2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

අපි කොහොමද දෙවියනේ මේ දුක දරාගන්නෙ?

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

 

පොළොව යටට ගිය ලේලියගෙන් පුතාට කෝල් එකක් ආවා 

එදා සිංහල අලුත් අවුරුද්ද නිසා මමයි, මගේ නෝනයි, දරුවොයි කෝවිල් ගියා. අපි ආපහු ආවේ ත්‍රීවීල් එකකින්. ත්‍රීවීල් එකෙන් බැහැලා ඒකට සල්ලි දෙන්න අනිත් පැත්ත හැරුණා විතරයි එකපාරටම ලොකු සද්දෙකුත් එක්ක මුළු පළාතම අඳුරු වුණා. කිසිම දෙයක් හිතාගන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. මාත් එක්ක එකට ත්‍රීවීල් එකේ ඇවිල්ලා බැහැපු මගේ නෝනා දරැවො කවුරුත්ම පේන්න හිටියෙ නෑ. මොනවද වුණේ කියලා හිතාගන්නත් බැරිවයි මම හිටියේ. මගේ චූටි පුතා කවුරු හරි බේරාගෙන තිබුණා. ඒත් මම ළඟම ඉඳලත් මගේ අනිත් දරැවො දෙන්නයි, නෝනයි මට බේරාගන්න බැරිවුණා. කොහොමද දෙවියනේ මම මේ දුක දරාගන්නේ. මගේ දුව තවම ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියලාවත් මම දන්නේ නෑ.

ශශී කුමාර්ට කියාගත හැකිවූයේ එපමණකි. ඔහු ඔහුගේ අවුරුදු 7ක් වයසැති කුඩා දියණියගේ ඡායාරුපයක්ද රැගෙන හඬමින් මීතොටමුල්ල, කොළොන්නාව පුරා සැරිසරන්නේ තම දියණිය තවමත් ජීවතුන් අතර ඇත යන බලාපොරොත්තුවෙනි. මේ මීතොටමුල්ලේ එක් කඳුළු කතාවක් පමණකි. තමන් නොසිතූ මොහොතක අත්විඳින්නට සිදුවූ මේ බියකරු ඛේදවාචකය අබියස අදද ඔවුන් සිටින්නේ කිසිවක්ම සිතාගත දරාගත නොහැකි ප්‍රකම්පනයකය.

පසුගිය අප්‍රේල් 14 වැනිදා මුළු රටේම ජනතාව අලුත් අවුරුදු සමරද්දී කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි පිරිසකට තමන් දවල්ට පිසගත් අවුරුදු බතවත් අනුභව කිරීමට නොහැකි වූයේ කුණුකන්ද කඩාවැටීමේ ඛේදවාචකයට මුහුණ දෙන්නට සිදුවූ නිසාය. තමන් සමඟ උදේ එකට කිරිබත් කෑ නෑ හිතවතුන් පණපිටින් පොළොව යට වැළලෙද්දී, තමන් ජීවිත කාලය පුරාවටම හරි හම්බකරගත් සියලු දෑ පොළාවට සමතලා වෙද්දී පපුවට අතගසා හූල්ලනවා හැරෙන්නට ඔවුන්ට වෙන කළ හැකි දෙයක්ද නොවීය. ගෙවල්, මිනිසුන් යටකරමින් කඩාවැටුණු ඒ කුණුකන්ද හරහා ඇවිද යන මොහොතක් පාසා අපිට සිතුණේ කාලාන්තරයක් තිස්සේ මෙම ස්ථානයට කුණුදැමීම වැළැක්වීමට ජනතාව දැක්වූ විරෝධතාවන්ට අදාළ බලධාරීන් එක තත්ත්පරයකට හෝ ඇහුම්කන් දී ඒ සම්බන්ධයෙන් යම් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළේ නම් මෙවන් විපතක් කිසිදා සිදු නොවනු ඇති බවයි. මෙම ගමනේදී මීතොටමුල්ලේ කඳුළු අතරට එක්වන්නට අපටත් අවස්ථාවක් උදා වූ අතර ඒ කඳුළු කතාව ගලාගෙන යන්නේ මේ අයුරිනි.

