2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ඇයි අපට පාන් - බනිස් මිල නග්ගන්න වෙන්නේ? බේකරි සංගමය කතා කරයි

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ආනයනික පාම් ඔයිල් ලීටරයකට රුපියල් දෙසිය පනහක තීරු බද්දක් රජය විසින් පැනවීම හේතුවෙන් නව වසරේ මුල සිටම සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි.

“දැනට ලංකාවේ සියලුම මාගරින් නිෂ්පාදනය කරන්නේ විදෙස් රටවලින් ගෙන්වනු ලබන ඔයිල් වලිනුයි. මෙම පාම් ඔයිල්වල මිල ඉතා අධිකයි. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම බවයි. ගිය වසරේ ජූනි මාසයේදී මෙට්‍රික් ටොන් එකක් ඩොලර් හාරසිය පනහක් වූ අතර මේ වන විට එහි මිල වන්නේ ඩොලර් එක්දහස් පනහකි. ඒ අනුව එය සියයට එකසිය පනහකින් ඉහළ ගොස් තිබෙනවා” යැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

බේකරි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන සියලුම මාගරින් වර්ග නිෂ්පාදනයට යොදාගනු ලබන්නේ මෙම පාම් ඔයිල්ය. ඒ අනුව ආනයනය කරනු ලබන පාම් ඔයිල්වල මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවිය හැකිය.

දේශීය කර්මාන්තකරුවන් නගාසිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ දේශීය මාගරින් නිෂ්පාදකයන්ගේ යහපත අරමුණු කර ගනිමින් පිටරටින් මාගරින් සහ මේද ආනයනය දැඩි ලෙස සීමා කිරීමට රජය කටයුතු කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

“ඒ අනුව මාගරින් කිලෝවකට අයකරන ආනයන බද්ද රුපියල් හයසීයක් දක්වා සහ මේද කිලෝවක ආනයන බද්ද රුපියල් හයසිය පහළොව දක්වා ඉහළ දැමූ නමුත් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේද (fat) සඳහා පමණක් කිලෝවක් සඳහා වන ආනයන බද්ද රුපියල් දෙසිය පහළොව දක්වා අඩු කිරීමට කටයුතු කළා.” යැයි ද එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

මෙම සහනය මාස හයකට යටත්ව ලබා දී ඇති අතර එහි අවසාන කාලසීමාව වන්නේ ගිය වසරේ දෙසැම්බර් 26 වැනිදාය. මේ අනුව ඒ කාලයේ සිට මේද සඳහා වන බදු සහනය අහෝසි වන පසුබිමක ආනයනකරැවන් විසින් මේද ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් වෙළෙඳපොළ තුළ මේද (fat) හිඟයක් ඇතිවිය හැකිය. මේ තත්ත්වය බේකරි නිෂ්පාදනයට විශාල බලපෑමක් ඇති කරනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙනු ලබන්නේ හිඟයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයකින් මේද නිසි ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් සැපයීමට දේශීය නිෂ්පාදකයන් හට තවමත් හැකියාවක් නොමැති බවය. දේශීය මේද (fat) නිෂ්පාදනය තවමත් වැඩිදියුණු කළ යුතු මට්ටමේ පවතින අතර මෙම සංගමයේ අදහස වන්නේ ඔවුන්ට ඒ සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවය.

කෙසේ වුවත් විවිධ කරුණු කාරණා හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ බේකරි නිෂ්පාදන මිලදී ගනු ලබන පාරිභෝගිකයන්ය.

මාගරින් ආනයන බද්ද රුපියල් හයසිය පනහ දක්වා වැඩිවීම තුළ මාගරින් ආනයනය සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කරයි. එබැවින් මේ වන විට රට තුළ ඉතා සුළු වශයෙන් මාගරින් හිඟයක් පවතින අතර 2021 ජනවාරි මාසයේ සිට දේශීය මාගරින් මිල නැවත වරක් වැඩි කිරීමට එම මාගරින් නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

“පාම් තෙල් සඳහා රුපියල් දෙසිය හැත්තෑ පහක ආනයන බද්දක් යොදා පොල්තෙල් කර්මාන්තය වැඩිදියුණු කිරීමට රජය අපේක්ෂා කළත් පොල්තෙල් මිල මේ වන විට ආනයනික පාම් තෙල් මිල දක්වාම ඉහළ ගොස් පවතිනවා. මේ සියලු කාරණා තුළ අපහසුතාවයට පත්වනුයේ බේකරි නිෂ්පාදකයන් වගේම පාරිභෝගික ජනතාවයි.” ඔහු කියයි.

මෙම සියලු කරුණු පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයේ අදාළ අංශ වෙත ලිඛිතව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.

මේ අනුව මේද (fat) සඳහා ලබා දී ඇති ආනයන බදු සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙසත්, දේශීය මාගරින් නිෂ්පාදන සඳහා පමණක් ආනයනය කරනු ලබන පාම් තෙල් සඳහා බදු නිදහස් කිරීම හෝ මාගරින් සඳහා අය කරනු ලබන ආනයන බදු අඩු කිරීමට කටයුතු කරන ලෙසත්, පාම් තෙල් සහ පොල්තෙල් සම්බන්ධව පවතින ගැටලු විසඳීම ඉක්මනින්ම මැදිහත් වන ලෙසත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

“පාම් ඔයිල් ලංකාවට ගෙන්වීමේදී එක ලීටරයකට රුපියල් දෙසිය පනහක බද්දක් රජය විසින් අය කරනු ලබනවා. මෙම දෙසිය පනහේ බද්දට යම්කිසි සහනයක් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටියා. පාම් ඔයිල් විතරක් නෙමේ බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍යවල මිල මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඊස්ට්, කිරි පැකට් වගේම ජෑම් බෝතලේ සිට සියලුම අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා මේ පවතින තත්ත්වයත් එක්ක බේකරි කර්මාන්තය ඉතා අමාරැවෙන් තමයි පවත්වාගෙන යන්නේ.”

මෙම ඉල්ලීම්වලට සහනදායී විසඳුමක් නොලැබුණහොත් නොබෝ දිනකින් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න