2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

බ්ම්ශානිට එරෙහි පිරිමි 32 පෙත්සම

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

පොලීසියේ ඇත්තෝ කාලෙන් කාලෙට රටම කතාවෙන මාතෘකාවක් කොහෙන් හෝ රැගෙන කරළියට එති. එක්කෝ හොඳය. එක්කෝ නරකය. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ හොඳද නරකද හරිද වැරදිද කිව නොහැකි කතාවක් ගැනය. එසේ කියන්නට අපට අයිතියක්ද නැත. මොකද අපි මේ කියන්නට යන කතාව දැනටත් උත්තරීතර අධිකරණය තුළ විභාග වෙමින් පවතින නිසාය. ඒ නිසා අපේ කතාව, ඇතිව තිබෙන පසුබිම මිසක් ඊට එහා කවුරුන් හරිද වැරදිද යන්න කියවීමට නොවේ.

දැන් රටම කතාවෙන ප්‍රශ්නයක් වන්නේ නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංහාආරච්චිගේ උසස් වීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සම ගැනය. පොලීසියට නම් මෙවැනි නඩු මහා දෙවල් නොවන බව පොලීසිය ගැන දන්නෝ දනිති. එයට හේතුව උසස්වීම් ඉල්ලා පොලිස් නිලධාරීන් දමා ඇති නඩු ඉතිහාස ගතවන තරම් බැවිනි. ඒ නිසා මෙයද එක්තරා නඩුවක් වුවත් මෙහි විශේෂත්වය හැරුණේ එම පෙත්සම්කරුවන් විසින් ගොනුකළ චෝදනා පත්‍රයේ එක් වචනයක් නිසාය .එනම් කාන්තාවන් යන වචනය පෙලිස් උසස්වීම් රෙගුලාසිවල නැති බවත් ඒ හේතුවෙන් කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති වීමේ හැකියාවක් නැති බවත් යන තර්කයයි. මේ කතාව නිසා බොහෝ කාන්තාවෝ කැළඹී ගියහ. පුරුෂ මූලිකත්වයට යටත්ව සිටීම හැර කාන්තාවකට ඉහළට ඒමේ හැකියාවක් නැතිදැයි බොහෝදෙනා ප්‍රශ්න කරන්නට වූහ.

එය සාධාරණ ප්‍රශ්න කිරීමකි. එනම් ශ්‍රී ලංකාව මේ රටේ ලොව පළමු අගමැතිනිය බිහි කළේය. එසේම ජනාධිපතිවරියක්ද බිහිකළාය. අගවිනිසුරුවරියක්ද සිටියාය. මන්ත්‍රීවරියෝද එමටය. රාජ්‍ය ලේකම්වරුද එහෙමය. එවන් රටක කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පතිවරියක් වීමට හැකියාවක් නැද්ද? එහෙම නොවෙන්න හේතුව ඇය කාන්තාවක් වීමද? එය සැබවින්ම ප්‍රශ්නයකි. එනම් ලිංගිකත්වය පදනම් කරගනිමින් වෘත්තියෙන් ඉහළට යාමට කකුල් මාට්ටු දමනවා නම් ඒ මාට්ටු සුද්ද කරදීම රජයේ වගකීමක් වන බැවිනි. එසේම එය සුද්ද නොවන්නේ නම් ඒවා සුද්ද කිරීමට බලකිරීම ජනතාවගේ යුතුකමකි.

ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(02), (03), (04) වගන්තිය අනුව ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගනිමින් කිසිදු වෙනස් කමක් සිදුකළ නොහැකි බව සඳහන් වේ. එහෙත් මූලික නීතියේ එසේ සඳහන් වී තිබියදීත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවමත් ගමේ ගොඩේ ගෑනු පිරිමි බේදය සලකමින් උසස්වීම් ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වනවා නම් එය සැබවින්ම කනගාටුවකි. කාන්තා නිලධාරිනියක් වෙනුවෙන් තනතුරු ලබාදී ඊට ඉදිරියෙන් ‘W’ (women) යනුවෙන් යෙදීමම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස බොහෝ නීතිවේදියෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් බිම්ශානිගේ ප්‍රශ්නය ඇතිවන්නේ අහම්බෙන් නොවේ. බිම්ශානිගේ ප්‍රශ්නය ඇතිවන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්වීමේ ක්‍රමවේදයේ අවුල නිසාය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ කාන්තාවකට ඉහළට යා හැකි උපරිම දුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (SSP) තනතුර දක්වා පමණි. එතැනින් එහා නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති දක්වා තනතුරු කරා යාමට ඉඩක් පොලිස් දෙපාර්තමේන්තුවේ පටිපාටිය තුළ නැත. එසේ නම් බිම්ශානි එලෙස ඉහළ ගියේ කෙසේද යන්න පොදු ප්‍රශ්නයකි.

