2021 ජනවාරි 16 වන සෙනසුරාදා

හිරේ වැටෙනතුරු නොනැවතුණු රන්ජන්ගේ හඬ

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

සිනමාව තරම් දේශපාලනය ලස්සන නැත. සිනමාව තරම් දේශපාලනයේ සිහින ලෝක නැත. එහෙයින් සිනමාවෙන් දේශපාලනයට ආ ලොව දැවැන්ත නළුවන් දේශපාලන භූමිකාවේදී එය නළුකමක් කරගත්තේ නැත. ඔවුහු හැමවිටම දේශපාලනයේදී තියුණු වූහ. ඔවුන් සිනමාවේ දෙබස් දේශපාලනයේදී කියන්නෝ නොවූහ. 

එලෙස සිනමාවෙන් ඉහළටම පැමිණ නිවැරදිව දේශපාලනය කළ ලාංකිකයෝ දෙදෙනෙක් වූහ. එක් අයෙක් විජය කුමාරණතුංගය. එහෙත් විජයගේ මානව හිතවාදී දේශපාලනය අභියෝගයක් වු කල ඔහුව මරා දමනු ලැබීය. දෙවැන්නා ගාමිණී ෆොන්සේකාය. ගාමිණි උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පුටුව තෙක් ආවේය. ඒ ගාමිණීගේ දැනුම නිසාය. අපේ සිනමා ඉතිහාසයේ ඉහළටම පැමිණ දේශාපාලනය කළ දෙදෙනා ලෙස ඉතිහාස ගත වන්නේ මේ දෙදෙනාය.

මේ දෙදෙනාගෙන් පසු නැවතත් සිනමාවෙන් ක්‍රියාකාරී දේශපාලනයට ආවේ රන්ජන් රාමනායකය. රන්ජන් ද මොවුන් හා සමානව ජනතාවගේ නළුවාය. ඒ සඳහා සම්මානද හිමි විය. එසේම රන්ජන් පිට පිට වසරේ ජනප්‍රිය නළුවා බවට පත් විය. ජනතා ආකර්ශනය නොඅඩුව ලැබුණු නිසා රන්ජන් හැමදාම තම පක්ෂ ලැයිස්තුවේ දිස්ත්‍රික්කයෙන් පළවැනියා වී පාර්ලිමේන්තු ආවේය. ඉහත කී විජය, ගාමිණී දෙදෙනාගෙන් පසු ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ආ ජනප්‍රිය නළුවා රන්ජන් විය. ජීවන් කුමාරතුංගද මේ පිරිසට අයත්ය. ඊට අමතරව මෙරට සිනමාවේ ජනප්‍රියම නිළියන් දෙදෙනකු වූ මාලිනී ෆොන්සේකා සහ ගීතා කුමාරසිංහද පාර්ලිමේන්තුව නියෝජනය කළහ. ගීතා වත්මන් පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරියකි.

රන්ජන් දේශපාලනයට පැමිණ මොකද කළේ? රන්ජන්ට සිනමාවත් දේශපාලනයත් පැටලුණාද? රන්ජන්ට වැරදුණේ කොතැනද? ඒ ගැන විමසිය යුතු කාලය එළැඹ ඇති  බැවින් මේ කතාව මෙසේ පළ කරමු.

රන්ජන් හිරේ

රන්ජන් රාමනායක දැන් ඉන්නේ මීගමුව පල්ලන්සේන තරුණ රැඳවූවන් රඳවා සිටින විශෝධන මධ්‍යස්ථානයේය. තවත් දවස් දා හතරකින් රන්ජන්ට වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නට සිදුවනු ඇත. ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවට අදාළ දඬුවම විඳීමට ඇති බැවිනි. එය වසර හතරකි. එහෙත් නිවැරදි ලෙස ගණන් හැදුවොතින් රන්ජන්ගේ දඬුවම් කාලය වසර දෙකකුත් මාස අටකි. එකී කාලය බරපතළ වැඩ සහිතව ගෙවිය යුතුමය. රන්ජන්ගේ සිනමා ජීවිතයත් දේශපාලන ජීවිතයත් උඩු යටිකුරු කර පසුගිය අඟහරුවාදා (12) ලැබුණු මේ තීන්දුව නිසා බොහෝ දෙනා තිගැස්සී ගියහ. පක්ෂ විපක්ෂ භේදකින් තොරවය.