පන්සල්හේන පදිංචි කාන්ති කන්නංගර

ඒ කාලෙ මෙහෙ කුණු තිබුණෙ නෑ. කුණු ගොඩවල් ළඟට ඇවිත් ගෙවල් හදාගෙන පදිංචිවෙන්න තරම් අපි මෝඩයෝ නෙමෙයිනෙ. මෙතන තිබුණෙ ලස්සන වෙල් යායක්. අක්කර 23ක විතර රජයේ ඉඩමකට තමයි මේ කුණු ගෙනල්ලා පිරෙව්වේ. අපි කිව්වා මෙහෙම කරන්න එපා කියලා. ඒත් අපි කිව්ව කිසිම දෙයක් ඒ අය ඇහුවෙ නෑ.
ඔය සිද්ධිය වෙන වෙලාවෙ අපි ඉස්පිරිතාලෙ ගිහින් හිටියෙ. මගෙ මහත්තයාගෙ මල්ලි නැතිවෙලා එයාව බලන්න. ඉතින් අපි දරුවන්ටත් කෝල් කරලා කිව්වා පුංචි සීයගෙ මිනිය ගෙනත් තියෙන්නේ බලන්න එන්න කියලා. ඒකෙන් තමයි අපේ දරුවො ටික බේරුණේ. නැත්නම් මොනවා වෙයිද කියලා හිතාගන්නත් බෑ.

මීට අවුරුදු දෙකකට විතර කලින් කුණුකන්දට කෙමිකල් එකක් ගැහුවා. ඊට පස්සේ ඒ අවට තිබුණු පැල්පත් ගෙවල් ටික ගියා. ඒ අයට වෙන පැත්තකින් ප්ලැට් ලබාදුන්නා. පහුගිය මාර්තු මාසෙත් කොළඹ නගර සභාවෙන් ඒ වගේම මොකක්ද කෙමිකල් එකක් ගැහුවා. අපි ඒක බලාගෙන හිටියේ. ඒ වෙලාවේ මම කිව්වා මේ ගොල්ලො මොන යුද්ධයක් කරන්න යනවද දන්නෙ නෑ කියලා. ඊට පස්සෙ සති දෙකකට විතර උඩදි බැකෝ දෙකක් ගෙනැල්ලා කාණුවක් කැපුවා. එතනින් පස්සෙ තමයි මේ විනාශය සිද්ධ වුණේ. දැන් අපිට කියනවා මේ ප්‍රදේශය අනතුරුදායකයි, මෙහෙන් යන්න කියලා. ඒත් අපි කොහාටද යන්නේ.

දේවිකා බාලසූරිය
එදා අවුරුද්ද දවසෙ අපි ගෙදර හිටියේ. එකපාරටම ලොකු සද්දයක් ඇහුණා. ගිහින් බලද්දි තමයි දැක්කේ කන්ද කඩාගෙන වැටෙන හැටි. ඔය කන්ද ටිකක් ඈතින් තිබුණේ. දැන් ගෙවල් ළඟටම ඇවිල්ලා.
ඇත්තටම මේ සිද්ධිය වුණ හැටියට නම් මිනිස්සුන්ට දුවන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. මිනිස්සු හිටපු තැන්වලම පස්වලට යටවුණා. තව දෙයක් තමයි ඔය සිද්ධිය වෙන්න කලින් බල්ලො එහෙම ගොඩක් කලබල වෙලා හිටියේ. සිද්ධිය වෙන්න කලින් බල්ලො කලබල වෙලා බිරුවට මිනිස්සු ඒ ගැන ඒ තරම් හිතුවෙ නෑ. ඉතින් බල්ලො බුර බුරා කෑගහනකොට තමයි ලොකු සද්දෙකුත් එක්ක පස් කන්ද කඩාගෙන වැටිලා දුමක් ඉහළට ගියේ. මොනවා වුණත් ඔය පොළොව යට මිනිස් ජීවිත දෙතුන් සියයකට වැඩියෙ ඇති කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

දහම්පුර දයාවතී 
මේ සිද්ධිය නිසා මගේ මහත්තයා, ලේලිය හා මිනිපිරිය මියගියා. අපි එදා ගෙදර හිටියේ. දවල්ට කාලා මහත්තයා උඩට වෙලා නිදාගෙන හිටියේ. ලේලිය හා මිනිපිරිය පහළ කාමරේ නිදාගෙන හිටියා. ලොකු සද්දයක් එක්ක පොළොව හෙල්ලෙනවා වගේ දැනුණා. එතකොට මගෙ මුනුපුරා කිව්වා ආච්චි කන්ද කඩාගෙන එනවා කියලා. මම ඉක්මනට උඩට දුවගෙන ගිහින් මහත්තයත් ඇහැරවාගෙන එයත් එක්කම පහළට බැස්සා. එයත් මගෙ පස්සෙන්ම දුවගෙන ආවා. ඊට පස්සෙ මගේ මුනුපුරයි, මිනිපිරියගෙයි අත්වලින් අල්ලාගෙන එළියට පනින්න හදද්දිම මිනිපිරියගෙ අම්මා එයාට කතා කළා. ඊට පස්සෙ එයා මගෙ අත අතහැරලා එයාගෙ අම්මා ඉන්න පැත්තට දිව්වා. මම මුණුපුරත් එක්ක එළියට පැන්නා. පස්සෙ අපෙ ඇස් ඉදිරිපිටම මිනිපිරියි, ලේලියි, මහත්තයයි පස්වලට යටවුණා.

අනේ මේ කුණු කන්දෙන් සාක්කුවලට සල්ලි පුරවාගත්තු එකෙකුටවත් හරියන්නේ නෑ. අපේ අහිංසක දරු පැටව් මරාගත්තා. අද හෙට ලොකු ළමයෙක් වෙන්න හිටිය මගෙ මිනිපිරී. මම එයාගෙ කොටහලු මඟුල ජයටම ගන්න සල්ලිත් එකතු කරලයි තිබුණේ. මගෙ අතේ හිටිය දරුවා එළියට ඇදලා ගන්න බැරිවුණා. ඉතින් මම කොහොමද ඉන්නේ.
මගෙ දරුවා එදා ගොඩක් සතුටින් හිටියේ. එයා කිව්වා ආච්චි මම අද හැම ගෙදරකටම ගිහින් කිරිබත් කෑවා. මොන කිරිබත්ද ගොඩක් රස කියලා බලන්න. මට රසම ආච්චිගෙ කිරිබත් කියලා. ඒවා මතක්වෙද්දි මම කොහොමද දරාගෙන ඉන්නේ. මගේ පුතා මේ සිද්ධිය වෙලාවෙ ගෙදර හිටියෙ නෑ. පුතාගෙ නෝනා පුතාට කෝල් කරලා තියෙනවා අපි හිරවෙලා ඉන්නේ අපිව බේරගන්න කියලා. අපි ගොඩක් උත්සාහ කෙරුවා එයාලව බේරාගන්න. ඒත් එයාලා හම්බවෙද්දි අපි පරක්කු වැඩියි.

අපි මේ ගෙවල් දොරවල් හදාගත්තෙ ගොඩක් දුක් මහන්සි වෙලා. මට දරුවො දෙන්නෙක් දුව ආබාධිත තත්ත්වයකින් පෙළෙනවා. මම මගේ දාඩිය මහන්සියෙන් රට ගිහිල්ලා හම්බකරගත්ත සල්ලිවලිනුයි ගේ හැදුවේ. මේ ගෙදර හැම වැලිකැටයක් ගානෙම, ගඩොල් කැටයක් ගානෙම මගේ දහඩිය තියෙනවා.

සුනාමියක්, අරණායක වගේ නාය යෑමක් වුණොත් අපිට කාටවත් බැණල වැඩක් නෑනෙ. ඒක් අපේ ලැබීම. ඒත් මේ සිද්ධියේදී අපිට සිද්ධ වුණේ ලොකු අසාධාරණයක්. මේ කුණුකන්ද පෙනි පෙනී අපිව මැරුවා.
අපේ පවුලේ කට්ටියව හොයාගන්න වෙලාවේදී මගෙ ලේලි මිනිපිරීගෙ අතින් අල්ලාගෙන ඉඳලා තියෙන්නේ එයාව කොහොම හරි එළියට දාන්න. මහත්තයත් මිනිපිරීව එළියට දෙන්න එයාගෙ අත් දෙකෙන් අල්ලන් ඉඳලා තියෙන්නේ. මේ තුන්දෙනා පොළොව යට මොන දුකක් විඳින්න ඇතිද? කොච්චර වේදනාවක් දරාගෙන ඉන්න ඇතිද? මෙතෙන්ට කුණුදාන්න සම්බන්ධ වුණු හැම කෙනකුටම මම ශාප කරනවා. කුණු කන්දෙන් සාක්කු පුරවාගත්තු කිසිම කෙනෙකුට කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ.

අපි ඉපදුණෙත් මේ ගමේ. බැන්ඳෙත් මේ ගමෙන්. දරැවො බැන්ඳෙත් මේ ගමෙන්මයි. මේ ඉඩම්වලට අපිට ඔප්පු තියෙනවා. අපිට යන්න කිව්වට අපි කොහෙ යන්නද? මේ කන්ද නවත්වන්න අපි උද්ඝෝෂණය කළා.කුණු වතුර ගහලා අපිව නැවැත්තුවා. ඊට පස්සේ අපේ කොල්ලන්ට ගැහුවා. පහුගිය දවස්වල ගංවතුරට කුණු කන්දෙන් බාගයක්ම අපේ දොරකඩ. ඒත් කුණු දාන එක නැවැත්තුවේ නෑ. අන්තිමට අපේ සිය ගාණක් පණපිටින් පොළොවට වැළලුනාට පස්සේ කුණු දාන එක නවත්වනවලු. මිනිස්සු මැරෙනකල්ම කාගෙවත් ඇසු ඇරුණෙ නෑ. දැන් එක එක කතා කියනවා. දැන් මොනවා කළත් මැරුණු මිනිස්සුන්ගෙ පණ ගන්න බෑනෙ.

දහම්පුර පදිංචි ශශි කුමාර්

මේ සිද්ධියෙන් ජීවිත බේරාගත්තේ මගේ චූටි පුතයි මමයි විතරයි. මගේ දුවයි, ලොකු පුතයි බිරියයි බේරාගන්න මට පුළුවන් වුණේ නෑ. මගේ චූටි පුතා පස්සෙ කිව්වා අක්කා අඬ අඬා දුවනවා දැක්කා කියලා. මම මේ හැමතැනම හොයන්නේ. මගේ චූටි කෙල්ල ජීවතුන් අතර ඉන්නවාද කියලා. මියගිය මගේ ලොකු පුතාට අවුරැදු 12යි. හරිම අහිංසකයි. මේ ළඟදි පාරෙ යද්දි කටුකම්බියක් පාරෙ වැටිලා තිබිලා එයා ඒක අරන් දැම්මා කාගෙ හරි කකුලෙ ඇනෙයි කියලා. ඒ වගේ ගොඩක් හොඳ ගතිගුණ මගේ දරුවන්ට තිබුණා. අනේ මගේ දරුවන්ට මේ සිද්ධවුණ දේ ගැන මට හිතාගන්නවත් බෑ.

දහම්පුර ඉනෝකා ප්‍රියංගනි 

අපි ඒ වෙලාවෙ ගෙදර හිටියේ. කීර්තිරත්න මහත්තයාගේ ගේ කඩාගෙන වැටීගෙන එනවා කියලා දැනගන්න ලැබුණ නිසා අපේ මහත්තයයි තවත් ගොඩක් අයයි ඒ පැත්තට දිව්වා. අපේ මහත්තයා කියලා ගියේ පරිස්සමින් ඉන්න කියලා. අපේ පුතා ගේ ඇතුළෙ නිදාගෙන හිටියේ. මමයි දරුවොයි මහත්තයගේ අම්මයි අපි හැමෝම එළියට ආවා. එතකොට අපි දැක්කා ගෙවල් කැඩි කැඩී එනවා. ඊට පස්සෙ අපිට අපේ ගෙදර ළඟ ඉන්න මුස්ලිම් කෙනෙක් කිව්වා ඔය පැත්තත් කඩාගෙන එනවා ඉක්මනට දුවන්න කියලා. ඒත් එක්කම අපි දිව්වා. දුවන්න ගිහින් වැටිලා මම තුවාලත් වුණා. මම ඒ වැටුණේ අපේ ගේ ළඟමයි. ඉක්මනට නැගිටලා දිව්වෙ නැත්නම් මමත් පස්වලට යටවෙනවා. දැන් අපේ ගෙවල් තිබුණ තැනක්වත් හොයාගන්න බැ. අපිට ඇත්තටම ඉතුරුවුණේ ඇඳගෙන හිටිය ඇඳුම් ටික විතරයි. අපේ හිතවත් ගොඩක් අය මේ සිදුවීමෙන් මියගියා.

කොළොන්නාව කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා

මෙම ප්‍රදේශයෙන් කුණුකන්ද ඉවත් කරන්න කියලා දීර්ඝ කාලයක පටන් අපි ඉල්ලීම් කළා. උද්ඝෝෂණත් කළා. ඒත් ඒ කිසිම අවස්ථාවක අපට යහපත් ප්‍රතිචාර ලැබුණෙ නෑ. අපිට පහර දුන්නා. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ජල ප්‍රහාර එල්ල කළා. හමුදා බලඇණි යොදවලා අපිව මර්දනය කරන්නට කටයුතු කළා. අන්තිමට කුණුකන්ද කඩාගෙන වැටුණා. ඒ නිකම්ම නෙමෙයි සිය ගණනකගේ ජීවිත පණපිටින් පොළවට යටකරමින්. මිනිසුන් හරි හම්බකරගත් සියලු දේ විනාශ කරමින්.
මගේ පවුලෙත් මගේ මුණුපුරා හැරෙන්න අනික් හැමෝම මේ ඛේදවාචකයෙන් මියගියා. ගමක්ම බේරාගන්න සටන් කරපු මට අන්තිමේදී මගේ පවුලවත් බේරාගන්න බැරිවුණා.
මේ මගෙ බිරිඳගෙ ගම. මම මෙහෙ පදිංචියට ආවෙ 1980 දි. මගේ බිරිඳගෙ තාත්තා කිරිහරක් පට්ටියක් කළේ. ඔය වෙෙල් තණකොළ තමයි කිරිහරක් පට්ටියට කපලා කන්න දුන්නේ. නැතිව මේ කුණු කන්දට අපි ආවා නෙවෙයි. අපි ළඟට කුණු කන්ද ආවා.

කුණු කන්ද නාය යාමට කලින් පූර්ව ලක්ෂණ කිහිපයක්ම පහළ වුණත් මගේ ගෙදර කිසිම පිපිරීම් ලකුණක් දකින්නට ලැබුණෙ නෑ. නමුත් ඊට දින කීපයකට කලින් මගේ ගෙදරට එහා පැත්තේ තිබුණ තට්ටු දෙකේ ගෙයක් ඇලවෙලා ඇවිත් මගේ ගෙදරට හේත්තු වෙලයි තිබුණේ. කොහොම වුණත් මම මගේ බෑණට කිව්වා ගෙදර කට්ටියම අරගෙන වරකාපොළ අපේ නෑදෑයෙකුගේ ගෙදර යන්න කියලා. ඒත් බෑණාගේ කකුලේ ඇතිවුණු රෝගී තත්ත්වයක් නිසා ඒ ගමන ටික ටිකම පරක්කු වුණා. අවුරුද්ද ලබද්දිම එක කාමරයක වහළයට දමා තිබූ වීදුරුවක් පිපිරුවත් මගේ දුවලා හිතලා තියෙන්නේ අර තෙරපුම නිසා වීදුරුව බිඳුනා කියලයි. ආහාර අනුභව නැකත වෙලාවෙත් වීදුරු පිපිරෙන සද්ද ආවත් මේ තරම්ම විනාශයක් වෙයි කියලා ඒ වෙලාවේ මම හිතුවෙත් නෑ. නමුත් පස්සෙ එහා ගෙදර බිත්තිය ඇළවීමත් එක්ක තත්ත්වය හොඳ නෑ කියලා මට තේරුණා. එළියෙ හිටපු කට්ටියකුත් මට කිව්වා ඉස්සරහ පඩිපෙළ පුපුරනවා කියලා. අපි ඉක්මනට එළියට ආවා. හිතාගන්නවත් බැරි විදිහට පාරෙ එහා පැත්තේ ගෙවල් උඩ යනවා දැක්කා. මගේ මුණුපුරා තමයි ඉස්සරලාම දිව්වේ. තත්ත්පර තිහක් විතර යද්දි මගේ ගේ අනිත් පැත්තට හැරුණා. ඒ වෙද්දි වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. මගේ මිනිපිරිය, බිරිඳ ඔක්කොම යටවෙලා. බිරිඳ ඒ වෙලාවේ කෑගැහුවා එයාගෙ ඇඟට ඒ බර දරාගන්න බෑ ඒවා අයින් කරන්න කියලා. එතන හිටිය තරුණ පිරිසක් බිරිඳ බේරාගන්න ලොකු උත්සාහයක් ගත්තා. මගේ බිරිඳගේ එක පැත්තකින් මගේ චූටි මිනිපිරියගේ අත දැක්කා. මම ඒ අත අල්ලාගෙන චූටි දුව... චූටි දුව කිව්වා. ඒත් මගෙ දරුවට කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නෑ. පස්සෙ මගෙ පුතාත් ඇවිල්ලා පැය තුනක් විතර ගොඩක් උත්සාහ කරලා තමයි මේ අය ගොඩට ගත්තේ. ඒත් ඒ අය බේරාගන්න බැරිවුණා. අන්තිම මොහොතේ මගේ මිනිපිරී මගෙ පුතාගේ අත තදින් අල්ලාගෙන හිටියා.

මේ වගේ ව්‍යසනයක් සිදුවීම වළක්වන්න තමයි අපි සෑහෙන කාලෙක ඉඳලා සටන් කළේ. ඒත් ඒ කිසිම වෙලාවක බලධාරීන්ගේ ඇස් ඇරුණේ නෑ. මගේ මුණුපුරා හිටියේ නැත්නම් මම බෝම්බයක් බැඳගෙන ගිහින් ඔය හැමෝම මරාගෙන මමත් මැරෙනවා. ඒ තරම් වේදනාවක් මගේ හිතේ තියෙන්නේ.

මීතොටමුල්ලේ කඳුළු එලෙස අකුරැ වෙද්දී තාමත් සැඟවුණ කඳුළු කතා බොහොමයක්ම පස් යට සැඟවුණේ කුරිරු අන්දමිනි. මිනිසුන්ට නිදහස් පණ කෙන්ද අහිමිකරමින් සිදුවූ මේ මහා ව්‍යසනයෙන් බැට කන මිනිසුන් තවමත් බලා සිටින්නේ තම අතුරුදන් වූ නෑසියන් කොයි මොහොතේ හෝ දැකගැනීමේ අරමුණෙනි. අප මුලින්ම සඳහන් කළ ශශි කුමාර් මහතා තම කුඩා දියණියද ජීවතුන් අතර සිටිතැයි සිතුවද ඇගේ ජීවිතයද මේ වනවිට කුරිරු වූ මහපොළොව ගිලගෙන හමාර බවට සැක නැත.

 හේමමාලා කුමාරි රාජකරුණා
   
සේයාරූ l සුමුදු හේවාපතිරණ

කුණු වැෙඩ් අැනුණු හැටි

ඒ සුදු කොඩිය නිහඬවම අකුරු කෝටි ගණනක කතාවක් කීවේය. පරිච්ඡේද ගණනාවක කටුක වූත් දුර්ගන්ධවත් අතීතයක් වෙනුවෙන් සාක්ෂියක් ලෙස නැගී සිටියේය. ජීවිතය ඉල්ලා මහපොළොව ප්‍රකම්පනය වන හඬින් කෑ ගැසූ සිය ගණනක් මිනිසුන් මහ පොළොවේ වැළලුණු ශෝකය වෙනුවෙන් සාක්ෂියක් ලෙස නැගී සිටියේය. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් විසිවසක් පුරා ඉවත හෙලූ කුණු යට වැළලෙන්නට සිදු වූයේ ඒ බිමට මිස කුණුවලට අයිතියක් නොකී මිනිසුන්ටය. අර සභා මේ සභා මහත්තුරු සහ ඇමැතිලා කුණු කන්දෙන් ඉසුරැ සම්පත් හොයද්දී කුණු කන්දේ ශාපය අබිමුව අරගල කළවුන්ට හැමදාමත් ලැබුණේ කඳුළු ගෑස්, මැර ප්‍රහාර සහ කුණු වතුරය. කිඹුල් කඳුළුවලට ලෝකය රවටන්නට හැකි වුවත් මරණයට මොහොතකට පෙර හෝ වගවෙන හෘද සාක්ෂියට ඔබ රවටනු නොහැකිය. මෙකී මනුෂ්‍ය ඝාතනයට අල්පමාත්‍රික වශයෙන් හෝ වගකිවයුතු සියලු පාර්ශ්ව වෙත අපි ඒ වග මතක් කර සිටිමු.

පාලකයා කවුරුන් වුවත්, කාගෙ ආණ්ඩුවක් වුවත් පිරිසුදුව හුස්මක් ගනිමින් ජීවත්වීමට ජනතාවට ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමකි. මීතොටමුල්ලේ ජනතාවට බලවත්තු ඒ අයිතිවාසිකම සමඟ තවත් බොහෝ දේ අහිමි කළහ. කුණු කන්දෙන් යැපුණු ආසයි - බයයි න්‍යායෙන් කුණු කන්ද අත්හැරීමට අකමැති වූ ජනතාවගේ කතාව වෙනමම එකකි. මීතොටමුල්ල කේන්ද්‍ර කරගත් ජාවාරම්කාර නිලධාරීන්ගේ බලධාරීන්ගේ දේශපාලනඥයන්ගේ කතාව වෙනමම එකකි. අපි කුණු කන්ද ළඟට ගියේ නෑ. කුණු කන්ද අපේ ළඟට ආවා. අන්තිමේදී අපේ ජීවිත ප්‍රර්ථනා අළු දූවිලි කළායයි වැළපෙන මිනිසුන්ගේ කතාව තවත් එකකි. අපේ සටනද අවසානයට කී ඒ මිනිසුන් වෙනුවෙනි.

ස්වභාව ධර්මය වරද කළවුන්ට නොව නොකළවුන්ට දඬුවම් පැමිණවූයේද? ස්වභාව ධර්මය එක් රතු කොඩියක් වනා හමාරය. නොනැගුණු රතු කොඩි ගැන කියන්නට තවම කල් වැඩිය.
මේ විමසුම ඒ නූපන් අනාගතය නොව 2017 අප්‍රේල් 14 දක්වා අතීතය පදනම් වූවකි.

 

 

 සංජීවිකා සමරතුංග

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00