2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ලංකාවේ හොරාට ඉඳං සල්ලිවලට විදින නයිජීරියා අයියලා

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

ජංගම දුරකථන හා අන්තර්ජාල පරිහරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පැවතියේ යහපත් දැක්මක් නොවන බව ඔවුන්ගේ අදහස්වලින් පැහැදිලිය. නමුත් පවතින වසංගතය හමුවේ අධ්‍යාපන කටයුතු, අධිකරණ කටයුතු, සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු, භාණ්ඩ මිලට ගැනීම හා මුදල් ගනුදෙනු පවා අන්තර්ජාලය හරහා සිදු කිරීමට පියවර ගැනිණ. එමගින් අන්තර්ජාලය පරිහරණය සම්බන්ධයෙන් යහපත් දැක්මක් සමාජයේ පෙනෙන්නට තිබිණ. එහෙත් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මුදල් ගනුදෙනුවලදී වඩාත් අවධානයකින් කටයුතු කළ යුතුය. ඊට හේතුව පරිගණක අපරාධ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රවණතාවය බවට පොලීසිය පෙන්වා දෙයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය වෙත ලැබී ඇති තොරතුරැ අනුව නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටින නයිජීරියානු ජාතිකයන් පිරිසකි. නව පරිගණක තාක්ෂණයෙන් සන්නද්ධ පිරිස්හි ක්‍රියාකලාපය තුළින් පරිගණක ආශ්‍රිත අපරාධවල ප්‍රවණතාවක් පෙන්වා තිබේ. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලත්, ගණිකා ජාවාරමේත් නියැලෙමින් සිටින අතර පරිගණක අපරාධවල බහුල වශයෙන් නිරතව සිටින බවත්, එම කණ්ඩායමේ නයිජීරියානුවන් 40ක පමණ කණ්ඩායමක් සිටින බවත් හඳුනාගෙන තිබේ.

ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් මෙරට ජනතාවගේ මුදල් කොල්ලකෑම සිදුකර ඇතැයි වාර්තා වේ. මෙහිදී මෙරට භාවිතයේ පවතින ජංගම දුරකථන අංක අතුරින් යම් විශේෂත්වයක් හඟවන දුරකථන අංක තෝරා ගැනීම සිදු කරති. ඇතැම් විට එම දුරකථන අංක හිමියන්ගේ උපන් දිනය, විවාහ සංවත්සර දිනය ආදිය සොයා ගැනීමට මොවුහු උත්සාහ ගනිති. මේ ආකාරයට එවැනි අයගේ ඊමේල් ලිපිනය හා වෙනත් අන්තර්ජාල භාවිත කරන දුරකථන අංක හඳුනා ගැනීමට උත්සාහ කොට උපන් දිනය හෝ විවාහ සංවත්සරය වැනි සුවිශේෂී දිනයන්හි සුබ පැතුම් එක් කරති. අනතුරැව ඒ සඳහා වටිනා ත්‍යාගයක් හිමිව ඇති බවද දැනුම් දෙති. මේවා යම් ආයතනයක් වෙතින් ලබාදෙන බවත් එය දිනුම් ඇදීමක් වශයෙනුත් විටෙක හඳුන්වා දෙයි. අදාළ ත්‍යාගය ලබාගැනීම සඳහා ලංකාවේ සිටින නියෝජිතයකු හා දුරකථන මාර්ගයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය යුතු බවද පවසයි. අනතුරුව ත්‍යාගය ලබාගැනීම සඳහා එහි වටිනාකමට අයත් මෙරට බදු මුදල පමණක් ගිණුම්ගත කළ යුතු බවට පවසා ඒ සඳහා මෙරට නියෝජිතයකු බව කියන අයකුගේ ගිණුම් අංකයක් ලබා දෙයි. ඒ හරහා පළමු ගනුදෙනුව සිදු කරන අතර අවස්ථා කිහිපයකදී විවිධ අඩුපාඩු පෙන්වා දෙමින් නැවත නැවත මුදල් බැර කර ගැනීම සිදු කරති. ඇතැම්විට අධික වටිනාකමින් යුත් ත්‍යාගයක් නිසා මෙම බැර කරන මුදල් ප්‍රමාණය පිළිබඳව බොහෝ පිරිස තැකීමක් නොකරති.

