2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ආණ්ඩුව හදපු අයම ආණ්ඩුවට බණින්නේ ඇයි?

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

දනිපනිගා හැදූ එකා නොපිටින් යන විට දෙමාපියෝ දුක් ගන්නෝය. අද ආණ්ඩුව තැනූවන් ආණ්ඩුවට දොස් දෙවොල්  තියන්නේ ද එලෙසිනි. ඒ ගැන විමසීමට යහපාලන ආණ්ඩුව ගෙදර යවා පොහොට්ටුව ආණ්ඩුවක් නිර්මාණය කරන්නට නියමයෙන් මෙන්ම අනියමින් උරදුන් පාර්ශ්ව කිහිපයක් අපි සම්බන්ධ කර ගතිමු. වර්තමානයේ ආණ්ඩුවට ඇති විවේචන පිළිබඳ නොව ආණ්ඩුව විවේචනය වන්නේ ඇයිදැයි හේතු සහිතව විමසා සිටියෙමු.

වර්තමාන ආණ්ඩුව නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ නියෝජනයක් වූයේ භික්ෂූන් වහන්සේලාය. ජාතික සංවිධාන තුළින් මෙන්ම පෞද්ගලික භික්ෂු මැදිහත්වීම ද අතිශය තීරණාත්මක විය. අවසානයේ සංහිඳියාව පිළිබඳ යහපාලන ආණ්ඩුවේ කියවාගැනීම පාස්කු ප්‍රහාරය සමඟ දිය කර හැරීමට මෙරට දේශපාලනික භික්ෂූන්ට හැකි විය. ආණ්ඩුව නිර්මාණය වූ පසුව ජනාධිපති භික්ෂු උපදේශන සභාවක් ද නිර්මාණය කර ගත්තේ එබැවිනි. එහෙත් ආණ්ඩුවේ දේශපාලනික තීන්දු සහ සිංහල බෞද්ධ ජාතික මතවාද අතර ගැටුමක් නිර්මාණය වන්නට ගත්තේ ඉතා සුළු කාලයකි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි කූඨප්‍රාප්තියක් වූ අතර දිවිත්ව පුරවැසි සංවාදය දුරදිග ගියේය.

“මේක විශාල තරහක් ඇතිව කරන විවේචනයක් නෙවෙයි. අමනාපයක් තියෙනවා. අපි තමා ජනතාවට කරැණු කිව්වේ. ජනතාව අපෙනුයි ප්‍රශ්න කරන්නේ. බුදුරජාණන් වහන්සේත් නායකයෙක් විදිහට පළමුව සිදු කළේ හොඳ කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම. පස්වග තවුසන්ගෙන් පටන් අරගෙන ඒ පිරිසව මානසිකව සන්නද්ධ කරලා යහපත් අරමුණු දුන්නා. පස්සේ බුදුරජාණන් වහන්සේ දෑගසව් වහන්සේ ඇතුළු සුදුස්සන්ට ඒ ඒ තනතුර දුන්නා. අපි ආණ්ඩුවකට වැඩිය ගෝඨාභය මහත්තයා ගැන විශාල විශ්වාසයක් තිබ්බා. නමුත් එයා තමන්ගේ කණ්ඩායම වරද්ද ගත්තා කියලයි මම හිතන්නේ."

අප පෙනී සිටින්නේ මාතෘ භූමිය වෙනුවෙන්

ආණ්ඩුව නිර්මාණයේ ප්‍රමුඛ පෙළ සිටි වර්තමාන ආණ්ඩුව විවේචනයේ ද ප්‍රමුඛම ස්ථානයක සිටින ඇල්ලේ ගුණවංශ හිමියෝ එලෙස පවසති. 

එදා ආණ්ඩුව නිර්මාණය කිරීමේ සටනට පණ පෙවූ වරදාන වරප්‍රසාද බලාපොරොත්තු නොවූ පිරිසක් මගහැරී ගොසිනි. වෙනත් පිරිසක් අද තීන්දු තීරණය ගන්නා ස්ථානවල ප්‍රමුඛ ස්ථානයට පත් වී සිටිති. ඇල්ලේ හිමියන් මතු කරන අදහස එයයි. තමන් ඇතුළු බලවේගය පෙනී සිටින්නේ ආණ්ඩුව හෝ දේශපාලන චරිත වෙනුවෙන් නොව මාතෘ භූමිය වෙනුවෙන් බව උන්වහන්සේ අවධාරණය කරති. 

