2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

මාතර තරුණ ව්‍යාපාරිකයා සොයා මුහුණු පොතෙන් ආ රූමතිය

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 382

මුහුණුපොත ඔස්සේ හඳුනාගත් තරුණ සුරූපිණියක ආශ්‍රය කිරීමට සලස්වා ඇය හමුවීමට ගිය කෝටිපති තරුණ ව්‍යාපාරිකයකු අතරමගදී පැහැරගෙන ගොස් ලණුවකින් ගෙල සිරකොට කළ ඝාතනයක් පිළිබඳව සීදුව පොලීසිය මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.

ශාමෙන් හිරන්ත තරුණ ව්‍යාපාරිකයෙකි. සිය ව්‍යාපාර අතර කුලියට ලබාදුන් ගොඩනැගිලි ද විය. කළුතර මග්ගොන දියලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු විවාහකය. මිල මුදල්, ව්‍යාපාර අතරතුර මිතුරු ඇසුරත්, තරමක් මතට ලොල්වීමත් ඔහුගේ විනෝදාංශයකි. සියල්ල අතරමැද නවීන තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කිරීම ඔහුගේ පුරුද්දකි. වෙලාවක් ලද ඕනෑම මොහොතක මුහුණුපොතේ සැරිසැරීම ශාමෙන්ගේ හැටිය.

විවාහකයකු වූ තරුණ ව්‍යාපාරිකයාට ආදරණීය බිරියකි. ඇයත් ව්‍යාපාරික පෙළපතකට උරුමකම් කියන්නියකි. ඇයට පරම්පරා උරුමයෙන් ලද ඇතැම් ව්‍යාපාර පරිපාලනය කෙරුණේද ශාමෙන්ගේ මූලිකත්වයෙනි. ඒ සඳහා තරුණ ව්‍යාපාරිකයා සතුව තිබුණේ සැබෑ දක්ෂතාවකි. මේ කටයුතු සියල්ල අතර මුහුණුපොතේ සැරිසරන ශාමෙන්ට ලැබුණු මිතුරු ඇරයුමකි. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ රූමත් තරුණියකි.

ඇගේ මිතුරු ඇරයුම තහවුරු කළ ව්‍යාපාරිකයා වෙත විවිධ අවස්ථාවලදී ඇයගෙන් පණිවුඩ ලැබී තිබිණි. මේ ආකාරයෙන් දෙදෙනා තුළ හිතවත්කමක් ගොඩනැගී ඇතැයි පැවසේ. ඇයගේ රුවට වශී වී සිටි ව්‍යාපාරිකයා හා තරුණිය අතර ගොඩනැගුණු සබඳතාව අනියම් ආදරයක් තරමට ළං වී තිබිණි. ව්‍යාපාරිකයාගේ ළඟම මිතුරකු පමණක් ඒ බව දැන සිටි අතර අන් කිසිවෙක් ඒ ගැන වගක් හෝ දැන සිටියේ නැත.

දින කිහිපයකට ඉහතදී ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් තරුණිය ව්‍යාපාරිකයාට ආයාචනයක් කළාය. ඒ ඇය මුණගැසීම සඳහා සීදුව ප්‍රදේශයට එන ලෙස දන්වමිනි. ඒ සඳහා අවස්ථාවක් යොදාගැනීමට දින 4ක් පමණ ගත වී තිබිණි. අදාළ දිනයේදී ව්‍යාපාරිකයාගේ ළඟම මිතුරකු හා පිටත් වූ ශාමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සීදුවට පැමිණියේය. එහිදී තරුණියගේ ඉල්ලීම මත ව්‍යාපාරිකයා සිය රථයෙන් සීදුව රත්දොළුගම මුතුවාඩිය ප්‍රදේශයට ගොස් තිබිණි.

එම ප්‍රදේශය පිළිබඳව නිසි අවබෝධයක් නොවූ තරුණ ව්‍යාපාරිකයා හා මිතුරා තරුණියගේ මඟ විස්තර අනුව යම් තැනකට ගොස් හමුවූ තරුණිය හා තනිව තතිකාවක නිරතව සිට තිබිණි. ඔවුන්ට ඉඩ ලබා දී මිතුරා තරමක් පසෙකට වී සිටි අතර වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එතැනට පැමිණි වෑන් රථයකි. ඉන් කඩාවැදුණු පිරිසක් යුවළ අසලට පැමිණ බලහත්කාරයෙන් දෙන්නා පිරිස පැමිණි රථයට ගොඩනංවාගෙන පැහැරගෙන ගොස් තිබුණි. යමක් කිරීමට අවස්ථාවක් නොවූ මිතුරා සිදුවීම පිළිබඳව සීදුව පොලිස්ථානයට පැමිණිලි කළේය. අනතුරුව පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ බිරිය වෙතද කරුණු දන්වා තිබිණි. මාතර නගරයේ අනගාරික ධර්මපාල මාවතේ ගොඩනැගිල්ලක හිමිකරුවකු වන ව්‍යාපාරිකයාගේ බිරිය සැමියා අතුරුදන්වීම පිළිබඳව මාතර පොලීසියට පැමිණිල්ලක් සිදු කිරීමට පියවර ගත්තාය.

