2017 මැයි 13 වන සෙනසුරාදා

කොටි 211 කුඩු තොගයට ඔත්තුව කලින්ම

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 313

කුඩු පාතාලයේ වැඩ නිසා පොලිස් නිලධාරියෙක් මියගොස්ය. තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනකු සහ කුඩා දරුවන් දෙනෙකු ඉන්නේ රෝහල්වලය. ඒ පසුගියදා පිළියන්දල සිදුවූ කුඩු පාතාලයේ ප්‍රහාරය නිසාය. එම සිද්ධිය සිදුවී හුස්මක් කටක් ගන්නට වූයේ නැත. 

පසුගිය බ්‍රහස්පතින්දා කුඩු තොගයක් හලාවතින් ඇල්ලුවේය. ඒ මෑත ඉතිහාසයේ අත්අඩංගුවට ගත් වැඩිම කුඩු තොගයයි. ප්‍රමාණය කිලෝ 211 ක් විය. පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාට මෙම ඔත්තුව ලැබෙන්නේ මාස තුනකට පෙර සිටය. එනම් ඔහුට ලැබෙන තොරතුර අනුව කියවෙන්නේ හෙරොයින් තොගයක් මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන විත් කොළඹට ගෙන යන බව කියාය. 

කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකරණු ලැබූ පරීක්ෂණවලට අනුවද එය තහවුරු වීමට අවශ්‍ය කරුණු කාරණා රැසක් මෙහිදි හෙළිවී ඇත. එනම් කුඩු රැගෙන යාම සඳහා කොළඹින් පිරිස පැමිණෙන බවත් හෙළිදරව් වූ කරුණක් විය. ඒ අනුව දින කිහිපයක් මේ පිළිබඳව සෝදිසි මෙහෙයුම් සිදුකරන විට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ බුද්ධි නිලධාරින්ට දැනගන්නට ලැබුණේ බ්‍රහස්පතින්දා දින කුඩු රැගෙන යාම සඳහා පුද්ගලයකු පැමිණෙන බවය. එසේම කුඩු තොගයද මුහුද මැද සිට එදින ගොඩට පැමිණෙන බවත් මෙහිදී හෙළිදරව් විය. 

ඒ අනුව එදින අලුයම සිට මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර හලාවත මුතුවාඩිය දූපත පුරාම පොලිස් නිලධාරින් යොදවා සැකකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කෙරිණි. සැකකරු ඒ වන විටත් කළු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණ සිටියේය. ෙට්‍රා්ලර් බෝට්ටුවෙන් රැගෙන ආ මළු කිහිපයක් ඩිෆෙන්ඩර් රථයට ගොඩ දැමීමට සූදානම් වන විටම පොලිස් නිලධාරි පිරිසක් පැමිණ වටකොට බඩුත් සමඟ සැකකරු අත්අඩංගුවට ගත්තේය. ප්ලාස්ටික් උර 198ක බහා පොහොර උර 18ක තිබූ මෙම හෙෙරායින් තොගය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එසේය. 

සැකකරුගෙන් ප්‍රශ්න කරන විට හෙළි වුණේ ඔහු කළුබෝවිල වම්ඉවුර පාරේ පදිංචි අයකු බවය. ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ මීට පෙරද මෙලෙස පැමිණ හෙරොයින් රැගෙන ගොස් ඇති බවයි. පොලීසියට ලද තොරතුර අනුව එවරද කිලෝ 100ක ප්‍රමාණයක් රුගෙන ගොස් ඇත. ඔහු පවසා ඇති ආකාරයට මෙම කුඩු රැගෙන යාම පමණක් තමුන් සිදුකරණ බවත් ඒ සඳහා තමුන්ට මුදල් ලබාදෙන බවත් ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත් පොලීසිය සැක කරන්නේ මොහු මේ පිටුපස සිටින ප්‍රධාන අයකු බවය. 

සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ වන විට ඩුබායිහි සිට පුද්ගලයකු ඇමතුම් කිහිපයක් ගෙන තිබී ඇත. සැකකරු පවසා ඇත්තේ එම ඇමතුම ලබාදෙන්නේ මේ කුඩුවල හිමිකරු බව කියාය. එපමණක් නොව ඔහු කියන තැනට ගොස් කුඩු දීම තමාගේ කොටස බවත් හෙතෙම අවධාරණය කර ඇත. මෙම සැකකරු ඊට පෙරදින පැමිණ හෝටලයක නවාතැන ගෙන සිට ඇති බවද මෙහිදී හෙළිවී තිබේ. සැකකරු සන්තකයේ තිබී සොයා ගත් කුඩු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 211ක් බවද සඳහන් වේ. පොලීසිය සිදුකරණ ලද විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම කුඩුතොගය පාකිස්ථානයේ සිට මුහුදු මර්ගය ඔස්සේ රැගෙන විත් මුහුද මැදදී ටෝලර් යාත්‍රාවන්ට ලබාදී ගොඩබිමට රැගෙන එන බවය. එය කාලයක පටන් සිදුකරගෙන ගිය ජාවරමක් බවද මෙහිදී හෙළිදරව් විය. 

කෙසේ වෙතත් මෙම ජාවාරම පිළිබඳ මත්ද්‍රව්‍ය කාර්යංශයටද තොරතුරු ලැබී තිබුණු නිසා ගුවන් හමුදාව සහයෙන් මුහුද මැද විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට සූදානම් වී සිට ඇත. එහෙත් එය සිදුකිරීමට නොහැකි වී ඇත්තේ එම මෙහෙයුම බාරව සිට ඇත්තේ දැනට තුවාල ලබා සිටින රංගජීව විසින් වීම නිසාය. කෙසේ වෙතත් අවසානයේ එම ජාවරමද කොටූවූ අතර කොළඹට හෙරොයින් එන තවත් මාර්ගයක් එසේ හෙළි පෙහෙළි විය. එහෙත් මෙය එක් මාර්ගයක් පමණි. තවත් මකරකටවල් රාශියක් විවෘතව ඇත. එතෙක් කුඩු නැවතීමට තිතක් නැත.

 ගයාන් ගාල්ලගේ / රෝවන් පෙරේරා - පුත්තලම