වරාය සටන හරහා අද වන විට ආණ්ඩුව නිර්මාණය කිරීමට උරදුන් පාර්ශ්ව සහ රාජපක්ෂ විරෝධී කණ්ඩායම් එකම වේදිකාවකට ගොඩවෙමින් ඇති බව පෙනී යයි. මේ පිළිබඳ අද මහජනතාව තුළ සංවාදයක් මෙන්ම කුකුසක් ද නිර්මාණය වෙමින් ඇති බව සමාජ වැනි ජනතා සභාගීත්ව මාධ්‍ය අධ්‍යයනයේ දී පෙනී යයි. 

“අපි කරන කියන හැම දෙයක්ම වියුක්ත ලෙස ගන්න ඕනෑ. අපි කතා කරන්නේ ඒ ඒ සිද්ධීන්ට අදාළව විතරයි. විපක්ෂයේ උදවිය බලාගෙන ඉන්නවා අපේ ප්‍රකාශනයන් ඊළඟ බල මාරැවට උපයෝගී කර ගන්න. අපි මේ ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව විනාශ කිරීමට නෙවෙයි නිවැරදිව ගොඩනගා ගැනීමට. යහපාලන ආණ්ඩුව ගොඩනගපු තක්කඩි දේශපාලන සංස්කෘතිය නැවත නිර්මාණය කරන්න නෙවෙයි මේ අපි කතා කරන්නේ කියලා පැහැදිලිව කියන්න ඕනෑ. ආණ්ඩුව මේ මොහොතේ 69 ලක්ෂයේ ජනවරමට පාදක වුණු මතවාදයට සාපේක්ෂව හැම වෙලාවෙම හිතන්න අවශ්‍යයි. ජනවරම උපදින තැන දෙන්න බලන්න ඕනෑ. මේ ජනවරම උපදින්නේම දේශීය සම්පත් ආරක්ෂා කරගෙන, අන්තවාදී ආගම්වාදී කණ්ඩායම් දුර්වල කරලා, රට එක නීතියක් ඇති කරලා ස්වයංජාත ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න." 

ආණ්ඩුව නිර්මාණය කරන්නට දායක වූ භික්ෂු කණ්ඩායම් විරෝධය විග්‍රහ කර ගැනීම අතිශය වැදගත්ය. මේ වන විට මෙරට දේශපාලනයේ ප්‍රබලතම බලපෑම් කණ්ඩායම වී ඇත්තේ භික්ෂූන්ය. යහපාලන ආණ්ඩුව සමයේ මෙරට දේශපාලන සම්බන්ධතා ඇති භික්ෂූන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ නඩු පැවරීම්, අපහාස කිරීම් මෙම බලවේගයේ නැගී සිටීමට හේතු විය. ඒ මොහොතේ විපක්ෂය සිංහල බෞද්ධ ජාතික මතවාදයට සමපාත වූ නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපති කිරීමේ සටනේ ගාමක බලවේගය බවට භික්ෂූහු පත් වූහ. පොහොට්ටුව ද එම දේශපාලන තත්ත්වය මනා කොට තම ජයග්‍රහණය වෙනුවෙන් භාවිත කළේය. එහෙත් මෙරට දේශපාලනයේ අනෙක් බලපෑම් කණ්ඩායම් සමඟ සසඳන විට භික්ෂූන් සිටින්නේ ඉතා ඉහළ තත්ත්වයකය. මෙරට සමාජ සංස්කෘතිය ඊට හේතුවයි. එම නිසාම බලයට පත්වූ පසුව ආණ්ඩුව මෙම පිරිස හසුරැවා ගැනීමේ අර්බුදයකට මැදිව සිටියි.

මෙරට වෘත්තීය කණ්ඩායම්වල මැදිහත්වීම ද වර්තමාන ආණ්ඩුව බිහිවීමට හේතුවක් විය. යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය දේපළ විකිණීම්‍‍, ජාත්‍යන්තර ගිවිසුම්  ආදිය කෙරෙහි ඔවුන් ගොනු කළ විරෝධය අවසානයේ ජනමතය බවට පත් විය. එහෙත් අද වන විට එම කණ්ඩායම් තුළින් ද ආණ්ඩුව පිළිබඳ විවේචන මතුවෙමින් තිබේ. 