නගර මධ්‍යයේ තිබූ ගොඩනැගිල්ල ව්‍යාපාරිකයාගේ බිරියට පරම්පරාවෙන් ලද උරුමයකි. එය ඇගේ මව සතුව තිබිණි. යම් පුද්ගලයකු වෙත එම ගොඩනැගිල්ල කුලියට ලබා දී තිබිණි. නමුත් කාලය අවසන් වුවද ඔහු ඉන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා දෙපාර්ශ්වය අතර වූ මත ගැටුමකි. එය අධිකරණය දක්වා ගිය ගැටලුවක් වූ අතර ගොඩනැගිල්ලේ හිමිකාරිය එය සිය දියණිය වෙත පවරා දී නඩු කටයුතු දිගටම සිදුකරන ලෙස කියා ඇත. පසුව එම අධිකරණ කටයුතු සඳහා ව්‍යාපාරික තරුණයා ඉදිරිපත් වී සිය පාර්ශ්වය වෙත ගොඩනැගිල්ල හිමිකරගෙන ඇතැයි පැවසේ. මේ නිසා අනෙක් පාර්ශ්වය ආර්ථික වශයෙන්ද දැඩි අසීරු තත්ත්වයකට පත්ව මොවුන් හා දැඩි වෛරයකින් පසුවී ඇතැයි කියති.

කෙසේ හෝ සිදුවීම අතුරතුර ව්‍යාපාරික බිරියගේ මව නාඳුනන පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබිණි. ඒ 2018 වසරේ ජනවාරි 12 වැනිදාය. මෙවැනි අර්බුද රාශියක් මැද ව්‍යාපාරවල නිරතව සිටි මොහු පැහැරගැනීමට ලක්වූ අවස්ථාව අනුව කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රිත සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමෙන් හෝඩුවාවක් ලබාගැනීමට සීදුව පොලීසිය සමත් විය.

අනතුරුව එම සාක්ෂි අනුව සැකසහිත වාහනයක් හඳුනාගෙන තිබිණි. එම රථයට සවිකර තිබී ඇත්තේ පානදුර ප්‍රදේශයේ තිබූ වෙනත් වාහනයක අංකයකි. ව්‍යාපාරිකයා පිළිබඳව වාර්තා වූ කරුණු අනුව සැකකරුවකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි. සැකකරු වීරකැටිය මිද්දෙණිය පාරේ පදිංචිකරුවෙකි. ඔහු ව්‍යාපාරිකයා හා නඩු කියූ තැනැත්තාය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කරුණු එකිනෙක අනාවරණය විය. නඩුවේ අවාසිය නිසා සැකකරු ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටියේය. මේ නිසා ව්‍යාපාරිකයා මරා දැමීමට සිතූ සැකකරු උපායක් කල්පනා කර තිබේ. රූමත් තරුණියක යොදා ව්‍යාපාරිකයා හා සබඳතාවක් ඇතිකිරීමට පියවර ගෙන ඇත්තේ ඔහුය. එම තරුණිය කිරින්ද පුහුල්වැල්ල පදිංචි සචිත්‍රා ලක්ෂාණි (22) නැමැත්තියකි.

ඇය ඇඟලුම් සේවිකාවකි. තමාට බාර කළ කාර්යය නිසි ලෙස ඉටුකළ ඇය ව්‍යාපාරිකයා සීදුව ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත්තේ හෝටල් කාමරයක නැවතීමට අවශ්‍ය බව කියමිනි. ඒ අනුව පැහැරගැනීමට ලක්වූ යුවළ අතරින් තරැණිය අතරමඟ බස්සවා ඇයට රුපියල් 20,000ක් අතමිට මොලවා ඇයට යන්නට ඉඩ හැරීමට සැකකරු කටයුතු කර තිබිණි. ඒ පසුගිය 9 වැනිදාය.

අනතුරුව වෑන් රථයේ සිටි පිරිස ව්‍යාපාරිකයාට පහර දී වෑන් රථය තුළදීම ලණු පොටක් ආධාරයෙන් ඔහුගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ. පසුව කුරුණෑගල නිකවැරටිය හරහා කොටවෙහෙර ප්‍රදේශයට ගොස් මළසිරුර එහි කැලෑවක දමා පිරිස පලාගොස් තිබුණු බව හෙළි කරගෙන ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ සීදුව පොලීසිය ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගැනීමට සමත්ව තිබිණි.

මාතර නගරයේ රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් වූ ආරවුල නිසා මෙම ඝාතනය සිදුකළ බව අනාවරණය වී ඇත. මේ සඳහා ප්‍රධාන සැකකරු සමඟ තවත් තරුණයන් සිව් දෙනෙකු සම්බන්ධ වී ඇතැයි හෙළිවූ අතර ඔවුහු අත්අඩංගුවට පත්ව සිටිති.

මේ අතර ව්‍යාපාරික බිරියගේ මව කපා කොටා ඝාතනය කිරීම පසුපස මේ පිරිසේ සබඳතාවක් පවතින්නේද යන සැකයද පවතී. සැකකරුවන් පිරිස මීගමුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර රැඳවුම් නියෝග යටතේ රඳවා ප්‍රශ්න කිරීමට නියම කෙරිණි.

 සමන්ත විල්තෙර