බිම්ශානි උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පොලීසියට බැඳෙන්නේ 1997 වසරේදීය. ඇය පොලීසියට එකතුවන විටම උපාධිධාරියක් වීම නිසා 2000 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරුන් සෘජුව පොලිස් දෙපාර්තුමේන්තුවට බඳවා ගැනීමේ විභාගය සඳහා මුහුණ දී ඇත. ඇය මූලික සුදුසුකම් සපුරා තිබුණත් ඇගේ උසෙහි ගැටලුවක් වීම නිසා ඇයට එම අවස්ථාව අහිමි වී ගොස් ඇත. ඒ ඇය අඩි පහයි අඟල් හතරට වඩා අඩුවීම නිසාය.

කෙසේ වෙතත් නැවත සහකාර පොලිස් අධිකාරිවරියන් දසදෙනෙකු බඳවා ගැනීමට 2008 දී කටයුතු සිදුකර ඇති අතර එහිදී ක්‍රමවේද තුනක් ඒ සඳහා යොදාගෙන තිබිණි. එකක් සේවා කාලය අනුවය. අනෙක තරග විභාගයක් හරහාය. අනෙක බාහිරින්ය. එහෙත් මේ ක්‍රමවේද තුනෙන්ම බිම්ශානිට සහකාර පොලිස් අධිකාරිවරියක් වීමේ ඉඩකඩ ඇහිරී ගොස් ඇත. එයට හේතුව ඒ වනවිට ඇගේ වයස ඉක්මවා තිබීම නිසාය. එහෙත් එම තෝරා ගැනීමේදී අඩි පහයි අඟල් හතරට වඩා උසින් අඩු අයකු බඳවාගෙන සිටි බැවින් බිම්ශානි ඇයට 2000 වසරේදී මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පෙත්සමක් ගොනුකර ඇත.

පසුව එම නඩු තීන්දුවත් හරහා නීතිපති ලබාදෙන උපදෙස වන්නේ ඇයට සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස සේවයට බඳවා ගත යුතු බවය. ඒ අනුව ඇයට උසස්වීම ලැබෙන අතර ඒ 2015 පෙබරවාරි 27 සිටය. එහෙත් ඇයට උසස්වීම සහිත රුකියාව හිමිවන්නේ 2016 දීය. පසුව ඇය 2019 වසරේදී නැවතත් පොලිස් කොමිසම වෙත යන අතර එහීදී තමාට සිදුවූ අසාධාරණය නිසා උසස්වීම් කල්ගිය බව පවසා ඇය අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. කොමිසම එහිදී ගනු ලබන තීරණය ඉතාම ප්‍රශ්න සහගත වන අතර ඇයගේ සහකාර පොලිස් අධිකාරී තනතුර 2007 දෙසැම්බර් 31 වැනිදා දක්වා ආපස්සට ගෙන පොලිස් අධිකාරී තනතුර 2013 දෙසැම්බර් 31 වශයෙන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර 2017 දෙසැම්බර් 31 වැනිදා වශයෙන්ද ආපස්සට දමා ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීමය.

එහෙත් 2008 වසරේ පත්වීම් ලැබූ සහකාර පොලිස් අධිකාරිවරියන්ට සිය උසස්විම් ලිපිය ලබාදී ඇත්තේ 2008 ජනවාරි 01 වැනිදා සිටය. ඒත් බිම්ශානිට ලැබුණේ ඊට දිනකට පෙරය. මෙලෙස වූයේ කෙසේද යන්න අදටත් එම නිලධාරිණියන්ට ගැටලුවක් වී ඇත.