ජාවාරමුන්ට එය එක් උපායක් පමණක් වන අතර අලුතින් වාර්තා වූ තොරතුරු අනුව බ්‍රිතාන්‍ය හා අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා ලබාදෙන බව කියමින් අන්තර්ජාලය ඔස්සේ පණිවුඩ යවා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වන ලෙස දන්වා ඇතැයි කියති. ඒ ආකාරයට කැමැති වන පිරිස් රවටා විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට ද පැමිණිලි වාර්තා වී තිබේ.

කාලයක පටන් ලංකාවේ රැඳී සිටිමින් මෙම වංචාවල නිරත වූ නයිජීරියානු පිරිස් අතර කාන්තාවෝ ද වෙති. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ අතර මෙරටින් පිටුවහල් කරන තෙක් මිරිහාන විශේෂ රැඳවුම් ඒකකයේ රඳවා සිටියහ. මාස ගණනක් එහි රැඳී සිටින අතරතුර ඇතැමුන් පැන ගොස් ඇතැයි වාර්තා වී තිබේ. නිසි ආරක්ෂාවක් නොමැතිකමින් එම පිරිස් පැන ගොස් තිබෙන බවට හෙළිව තිබෙන අතර ඔවුන් බස්නාහිර පළාතේ කොළඹට නුදුරු නිවාස හෝ කුඩා ප්‍රමාණයේ නවාතැන් හෝ හෝටල් කාමරවල කුලියට රැඳී සිටිමින් මෙම ජාවාරම්වල නිරතව ඇතැයි කියති. මෙකී පිරිස් සංවිධානාත්මක අයුරින් සිදු කරන ගණිකා ජාවාරම්වලට සම්බන්ධ බවද තොරතුරු අනාවරණය වී ඇතැයි දැනගන්නට ලැබේ.
මෙම ජාවාරමේ නිරත සමහර නයිජීරියානු පිරිස් ගිය වසරේ මුල් කාර්තුවේ මෙරටට පැමිණ, කොවිඩ් වසංගතය හමුවේ නැවත යාමට නොහැකි වී වීසා රහිතව රැඳී සිටින අයවළුන් බව සඳහන්ය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙකී සැකකරුවන් දෙදෙනකු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලීසියට බාර දී තිබේ. එමෙන්ම එවැනි සැකකරැවන් හය දෙනකු ඊට පෙර අත්අඩංගුවට පත්ව තිබිණි. මේ අයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ජාවාරම සම්බන්ධයෙන් කරුණු හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය අදහස් දක්වමින් පවසන්නේ අන්තර්ජාලය හරහා සිදු කරන මුදල් ගනුදෙනුවලදී වඩාත් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය. විශේෂයෙන් ඊමේල් ලිපිනයන්හි මුරපදය හා ගිණුම් අංක වෙනත් පාර්ශ්වයක් වෙත ලබාගැනීමෙන් පසුව සිය ගිණුම්වල මුදල් සොරාගැනීම, එම ගිණුම්වල පාලනය හා භාරකාරත්වය වෙනම පාර්ශ්වයක් වෙත ලබාගැනීමේ අවදානමක් ද පවතී. මෙසේ පරිගණක අපරාධ සිදු කරමින් නීතිවිරෝධී ආකාරයට රැඳී සිටින නයිජීරියානු ජාතිකයන් පිරිස සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ළඟම පොලීසියට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් නයිජීරියානු සැකකරැවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

මුර පදය දෙන්න එපා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

පරිගණක අපරාධ සම්බන්ධයෙන් යම් ප්‍රවණතාවක් මතුව තිබෙනවා. දුරකථන කෙටි පණිවුඩ, ඊමේල් පණිවුඩ හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් යොමු කරන පණිවුඩ හරහා මෙම වංචාකරුවන් ජනතාව ඒ වෙත පොළඹවා ගන්නවා. වටිනා ත්‍යාගයක් දිනුමක් වශයෙන් හිමිව ඇති බව හෝ එය ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් ජාවාරම්කරුවන් පිරිස් මුලා කරනවා. විශේෂයෙන් අන්තර්ජාල මුදල් ගනුදෙනුවලදී මුරපදය වෙනත් පාර්ශ්වයකට ලබා දීමෙන් වළකින්න. ඒ වගේම මේ ජාවාරම්කරුවන් උපන්දින සහ විවාහ සංවත්සර වෙනුවෙන් සුබ පැතුම් යොමු කරලා ඒ හරහා ජාවාරම සිදු කරන බව අනාවරණය වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි.

 

සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00