2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

2017 අද්භූත අනාවැකි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 781

2017 තුන්වැනි ලෝක යුද්ධය ඇරඹෙයි

අප මේ දිවි ගෙවන්නේ පෙරළිකාර වසරකය. මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවෙන තීරණාත්මක කාලපරිච්ඡේදයකය. ලෝකයේ මෙතෙක් සිටියා වූ ශතවර්ෂයේ හොඳම අනාවැකිකරු ලෙස හඳුන්වන ප්‍රංශ ජාතික නොස්ත්‍රදාමුස්ගේ සිට අයිසිස්වරුන්ගේ නැගිටීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය, බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් හෙවත් යුරෝපයෙන් වෙන්වීමේ පලහිලව්ව ඇතුළු සාර්ථක අනාවැකි ගණනාවක් කියූ බාබා වැන්ගා නමැති අන්ධ අනාවැකිකාරියද, එඩ්ගාර්කේසි මෙන්ම දැනටත් ජීවත්ව සිටිනා ක්‍රෙයින් හැමිල්ටන් පාකර් ඇතුළු අනාගතය කලින් දුටු බොහෝදෙනා 2017 තුන්වැනි ලෝක යුද්ධය ඇරඹීමට නියමිත වර්ෂය ලෙස කරුණු දක්වා තිබේ.

ලෝකයේ මෙතෙක් මානව වර්ගයා විසින් සොයාගත් භයානකම අවි ආයුධ එළියට ඒමට නියමිත මේ මහා යුද්ධයට පිටසක්වල ජීවීන්ද අතපෙවීමට නියමිත බව මේ අනාවැකිකරුවන්ගේ වාර්තා විශ්ලේෂණය කරන පිරිස පුන පුනා ප්‍රකාශ කර තිබේ. එහෙයින්ම 2017 යනු මිනිසාට කිසිදා අමතක කළ නොහැකි වසරක් බවට පත්වීමට නියමිතය. 

ප්‍රංශ අනාවැකිකරු නොස්ත්‍රදාමුස් කාලාන්තරයක් තිස්සේ ඔහුගේ හැබෑවූ කියමන් නිසා බුහුමන් ලැබූවෙකි. 16 වැනි ශතවර්ෂය පමණ ඈතක දී ඔහු කියා ඇති අනාවැකි සමහරක් 2017 හා ගලපා ගැනීමට ඒ ගැන විශ්වාස කරන බහුතරයක් උත්සාහ ගෙන තිබේ. එඩ්ගාර් කේසි 19 වැනි ශතවර්ෂයේදී අනාවැකි ගණනාවක් කියා ඇති අතර එහි එන ඇතැම් කරුණු දැන් අප ගතකරන යුගය හා සැසඳේ. අයිසිස්වරුන්ගේ නැගීම මෙන්ම අමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා කළු ජාතිකයකු බවත් කියූ බාබා වැන්ගාද 2017 දකින්නේ මහා පෙරැළියක් ඇතිකරන වසරක් හැටියටය. ක්‍රෙයින් හැමිල්ටන් පාකර් වර්තමානයේ සිටින සාර්ථකම අනාවැකිකරැවාය. ඔහු මහා උණ වසංගතයක්, ලෝක යුද්ධයක් ඇතුළු ව්‍යසන ගණනාවක් ගැන අනතුරු අඟවා තිබේ.

නොස්ත්‍රදාමුස්ගේ ප්‍රකාශ සහ බයිබලයේ එළිදරව්ව කොටසින් කරුණු උපුටා පෙන්වන ආකාරයට 2017 යනු මහ පොළොවේ දුෂ්ඨ සහ ශිෂ්ට බලවේග අතර ගැටුම උච්ඡතම තැනට පත්වෙන වසරකි. තුන්වැනි ලෝක යුද්ධය මේ නිසාම ඇරඹෙන අතර පිටසක්වල ජීවීන්ගේ අවධානය මහපොළොව වෙත වෙනදාටත් වඩා ලැබීමට නියමිතය. ඒ අනුව මෙහි ළඟාවෙන ඔවුහු ජාතීන් අතර යුද්ධය වළක්වා මිනිස් වර්ගයාගේ ජාන හෙවත් DNA වෙනසකට ලක්කර දැන් සිටින කලහකාරී, විනාශකාරී අදහස් දරන මානව වර්ගයා වෙනුවට වඩාත් සාමකාමී ආදර කරුණාව පිරි පිටසක්වල ජීවීන් හා සමාන දෙමුහුන් මිනිස් කොට්ඨාසයක් බිහිකිරීමට නියමිතය. ඉන්පසු මිහිමත ඇරැඹෙන්නේ දිව්‍යමය රාජ්‍යයක් යැයි කියනු ලැබේ. මේ අධ්‍යාත්මික අංශයට බර ගුප්ත අනාවැකිකරුවන් සහ සමානවම විද්‍යාත්මක මට්ටමේ හොඳම විශ්ලේෂකයන්ද අපූරැ කරුණු පෙන්වාදීමක යෙදී තිබේ.