මේ අතර 2019 වසරේදී නියෝජ්‍ය පොලිස්පති පිරිසක් බඳවා ගන්නට පොලීසිය තීරණය කරන්නේ පැවති පුරප්පාඩුව නිසාය. එහිදී වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා පිරිසක් බඳවා ගන්නා අතර ඒ අතර 2018 උසස්වීම් ලද පිරිසක්ද වූහ. මේ නිසා බිම්ශානි සිදුකරන්නේ ඇය 2017 වසරේ උසස් වීම් ලද අයකු නිසා මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම වෙත පැමිණිලි කිරීමය. එනම් තමන්ට වඩා පහළ ශ්‍රේණියේ අය නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස බඳවාගෙන ඇති බව දන්වාය. ඒ අනුව ඇයට නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබාදෙන ලෙසට පොලිස් කොමිසම ලබාදුන් තීන්දුවකට අනුව ඇයට එම ධුරය හිමීවී තිබිණි. කෙසේ වෙතත් ඇයට මේ වාසනාව උදාවන්නේ ඇයගේ සහකාර පොලිස් අධිකාරී ධුරය 2007 දෙසැම්බර් 31 දිනට ලබා දී තිබීම හේතුවෙනි. මේ ගැටලුවද ඉහත කී පොලිස් නිලධාරීන් විසින් සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් පොලිස් කොමිසම එම තනතුර බිම්ශානිට ලබාදුන්නත් දැනට නියෝජ්‍ය පොලිස්පති ධුරයක් සඳහා කාන්තාවකට පොලීසියේ ඉඩ නැත. දැනට පොලිස් අධිකාරි ධුරය සඳහා පුරප්පාඩු ඇත්තේද හතර දෙනෙකුට පමණක් බව සඳහන් වේ. ඒ අනුව සියලු පොලිස් නිලධාරිනියන් තම උසස්වීම් ලබා ඇත්තේ දැඩි සටනක් කර බව එම කාන්තාවෝම පවසති.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ පොලීසියේ ඉහළ තනතුරු සඳහා කාන්තාවන්ට 15%ක ඉඩක් ලබාදෙන මෙන් නියෝගයක් නිකුත් කර තිබුණේය. එහෙත් එය ක්‍රියාත්මක නොවුණු අතර පසුව එය නැවත කරළියට එන්නේ 2019 වසරේදීය. එවකට වැඩබලන වර්තමාන පොලිස්පතිවරයා විසින් එකී යෝජනාව පොලිස් කොමිසම වෙත නැවත ඉදිරිපත් කරන අතර එහිදී කොමිසමේ තීරණය වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු එකක්ද, නියෝජ්‍ය පොලිස්පති තනතුරු හතරක්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු 12ක්ද වශයෙන් ඉඩ ලබාදෙන ලෙසය. ඒ අවසරය ලැබුණත් එහි සහතිකය කළමනාකරණ සේවාව හරහා ලබාගත යුතු නිසා එම ඉල්ලීම ඒ වෙත ඉදිරිපත් කළත් තවමත් ඒ සඳහා අවසර ලැබී නැත. මේ නිසා මේ ගැටලුව තව තවත් උග්‍ර වී තිබේ.

කෙසේ වෙතත් බිම්ශානිගේ උසස්වීම ගැන යම් ගැටලුවක් තිබුණත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් පවසන්නේ කෙසේ හෝ මෙය මේ ආකාරයෙන් සිදුවීම අනාගතයට යහපතක් වනු ඇති බවය. එනම් තවදුරටත් අහිමිව ඇති පොලිස් දෙපාර්තමේන්තුව තුළ කාන්තාවන්ගේ අයිතිය රුකගැනීමට මේ මගින් හැකියාවක් ඇතිවන බවද ඔවුහු පෙන්වා දෙති. ඒ නිසා ඔවුන් පවසන්නේ මේ මොහොතේ හෝ මේ සිදුවන අසාධාරණය වෙනුවෙන් කටයුතු කිරීමට බලධාරීන් මැදිහත් වියයුතු බව කියාය. ඇත්තය. බැලූ බැල්මට මේ සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුවිය යුතුමය. බිම්ශානිගේ සිද්ධිය ඒ සඳහා රතු පලසක් විය යුතුමය. නැත්නම් සැමදා පොලීසියේ කාන්තා නිලධාරීන්ට සිදුවනු ඇත්තේ පුරුෂාධිපත්‍යට යටත්ව සිටීමටය.
කෙසේ වෙතත් මෙහි තවත් සිද්ධියක් වන්නේ මේ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බිම්ශානි වෙනුවෙන් පෙනී සිටීමය. එය ඉතා හොඳ දෙයකි. එහෙත් පෙනී සිට වැඩක් නැත. අවශ්‍ය වන්නේ නීති සම්පාදනය කොට මේ අවුල ලිහා ගැනීමය. එය කළ හැක්කේ ඔවුන්ට පමණි.

මේ අතර නීතිය හා සාමය බාර අමාත්‍ය සරත් වීරසේකර මහත්මා ප්‍රකාශ කර සිටියේ බිම්ශානි මහත්මිය පොලිසියට ආඩම්බරයක් කියාය. එසේම තමන්ගේ පෞද්ගලික මතය අනුව ඇයට එම තනතුර හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බවද ඔහු සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් බිම්ශානිගේ යුක්තිය තීන්දු වන්නේ අධිකරණයේ තීන්දුව මතය. එකි අධිකරණ තීන්දුව ඓතිහාසික වන අතර එහි ජයග්‍රහණය සමස්ථ කාන්තා පොලිස් නිලධාරිනියන් සියලු දෙනාටම අත්වනු ඇත. එකී ජයග්‍රහණය දැක සතුටු වනවා මිස මෙවැනි ජයග්‍රහණයක් දෙස බලා සතුටු වීම එක්තරා ආකාරයක කෙටිකාලීන සතුටක් බව කවුරුත් දැනගත යුතුය.

I ගයාන් ගාල්ලගේ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00