2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පොලිස් නිලධාරියා මැරුණාද? මරලාද?

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 184

ලලිත්..... සිය බිරිය සමන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහනුවර මහ රෝහලට ගොස් තිබුණේ ඉකුත් මාර්තු 27 වැනිදාය. ඥාති නිවසක දිනක් ගත කළ යුවළ නැවත මැදවච්චිය පිහිටි නිවෙස වෙත ගියේ 29 දිනය. එදිනම රැකියාවට පිටත්ව යන බව කියා ගිය ලලිත් සතියක් පුරාම සේවයට වාර්තා නොකළද අප්‍රේල් 4 වැනිදා පොලිස් ස්ථානයට වාර්තා කළේය.

එදින මුර සංචාරයේ නිරත වන බව කියමින් කොස්තාපල් ලලිත් කුමාරසිරි සිය රාජකාරි ගිනි අවියද රැගෙන පිටත්ව ගියේය. එහෙත් දින ගණනක් ගෙවුණද ගිනි අවිය හෝ කුමාරසිරි පිළිබඳ හෝඩුවාවක් නොවීය.

ආගිය අතක් නොවූ පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව පොලීසිය අවධානයෙන් සිටින අතරතුර ලලිත් කුමාරසිරි මහතාගේ බිරිය ඔහු සොයමින් වෙහෙසුනාය. සැමියා පිළිබඳ තොරතුරක් නොවූයෙන් ඒ පිළිබඳව ඇය මැදවච්චිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කරන්නට උත්සාහ ගත්තාය.

මම බෙහෙත් ගන්න ලලිත් එක්ක නුවර ගියේ 27 වැනිදා. නැව 29 වැනිදා ආවේ. එයා වැඩට යනවා කියලා ගියත් දැන් කිසිම තොරතුරක් නෑ... අද 11 වෙනිදා..... ලලිත් තවම ඇහැට දැක්කේ නෑ... කෝල් එකක්වත් නෑ... යැයි ලලිත්ගේ බිරිය මැදවච්චිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කන්දෙවත්ත මහතා හමුවේ පැමිණිලි කළේය.

මෙසේ කාලය ගෙවෙමින් තිබියදී රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පදිංචි පාසල් වියේ පසුවන වයස අවුරුදු 13,15 වයසේ පිරිමි දරුවන් දෙදෙනකු දියනෑම සඳහා කලාඔය ගලාබසින නීලබැම්ම ප්‍රදේශයට ගොස් ඇත. එහි දිය පහර මැද පිහිටි ගල්තලාවක් මධ්‍යයේ ශරීර කොටස් කැඩී නරක් වී දුර්ගන්ධය හමන මළ සිරුරක් දැක බියට පත්වූ දරුවන් දෙදෙනා දිවගොස් ඒ බව වැඩිහිටියන්ට දැන්වූහ. ඔවුන් සිද්ධිය පිළිබඳව රාජාංගනය පොලීසියට දන්වා ඇත. එහිදී අදාළ පොලිස් බල ප්‍රදේශය හඳුනාගත් ස්ථානාධිපතිවරයා වහාම තොරතුර සාලියවැව පොලිස් ස්ථානයට දන්වා ඇත්තේ මේ අයුරිනි.

කලා ඔයේ නීලබැම්ම හරියේ ගල්තලාවක මළසිරුරක් තියෙනවා කියලා අපට තොරතුරක් ලැබුණා. කුණු ගඳ ගහනවාලු.... කියන විදිහට බොඩි එකේ කෑලිත් අඩුයි...

මේ තොරතුර සාලිය වැව පොලිස් ස්ථානයට ලැබී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රී 7.30ට පමණය. අදාළ තොරතුර සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුම්වත් කළ පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් කලාඔයේ නීලබැම්ම බලා ගියේය. ආසන්නයට යනවිටත් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් විහිදෙමින් තිබුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වන තරමටය. අපහසුවෙන් වුවද පොලිස් නිලධාරීහු සිරුර තිබූ ස්ථානයට ගමන් කළෝය. ඒ වනවිටත් මළසිරුරේ හිස කඳින් වෙන් වී තිබිණ. වෙන් වූ හිසේ මස් ගැලවී ගොසින් හිස් කබල පෑදී තිබූ අතර ජය හනා ගැනීමට ෙනාහැකි තරම් නරක් වී තිබුෙණ්ය.  සිරුර ආසන්නයේ තැනින් තැන අස්ථි කැබලි දකින්නට වූ අතර දෑතේ ඇඟිලි දකින්නට නොවීය. ඉතිරිව තිබුණේ ඇඟිලි රහිත අල්ල කොටස් පමණය. දෑත සහ දෙපයේ බාහුවල මස් ගොඹ ගැලවී ගොසින්ය.

මළ සිරුර අසලින්ම වැටී තිබූ භාණ්ඩ කීපයක් අතර මත්පැන් බෝතලයක්, සිගරට් පැකැට්ටුවක්, මුදල්, සිම්පතක් සහ ජාතික හැඳුනුම්පත අඩංගු පසුම්බියක්ද විය. සියල්ල අතර කැපී පෙනුණේ සිරුර අසලින්ම තිබූ ගිනි අවියයි. පොලිස් විමර්ශන අතරතුරදී ඔහු සතු පසුම්බියේ තිබී තවත් හැඳුනුම්පත්‍රයක් හමු වී ඇත. එහි සඳහන් ආකාරයට මිය ගිය පුද්ගලයා ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් කොස්තාපල් ලලිත් කුමාරසිරී (42282) නම් නිලධාරියායි.

ඔහුගේ අංකය අනුව ක්ෂණිකව සිදුකළ පරික්ෂණයකින් පසුව අනාවරණය වූයේ එම නිලධාරියා අනුරාධපුරය මූලස්ථාන පොලීසියේ මුර සංචාරක අංශයේ සාමාන්‍ය රාජකාරියේ නිරතව සිටින්නෙකු බවය. වැඩිදුරටත් අනාවරණය වූයේ දින කීපයක් සේවයට වාර්තා නොකළ ඔහු අප්‍රේල් 4 වැනිදා සේවයට පැමිණ මුර සංචාරයේ යන බව කියමින් රාජකාරි ගිනි අවිය වූ MP-22 අවිය රැගෙන පොලිස්ථානයෙන් පිටවූ බවය. එහෙත් දින ගණනාවක් පුරාවට ආගිය අතක් නොවූ නිලධාරියාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳව පොලිස්ථානය විමසිල්ලෙන් පසු වී ඇත. එහිදී ලද තොරතුරු අනුව අනුරාධපුරය පොලීසියේ නිලධාරින් විසින් හඳුනාගනු ලැබුවේ MP-22 ගිවි අවිය එම පොලීසියට අයත් පෙර කී කොස්තාපල්වරයා භාවිත කළ එක බවටය. ගිනි අවියත් සමඟ රාජකාරියට පිටව ගියද ගිනි අවිය නැවත බාරදී නොතිබුණි. සිරැරේ අත්ල සටහන් ලබාගත් අපරාධ පරීක්ෂණ ස්ථාන බාර පොලිස් නිලධාරින් ඒවා පොලිස් බඳවා ගැනීමේ ස්ථානයට යවා පරික්ෂාවට ලක්කර සනාථ කොටගෙන තිබුණි. 

පුත්තලම සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සාලිය වැව පොලිස්ථානය විසින් විමර්ශන සිදුකරයි. 

 සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ I රෝවන් පෙරේරා