සාධාරණ විවේචන ආණ්ඩුවේ පැවැත්මට වැදගත්

“විවේචන එල්ලවීම සම්පූර්ණයෙන්ම කාලෝචිතයි.  රජයේ උත්සාහය මහජනතාවට සේවය කරමින් ඉදිරියට යෑම. එවන් මොහොතක එය ගොඩනගන්නට දායක වුණු පාර්ශ්ව අනවශ්‍ය විවේචන නැතුව සාධාරණ විවේචන සිදුකිරීම වැදගත් වෙනවා. ආණ්ඩුව සමහර දේවල් සීමාව ඉක්මවලා වැඩ කරද්දී වගේම ආණ්ඩුව අතින් සමහර දේවල් තුළ අඩුපාඩු සිද්ධ වෙද්දී විවේචන එල්ලවීම ඉතාම කාලෝචිතයි. නමුත් මේ විවේචන වෙනත් අය ප්‍රයෝජනයට නොගන්නා ලෙස සිදුවිය යුතුයි. ඒ අය බලාගෙන ඉන්නේ මේ විවේචන දඩමීමා කරගෙන ආණ්ඩු බලය ලබාගන්න. ඒත් හොඳට පැහැදිලියි වර්තමාන ආණ්ඩුවට  විශාල බලයක් ගොඩ නැගී ඇති නිසා එය පෙරළා දැමීම ප්‍රායෝගිකව ඉතා අපහසු කටයුත්තක්. තවත් පසෙකින් ජනාධිපතිතුමා මේ වෙලාවේ විශාල පිරිසක් සමඟ වැඩ කරන්නේ. ඒ අය අතින් අඩුපාඩු සිදුවිය හැකියි. එම නිසාම සාධාරණය විවේචනය ආණ්ඩුවේ පැවැත්මට වැදගත්." 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා ආණ්ඩුවට එල්ල වෙමින් ඇති විවේචන සම්බන්ධව පොදුවේ සිය මතය එලෙස පැහැදිලි කරයි.

එහෙත් අධික බලයක් සහිත ආණ්ඩුව විසින් බාහිර විවේචන කොපමණ ග්‍රහණය කර ගන්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. තවත් පසෙකින් විවිධ මතවාද රාශියක් හරහා ගොනුවන මෙම විවේචන අවශෝෂණය කරගෙන පොදු මතයකට ඒම, ජාත්‍යන්තරය කළමනාකරණය කර ගැනීම ආණ්ඩුව හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි.

වෘත්තිකයන් වශයෙන් රට වෙනුවෙන් පෙනී සිටිනවා

“අපි වෘත්තීය සංගමයක් විදිහට යම් ආණ්ඩුවකට පක්ෂව කටයුතු කරන්නේ නෑ. ඒ ඒ අවස්ථාවල වැදගත් රට හමුවේ ඇති ගැටලුවලදී පෙනී සිටිනවා. යහපාලන ආණ්ඩු සමයේ එම්.සී.සී ගිවිසුම, සිංගප්පූරැ ගිවිසුම ආදී ගිවිසුම්වලට අපි විරෝධය පළ කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු පිළිබඳ කතා කළා. එය ඒ ආණ්ඩුවට අවාසියක් වෙන්න ඇති. ඒ වගේම වර්තමානයේ යම් ගැටලුවක් පැන නැගෙන විට විද්වත් වෘත්තිකයන් විදිහට අපි රට වෙනුවෙන් පෙනී ඉන්නවා."

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මහතා එලෙස අදහස් දක්වයි. 

ආණ්ඩුවට වර්තමානයේ එල්ල වී ඇති චෝදනා පිළිබඳ සරලව කියා ගැනීම පහසු නැත. ඊට හේතු ද එකිනෙකට වෙනස්ය. සැබවින්ම රට වෙනුවෙන් සිදු කරන විවේචන, පැතූ වරප්‍රසාද අහිමිවීම නිසා කරන විවේචන, ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් කරන විවේචන මේ අතර වෙයි.  එම නිසාම මෙම සංවාදය තවත් පුළුල් විය යුතුමය. මෙය එක් පූර්විකාවක් පමණි. 

චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00