2021 ජනවාරි 16 වන සෙනසුරාදා

දැරියන් බිල්ලට දුන් “අවන්ති දේවී”

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 665

දරුවන් රටේ අනාගතය බව පුන පුනා කීම අවශ්‍ය නැත. කුමක් හෝ හේතුවක් අරභයා සමහර දරු දැරියන්ට මවුපිය රැකවරණය අහිමිය. නීතිමය පියවර අනුව රජය විසින් එවැනි දරු දැරියෝ පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේත් ස්වේච්ඡා සංවිධාන හා ආගමික ආයතන මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ළමා නිවාස වෙතත් යොමුකෙරෙති. එසේ යොමුකරන්නේ ඔවුන්ට ආරක්ෂාව රැකවරණය ඒවායේ නිසි පරිදි ඇතැයි යන පදනමිනි. එහෙත් සැබැවින්ම ඔවුන් සුරක්ෂිතද යන්න ගැටලුවකි.

ළමයින් අතර පිරිමි හා කාන්තා වශයෙන් ළමා නිවාස වෙන වෙනම ස්ථාපිත කොට ඇත. කොතැනක වුවත් පාලනාධිකාරිය වෙත පැවරෙන්නේ බරපතළ වගකීමකි. එසේ වුවත් එවැනි දරුවන්ට හා ඔවුන් ඉදිරියේ මානසික හිරිහැර කිරීම, පහරදීම්, ලිංගික අඩංතේට්ටම් කිරීම, විෂමාචාර කටයුතු කිරීම හා අකටයුතුකම් කිරීම ඒවාට පෙළඹවීමට උත්සාහ ගැනීම යනාදියට පාලනාධිකාරියද සහාය වේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. ඒ තුළ මෙරට වෙසෙන දරුවන් විශාල ප්‍රමාණයකගේ ජීවිතවල අනාරක්ෂිත බව පෙනෙන්නට තිබේ.

මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් අනුරාධපුරය නගරයේ පිහිටි උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්තිදේවි කාන්තා ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. ඒ අතර බරපතළ චෝදනාවක් වන්නේ ළමා නිවාසයේ ගැහැනු දරුවන් කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වීමය. එසේම එම දැරියන්ට පහරදී හිංසනයට පත්කිරීම එවැනි චෝදනාවකි. මේ ආකාරයේ නීති විරෝධී අකටයුතුකම් රාශියක් අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ සිදුව ඇත. 
අනුරාධපුරය කඩපනහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසය පරිශ්‍රයේ පාලනාධිකාරිය විසින් මත්පැන් සාද පවත්වන බවද තහවුරු වී තිබේ. පිළිසරණක් නොමැතිව අසරණ බවින් මෙකී ස්ථානයට යොමුකර සිටින දැරියන්ට ප්‍රමාණවත් භෞතික සම්පත් නොමැති බවද  හෙළිව තිබේ. එවැනි පසුබිමක එම දරුවන් මුහුණ දුන් කටුක අත්දැකීම් විස්තර කළ දැරියක මෙසේ කීවාය.

“මටත් අයුතු යෝජනාවක් ආවා. ඉස්සෙල්ලාම මූණ දිහා බැලුවා. පස්සේ ඇස් ගැහුවා. ඊටපස්සේ මම කීවා තියෙන වනචරකම කියලා. ඒක මම ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී අමරා මැඩම්ට කීවා. ඊටපස්සේ කොමසාරිස්ටත් කියන්න ඇති. ඒත් ඊටපස්සේ මොනවා වුණාද දන්නේ නෑ....”

තවත් දිනක වූ හිංසනයක් සම්බන්ධෆයන් අදහස් දැක්වූ දැරියක මෙසේ කීවාය.

“දවසක් අපි නුවරඑළියට ට්‍රිප් එකක් ගිහින් හිටියේ. මම ඉස්සරහට ආපු කෙනෙක් ඇඟට අත තියලා කොහෙන්ද ආවේ සුරංගනාවියක්ද? කීවා. කොමසාරිස් මැඩම් ඒක දැක්කා. ඒකට බැනලා තිබුණා. කොමසාරිස් ළමයි කියන දේ අහන්නෙ නෑ. පරිවාස නිලධාරීන් කියන විදිහට වැඩකරලා ළමයින්ට වද දෙනවා. සමහරුන්ට නිවාස මාරු කරනවා. එහෙම කරන්නේ වැරදි වැඩ ගැන කතා කරන නිසා.”

මේ අතර එම දැරියන් ප්‍රකාශ කරන්නේ ළමා නිවාසයේ දැරියකගේ මවක්ද එම නිවාසයේ වාසය කරන බවය. ඇයට පාලනාධිකාරියේ අයකු විසින් අයුතු යෝජනාවක් සිදුකර ඇතැයිද කියති.