දඬුවමට ගිය මග

2017 අගෝස්තු 21දා රන්ජන් රාමනායක අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන අවස්ථාවේ එහි දොරටුවේ සිට හැමෝම ගැස්සෙන ප්‍රකාශයක් සිදු කළේය.

“ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු. කරප්ටඩ් ලෝයර්ස්ලා සීයට 95ක්  විතර. සල්ලිවලට ඒ අය වැඩ කරන්නේ..." යනුවෙන් ඔහු විනිසුරුවරුන්ටත්, නීතිඥවරුන්ටත් බරපතළ චෝදනාවක් එල්ල කළේය. චෝදනාව කෙතරම් බරපතළද යත් එය සමස්ත අධිකරණ පද්ධතියටම ඇති කළේ කළු පැල්ලමකි. එම සිද්ධියෙන් පසුව විනිසුරුවරුන්, නීතිඥවරුන් එම චෝදනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කළද, මීට එරෙහිව අධිකරණයට යාමට ඔවුහු උත්සාහ නොකළහ.

රන්ජන් රාමනායක අධිකරණය වෙත පැමිණෙන අවස්ථාවක් අවස්ථාවක් ගාණේ නැවත නැවතත් එම චෝදනා එල්ල කළ අතර ඔහු පැවසුවේ තමන් පෙර සිදු කළ චෝදනා ඉල්ලා අස්කර නොගන්නා බවය. 2017 දෙසැම්බර් 14, ඉන් පසුව 2018 මාර්තු 23, ජූනි 4, ජූනි 18, සැප්තැම්බර් 5 යන දිනයන්හීදීය.

රන්ජන් රාමනායක පවසන පරිදි ඔහුට ඇති නඩු සංඛ්‍යාව 21කි. එකී නඩුවලට අදාළව රන්ජන් අධිකරණයට පැමිණෙන අවස්ථාවක් පාසා මේ චෝදනා දිගින් දිගටම එල්ල කළේය. තමාව හිරේ යවන ලෙසත් අභියෝග කළේය.

රන්ජන් රාමනායකගේ ප්‍රකාශයට එරෙහිව අධිකරණය වෙත ගියේ මාගල්කන්දේ සුදත්ත හිමි සහ විශ්‍රාමික ගුවන් නිලධාරියකු වන සුනිල් පෙරේරා යන අයය. ඒ යහපාලන ආණ්ඩු සමයේදීය. එහිදී රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වන්නට පටන්ගත් අතර ඔහුට එරෙහිව චෝදනා නීතිපතිවරයා විසින් අධිකරණයට ගොනුකර තිබුණි. ඒ අනුව නඩුව ආරම්භ වුණු අතර මේ සඳහා තිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබීය.

නඩු තීන්දුව

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ අවසන් දිනය පසුගිය අඟහරුවාදට යෙදී තිබිණි. එදින උදෑසන 9.45ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන සිසිර ආබෲ, විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සුරසේන යන මහත්වරු අධිකරණයේ අසුන්ගත් අතර විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.‍

මේ අතර නීතිඥ විරාන් කොරයා මහතා පවසා සිටියේ රන්ජන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් නිරෝධායනයට යොමුකර ඇති බවය. එහෙත් විනිසුරැවන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ අතර රන්ජන්ට එරෙහි නඩුවේ තීන්දුව උදෑසන 10.25 තෙක් කල් තැබිණි. ඒ වන විට රන්ජන් ද අධිකරණයට පැමිණ සිටියේය.

ඒ අනුව නැවත නඩුව උදෑසන 10.25ට කැඳවූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ සිසිර ආබෲ මහතා විසින් නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට විය.

එනම් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොවර තහවුරු වන බවය. රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවකින් මෙම ප්‍රකාශය නොකළ බවට ඔප්පු කිරීමට උත්සාහ කළද පසුව අධිකරණ පරිශ්‍රයේදී අවස්ථා කිහිපයකදී නැවත නැවත ප්‍රකාශ කිහිපයක් මගින් ඔහු තුළ තිබූ චේතනාව සාක්ෂි මගින් තහවුරු වන බව විනිසුරුවරයා එහිදී කීය.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිතව වසර හතරක සිරදඬුවමක් නියම විය. එම තීන්දුවෙන් පසුව දැඩි රැකවල් මධ්‍යයේ බන්ධනාගාරය වෙත මන්ත්‍රීවරයා ගෙන ගිය අතර ඒ යන විටත් ඔහු පැවසුවේ තමන් කියූ කාරණා ඉල්ලා අස්කර නොගන්නා බවය.

