2021 ජනවාරි 23 වන සෙනසුරාදා

සේප්පුවේ යතුර සේප්පුව උඩ

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

දෙදෙනකු රැගත් යතුරුපැදියක් වේගයෙන් පැමිණ ගම්පහ රෝහල ආසන්නයේ ආනන්ද මාවතේ පසෙකින් නතර කළේය. එතැන ප්‍රසිද්ධ ෆිනෑන්ස් සමාගමක ශාඛාවකි. ආරක්ෂක නිලධාරියෙක් හෝ නොවූ මූල්‍ය ආයතනයට ගනුදෙනුකරුවන් සේ ඇතුළට ගිය දෙදෙනාගෙන් අයකු අත යම් ලිපි කවරයකි.

ඔහු මූල්‍ය ආයතනයේ සේවිකාවක වෙත ළංවෙමින් කාටත් අසෙන සේ පිරිමි අයකුගේ නමක් කියා ඔහු කොහේදැයි විමසා ඇත. ඊට පිළිතුරු දුන් සේවිකාව ඔහු ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බව ප්‍රකාශ කළාය. ඒත් සමඟ එම පුද්ගලයා එයා මගේ නංගිත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. ආවේ ඒක නවත්වන්න කියන්න යැයි කියනවාත් සමඟ ඔහු පසුපසින් උන් පුද්ගලයා සඟවා සිටි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් අමෝරාගෙන තිබිණ. ඒත් සමඟ මෙතෙක් වෙලා කතා කරමින් උන් තැනැත්තා අත්බෝම්බයක් සඟවාගෙන සිට එය අතට ගෙන පෙන්වා සේවක පිරිසට මරණීය තර්ජනය කොට බියවද්දා තිබිණ. ඒ මොහොතේ එතැන උන් ගනුදෙනුකරුවකුටද තුවක්කු බටය එල්ලකර පසෙකට කෙරුවේ මරණ බිය ඇති කරමිනි. මේ අතරතුර ඇතුළට ආ තවත් පාරිභෝගිකයකුට ගිනි අවිය එල්ලකර නිසොල්මන්ව තැබීමට ඔහු පියවර ගත් සැණින් ආයතනයේ කාර්ය මණ්ඩලයේ අට දෙනකු අසලට රුස්කර අනෙකා තර්ජනය කළේය.

සේප්පුවේ යතුර කෝ.... ඉක්මනට දීපල්ලා... කෝ.... යනුවෙන් ඉල්ලීමේදී බියට පත් සේවක සේවිකාවෝ මූණට මූණ බලා ගත්හ. ඇතැමෙක් කියා තිබුණේ තමා නොදන්නා බවය. ගිනිබටය මුවගට තබා තර්ජනය කරන අතරතුර අත්බෝම්බය අතැතිව උන් පුද්ගලයා ඒ මේ අත බලමින් සේප්පුව දෙසට ගියේය. නොසිතූ අයුරෙන් යතුරක් සේප්පුව මත දමා තිබිණ. එය අතට ගත් ඔහු සේප්පුව විවර කළේ කිසිදු අපහසුවකින් තොරවය. ඔහුගේ උරයේ වූ තරමක ගමන් බෑගයක් වෙත සේප්පුවේ වූ ස්වර්ණාභරණ බහාගෙන ඒත් සමඟ මුදල් අයකැමි අසල මේස ලාච්චුවේ තිබූ මුදල් තොගයක් අහුරු පිටින් ගෙන බෑගයට දමාගෙන තිබුණි.

මූල්‍ය ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනකු හා ගනුදෙනුකරුවන් දෙදෙනකු ගිනි අවියේ හා අත්බෝම්බයේ බලයෙන් මරණ බව පවසා තර්ජනය කොට කොල්ලකා ගත් කෝටි ගණනක රත්‍රං හා මුදල් තොගය රැගත් කොල්ලකරුවන් දෙන්නා වහාම එතැනින් පිටට ගොස් ගම්පහ නගරය දෙසට යතුරුපැදියෙන්ම වේගයෙන් පලාගියහ. ගනුදෙනුකරුවන් සතු කෝටි ගණනක රත්‍රං හා මුදල් ඇති ප්‍රසිද්ධ මූල්‍ය සමාගම කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකළ පසුබිමක මෙම මංකොල්ලය මහ දවාලේ සිදුව තිබුණේ ඒ පසුගිය 16 වැනිදා දහවල් 2.15ට පමණය.