එසේම එම දැරියක වැඩිදුරටත් මෙසේද පවසන්නීය.

“කතා කරද්දී කුණුහරුපෙන් කතා කරන්නේ. ගහනවා බනිනවා හරියට කන්න දෙන්නේ නෑ. එයාලා නිතරම මතක් කරලා දෙනවා අපිට අපි අම්මා තාත්තා නැති ළමයි කියලා. නිතරම එයාලා එහෙම කියනවා. පරිවාසෙ ඇතුළට පිට මිනිස්සු එනවා. ඇතුළෙ කිසිම ආරක්ෂාවක් නෑ. ජනේල බාගෙට තියෙන්නේ. ඒවා අරගෙන ඇවිත් සමහර මිනිස්සු ඇතුළට එබෙනවා. ජනේල අයිනෙ නිදාගෙන ඉන්න අය අල්ලලා තියෙනවා. අඩු ගානෙ අපිට ජනෙල් ටික හදලා දුන්නේ නෑ...”

දරුවන්ගේ මේ චෝදනා සනාත කරමින් දැරියන්ට ලිංගික හිංසන මානසික හිංසන වැනි දෑ සිදුවන බව එහි සේවකයෙක්ද කියා සිටියේය.

“නිදාගෙන ඉන්න ළමයින්ට ජනෙල්වලින් රිංගලා කරදර කරලා තියෙනවා. කොමසාරිස්තුමා ඒ ගැන දැනුම්වත් වෙලා තියෙනවා. ඒත් පියවරක් අරගෙන නෑ. දඬුවම් දීලා නෑ. හැබැයි ඒ අයට උසස්වීම් දීලා දැන් රියැදුරෝ වෙලා ඉන්නවා. එයාලා මෙතැනම හිටපු අය. මේ දේවල්වලට විරුද්ධ වෙච්ච සමහරුන්ට දැන් ස්ථාන මාරුවීම් දීලා. අයින් කරලා. මෙහේ අයට මේවා කියලා වැඩක් නෑ. පරිවාස බාර ඇමැතිතුමා ජනාධිපතිතුමා මේ ගැන දැනගෙන දරුවෝ බේරගන්න පියවර ගන්න ඕනෑ. අපි මේවා කතා කරනවා කියලා දැනගත්තොත් අපේ රස්සාවත් නැතිවෙයි.”

අවන්ති දේවි ළමා නිවාසයේ සිදුවන අපචාර, හිංසන හා දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබුණි. ඒ අනුව විෂය බාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී තිබුණේ වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුහු අදාළ පරිශ්‍රයේ විමර්ශනයට එක්ව සිටිති. ඒ අනුව පාර්ශ්ව හතරක් ඔස්සේ කමිටු හතරක් නිර්මාණය කර විමර්ශනය කිරීම් සිදුකෙරෙමින් පවතී.

අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත ළමා නිවාසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැරියන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ දැරියන්ට අතින් පයින් හා ප්ලාස්ටික් බටවලින් පහරදී ඇති බවය. ළමා නිවාස පාලිකාව විසින් දැරියන්ට නාන කාමරවල හා ඔවුන්ගේ කාමර තුළ සිරකර පහරදී ඇතැයිද සුළු වරදකට පවා බරපතළ ලෙස පහරදීම් කර ඇතැයිද අනාවරණය වී තිබේ. වැඩිදුරටත් තොරතුරු හෙළිකරන දැරියන් ප්‍රකාශ කර ඇත්තේ පහරදීමෙන් පසුව බොරළු පොළොවේ තද අව්වේ දණගස්වා තබන බවය. වරෙක සිදුකළ පහරදීමක් නිසා දැරියකගේ ඇසක් ළඟ තුවාල වී ඇතැයිද සඳහන් වේ.

මේ ආකාරයට කරුණු වාර්තා වීම නිසා අනුරාධපුරය කඩපනහ අවන්තිදේවි බාලිකා ළමා නිවාසය ක_රත්වයෙන් පිරි ස්ථානයක් බව හෙළිවී තිබේ. දැරියන්ගේ මෙම බරපතළ ප්‍රකාශ අනුව අදාළ ළමා නිවාසයේ පාලිකාවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලින් පසුව අවන්ති දේවි ළමා නිවාසයේ දැරියන්ට පහරදී හිංසනයට ලක්කිරීමේ චෝදනාවට එරෙහිව ළමා නිවාස පාලිකාව 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඇය 15 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මේ වගේ ආයතනවල මෙවැනි සිදුවීම් බරපතළ ගැටලුවක්: 
 