අධිකරණයට අපහාස කිරීමේ ඉතිහාසය

රන්ජන් රාමනායකට ලැබුණු දඬුවම සම්බන්ධයෙන් බොහෝ දෙනා කැළඹුණේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසාය. එසේම ජනප්‍රිය දේශපාලනඥයකු සහ සිනමා නළුවකු බැවිනි. එහෙත් මෑත ඉතිහාසයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනවාට එස්.බී. දිසානායක මහතාට වසර දෙකක දඬුවම් ලැබිණි. ඒ නඩු තීන්දුවක් ගැන ලබා දුන් ප්‍රකාශයක් නිසාය. එසේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ නඩුව අවස්ථාවේ අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැණවැදී අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වසර හතකට බන්ධනාගාර ගත වූහ. එහෙත් මේ දෙදෙනාම ජනාධිපති සමාව යටතේ නිසි ඳඬුවමට කලින් එළියට ආහ. මේ දෙදෙනාම කට වරද්දා ගත් නිසා මේ දඬුවමට ලක්වූ බව විශේෂයෙන්ම කිව යුතුය. රන්ජන්ද එලෙසමය.

එහෙත් රන්ජන්ට ජනාධිපති සමාවක් ලැබෙයිද කියන්නට දන්නේ නැත. ඒ අනුව ඔහු අවුරුදු දෙකයි මාස අටක් සිරගෙදර සිටිය යුතුමය.

මෙයින් රන්ජන් පාඩමක් ඉගෙන ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. රන්ජන් මාංචු දමා රැගෙන යන විටත් ඔහුගේ සුපුරුදු නොහික්මුණු බව පෙන්නුවේය. එහෙයින් රන්ජන්ගේ විනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබේ.

දඬුවමින් පසුව

මෙම දඬුවමට අනුව මාස හයක් පාර්ලිමේන්තු නොගියහොත් රන්ජන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වනු ඇත. එසේම වසර හතක් යන තෙක් ප්‍රජා අයිතිය අහිමිවන අතර වසර 11ක් පසුවන තුරැ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැත.

මෙහි බරපතළම තත්ත්වය වන්නේ මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් හෝ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැතිවීමය. ඒ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විභාග කිරීම නිසාය. රන්ජන්ට යම් හෝ අවස්ථාවක් ඇත්තේ ජනාධිපතිවරයාගෙන් සමාව ගතහොත් පමණි. එහෙත් රාජපක්ෂවරුන් විවේචනය කළ ආකාරයට එලෙස ඔහුට  ඉල්ලීමක් කළ හැකිද? නැතහොත් රන්ජන් එලෙස ඉල්ලීමක් කරයි ද යන්න ප්‍රශ්නයකි. එහෙත් රන්ජන්ට දඬුවමින් කල් මිදෙන්නට ඊට එහා ක්‍රමයක් නැත.

නළුකම පැටලුණාද?

රන්ජන් කලක් අයුක්තිය අසාධාරණය දේශපාලනයට එරෙහිව චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළේය. ඒ අතර වන්ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස් ජනප්‍රිය විය. රන්ජන් දේශපාලන භුමිකාවෙත් රඟ දැක්වූයේ එම චිත්‍රපටවල චරිතයට හා සමාන චරිතයකි. කට කෑවත් කියන්න තියෙන දේ කියන්නත්, ඒ කියන දේ බය නැතුව කියන්නත් ඔහු දෙවරක් හිතුවේ නැත. ඔහුගේ කටට බ්‍රේක් නැති නිසාය.

රන්ජන්ගේ කතාවලට, හැසිරීමට ගැලරියෙන් වදින විසිල්, අප්පුඩි රන්ජන් තව තවත් උද්දාමයට පත් කරන්නක් වූ අතර ඔහු සෑමවිටම දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් බයක් නැතිව කතා කළ අයෙක් විය. රන්ජන් ඇත්ත කතා කළත් විවේචනය කළ යුතු ආකාරය ගැන න්‍යායාත්මක දැනුමක් තිබුණේ නැත. ඒ නිසා රන්ජන් අමු අමුවේ ප්‍රහාර එල්ල කළේය.