පාප්තුමා ඝාතන ප්‍රයත්නයක්

පෞද්ගලික බුද්ධි සේවාවක් වන Stratfor 2017 දී දේශපාලන ආර්ථික සහ යුදමය වශයෙන් සිදුවිය හැකි සමාජ සහ සංස්කෘතික වෙනස්කම් පිළිබඳ තදින්ම අනතුරු අඟවා ඇති ආයතනයකි. ඔවුන් පෙන්වා දෙන්නේ යුරෝපය තවදුරටත් කැබලි බවට කැඩී යන බවයි. ඒ අනුව යුරෝපා සංගමය යනු තවදුරටත් නොපවතින එකමුතුවක් වන්නට නියමිතය. මේ වනවිටත් බ්‍රිතාන්‍යය එයින් ඉවත්වන්නට කටයුතු කරමින් සිටියි. අමෙරිකාව රුසියාව සහ චීනය දැඩි ලෙස මේ ලොකු පෙරුළියට බලපානු ඇත. ලෝකය පුරා ජාතිකවාදය රජකරනු ඇත. අයිසිස්වරුන්ගේ නැගිටීම පෙන්වා දුන් බාබා වැන්ගාද පෙන්වාදී ඇති ලෙසට චීනය ලෝකයේ බලවතා බවට පත්වනු ඇත. අමෙරිකාව ලෝක ප්‍රශ්න විසඳීම පසෙක තබා තමන්ගේම ගෙදර ප්‍රශ්න විසඳීමට කටයුතු කරන අතරම චීනය වෙත ආර්ථික සම්බාධක පැනැවීමටද ඉදිරිපත් වනු ඇත. වොෂින්ටනය හා බෙයිජිං අතර ඇතිවන මේ ආර්ථික බලබෙදීම මුළු ලෝකයටම දරුණු ලෙස බලපෑමක් එල්ලකරන්නට හැකි බව Stratfor ඒජන්සිය පෙන්වා දෙයි.

ඔවුන්ට අනුව ඕස්ට්‍රේලියාවටද ලෝක මුහුදු ආරක්ෂණය පිළිබඳ වඩාත් ප්‍රබල භූමිකාවක් රඟපෑමට සිදුවනු ඇත. දකුණු චීන මුහුදේ දැනටමත් මතුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ කලාපීය මුහුදු ආරක්ෂාව පිළිබඳ වගකීම ඕස්ට්‍රේලියාව වෙත පැවැරෙනු ඇත.

මේ වසර වඩාත් අපලකාරීව ඇත්තේ යුරෝපා සංගමයටය. එහි සාමාජික රටවල් වෙන්ව ස්වාධීන පාලන කරා යොමුවන අතර දැනටමත් වෙන්වී ඇති බ්‍රිතාන්‍යය අනුව යමින් මේ වසරේ මැතිවරණවලට මුහුණදීමට නියමිත ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලියද ඒ රටවල් තුළ සිදුවන දේශපාලන වෙනස්කම් සමඟ සංගමයේ බිඳවැටීම ඉක්මන් කරන්නට නියමිතය. මේ හේතුවෙන්ම රුසියාවට බලවත් භූමිකාවක් හිමිවන්නට නියමිතය. සිය අසල්වැසි යුරෝපා රාජ්‍යයන් වෙත එහි අත පෙවීම හා බලපෑම ඉහළ යනු ඇත. මේ නිසාම තම තමන්ගේ ආරක්ෂාව පතා පෝලන්තය මුල්කරගත් නැගෙනහිර යුරෝපා රටවල නව සන්ධානයක් රුසියානු බලපෑම හමුවේ නිර්මාණය වනු ඇත. මැදපෙරදිග මෙන්ම සිරියාව මුල්කරගත් රුසියානු දෙබිඩි ක්‍රියාකාරකම් හමුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යවලට ලෝක යුද්ධයකට අතපෙවීම සඳහා කෙරෙන බලපෑම ඉහළ යනු ඇත.

තුන්වැනි ලෝකයට වසංගතයක්

මැද පෙරදිග කලාපය තුළ උතුරු සිරියාව සහ ඉරාකය කේන්ද්‍රකර ගනිමින් යුදමය උණුසුම තවත් දරුණු තත්ත්වයකට පත්වීමට නියමිත බවට අනාවැකි පළව තිබේ. ඉරානය සහ තුර්කිය අතර කුර්දිෂ්වරුන් හේතුවෙන් හටගත් ගැටුම තවත් උග්‍ර තත්ත්වයකට එළඹෙන්නට නියමිතය.