ආයතනය සතු සේප්පුවේ තිබියදී කොල්ලකාගෙන තිබූ රන් ආභරණවල වටිනාකම රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයකට අධිකය. අයකැමි සතුව හා කළමනාකාරවරයා සතුව තිබියදී කොල්ල කාගත් මුදල රුපියල් ලක්ෂ හයකට අධිකය. කොල්ලකරුවන් මංකොල්ලය සිදුකර පලා යන්නට පෙර මිනිත්තු 25ක් පමණ මූල්‍ය ආයතනය තුළ ගතකර ඇති බව සී.සී.ටී.වී. කැමරා ආශ්‍රයෙන් තහවුරු කරගෙන තිබේ. ඒ හැර කොල්ලකරුවන් පිළිබඳ කිසිදු සාක්ෂියක් හෝ තොරතුරක් හඳුනාගන්නට නොමැත.

කොල්ලය සිදුව සෑහෙන වේලාවක් ගතවූ පසුව සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගම්පහ මූලස්ථාන පොලීසිය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව කොල්ලයට පැමිණි පිරිස හඳුනා ගැනීමට සී.සී.ටී.වී. කැමරා ආශ්‍රිතව විමර්ශනයක් අරඹා තිබේ. කොල්ලය පිළිබඳ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ කෝටි ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ තොගයක් අයතනය සතුව තිබුණද කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබූ බවය. එමෙන්ම කාර්ය මණ්ඩලය වෙතින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සේප්පුවේ යතුර ඒ මත තබා තිබුණේ ඇයිදැයි විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ සිය ගනුදෙනුකාර භවතුන්ට කඩිනම් සේවාවක් ලබාදීමේ අරමුණෙන් එසේ සිදුකළ බවය.

කෙසේ නමුත් කොල්ලකරුවන් එහි පැමිණ ඇත්තේ ආයතනය තුළ හා සේවක පිරිස පිළිබඳවද අවබෝධයකිනි. පැමිණි වහාම සේවයෙන් ඉවත්ව ගිය අයකුගේ නම කියා විමසීම තුළ පැහැදිලි වන්නේ එයයි. එබැවින් එම තොරතුර කොල්ලකරුවන්ට ලැබුණේ කෙසේද ගැටලුවකි.

කොල්ලය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි. කොල්ලකරුවන් මුඛ ආවරණ, ජැකට් හා හෙල්මට් පැළඳ සිට ඇති බැවින් හඳුනා ගැනීම අසීරුය. කොල්ලයට යොදාගත් යතුරුපැදිය ව්‍යාජ අංක යටතේ පැදවූවකි. යතුරුපැදිය අංක තහඩු දෙකක් යටතේ ධාවනය කර ඇතැයිද එක් අංකයක් දෙමටගොඩ ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියකින් ගලවාගත් එකක් යැයිද හඳුනාගෙන ඇත.

සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් අනුව මෙම කොල්ලකරුවන් කොළඹ, කැලණිය, හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම්වලට සම්බන්ධ බව සොයාගෙන ඇත. ඒ අතර තලංගම රෙදිපිළි අලෙවිසලක්, හෝමාගම වාහන අමතර කොටස් අලෙවිසලක්, කැලණිය මත්පැන් අලෙවිසලක්, දෙල්කඳ ෆාමසියක්, වත්තල සුපිරි වෙළෙඳසලක් වශයෙන් කොල්ල කා තිබෙන බව හඳුනාගෙන ඇත. මොවුන් හැම කොල්ලයක් සඳහාම පැමිණ ඇත්තේ එකම ආකාරයකට බව තහවුරු කරගෙන ඇත. එසේම යතුරුපැදියක කොල්ලයට යන මොවුන් වෙනත් යතුරුපැදියක අංකයක් සවිකරගෙන ගොස් කොල්ලය සිදුකර ඇති බවද හෙළි වී තිබේ.

මෙම කොල්ල කල්ලිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය, කැලණිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය, ගම්පහ පොලීසියේ අපරාධ අංශය හා බස්නාහිර පළාත දකුණ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය මෙහෙයවීමෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතී.

 සමන්ත ප්‍රදීප් විල්තෙර