මෙය ජනතාවද වරද්දාගත් තැනකි. රන්ජන්ගේ ප්‍රකාශවල තියෙන ඇත්ත ගැන බොහෝ දෙනා දන්නා නිසාත්, ඒවා රන්ජන් මෙන් කීමට හැකියාවක් නැති නිසාත්, රන්ජන්ගේ සීමාවක් නැති ජීවිතය හැමෝගේම ඇගයීමට ලක්විය. "ඔයා මාරයි, ඔයා බය නෑ", රන්ජන් වගේ අය තමයි ඉන්න ඕන, මරු" වශයෙන් ඇගයීම් ලැබුණු අතර ඒවා ජනතාවගේ හදවත් වලින් ප්‍රකාශ විය. 

එසේ වුවද රටක නීතියක් ඇත. රටක ක්‍රමයක් ඇත. රන්ජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. රන්ජන්ට පුරවැසියාට වඩා බලයක් ඇත. රන්ජන් කළ යුත්තේ කටින් සටන් කිරීමට වඩා ඉතාම සූක්ෂමව මෙය කිරීමය. රන්ජන්ගේ ඇතැම් හැසිරීම් රන්ජන්ට පවා ගැලපුණු හැසිරීම් වූයේ නැත. ඇතැම් ඒවා ආරංචි මාර්ගය, තවත් ඒවා කවුරුන් හෝ කී ඒවාය. එවැනි දේ කීමේදී ජනතා නියෝජිතයකු දෙවරක් සිතිය යුතුයි.

රන්ජන්ගේ නොහික්මුණුකම, වචන, බය නැතිකම සහ අවංකත්වය ගැන කිසිම තර්කයක් නැත. විවේචන නැත. එහෙත් රන්ජන් ඒ සියල්ල යොදාගත්තේ විනයෙන් පිට පනිමිනි. ඔහු ආණ්ඩුවේ සිට, නීති සම්පාදනය කරන ව්‍යාවස්ථාදායකය නියෝජනය කරන අධිකරණය ගැන චෝදනා කළේය. එහෙත් ඒවා සම්බන්ධයෙන් සාක්ෂි නැත. ඒ නිසාම අධිකරණය තුළදී එම ප්‍රකාශ සිතා මතා නොකළ ප්‍රකාශ බවට තහවුරු කරන්නට රන්ජන්ගේ නීතිඥවරු උත්සාහ කළහ. එහෙත් රන්ජන් එළියට පැමිණ නැවතත් බැණ වැදුණේය. මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය රන්ජන් අද භුක්ති විඳිමින් සිටියි.

රන්ජන්ට එක පැත්තකින් බන්ධනාගාරය සරසවියක් වනු ඇත. රන්ජන්ට පැටලුණු, මිනිස්සු ආස කළ දේශපාලනයත් නළුකමත් පැටලුම් ලිහා ගැනීමට හොඳ කාලයක් වනු ඇත. එය නිවැරදිව හඳුනා ගතහොත් ඔහුට විශාල දේශපාලන ගමනක් තිබෙනු ඇත. රන්ජන්ට ඇති ජනතා ප්‍රසාදය නිසාය. එහෙත් එය තේරැම් නොගෙන පැමිණියොත් ඔහු නැවත නැවතත් අමාරුවේ වැටෙනු ඇත. රන්ජන් තමන් වන්ෂොට් නොව රන්ජන් රාමනායක බව හඳුනාගෙන දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව සටන් කළා නම් ඔහුගේ මාමා වන විජය කුමාරණතුංග මෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා ආදරය කරනු ඇත. එහෙයින් රන්ජන්ට කියන්නට ඇත්තේ රන්ජන්ගේ වචනයෙන් කියන වරක් "කාලෝ මාමා" ඔහුට කී කතාවය.

“අධිකරණය ගැන දකින ඇත්ත ඇති සැටියෙන් ඒ ආකාරයෙන් කීම අනතුරුදායකයි බෑනෝ"

අද කාලෝ “මාමා” ජීවතුන් අතර නැත. රන්ජන් බෑනා හිරේය.

 ගයාන් ගාල්ලගේ