බොහෝ අනාවැකිවලට අනුව මේ වසර තුළදී අයිසිස්වරු දුර්වල තත්ත්වයට පත්වීමට නියමිතය. නමුත් මේ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, මැදපෙරදිගින් ඈතට බටහිර රාජ්‍යය කරා තවදුරටත් පැතිර යනු ඇත. බාබා වැන්ගාද පෙන්වා දී ඇත්තේ අයිසිස්වරු යුරෝපයේ තම මූලස්ථානය ගොඩනගනු ඇති බවය. අයිසිස් දුර්වල වීමත් සමග මෙතෙක් දෙවැනි පෙළට වී සිටි අල්කයිඩා ක්‍රියාකාරීත්වය ඉහළ යන්නට නියමිතය. උතුරු අප්‍රිකාව ප්‍රමුඛ කොටගත් අප්‍රිකානු මහාද්වීපය තුළ ඔවුන්ගේ බලය හිස ඔසොවනු ඇත.

බාබා වැන්ගා මෙන්ම නොස්ත්‍රදාමුස්ද පෙන්වා දී ඇති අයුරු සහ දැනට ආර්ථික විද්‍යාත්මක අනාවැකිකරුවන්ගේ පෙරුයුම්වලටත් අනුව චීනය ලෝක ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවට පණ පොවන්නට නියමිතය. රුසියාව සමඟ අත්වැල් බැඳගන්නා චීනය මිලිටරි බලය, බලශක්තිය මෙන්ම සයිබර් තාක්ෂණය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සමීප සබඳතා වර්ධනය කරගන්නට නියමිතය. නැගී එන චීන ආර්ථිකයත් සමඟ අමෙරිකාව වෙතින් එයට එල්ල වන බදු බර ඇතුළු සම්බාධක සමඟ ලෝක ආර්ථිකය ලොකු හැලහැප්පීමකට ලක්වන්නට හැකි බවට අනාවැකි පළව තිබේ.

යුරෝපා රාජ්‍යය ප්‍රමුඛ ලෝකයේ රටවල් ගණනාවක් තුළ, ආර්ථික ඇදවැටීම් හේතුවෙන් අහේනිය සාගතය, දුප්පත්කම හිස ඔසවා එන්නට නියමිතය. 

මෑත කාලයේ සාර්ථක අනාවැකිකරුවකු ලෙස ප්‍රකටව සිටින ක්‍රෙයින් හැමිල්ටන් පැකර් ද 2017 ගැන දරුණු අනතුරු ඇඟවීම් කර තිබේ. ලෝකය පුරා වසංගත රෝග පැතිරීමත්, යුරෝපයේ ගංවතුර සහ නියඟය ගැනත් ලෝක පාරිසරික උණුසුම ඉහළ යාම නිසා ඇතිවන දේශගුණික වෙනස්කම්, හිමකඳු දියව යාම වැනි ව්‍යසන පැතිර යන අතරම ඉතාලියේ විසූවියස් ගිනිකන්ද මෙන්ම ඉෂියා දූපත සහ නේපල්ස් කේන්ද්‍ර කොටගත් මහා ගිනි කඳු විදාරණය වීමක් ගැන ඔහු අනතුරු අඟවා තිබේ. රෝමය, මැඩ්රිඩ්, බර්ලින්, පැරිස්, ප්‍රාග් වැනි යුරෝපයේ ප්‍රධාන නගර තුළ ආහාර අහේනිය නිසා සාගතය පැතිරයන්නට කරුණු සැලසේ. ජර්මනියේ දක්ෂිණාංශික බලවේග උද්ඝෝෂණ ඇරැඹෙන අතර ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක මහා ගින්නක් ඇතිවන්නට නියමිතය.

පිටසක්වල ප්‍රහාරයක් 

බ්‍රිතාන්‍යය පමණක් ඉදිරියේදී ඇතිවන්නට නියමිත ලෝක ආර්ථික ඇදවැටීමේදී, හිස ඔසොවා ගන්නට නියමිතය. බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර නව ආර්ථික සහයෝගීතාවක් ගොඩනැගීමටද කටයුතු සැලසේ. අමෙරිකාව දේශපාලනික වශයෙන් නැගෙනහිර බටහිර ලෙස දෙකඩ වීමට නියමිත බව පාකර්ද කියයි. මේ අනතුරැ ඇඟවීම බාබා වැන්ගාද කර ඇත. 44 වැනියා කළු ජාතිකයකු වන අතර ඔහු අවසාන ජනාධිපතිවරයා බවත් ඔහුගෙන් පසු රටේ ආර්ථිකය අස්ථාවර වන අතර එය දෙකඩ වන බවත් ඇය පෙන්වා දී තිබේ. නොස්ත්‍රදාමුස් අමෙරිකාවේ වෙනස ගැන කියා ඇත්තේ &ප්‍රධාන නගරයේ ව්‍යාජ හොරණෑවක් (Trumpet) හඬ නැගෙයි. පාලකයා කියූ දෙයට හාත්පසින්ම වෙනස් දේ සිදුකරයි යනුවෙනි.* පාකර්ට අනුව අමෙරිකාව තුළ උද්ඝෝෂණ, වීදි සටන්, ගිනි අවි හරඹ ඇතුළු කලහකාරී වාතාවරණයක් වසර පුරාම පවතිනු ඇත. අමෙරිකාවට දරැණු නියඟයක්ද යුරෝපයට මහා ගංවතුරක්ද හානිකරනු ඇත. අයිස්ලන්තයේ ගිනිකඳු පුපුරායාමක් සිදුවන අතර එයින් නිකුත්වන විෂවායු නෝර්වේ දක්වා පැතිරීමට නියමිතය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ගින්නක් ඇතිවීමට නියමිත අතර එය ත්‍රස්ත ක්‍රියාවකින් සිදුවන්නක් නොවේ.

ඇෆ්ගන් ආශ්‍රිත උස්බෙකිස්තානය මුල්කොට නවතම යුද්ධයක් හටගන්නට නියමිතය. හිම යට සුරක්ෂිතව තිබූ යෝධ දැල්ලකුගේ සිරුරක් සොයාගනු ලැබේ. ජපානයද උතුරු කොරියාවේ සහ චීනයේ බලපෑම හේතුවෙන් අවි අතට ගන්නට නියමිතය. කෙසේ වුවද මේ වසර අග වනවිට ලෝකයටම හිසරදයක් බවට පත්ව සිටින උතුරැ කොරියා නායක කිම් ජොන්ග් උන් බලයෙන් පහවීමට නියමිතය. එසේම මෙතෙක් කලක් පසමිතුරැව සිටී. උතුරැ දකුණු කොරියා එක්වීමටද නියමිතය. කාශ්මීරයේ උතුරැ සීමාව මුල්කොට නව ඉන්දු චීන ගැටුමක් ඇරඹීමටද නියමිතය. යුරෝපා පාසලකට විෂ රසායන හෝ ජෛව ආයුධ ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් එල්ල කිරීමට නියමිතය. අමෙරිකාව හා රැසියාව අතර කඹ ඇදිල්ලෙන් සිරියාව යකුන් නැටූ පිටියක් බඳු වනු ඇත.

ලෝකය පුරා පැතිර යන අමුතු උණ වසංගතයක් හේතුවෙන් තුන්වැනි ලෝකයේ බොහෝ දෙනා මියයනු ඇත. මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන රෝගයකි. පාප්වහන්සේ පැහැරගෙන යෑමට මෙන්ම ඝාතනයටද උත්සාහ දැරෙන අතර ස්විස් ආරක්ෂකයන් මියයනු ඇත.

නොස්ත්‍රදාමුස්ද පෙන්වා දෙන අයුරු ලෝකයේ අරුම පුදුම තාක්ෂණික නිර්මාණ ඉදිරියට එන්නට නියමිත කාලයද මෙයයි. මේ කාලයේදී සූර්ය බලයට මුල්තැන ලැබේ. වාණිජ අභ්‍යවකාශ චාරිකා ඇරඹේ. අධි තාක්ෂණය හේතුවෙන් සෞඛ්‍ය අංශයෙන්ද විශාල දියුණුවක් සිදුවීමට නියමිතය. එහෙත් ලෝකය තුළ සිදුවීමට නියමිත දරැණු අවි පෙරමුණට යොදාගන්නා මහා යුද්ධය වැළැක්වීම අසීරුය. මේ සියල්ලෙන් අනතුරුව ලෝකයට ඉතා සහනදායී කාලයක් උදාවේ. අන්ධ ඇදහිලි මිහිමතින් අතු ගා දැමෙන අතර, මිනිසා භාවනා ඇතුළු අධ්‍යාත්මික ආගමික අංශයට වඩාත් නැඹුරැ වන්නට නියමිතය. ඒ අනුව 2050 දී උදාවන්නට නියමිත ලෝකයේ රන් යුගය ඇරඹීමට අඩිතාලම වැටෙන්නේද මේ 2017 වසරිනි.

 සුගත් පී. කුලතුංගආරච්චි