පියල් නිශාන්ත ද සිල්වා
කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍

අනුරාධපුරය අවන්ති දේවි කාන්තා ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තා වූ දේවල් ශෝචනීය සිදුවීම්. මීට පෙරත් රටේ විවිධ ස්ථානවලින් මේ වගේ අකටයුතුකම් වාර්තා වෙලා තිබුණා. නමුත් දරුවන්ගේ හා කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පිහිටුවා තිබෙන රජයේ ආයතනයක් වෙතින් මෙවැනි තත්ත්වයක් වාර්තා වීම බරපතළ ගැටලුවක්. සිදුවීම වාර්තා වූ වහාම ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වුණා. එතැනට ගිහින් සෝදිසි කළා. එහි දරුවන් පනස් දෙදෙනෙක් නේවාසිකව ඉන්නවා. ඔවුන්ට ඉඩ පහසුකම් හා පොදු පහසුකම් මදි බවත් තේරුණා. අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමට මා කටයුතු කරනවා. විශේෂයෙන් මාධ්‍ය හරහා අනාවරණය කළ තොරතුරු සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඒ බව සනාථ වුණා. 

මේ ස්ථානවලට පරිපාලනය සඳහා රාජ්‍ය නිලධාරීන් පත්කර තිබෙනවා. නමුත් එම කොමසාරිස්වරයා ගැන කනගාටුයි. වගකීමෙන් තොරවයි කටයුතු කර තිබුණේ. වාර්තා වූ තොරතුරු අනුව කාන්තා ළමා නිවාසය තුළ මෙම කොමසාරිස්වරයා තවත් පිරිමි තුන්දෙනෙක් සමඟ මත්පැන් සාද පවත්වා තිබුණා. ඒ අයට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නවා. අවශ්‍ය පරික්ෂණ කටයුතු සඳහා කමිටු හතරක් පත්කළා. එකක් අමාත්‍යංශය යටතේ ජාතික කාන්තා කමිටුව මගිනුත් අනෙක උතුරුමැද පළාත් මහ ඇමැතිවරයා යටතේත් උතුරුමැද පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ තව කණ්ඩායමක් සහ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය යටතේ වශයෙන් කමිටු හතරක නිලධාරීන් කඩිනම් පරීක්ෂණයක් කරනවා. ඉතා ඉක්මනින් වාර්තාව ලැබෙයි. ඒ අනුව අවශ්‍ය කටයුතු කරනවා.

ඇත්ත කතාකරන්න දරුවන් බයවුණා:

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි 
අධ්‍යක්ෂ - පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය

අනුරාධපුරය අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ දැරියන්ට ලිංගික අඩම්තේට්ටම් හා විෂමාචාරවලට ලක්වූ බවට වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. දරුවන්ගෙන් ප්‍රකාශ ගැනීමේදී පළමුව කීවේ පාලක පක්ෂයෙන් කිසිම හිරිහැරයක් නෑ කියලයි. නමුත් රාජ්‍ය ඇමැතිතුමා එම පරිශ්‍රයට ගිහින් තොරතුරු කතාකරලා ආවට පස්සේ දරුවන්ට ආත්ම විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව එම දරුවෝ ඇත්ත කතා කරලා නිවැරදි තොරතුරු හෙළිකර තිබෙනවා. එහිදී නීතිවිරෝධී කටයුතු සිදුවෙලා ඇති බව අනාවරණය වෙනවා. විමර්ශනයේදී පැහැදිලි වෙනවා පාලක පක්ෂයේ බලපෑමට ළමයි තොරතුරු නොකී බව. දැනට පාලක පක්ෂය හා දරුවන් අතර සබඳතාව වළක්වා අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදුකරනවා.

විශේෂ කමිටු හතරක් පත්කළා:

මහාචාර්ය මුදිත විදානපතිරණ
සභාපති - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

අනුරාධපුරයේ පිහිටුවා තිබෙන උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි කාන්තා ළමා නිවාසය සම්බන්ධයෙන් කනගාටුදායක පුවතක් වාර්තා වුණා. ඒත් සමඟ රාජ්‍ය අමාත්‍යතුමා එම ස්ථානයට පිටත්වුණා. ඒ සමඟ ජාතික ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසක් යොමුකළා. එම ස්ථානයේ නොවිය යුත්තක් සිදුව තිබෙන්නේ. මේ වනවිට අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ උපදෙස් මත විශේෂ කමිටු හතරක් යටතේ පරීක්ෂණ කෙරෙනවා. වරදකරුවන්ට නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී මෙවැනි අකටයුතුකම් සිදු නොවීමට ළමා ආරක්ෂක අධිකාරිය පාර්ශ්වයෙන් කටයුතු කරනවා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර