැපයුම් නෞකාවක් වූ බ්‍රිටීෂ් සාජන් නෞකාවද ඒ වෙද්දී දෙකඩ කර ගිල්වා තිබූ ප්‍රහාරාත්මක ජපන් යුද සේනාවෝ උදෑසන  10.45ට පමණ හර්මිස් නෞකාව මත පළමු බෝම්බය අතහැරියහ. 
මේ සංසිද්ධියට පෙර එවකට ලංකාවේ හමුදාපතිවරයා වූ අද්මිරාල් සර් ජේමිස් සෝමවිල් බ්‍රිතාන්‍ය නැව්වලට ප්‍රබල තර්ජනයක් පවතින බව දැක අණ දී තිබුණේ බ්‍රිතාන්‍ය නෞකාවන්ට වහාම ලංකාද්වීපයේ මුහුදු සීමාවෙන් පිටව යන ලෙසය. මාලදිවයිනේ ගැන්අයිලන්ඩ් වෙත යාත්‍රා කරන ලෙස හර්මිස් නෞකාවටද අණ ලැබී තිබුණත් අප්‍රේල් 9 වැනි දින වනතෙක් එයට ගැන් අයිලන්ඩ් දක්වා යාත්‍රා කිරීමට නොහැකි වූයේ ඒ වනවිටත් එය අලුත්වැඩියා කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ බැවිනි. එදින උදෑසන 6.00ට අලුත්වැඩියා කටයුතුවලින් ඉනික්බිති යාත්‍රාව ගමන් ඇරඹුවත් ඒ වෙද්දිත් හර්මිස් ප්‍රමාද වූවා වැඩිය. දෙවියන් අහක බැලූ නිමේෂයක හර්මිස්ගේ රුදුරු ඉරණම සයුරු කේන්දරය මත ලියැවෙමින් තිබුණි. 

තමන් මළ පසු භෂ්මාවශේෂ නැවේ තැන්පත් කරන්නයැයි ඡායාරූප ශිල්පියා ඉල්ලුවා

ජපනුන්ගේ පළමු බෝම්බය හර්මිස්ගේ හදවත ඉලක්ක කොටගෙන එල්ල වෙද්දී බ්‍රිතාන්‍ය නාවිකයෝ කිසිදු ප්‍රතිප්‍රහාරයකට සූදානම්ව නොසිටියෝය. ඔවුන් සූදානම්ව සිටියේ මාලදිවයිනේ ගැන් දූපතේ නැංගුරම්ලන්නට යන ගමන වෙනුවෙන් පමණි. එහෙත් අනපේක්ෂිත මොහොත හමුවේ ඔවුහු වික්ෂිප්ත නොවී ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ගුවන් යානා කිහිපයක්ද බිම හෙලූහ. අහසත් මුහුදත් අතර වියරු මනුෂ්‍යත්වයේ ගනුදෙනුව විනාඩි තිහක් පුරා පැවතිණි. මහී මාතාවෝ කම්පිතව අහසත් සයුරත් දෙදුරුම් කන හඬ අසා සිටියහ. එහෙත් බ්‍රිතාන්‍ය නාවිකයන්ට වඩා අහසේ සිට යුද වැදි ජපනුන්ගේ ශක්තිය බලවත් විය. අවසානය ළඟාවෙද්දී බෝම්බ 40ක් පමණ හර්මිස්ගේ බඳ පුරා වැටී තිබුණි. 
එදා හර්මිස් නෞකාවේ බ්‍රිතාන්‍ය නිලධාරින් සහ නාවිකයන් හත්සියයකට වැඩි පිරිසක් සිටි අතර ඉන් හාරසියයක් පමණ දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වූහ. හර්මිස්ගේ ඔදතෙද බිඳී ගෙවී ගිය පස්වැනි හෝරාවේ අවසන් තත්ත්පරයේදී එතැනට ළඟා වූය් විටාර් නම් ආරෝග්‍යශාලා නෞකාවය. (Hospital Ship) මීට පැය පහකුත් විනාඩි 30කට පෙර මිත්‍රත්වයෙන් ජීවිතය බෙදාහදාගත් තම සගයන් තුන්සීය දෙදෙනෙක් ඒ වෙද්දී මළවුන් අතරය. ආවොතින් යායුතුය නොගොසින් යළි එන්නට බැරිය ලොව ඇතේ යාම් ඊම් පමණි... එදිරිවීර සරච්චන්ද්‍රයන් ගැන, නොරිකෝසං දෙව්න්දරෝ සං ගැන ඔවුන් දැන සිටියේ නැත. බුදුන් වහන්සේ වදාළ ජීවිතයේ අනිත්‍යතාවය ගැන ඒ බ්‍රිතාන්‍ය නාවිකයන් දැන සිටියේ නැත. ඔවුන් දැන සිටියේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත බව පමණි. 

හුස්මක් නොවැටෙන මිනිසුන් අතර හුස්මක් ගනිමින් එහෙත් ආත්මීය වශයෙන් මොහොතක් මොහොතක් ගානේ මියැදෙමින් සිටි ඒ නාවිකයෝ විටාර් ආරෝග්‍ය ශාලා නෞකාව ඔවුන් වෙත පැමිණෙද්දීත් දැඩිසේ හෙම්බත්ව සිටියහ. මේ අතර එහි සිටි විසිතුන්දෙනෙක් කිලෝ මිටර් අටහාමාරක දුරක පිහිනා ගොස් ගොඩබිම වෙත ගොස් සිටියහ.
හර්මිස් නෞකාවට ජපන් අහස් යාත්‍රා බෝම්බ එල්ල කළ මොහොතේ සිට ගෙවුණු පැය බාගය සියැසින් දුටු එක් සාක්ෂිකරුවෙකු අදටත් ජීවතුන් අතරය. ඒ සාක්ෂිකරුවා මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය ප්‍රින්ස් කාසිනාදන් නැමැති දේශපාලනඥයාය. 1942 වෙද්දී ඔහු අවුරුදු දාසයක ගැටවරයෙකි. මේ ගැටවරයා ඕලන්ද කොටුවේ සිට මේ ත්‍රාසජනක සිද්ධිමාලාව ගැහෙන හදවතින් යුතුව බලා සිටි වග ඔහු පසුකලෙක ඔහු විසින් ලියූ ලිපියක සඳහන් කර ඇත. 

එවකදි මඩකළපුවේ කච්චේරියේ මුඩ්ලියර් ලෙස සේවය කළේ ප්‍රින්ස් කාසිනාදන්ගේ තාත්තාය. අප්‍රේල් 09 වැනිදා ප්‍රහාරයෙන් පසු මේ මුඩ්ලියර් තවත් පිරිසක් සමඟ කල්ලඩි වෙරළට ගියේ එදා ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වූ බ්‍රිතාන්‍ය නාවිකයන් තිදෙනෙකුගේ මළකඳන් වෙනුවෙන් අවසන් යුතුකම ඉටුකරන්නටය. කල්ලඩි වෙරළට ගොඩගසා තිබූ ඒ මළකඳන් ත්‍රිකුණාමලයේ කොමන්වෙල්ත් සුසාන භූමියේදී මිහිදන් කෙරිණි. බ්‍රිතාන්‍යයේ උපන්නෝ ලක්පොළොවේ සයනය කෙරුණි. ඒ තිදෙනාට හැර කපිතාන් ආර්.ජී. ඔන්ස්ලෝ ඇතුළු නිලධාරින් 19 දෙනෙකු සමඟ අවසන් ගමන් ගිය සෙසු නාවිකයන්ගේ සුසානය වූයේ හර්මිස් නෞකාවමය.
ඔබ විස්මයට පත් විය යුතු නැත. එදා හර්මිස් නැවේ සිට දිවි ගලවාගත් හාරසීය දෙනාගෙන් එය අයෙක් අදටත් ජීවතුන් අතරය. වයස අවුරුදු අනූ ගණනක් වන ඔහු ස්ටැන් කහ්ට්ස්ය. ඔහුගේ ඥාතින් විද්‍යුත් තැපෑල ඔස්සේ අදටත් සබඳකම් පවත්වන ලාංකික කිමිඳුම්කරුවෙක් සිටී. ඔහු ගැන අපි ඔබට පසුව කියන්නෙමු. 

හර්මිස් ඛේදවාචකයෙන් පසු එදා ඒ නෞකාවේ සිටි හෙන්රි ගෘෘම්ගේ පවුලේ අයට ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු විදුලි පුවතකින් කියැවුණේ ඔහුද මළවුන් අතර බවය. එහෙත් ඉන් සතියකට පසු තවත් ආශ්චර්යමත් විදුලි පුවතක් ඒ ආදරණීයයන් වෙත ලැබුණි. ඉන් කියැවුණේ හෙන්රි ගෘෘම් ජීවතුන් අතර බවය. එදා බෝම්බ ප්‍රහාරයේදී ගෘෘම් සිහි නැති වී මුහුදේ පාවෙමින් සිට ඇති අතර දෛවය නැවත ඔහු වෙත ප්‍රාණය ප්‍රදානය කර තිබුණි. 2012 වසරේදි ඔහුගේ දියණියක වූ ලෙස්ලි හාකර් ලාංකික කිමිඳුම්කරුවෙකුට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවමින් ඉල්ලා සිටියේ තම පියාගේ කතාව තමාට දැනගන්නට අවශ්‍ය බවත් මීට වසර දෙකකට පෙර ඔහු පිළිකාවකින් මිය ගිය බවත්ය. එමෙන්ම ලෙස්ලි තම පියා පිළිබඳව එදා ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන් යැවූ විදුලිපුවතේ පණිවිඩයේ පිටපතක්ද මේ කිමිඳුම්කරුවා වෙත එවා තිබුණි. හර්මිස් ඛේදවාචකය අළලා පරිච්ඡේදය එතෙකින් සමාප්තය. ඊළඟට ලියැවෙන්නේ එහි දෙවැනි පරිච්ඡේදයයි. 

ෆිලීෂියන් ප්‍රනාන්දු නම් වෘත්තිමය කිමිඳුම්කරුවා හා හර්මිස් නෞකාව අතර බැඳීම දෙවැනි පරිච්ජේදයේ සමාරම්භයයි. කලක් නෞකාවක සේවය කළ ෆිලීෂියන් ප්‍රනාන්දු පසුව සංචාරක මඟපෙන්වන්නකු ලෙස තම වෘත්තිය ජීවිතය ගෙනයනු වස් සංචාරක මණ්ඩලයේ පාඨමාලාවක් කරන්නට යොමු වුණේය. එහි පාඨමාලා අධ්‍යක්ෂකවරයා වූයේ පී.ටී. පෙරේරාය. ලංකාවේ මුහුදු සීමාවේ මඩකලපුව ප්‍රදේශයේ ගිලීගිය හර්මිස් නෞකාව ගැන ෆිලීෂියන්ට කීවේ ඒ පාඨමාලා අධ්‍යක්ෂකවරයාය.

හර්මිස් නැව අද ෙසාෙහාන් බිමක්ඒ වගේම ලස්සන උද්‍යානයක්

එතැන් සිට ඔහු ගැඹුරු මුහුදේ මළවුන්ගේ සුසානයක් වූ නෞකාව සොයා යන අභිප්‍රාය ඇති කර ගත්තේය. ෆිලීෂියන්ට පෙර මිරැන්ඩා නම් කිමිඳුම්කරුවෙක් ධීවරයින්ගේ මඟ පෙන්වීම අනුව අඩි 120ක ගැඹුරට ගොස් තිබුණි මම නැවක් වගේ තැනකට ආවා. ඒත් ඒක මොකක්ද කියලා මට හරියටම හොයාගන්න බැරි වුණා. නමුත් ඒක නෞකාවක්. ඔහු ඒ ගැන කර තිබූ සඳහන එයයි. ඉන් පසුව රොඩ්නි ජොන්ක්ලස් නම් කිමිඳුම්කරුවෙක්ද හර්මිස් සොයන්නට ප්‍රයත්න දරා තිබුණි. එකල ජී.පී.එස් තාක්ෂණය වැනි දියුණු තාක්ෂණ ක්‍රමවේද නොතිබුණු අතර පසුව යුද සමයේ හර්මිස් කාටත් අමතක වූ මාතෘකාවක් බවටද නිතැතින්ම පත්විය. අප කළින් පරිච්ඡේදයේ සඳහන් කළ ප්‍රින්ස් කාසිනාදන් මන්ත්‍රීවරයා හර්මිස් නෞකාව මඩකලපු මුහුදු සීමාවේ ගිලී ගිය බවට ලියා ඇති ලිපියක්ද පසුකලෙක ෆිලීෂියන්ට හමුවිය. හර්මිස් ගැන උනන්දුවෙන් පසුවූ ෆිලීෂියන්ට ඔහුගේ සහෝදරයකු වූ ගුවන් හමුදාවේ සේවය කළ වින්ග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දුගෙන්ද ලැබුණේ අපූරු තොරතුරකි. 

සුරේෂ් සමඟ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උසස් අධ්‍යාපන පාඨමාලාවක් හදාරමින් සිටි ඔහුගේ සගයෙක් වූ කමාන්ඩර් ක්‍රිස්ටි ජයවර්ධන කියා තිබුණේ 1983-84 වැනි යුගයේදී හර්මිස් නෞකාවේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ චාල්ස් මෝගන් ලංකාවට පැමිණි බවය. ඔහු පැමිණ තිබෙන්නේ මුහුද යට සදාකල් නිදනා හර්මිස්ගේ ඡායාරූප රැගෙන ඒ ඛේදවාචකය ගැන පොතක් ලියන්නටය. ඒ පින්තූර ගන්නට ඔහුගේ සගයෙකු වූ කිමිඳුම්කරුවෙක්ද ඔහුට උදවු කර ඇත. 
චාල්ස් මෝගන් අවසානයේ Hermes Adventure නම් ග්‍රන්ථය රචනා කළේය. චාල්ස් මෝගන්ගේ අවසන් කැමැත්ත වූයේ තමා මිය යාමෙන් පසු ඔහුගේ භෂ්මාවශේෂ හර්මිස් නැව මත තැන්පත් කරනා ලෙසය. ඔහු ඒ තරම්ම හර්මිස්ට ආදරය කර තිබුණි. තම පියාගේ අවසන් කැමැත්ත අනුව 1986 දී ඔහුගේ පුතු රෙක්ස් මෝගන් ලංකාවට පැමිණියේ ඒ භෂ්මාවශේෂද රැගෙනය. ඒ භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ කාර්යයට නාවික හමුදාවෙන් අනුයුක්ත කර තිබුණේ කමාන්ඩර් ක්‍රිස්ටි ජයවර්ධන ඇතුළු නාවික හමුදා පිරිසකි. චාල්ස් මෝගන්ගේ අවසන් කැමැත්ත ඉටුවිය. මුහුද යට හර්මිස් සුසානය මතම එදා මළවුන්ගේ ලෝකයට නික්ම ගිය සගයන් හා චාල්ස් මෝගන්ද එක්විය.

වෙන්ඩුලස් තුඩුවේ සිට අංශක 110ක කෝණයකින් සහ මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට අංශක 30ක කෝණයකින් යුත් ඉසව්වක හර්මිස් සුසානය ඇති බැව් කර්මාන්ඩර් ක්‍රිස්ටි ජයවර්ධනගේ නිශ්චය වී තිබුණි. ඩුබායි, තායිලන්තය, මාලදිවයින, සිංගප්පූරුව රුසියාව වැනි රටවල් රැසක කිමිඳුම් උපදේශකයෙකු ලෙස ජවසම්පන්න පුහුණුවක් ලැබ සිටි මීගමුවේ ෆිලීෂියන් ප්‍රනාන්දු 2001 වසරේ දිනයක හර්මිස් සොයා ගියේය. ඒ වෙද්දි ජී.පී.එස්. තාක්ෂණයද පැමිණ තිබීම ඔහුට හර්මිස් සොයාගැනීමට මහත් ආධාරකයක් විය. එහෙත් පළමු දින ඔහුට වැරදී ගියේය. එදින ඔහු ගියේ එක් බෝට්ටුවකිනි. දෙවැනි දින ඔහු බෝට්ටු තුනක් යොදාගත්තේය. ඒ බෝට්ටු තුන එක ළඟ එක වන්නට නැංගුරම්ලා ඉන්පසු ඒවා අදිද්දී නැංගුරම යමක පැටලුණු අතර ඒ පැටලුණු තැන නිසැකවම හර්මිස් මුහුදයට ඇති ස්ථානය වග ඔහු නිශ්චය කළේය. ඒ නිශ්චය නිවැරදි විය. ඒ වෙද්දී ඉන්දුනීසියාව, මාලදිවයින, සිංගප්පූරුව, රුසියාව ආදි රටවල් රැසක කිමිඳුම් කටයුතු කර සිටි ෆිලීෂියන් කිමිදුම් වාර හාරදහසේ සීමාව ඉක්මවන්නටද ළංව සිටියහ. බ්‍රිතාන්‍ය ජාතිකයෝ 1917 වසරේදී හර්මිස් නෞකාව සැලසුම් කරන ලද්දේ ලොව ප්‍රථම ගුවන් යානා නෞකාව ලෙසිනි. නමුත් 1924 වසරේදී හර්මිස් රාජකීය නාවික හමුදාවේ සේවයට ඇතුළු වනවිට ජපානය හෝෂෝ නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තම සේවයට යොදවා තිබුණි. අඩි 600ක දිගින් යුතු වූ හර්මිස්හි ගුවන් පථය අඩි 570ක් විය. ඊට ගුවන් යානා 20ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබුණි. 
මහ මුහුද ගැඹුරේ සුසානයක් බවට පත්ව තිබුණේ එවන් නෞකාවකි. 

හර්මිස් නැව තියෙන්නේ මුහුදේ සිට මීටර් 60ක් ගැඹුරින්. ඒත් මීටර් 45දී තමා නැව පටන් ගන්නේ. මම රතු මුහුදෙත් කිමිදී තියෙනවා. ඒත් ඒ තරම් විසිතුරු මත්ස්‍ය ආකරයක් හර්මිස් නැවට ළඟා වෙන මොහොතේ තරම් මම වෙන කිසිම තැනක දැකලා නෑ. මම නැවට කිට්ටු වෙද්දී උන් එක පැත්තකට පීනා ගියේ මින්පෙර ඔවුන් කිමිඳුම්කරුවෙකු නොදැක්ක ගාණට. නැවට හුඟක් කිට්ටු වෙද්දී මම දැක්කා රගර් බෝලයක හැඩේට තිබුණු කොටසේ පුදුම ලස්සනකට Black කොරල් වැවී තිබුණා මීටර් 3ක් විතර උසට. ඇත්තටම අද එය ඉතා ලස්සන උද්‍යානයක්. එහෙත් ඒ උද්‍යානය අභ්‍යන්තරයේ තියෙන්නේ මිනිසුන් හාරසියයක් අමු අමුවේ මිහිදන් වුණ සුසානයක්. අදටත් එහි අයිතිය තියෙන්නේ බ්‍රිතාන්‍යයට. බ්‍රිතාන්‍යයයේ හා අපේ පුරාවිද්‍යා මහ කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් තොරව එය අල්ලන්ටවත් අපට අවසර නෑ. එහි යන හැම කිමිඳුම්කරුවෙකුගෙන්ම අප ඒ බවට පොරොන්දුවකට ලිඛිතව අත්සනකුත් ගන්නවා. අනිත් එක එහි නිෂ්ක්‍රීය නොවුණ බෝම්බ තවමත් තිබිය හැකියි. ඒ නිසා ඇල්ලීමේ අවදානමකුත් තියෙනවා. ඒත් එහි ඇති වීදුරු වන් කවුළු තුළින් මම විදුලි එළියක් පතිතකර බලද්දී දුටුවේ මොනවද කියලා ඔබ දන්නවද? මනුෂ්‍ය ඇටකටු ආකරයක්. ඒ ෆිලීෂියන් ප්‍රනාන්දුය.
එදා ජවසම්පන්න ආඩම්බරකාර හර්මිස් අද සුන්දර උද්‍යානයක් සහ ශෝකාන්ත අතීතයක් වෙනුවෙන් වගවෙන පෞරාණික සුසානයකි.

හර්මිස් නෞකාව පිළිබඳ කතාන්දරයේ දෙවැනි පරිච්චේදය එතකින් සමාප්තය. එහි තුන්වැනි පරිච්ඡේදය මේ පූර්විකාවෙන් අරඹමු. 
දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු එවක බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ සර් වින්ස්ටන් චර්චිල් අමෙරිකාවේ පැවති සාදයකදී කියා තිබුණේ දෙවැනි ලෝක යුද සමය අළලා ලංකාවේ සිදුවූ බිහිසුණුම සිදුවීම හර්මිස් නෞකාව ගිල්වීම බවය. 
එදා හර්මිස් නෞකාවේ සිට දිවි ගලවාගත් නැවියන් විසින් පසුකලෙක පිහිටුවාගෙන තිබූ, ඔවුන්ගේ ඥාතින් විසින් පසුව පවත්වාගෙන ගිය අනුස්මරණ සංගමය ෆිලීෂියන්ගෙන් වරක් කාරැණික ඉල්ලීමක් කළේය.
ඔබට පුළුවන්ද හැම අවුරුද්දකම අප්‍රේල් 09 වැනිදාට හර්මිස් නෞකාවේ මල් කළඹක් තැන්පත් කරන්න. ඒ සඳහා යන වියදම් සියල්ල අපි ගෙවන්නම්. 
ඒ කාරුණික ඉල්ලීමට ෆිලීෂියන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එකඟ විය. කිමිඳුම් වෘත්තීයේම නියැලෙන ඔහුගේ බිරිය රේණුකාගේත්, පුතු ෂශාන්ගේත් ආශිර්වාදයද ඔහුට හිමිවිය. 2012 වසරේ සිට ඔහු ඒ ඉල්ලීම මේ දක්වා පුරා වසර 5ක් තිස්සේ ඉටුකළේය. 

Temple Flowers යන ගෞරවාදරයට පත් සුදු අරලිය මල්කළඹක් ඒ වෙනුවෙන් වඩා සුදුසුයැයි තීරණය කළේද ෆිලීෂියන්මය. 
මෙයින් වසර දෙකකට පෙර බ්‍රිතාන්‍යයේ ඩාට්ස් මවුත් නම් කිමිදුම් පුහුණු පාසලේ මාර්ක් පවල් සමඟ කිමිඳුම් කණ්ඩායමක් මෙහි පැමිණ හර්මිස් වෙත ගොස් එහි තම ධජය සවි කළේය. ඒ මීටර් 55ක් ගැඹුරැ තැනකය. අද ෆිලීෂියන් අරලිය මල් කළඹ තබන්නේ ඒ කොඩිය රැඳුණු ඉසව්වේමය.

2017 වසරට හර්මිස්ගේ ඉරණම විසඳී හැත්තෑපස් වසරක් පූර්ණය. මෙවර ෆිලීෂියන් සමඟ අරලිය මල් කළඹ තබන්නට තවත් කණ්ඩායමක් සහ පුතු සෂාන් ද එක් විය. 
වසර පහක් පුරා අරලිය මල් කළඹ තබන්නට පෙර මොහොතක් නිහඬව සිට හර්මිස් නෞකාවේදී මළවුන් වෙනුවෙන් ගෞරව දැක්වීම ෆිලීෂියන්ග් චාරිත්‍රයකි. මළවුන් වෙනුවෙන් මුහුද යට මල්කළඹක් තබන්නට ගිය පළමු ලාංකිකයාද ඔහුය.
මනුෂ්‍යත්වය සුන්දරය. වරෙක බියකරැ වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනුවෙන්ම තවත් වරෙක දෙවියන් වහන්සේගේ කැමැත්තද සුන්දරය. ආදරණීයය.

 සංජීවිකා සමරතුංග
    සේයාරූ - ෆිලීෂියන් ප්‍රනාන්දු සහ අන්තර්ජාලය

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00